උපුටාගැනීම්විශේෂාංග

අතුරුදහන්වීම්වලට දඬුවම් නොකිරීම නවත්වා නැවත සිදු නොවීම සහතික කරන්න! ස්ත්‍රී ඉල්ලීමක්

ජායාරූපය‍: අතුරුදහන් කරන ලද සිය පුතු සොයා යන ගමනෙහි ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියෙහි ගිමන් හරින සිත්ති අම්මා.

කාන්තාවන්ගේ ඉල්ලීම:ශ්‍රී ලංකාව තුළ බලහත්කාරයෙන් සහ අකැමැත්තෙන් සිදුවු අතුරුදහන්වීම්වලට දඬුවම් නොකිරීම නවත්වා නැවත සිදු නොවීම සහතික කරන්න.

අපි, ගැටුමෙන් බලපෑමට ලක්වු කාන්තාවන් සහ වින්දිතයින් ලෙස අතුරුදහන්වු ආදරණීයයන් සොයා ඇති අතර දහස් ගණන්වු අන් අයද ඔවුන්ගේ ආදරණීයයන් සොයන බව දැක ඇත්තෙමු.

බොහෝ දෙනෙක් බලයට පැමිණි රජයන් විසින් පත්කරන ලද නොයෙක් විමර්ශන කොමිසම් සභා ඇතුළුව රාජ්‍ය මුලපිරීම් ගණනාවක් ඉදිරියට ගියහ. එහෙත් නිසි පිළිතුරක් ලැබී හෝ මතු අතුරුදහන්වීම් වැළැක්වීමට ඵලදායී පියවරයන් ගෙන හෝ නොමැත. වසර ගණනාවක හිස් පොරොන්දුවලින් පසු 2016 මැයි මස ශ්‍රී ලංකා රජය විසින් සියලු පුද්ගලයින් බලහත්කාරයෙන් අතුරුදහන්වීමෙන් ආරක්ෂා කිරීම සඳහා වු ජාත්‍යන්තර සම්මුතිය අනුමත කිරීම ගැන අපි සතුටු වු අතර, ශ්‍රී ලංකාව තුළ බලහත්කාරයෙන් සිදු කරන අතුරුදහන්වීම් අපරාධ ලෙස සළකන දේශීය නීති හඳුන්වාදීමෙන් එය දේශීය වශයෙන් වඩාත් අර්ථවත් කරනු ඇතැයි බලාපොරොත්තු වීමු.

2017 පෙබරවාරි මස සියලු පුද්ගලයින් බලහත්කාරයෙන් අතුරුදහන්වීමෙන් ආරක්ෂා කිරීම සඳහා වු ජාත්‍යන්තර සම්මුතියෙහි කෙටුම්පත ගැසට් කළ අතර, එය පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන, අතුරුදහන්වීම් අපරාධ බවට පත් කරනු ඇතැයි අපි බලා සිටියෙමු- ජුලි 5 වැනි දින කිසිම හේතුවක් ලබා නොදී විවාදය දින නියමයකින් තොරව කල් දමන ලද බව ඇසීමෙන් අපේ බලාපොරොත්තු සුන් විය.

මෙම කෙටුම්පත මතු අතුරුදහන්වීම් අවසන් කරන නිසාත්, දඬුවම් නොලබා යාම අවසන් කරන නිසාත්, දශක ගණනාවක් තුළ අත්දකින ලද වේදනාව ආදරණීයයන් හට නැවත අත්දැකීමට සිදු නොවන බව සහතික කරන නිසාත්, සංහිඳියාව සඳහා අත්‍යවශ්‍ය බව අපි විශ්වාස කරන්නෙමු.

බොහෝ පාර්ශවයන් මෙම යෝජිත නීතිය පිළිබඳව සාවද්‍ය තොරතුරු ප්‍රචාරයකර, එම කෙටුම්පත විවාදයට ගැනීම වැළැක්වීමට ප්‍රයත්න දරන බවද අපි හොඳින් දනිමු. මෙවැනි පුද්ගලයෝ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයන් හරහා බලහත්කාරයෙන් හෝ අකැමැත්තෙන් සිදු වු අතුරුදහන්වීම් ගැන පියවර නොගත යුතු බවට පැහැදිලි පණිවිඩයක් යවන අතර, එයින් දඬුවම් නොලැබීමේ සංස්කෘතිය ප්‍රවර්ධනය කරති. මෙවැනි වගකීමෙන් තොර ප්‍රකාශ සහ ක්‍රියාකාරීත්වයන් ගැන අපි සත්‍ය වශයෙන්ම කණගාටු වන්නෙමු- මන්දයත්, පවුල් සහ ප්‍රජාවන් හට අතුරුදහන්වීම් හේතුවෙන් ඇති වු වේදනාව සහ දුක ගැන බොහෝ දෙනෙකු දැනුවත්වී නොමැති බව පෙන්වන අතර, ඔවුහු විනාශකාරී බලපෑමක් ඇති කරන අපරාධයකට අනුබලදීම සහ ශ්‍රී ලංකාවේ උතුර, දකුණ, නැගෙනහිර සහ බටහිර හරහා දහස් ගණනක් දෙනා මුහුණ දුන් දුක් වේදනා මේ මඟින් චිරස්ථායි කරති.

වසර ගණනාවක් පුරා කොමිසම් සභා ගණනාවක්ද, ඉතා මෑතකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව සහ 2016 සිට සංහිඳියා යාන්ත්‍රණ උදෙසා ප්‍රවිචාරණ කාර්යසාධක බලකායද, බලහත්කාරයෙන් හෝ අකැමැත්තෙන් සිදු වු අතුරුදහන්වීම්වල වින්දිතයින්ගේ අසරණ බව ඉස්මතුකර පෙන්වන ලදහ. 2016දී අදහස් විමසීමේ ක්‍රියාවලිය ඉදිරියට පැමිණි බොහෝ කාන්තාවෝ අතුරුදහන්වීම් සම්බන්ධව නැවත සිදුනොවීම සහතික කිරීමේ අවශ්‍යතාව ගැන කථා කළහ. ශ්‍රී ලංකාව තුළ අතුරුදහන්වීම් අපරාධයක් බවට පත් කිරීම මෙම ක්‍රියාවලියෙහි තීරණාත්මක පියවරක් බව අපි විශ්වාස කරන්නෙමු. එබැවින් අපි ශ්‍රී ලංකා රජයෙන් සහ දේශපාලනික නායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ, වසර ගණනාවක් තිස්සේ ආමන්ත්‍රණය නොකළ අපරාධයක් ගැන ස්ථිර ස්ථාවරයක් ගැනීමට සහ මෙම කෙටුම්පත ශ්‍රී ලංකාව තුළ විවාදයට ගෙන, නීතිගත කිරීමට වහාම පියවර ගන්නා ලෙසත්ය. මෙවැනි පියවරක් අප තුළ මෙන්ම, සියලුම ප්‍රජාවන්හි බලපෑමට ලක්වු බොහෝදෙනා තුළද අනාගත අතුරුදහන්වීම් නැවැත්වීමට සහ නැවත සිදු නොවීම සහතික කිරීමට අවසානයේදී අවංක පියවර ගන්නා බවට විශ්වාසය ඇති කරනු ඇත.

උපුටාගැනීම (c) SLB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *