ඔත්තුකරුවකු පිළිතුරු දෙන්නේ යමකුගේ හඬට නොව හදවතට හා මොළයටයි. පතිරණ විජේ අයියාගේ හා මොහොට්ටි අයියාගේ හදවත පසාරු කළේය. තව ස්වල්ප වේලාවකින් පතිරණ විජේ අයියා විසින් පදවනු ලබන මයිනර් කාරයක පසුපස අසුනේ හතර වන ස්ථානයේ වාඩිගෙන සිටියේය. මොහොට්ටි අයියා ඉදිරි මගී අසුනේ විය.
කාර් රථය රළු පාරක් දිගේ ඇදීයයි. පතිරණගේ පිට මයිනර් රථයේ මඞ්ගාඩයට අසු වී එය වැටෙන වළෙන් වළට තැළෙයි. තම කිහිල්ලේ වූ ෂොපින් බෑගය පතිරණ ඔක්කට ගත්තේය. එක අතක් තම කොට කලිසම ඇතුළට රුවා තමා විසින් තම යට ඇඳුමේ සඟවාගත් මුදල් පාර්සලය ඇද්දැයි සැකහැර දැන ගත්තේය. ඉන්පසු තොරතෝංචියක් නැතිව එක එකා නගන ප‍්‍රශ්නවලට උත්තර දුන්නේය.
”හත්ඉලව්වේ ඔය කොල්ලට ඉන්න දියල්ලා..” විජේ අයියා උස්හඬින් කියයි. පිරිස නිහඬ වේ… අමුතු ස්වරයකින් මොහොට්ටි කතා කරයි…
”මලේ උඹ අපේ සංවිධානෙ සහෝදරයෙක් එහෙම නෙමෙයි නේද?”
”ඔව්ව අහන ප‍්‍රශ්නද බං මේ කාලේ..” විජේ අයියා මොහොට්ටිට සැර වෙයි. ඉන්පසු කට්ටිය සුමනා නම් වන වෝල්ටයිල් කර්මාන්ත ශාලාවේ වැඩ කරන කාන්තාවකගේ අඟපසඟ හා ඇයගේ ස්වාමි පුරුෂයා පිළිබඳ කතා කරයි. ”උඹට ඕකිගෙ මයිල් ගහකට අත තියන්න වෙන්නෑ… හත්ඉලව්වේ..” විජේ අයියා ඒ කතාව ද ඉවර කළේ මොහොට්ටිට ඇනුම්පදයක් ද කියමිනි.
පතිරණ කළුවරේ වට පිට බලයි. කඩයක හෝ සවිකර ඇති හැම පුවරුවක් බලා තමා යන්නේ කොහේටදැයි සෙවීම ඔහුගේ අරමුණයි. විකිලිය වැනි නමක් සහිත එක් නාමපුවරුවක් හැර වෙන කිසිවක් දකින්නට නොවේ. කාරය දැඩි බ්‍රේක් පාරක් සමඟ ක්ෂණිකව නවතී.
”හත් ඉලව්වේ… කිරි මල්ලි.. බස් එක ඩිපෝවෙ දාල පයින් යනවා…” විජේ අයියා කාරයෙන් එළියට ඔළුව දමයි.
”කිරි මල්ලි හත් ඉලව්වේ නැගපං… මොහොට්ටි එක්ක ඉස්සරහට…” ඒත් කිරි මල්ලි නම් කෙට්ටු උස මිනිසා ලංගම ෂීට් රෙද්දෙන් මැසූ රතු හා කළු වර්ණ බෑගයක් ද ගෙන පස්සේ දොර හැර මෙහායින් වාඩිගෙන සිටි කරුණේගේ ඇඟට පැන ගත්තේය. රථය තුළ එතෙක් පැවති මද්‍යසාර ගඳ අලූත් විය. පසුපස අසුනේ මෙහායින් සිටියෙක්පතිරණ පරඬැලක් මෙන් උස්සා තම කලවා මතට ගත්තේය.
”කිරි අයියේ වාඩිවෙයන්… කොල්ලො උඹ බය නැතිව මගෙ ඔක්කෙ හිටපං.. අපි බඩු මිසක් කොල්ලො ගහන් නෑ…”
කිරි මල්ලිගෙ ආගමනයෙන් නැවුම් වූ පිරිස මීළඟට අන්ධ මහත්තයා නම් වූ පුද්ගලයකුගේ භාර්යාවක් හා මොහොට්ටි අතර පවතින සම්බන්ධයක් පිළිබඳව රසවත් කතා පවසන්නට විය. උද්දාමයට පත් වූ මොහොට්ටි”මං ඊයේ පීල්ල අයිනේ ඉඳන් ඕකිගෙ රෙද්ද කඩනකොට, ග‍්‍රාමසේවකයගෙ පොඩි එකා ඉන්දික ඒ අස්සේ ඉඳන් පැනල දිව්ව බං” කීවේ තොරණක විස්තරය පවසන විචාරකයකු මෙනි.
රථය වංගු දෙකක් ගත්තේය. පරණ උළු සෙවිලි කළ පැරණි නිවසක් ඉදිරිපිට රථය නතර කළේය. පිරිස ක‍්‍රම ක‍්‍රමයෙන් බසින්නට විය. පතිරණ දොරෙන් එළියට බැස කෝකටත් කාරුණික විජේ අයියා දෙසට ගමන් කළේය. කාරයෙහි අනෙක් පැත්තේ පාර අයිනේ කුඩා දිය දහරක් වැටෙමින්, කනට පි‍්‍රය නාදයක් මතු කරයි. බි‍්‍රගේඩියර් පතිරණ දහැනෙන් අවදි විය. ඇඳේ අනෙක් පස ඇලයට හැරුණේය. හරියටම වේලාව කීයදැයි නිශ්චිත නැත.
බි‍්‍රගේඩියර් පතිරණ සොයා නින්ද නොපැමිණේ. ඔහුට විජේ අයියාගේ නිවස හොඳින් මතකය. නිවස තිබුණේ පාර අද්දරය. පාරෙන් අනෙක්පස පීල්ලකි. සමනල වැව ව්‍යාපෘතියට දායක වූ ට‍්‍රක් රථ ගමනාගමනය හේතුවෙන් පාර කැඞී නන්නත්තාර වී තිබිණ. විදුලි ආලෝකයෙන් විජේ අයියාගේ මිදුලේ තිබූ යකඩ සුන්බුන් හා යන්ත‍්‍ර කොටස් කීපයක්ම දැකගත හැකි විය. ඇසුණ විවිධ ශබ්ද නිසා හරක් විශාල ප‍්‍රමාණයක් එම වත්තේ සිටින බව අනුමාන විය. ගව මුත‍්‍රා සහ ගොම ගඳ ටික වේලාවකින් පතිරණගේ නාසයට නොදැනෙන තරමටම සාමාන්‍යකරණය විය. ගෙට ඇතුළු වන ප‍්‍රධාන දොරටුව දෙපස කෙටි බිත්ති දෙකකි. වාහනයෙන් බට පතිරණ විජේ අයියා සමඟ ඉදිරියට එත්ම විජේ අයියාගේ තරුණ බිරිඳ දොරකඩ මැද සිටගෙන සිටියාය. එතැනම බුලත් වංගෙඩියක් ළඟ මෝල් අත්ත ඔඩොක්කුවේ තබාගෙන සිටියේ විජේ අයියාගේ මව විය යුතු විය. ඇය තම දණිස්සට අත තබා එය කැරකේදැයි බලන සෙයක් දැක්වූවාය. පි‍්‍රය උපදවනසුලූ විලාසයකින් යුත් විජේ අයියාගේ බිරිඳ හෙවත් ‘අක්කා’ පතිරණ සමඟ කුරුණෑගල පැත්ත ගැන කතා කළේය.
විජේ අයියා ගෙට ගොඩවන්නට පෙර මිදුලේ නවතා තිබූ ට‍්‍රැක්ටරය පරීක්ෂා කළේය. එහි සයිලන්සරයයි මුල් කොටස සහ බොනට්ටුව අත ගෑවේය. පසුව ඊට සුහදශීලී තට්ටුවක් දැම්මේය. ”මල්ලි උඹ අද ඔය සමුපකාර කඬේ උඩ තට්ටුවේ නිදාගනිං…”
”මල්ලි උඹට බඩගිනිද?” විජේ අයියා ඇසුවේය. එකෙනෙහිම ගෙට ගිය ‘අක්කා’ නැවත ආවේ පැදුරක් ද කොට්ටයක් ද පරණ රෙද්දක් ද සමඟිනි. විජේ අයියාගේ නිවසේ ඉදිරියේ වූ දෙමහල් ගොඩනැගිල්ලේ දෙවන මාලයෙහි ලූතිනන් පතිරණ පැදුරක් එළා නිදාගත්තේය. කාරයේ සිටි ජයසේකර නමැත්තකු එම පැදුර එළා දුන්නේය. බණ්ඩාරවෙලට සමාන බලන්ගොඩ දේශගුණය තුළ ඔත්තුකරු පතිරණට නින්ද ගියේය.
යමකු ලී තරප්පුව දිගේ ඉහළ නගින නාදයකින් පතිරණ අවදි වූයේය. එකෙනෙහිම ජයසේකරගේ මුහුණ පතිරණ හොඳින් දුටුවේය. මුහුණ පුරා වූ තුවාල කැලැල් සහ බැල්ම පතිරණ දුටුවේ නියැන්ඩර්තාල් මානවකයකු මෙනි. මූ නං බලන්ගොඩ මානවයාගේ පරපුරේ යැයි පතිරණ අනුමාන කළේය.
”මලය නැගිටපං එළි වෙලා…” ජයසේකර කරුණාවෙන් කියයි. පතිරණ ඉද්ද ගැසුවාක් මෙන් නැගිට්ටේය. පසුව මෙය හමුදා කඳවුර නොවන බවත් තමා ඔත්තු සේවයෙහි යෙදෙන බවත් මතක් වී නැවත හෝන්දු මාන්දු විය. පාසලක ඝෝෂාව මෙන්ම සීනුවක් වනන හඬ ද ඇසේ. ළඟපාතක පාසලක් තිබිය යුතුය. ජයසේකරගේ ප‍්‍රශ්න මාලාවට පිළිතුරු දීමෙන් පසු පළමුව ජයසේකර දෙවනුව පතිරණත් තරප්පුවෙන් බැස්සේය. විජේ අයියා පීල්ලෙන් මුහුණ සෝදා දෙකට නැවී සරං පටින් මුහුණ පිහිදා ගනිමින් ඉදිරියට ආවේය….
”හත්ඉලව්වේ… මලේ උඹට ඊයේ නින්ද ගියාද?”
”ඔව් අයියේ… නියමෙට නින්ද ගියා…”
හුස් හුස් හක් ලෙස හඬක් නැගූ ජයසේකර, අඟුරු කෑලි දෙකක් පරිත්‍යාග කළේය. ”මල්ලි අර පීල්ලෙන් මූණ හෝදපං…”
විජේ අයියාගේ ගෙදර හත අටක පමණ පිරිසක් රැස්ව සිටියහ. ඔවුන් සියල්ල බලා සිටියේ තමා අවදි වනතුරු විය යුතුය. ජයසේකර හැර කිසිවකුට තමා අවදි කරන්නට උඩට නැගීමට තරම් පෞරුෂයක් නොතිබුණා විය යුතුය. පාසල් ගුරුවරියක යැයි සිතිය හැකි හීන්දෑරි කාන්තාවක් විජේ අයියාගේ මිදුලේ සිට ළමයකුට බත් කවයි. ගුරුවරිය නැවෙන දිගහැරෙන විට මොහොට්ටිගේ කෑදර බැල්ම පතිරණට පෙනේ. ඔහු දරුවාට කතා කරන්නේ මව දෙස බලමිනි.
”ඔත්තුකරුවා ජලය මෙන් දමන භාජනයේ හැඩය ගනී.” පතිරණ ද භාජනයේ හැඩය ගත්තේය. මඤ්ඤොක්කා, සම්බෝල සහ බත් කෑ පතිරණ පිරිස සමඟ ට‍්‍රැක්ටරයට නැග්ගේ පතල්පොළට යාමටයි. ෂොපින් බෑගය කිහිල්ලේ විය. ජයසේකර පතිරණගේ ළඟින්ම ටේ‍්‍රලරයේ ඇන්ද අල්ලාගෙන සිටියේය. කවුදෝ තරුණයෙක් ට‍්‍රැක්ටරය පැද වූයේය. ට‍්‍රැක්ටරය තුන්මං හන්දියකට අවතීර්ණ විය. එය කායන් හන්දිය බව පතිරණ දැනගත්තේ ට‍්‍රැක්ටරයේ සිටියවුන්ගේ කතාවෙනි.
ට‍්‍රැක්ටරයේ සිටි එකකු බැස ගිය අතර තව දෙදෙනෙක් බැස ගත්තේය. මොහොට්ටි ට‍්‍රැක්ටරයේ වම් පස මඞ්ගාඩයේ සිට සියලූ දෙනාට ආචාර කළේය. යකෝ, බොල, තෝ වැනි වචනවල සුසංයෝගයක් එහි ගැබ්ව තිබිණි. අනෙක් මඞ්ගාඩයේ උඩ සිටි විජේ අයියා බැස කඩයකට ගියේය. නැවත පැමිණ ට‍්‍රැක්ටරයට නැග්ගේය.
ට‍්‍රැක්ටරය ගැස්සෙමින් පැද්දෙමින් කායන් හන්දිය මොලමුරේ සහ වදවුල පසු කර පතල්පොළට ළඟා විය. මඟ දිගට පාර කාර්යබහුල විය. ඒ සමනල වැව ව්‍යාපෘතිය ඉදිකිරීම් හා කැනීම් සිදු කළ කාලයයි. ” මුල් ගම” නම් සුන්දර ගමට යාව පිහිටි ප‍්‍රදේශයේ විශාල බැම්මක් බැඳ වලවේ ගඟ හරවා කිලෝ මීටර් පහක පමණ උමඟක් තුළින් ජලය ගලා යාමට සලස්වා දියවින්න නම් ගමේ ඉදිකළ විදුලි බලාගාරයක් මඟින් විදුලිය උත්පාදනය කිරීම මෙම ව්‍යාපෘතිය මඟින් බලාපොරොත්තු විය. එවකට රජවක, බෝවත්ත, මොලමුර, තැන්න ආදී සෑම ගමකම පාහේ වැසියෝ සමනල වැව වැඩ කළහ නැත්නම් වෙනස් අයුරකින් සම්බන්ධ වූහ. එසේ නැත්නම් ඞීසල්, යකඩ ආදිය සොරකම් කළහ.
කැලෑ රොදකට මැදිව එළි කළ බිමක වූ පතල්පොළ මූලිකවම, පතල් වළත්, වාඩියත් යන කොටස් දෙකකින් සමන්විත විය. ට‍්‍රැක්ටරයේ දී තොරතෝංචියක් නැතිව කතා කළ ජයසේකරගේ දැනුම පිළිබඳ පතිරණ පුදුම වූයේය. මූ අනිවාර්යයෙන්ම ජේ.වී.පී.කාරයකු බව ඔත්තුකරුට අවබෝධ වී තිබිණි. තමා හරි තැනට පැමිණ ඇත්ද? පතිරණ සිතයි.
මොහොට්ටි කෑගෑවේය. ”කඬේ මල්ලි, උඹයි, කරුණෙයි, රාජයි පහළට බැහැපං…”
”ජයසේකර අයියේ… අලූත් කොල්ල එක්ක දඹරෙම යනවද?”
”හරි බං…” ”මොහොට්ටි උඹත් බැහැපං… ඉඩ තියෙනවනෙ…” ජයසේකර කියයි. කැලෑ සතකු බඳු ජයසේකරට මොහොට්ටිත් යම් ගෞරවයක් දක්වයි. ජයසේකර සෙමින් කතා කළේය. ”මලේ උඹේ නම මොකක්ද?”
”අයියේ…. සරත්…” පතිරණ පිළිවදන් දුන්නේය.
”උඹේ ඔය රෙදි ටික අර වාඩියෙන් තියපං මල්ලි…” ටිකක් නිවිහැනහිල්ලේ ඉඳලා වරෙං මේ දඹරෙ කරන්න…” ජයසේකර කියයි…. ”රාජා මලය උඹට උයන්න තව වෙලා තියෙනවනෙ…. ඔය අලූත් සරත් මලය මෙතෙන්ට එනකල් උඹ වරෙං දඹරෙට… ඔය අනවශ්‍ය ඉල්ලංකූරු ඇතුළට දාලා වරෙං…” දැන් අණ දෙන්නේ ජයසේකරයි. විජේ අයියා අතුරුදන් විය. පිරිස වැඩ පටන් ගත්හ.
පතිරණගේ කල්පනා දැහැන බිඳුණේ නැවත කොහෙදෝ දොරක් ‘දස දස’ යන හඬින් සුළඟට සැලෙන නාදයකිනි. බි‍්‍රගේඩියර් පතිරණ අනෙක් ඇලයට හැරුණේය. කොන්ද පොඞ්ඩක් කැසුවේය. නැවත එදා ලූතිනන් පතිරණගේ චරිතයට ආවේශ වූයේය. යළි කල්පනා ලොවට යබැඳිණි.
ඉන්පසු ඔත්තුකරු පතිරණ පතල් වාඩියට ගියේය. රෙදි ෂොපිං බෑගය එය තුළ තැබූ ඔහු විගසින්ම දඹරය අසලට පැමිනුණි.
”මල්ලි වරෙං… රාජා මල්ලි උඹ පලයං…”
”අළු කෙහෙල් ටික සුද්ද කරල ගනිං…”
”සරත් මල්ලි මේකට අත ගහපං…” තම අලූත්ම නම වන සරත් යන නමින් ජයසේකර පළමු වරට පතිරණ ඇමැතීය.
ලෝකයේ ලොකුම මැණික වදවුල පතලකින් හමු වූ හැටිත්, ඒ සඳහා මුදල් රුපියල් දෙකේ කොළවලින් වදවුල පතලකින් පිරෙන්නට ලබා දුන් සැටිත්, ජයසේකරගෙන් පතිරණ දැනගත්තේය. ඉන්පසු පතල්කරුවන් පතලට ගිය විට මැණික් මුදලාලි පතල්කරුගේ ගෙදරට යන අයුරු කළ විස්තරයට පතල් වළේ සිටි මොහොට්ටිත් සම්බන්ධ විය…
”එවුන් ඉතින් භාරන්නෙ අපේ ගෑනුන්ගෙ පතලනෙ…” මොහොට්ටි කියයි. ..
”අනේ ඒකට අපේ විජේ මුදලාලි…” කඩේ මල්ලි කියයි… ”ගෑනු සබ්ජෙක්ට් එකේ නැති එකම මිනිහා…”
කරවල, අළු කෙසෙල් සහ බත් දිවා ආහාරයට ලැබුණි. ඉන්පසු දිස් වූයේ අතහැර දැමූ යුද පිටියක ස්වරූපයකි. පිරිස එක එකා වෙන්ම සෙවණ තිබූ තැන්වල නිදා ගත්හ. පතිරණ ජයසේකර අසලින්ම ඇල විය. කමිසය ගැලවූ ජයසේකරගේ ඇඟ දුටු පතිරණ විස්මයෙන් මුසපත් විය. මුළු ඇඟම කෑලිවලට කැපුවාක් බඳු කැපුම් තුවාලය. මේ කැලැල් වැඩිපුර පරණ ඒවා නොවේ.
පතිරණගේ බැල්ම දුටු ජයසේකර සිනහසුණේය….. උඹ බය වෙන්න එපා… සරත් මලයා… මේ මගෙ මාමණ්ඩිගෙයි… ගෑනිගෙයි වැඩ…” ජයසේකර තමාට වූ ඇබැද්දිය විස්තර කරයි. තමා දිනක් මත්පැන් බී තම බිරිඳට පහරදුන් අතර ඊට මැදිහත් වූ මාමණ්ඩිය, බිරිඳ හා එක් වී තමා කෑලිවලට කැපූ අයුරුත්, ඉන්පසු තමා මැරුණාක් මෙන් එළිවෙනකං සිට පාන්දර පියදාස කිතුල් මදින්නට යන වේලාවේ කෑගැසූ හැටිත් ජයසේකර විස්තර කළේය. නිදාසිටියාක් බඳුව සිටි පිරිස සෙමින් හිස සලනවා පතිරණට පෙනුණි.
– මතු සම්බන්ධයි
– කාශ්‍යප වීරක්කොඩි
උපුටාගත්තේ සත්හඬෙන්
One thought on “”ඔත්තුකරුවා ජලය මෙන් දමන භාජනයේ හැඩය ගනී” (සංහාරයකුගේ පාපොච්චාරණය – 10)”