ඇමැති විජයමුනි සොයිසා ගැන ඔබට සිතෙන්නේ කුමක්ද? ඔහු ගැන ඔබ කුමක් සිතුවත් ලංකාවේ දේශපාලනය නම් වු ප්‍රවාදය ගැන ගැමි ප්‍රභවයකින් ස්පර්ශ කරන තේරුම් ගැනීමක් ඔහු සතු බව පෙනේ. රාජපක්ෂගේ පරාජයෙන් ඉක්බිතිව ‘අප්පච්චි මළා’ යන්න ඔහු ගැමියාගේ හොඳ නොහොඳ දෙකම කලවම් කර කියූ කතාවකි. පසුගිය දිනක ඔහු කීවේ ආණ්ඩුව කූඹි යන පාරවල් වහලා අලින්ට යා හැකි මාර්ග ඇරලා තියෙනවා කියාය.
ජනපති භූමිකාව
ජනපතිගේ මුල් පෙලේ උපදේශකයකුගෙන් දැන් කොහොමද ආණ්ඩුවේ තත්ත්වය කියා විමසූ විට ඔහු කීවේ ආර්ථිකය හැසිරවීමේ බලය අහිමිව කිසිවක් කළ නොහැකි බවය. ආර්ථික බලය අහිමි නිසා හැම පැත්තකින්ම සිරවී සිටින බව ද ඔහු කීවේය. බැලූ බැල්මට එම කතාවෙහි ඇත්තක් ද තිබේ. ඇත්තටම මුදල් නොමැතිව කළ හැකි කිසිවක් නැද්ද? ඡන්දය පිළිබඳ අනාගත අපේක්ෂාවක් ඇති නායකයන් ජනතාවට රැකි රක්ෂා ලබා දිය යුතුය. නිවාස අහිමි ජනයාට නිවාස ලබා දිය යුතුය. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කර ජීවන වියදම පහත හෙළිය යුතුය. සුබසාධන රාජ්‍යයක සුබසාධන කටයුතු ප්‍රමාණවත් අන්දමින් ඉටු කළ යුතුය. මේ සියල්ල කිරීමට මූල්‍යමය ශක්තිය තිබිය යුතු බව සැබෑය. ඒ අනුව ජනපති උපදේශකවරයා කියූ කතාව නිවැරැදිය. ආර්ථික බලය අහිමිව ඉහත කියූ වැඩ එකක්වත් කළ නොහැකි නිසා එළඹෙන ඡන්දයක් අවිනිශ්චිතය. මේ තත්ත්වය උඩ ඡන්දය ඉල්ලන්නට සිදු වන්නේ මේ වතාවේ ආර්ථික ප්‍රශ්න නිසා මොකුත් කරන්නට බැරි වුණා, ඊළඟ වතාවේ කරන්නම් මේ පාරත් ඡන්දේ දෙන්න සහෝ කියමිනි.
ජන 08 අපේක්ෂා
ජනවාරි 08 ජනතා අපේක්ෂාවලින් එකක් වූයේ අහස උසට තිබුණු ජීවන වියදම අඩු කිරීමය. ඒ සඳහා රටේ ආර්ථිකය ශක්තිමත් කළ යුතු බව සැබෑය. එහෙත් ජනවාරි 08 ප්‍රධාන බලාපොරොත්තුවක් වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යථාර්ථයක් කිරීමට අවශ්‍ය වන්නේ ආර්ථික ශක්තියම නොවේ. ඒ සඳහා අවශ්‍ය කැපවීඹ හා අවංකකමය. විගණන පනත සම්මත කිරීමට අවශ්‍ය මූල්‍යමය ශක්තිය නොවේ. විගණන පනත සම්මත වී රාජ්‍ය මූල්‍ය විගණනයෙහි විනිවිදභාවයක් ඇති වුවහොත් එය රටේ ආර්ථිකය පිරිසිදු කිරීමට හේතුවෙයි. දූෂණ මර්දන කමිටු කාර්යාලය වැඩක් කර නොමැති බව ජනපති ළඟ දී කීවේය. එය තවදුරටත් දීර්ඝ නොකෙරිණි. එහි කටයුතු සක්‍රීයව සහ ඵලදායකව කිරීමට අවශ්‍ය ආර්ථික බලයම නොවේ. රාජපක්ෂ ආණ්ඩුවේ සිටි හොරු ඇල්ලීමට අවශ්‍ය ආර්ථික බලයම නොවේ. එකල සිදු කළ මිනිස් ඝාතන පෝලිමට වගකිව යුත්තන්ට අච්චු කිරීමට අවශ්‍ය ආර්ථික බලය නොවේ. රාජපක්ෂලාගේ කල්ලියේ නීල හොරු සිටිය දී ඒ නීල හොරු කොටු කරන්නේ වාහන අවභාවිතයක් සඳහාය. අලින්ට යා හැකි පාරවල් තවදුරටත් හැර තබා කූඹි යන මාර්ග කොටු කර තිබීම නිවැරැදිම අර්ථකථනයක් වන්නේ එනිසාය.
අරගලය
මිනිසාට මෙන්ම ආණ්ඩුවට ද අරගලය හැම විටම පහසු බිමක හමු නොවේ. එය කරන්නට සිදුවන්නේ පවතින තත්ත්වය තුළය. අඩුපාඩුකම් රැසක් මැද ආණ්ඩුව අඩුපාඩු ජයගත හැකි උපාය මාර්ග තෝරා ගත යුතුය. ආර්ථිකය ශක්තිමත් නැති නිසා ආර්ථිකයෙන් කරන වැඩ සේම ආර්ථිකය මූල සාධකය නොවන වැඩ යන දෙකම අත්හැර දමනවාද? නැතහොත් ආර්ථිකය මූල සාධකය නොවන වැඩ සපුරා ගැනීමට පියවර තබනවාද මෙම පියවර හේතුවෙන් ආණ්ඩුවක අනාගතය ශක්තිමත් වන බව අමුතුවෙන් කිව යුතු නැත. ලංකාවේ නායකයන්, උපදේශකයන් කියන දේ අහන නායකයන් දැයි යන්න සැක සිතේ. ලංකාවේ නායකයෝ ඔවුන්ටම අනන්‍ය හෘදය සාක්ෂ්‍යයක නායකයෝවෙති. එම හෘදය සාක්ෂ්‍යය පොදු තලයක විවරණය වන එකක් ද නොවේ.
එබැවින් හෘදය සාක්ෂ්‍යය යනු මේ රට තුළ භායානකම උදාන වැකියකි. ඕනෑම පිස්සුවක් කරන්නට හැකි හදවතේ ප්‍රතිපාදනයකි. මන්ද මහින්ද රාජපක්ෂ වැඩ කර තිබෙන බව කියන්නේද හෘදය සාක්ෂියට අනුවය. පුද්ගලයන් මෙන්ම ආණ්ඩුවද හෘදය සාක්ෂියට අනුව වැඩ කරනවාට වඩා රටේ ඇති නීතියට අනුව වැඩ කිරීම වැදගත් බව අවධාරණය කළ යුතු වෙයි.
අනුන්ගේ පව්
ඕනෑම ආණ්ඩුවකට තමන්ගේම ව්‍යාපෘති තිබේ. විශේෂයෙන්ම ජාතික සංවර්ධන සැලැස්මක් නැති රටක තත්ත්වය ඒකය. වත්මන් ආණ්ඩුවට තමන්ගේම ව්‍යාපෘතිවලට අතගැසීමට තවමත් නොහැකිවූයේ. පසුගිය රජය සමාජ ප්‍රශ්න සංකීර්ණ තැනකට පත්කර තිබුණු නිසාය. වංචා දූෂණ සහ මිනිස් ඝාතන පැත්ත විතරක් ගත්තත් ඒවා පිළිබඳ පරීක්ෂණ කිරීම හා නිගමනයන්ට එළඹීම කෙතරම් සංකීර්ණ දැයි බලන්න. ඕනෑම ආණ්ඩුවක් පරාජයට පත්වීමෙන් පසුව තමා කළ වැරැදිවලින් නිදොස් වීමට යම් යම් උපාය මාර්ග ගනියි. බොහෝ විට ඒවා චූදිතයන්, පුද්ගලිකව ගන්නා ක්‍රියාමාර්ගය. බරපතළ චෝදනාවලට ලක් වූවත් රජයේ සාක්ෂිකරුවන් වීම ඊට නිදසුනකි. තවත් සමහරු ආණ්ඩුවේ කොටස්කරුවන් බවට පත්වනු දැක ගත හැකිය. සමහරු කෙළින්ම රටේ ප්‍රධාන නායකයන් සමඟ එකඟතා ඇතිකර ගැනීම තවත් ප්‍රශ්නයකි. ඊළඟට එම නායකයන් තුළ තිබෙන ආරක්ෂක අංශ පිළිබඳ අධිනිශ්චය වූ මතය. පරීක්ෂණ සඳහා බාධා පමුණුවයි. ජනපතිවරයා ඊට මෑතකදී කදිම පිළිතුරක් දුන්නේය. ඔහු කීවේ වැරැදි කර ඇත්නම් රණවිරු ලේබලය පරීක්ෂණ සඳහා බාධාවක් නොකර ගන්නා බවය. උක්ත ක්‍රියාවලිය විනිවිද භාවයකින් යුතුව කළ හැකි නම් එය ආණ්ඩුවේ ගෞරවය රැකදීමට හේතුවනු ඇත.
ආණ්ඩුව මුහුණ පා ඇති බරපතළම ප්‍රශ්නය වන්නේ පැරණි ආණ්ඩුවේ පව්වලට කර ගැසීමට සිදුව තිබීමය. ඉකුත් ආණ්ඩුව ඇති කළ අර්බුද විසඳීමට සිදුව තිබීමය. ඒවාට කාලය ගත වන විට වෙන වැඩක් කරන්නට වේලාවක් තිබිය නොහැකිය. සයිටම් ප්‍රශ්නය ගතහොත් එය යහපාලන ආණ්ඩුවේ ව්‍යාපෘතියක් නොවේ. පසුගිය
ආණ්ඩුවේ පූර්ණ ආශිර්වාදයෙන් ආරම්භ කළ කටයුත්තකි. එදා නිහඬව සිටි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සයිටම් විරෝධීය. එදා විරුද්ධ වූවා නම් වෛද්‍ය පාදෙනියගේ සුඟක්වත් සොයා ගත නොහැකි වනු ඇත. එහෙත් අද තත්ත්වය වෙනස්ය. අද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මුව හමට තඩිබාන්නේ රාජපක්ෂගේ කොන්ත්‍රාත් එකක් ඉටු කිරීමට ද යන්න ඇසීමට සිදු වෙයි. විශ්වවිද්‍යාල සිසුහු මේ උගුලේ සිරවී සිටිති. අන්තරයට ගාමක බලය සපයන පෙරටුගාමී සමාජවාදීන්ට මේ පිළිබඳව මීට වඩා දියුණු අදහසක් තිබෙනවා නම් ප්‍රශ්නයට මැද මාවතේ විසඳුමක් ළඟා කර ගත හැකිය.
කුණු
කුණු, කුණු වෙන්නට හැරියේද පසුගිය ආණ්ඩුවයි. මීතොටමුල්ල කුණු කන්ද මුදුන් කර කුණුවලට උත්තරයක් නැති රටක් ජනයාට දායාද කළේ රාජපක්ෂලාය. කොළඹ පිරිසිදු කිරීමට පර්යන්ත නගර ඒ විදියට බිලි වූයේය. ඔවුහු රටේ ප්‍රශ්න සහ කුණු යන දෙකම සැඟවූහ. කුණු කන්ද මුදුන් වී මිනිසුන්ගේ හිස මතට වැටෙන තුරු බලා සිටීම ගැන වත්මන් ආණ්ඩුවත් වග කිව යුතුය. රාජපක්ෂලා කුණු මුදුන් කරන විට වත්මන් ආණ්ඩුවත් රාජපක්ෂලා ගිය ගමනම එනම් කුණු මුදුන් කිරීමෙන් මේ රජයටත් පරිසර ප්‍රශ්න ගැන අදහසක් නැති බව පෙන්නුම් කළේය. වර්ෂාව සමඟ ඩෙංගු උවදුර පැතිරුණි. දැන් ප්‍රදර්ශනය වන්නේ රාජපක්ෂලාගේ පූර්ව වැරැදි ක්‍රියා නොව වත්මන් රජයේ අසම්භාව්‍ය ලක්ෂණයි. රාජපක්ෂලා මේ කිසිවකට වග නොකිවයුත්තන් පරිදි අද නිරත වන්නේ ‘ඩෙංගු දේශපාලනයකය. එක්කෝ සමාජය ලෙඩ කරයි. නැතහොත් ඉවරම කර දමන්නට තැත් කරයි.
උමා ඔය
උමා ඔය ගැනත් අද වද වෙන්නට සිදුව තිබෙන්නේ වත්මන් ආණ්ඩුවටය. එය රාජපක්ෂලා පරිසර වාර්තා පයට පාගා දමා විශාල කොමිස් මුදලක් අත්කර ගැනීමට කළ ව්‍යාපෘතියකි. බණ්ඩාරවෙල ජනයා වැටුණු අමාරුව ගැන රාජපක්ෂලාට අද මත පළ කරන්නට ඉඩ තැබීමම වත්මන් ආණ්ඩුවේ දුබලතාවකි. පළමුව පරිසර වාර්තා නොසලකා උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ගැන මහින්ද රාජපක්ෂ වග කිව යුතුය. වෙන රටක නම් එය ජන ජීවිතයේ යහ පැවැත්මට හානි කිරීමක් ලෙස සලකන බලවත් වරදකි. අඩුම තරමින් මේවායේ වගඋත්තරකරුවන් උදේ අත්අඩංගුවට ගෙන හවස ගෙදර යවන වර්ගයේ විහිළු ක්‍රියාවලට පාත්‍ර නොකර නඩු අසා චෝදනා ඔප්පු කර සිරගත කළ හැකි නම් ආණ්ඩුවට සැබෑම ජනප්‍රසාදයක් දිනා ගත හැකිය. ෂේප් එකයි පාරයි යන න්‍යායෙන් ඕනෑම පුද්ගලයකුට හා ආණ්ඩුවට ටික කලක් වැඩ කළ හැකිය. පැවතිය හැකිය. එහෙත් එය හෙළි වූ විට පුද්ගලයා හෝ ආණ්ඩුව ගැන තිබෙන බාහිර සමාජයේ විශ්වාසය පලුදු වනු ඇත. මීට උදාහරණ ලංකාවේ සමාජයෙන් ඕනෑ තරම් සපයා ගත හැකිය. ආණ්ඩු වශයෙන් ගතහොත් හැම ආණ්ඩුවක්ම ඊට උදාහරණයකි.
හිරේ යැවිය යුතුය
ආණ්ඩුවකට ආර්ථික බලය නැතුවත් කළ හැකි බොහෝ දේවල් ඇත. ඒ බොහෝ දේවල්වලින් ජනප්‍රසාදයක් ද අත්කර ගත හැකිය. නිදසුන් කිහිපයක් ඒ සඳහා දැක් විය හැකිය. එදා පැවැති තත්ත්වය තුළ ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගෝඨාභයගේ දැනුවත්භාවයෙක් නැතුව සිදුවන්නට විදියක් නැත. නාවික හමුදාව කප්පම් ගැනීමට කළ පුද්ගල පැහැර ගැනීම්, ඝාතන, ආරක්ෂක ලේකම්ගේ දැනුවත්භාවයකින් තොරව සිදු විය හැකිද, එක්නැළිගොඩට සිදු වූයේ කුමක්ද යන්න ගෝඨාභය නොදනීද? රවීරාජ් ඝාතනය කරන්නේ ගෝඨාභය නොදැනද? තාජුඩීන්ගේ ඝාතනය සේම පුද්ගලයන් එකොළොස් දෙනොගේ ඝාතනය පසෙක තැබූවත් ඉතිරි ඒවා තනිකරම දේශපාලන ඝාතන ලෙස හැඳින් විය හැකිය. ඒ සියල්ලට හිටපු ජනපතිගේ ආරක්ෂක ලේකම්වරයාත් එක්ව වගකිවයුතුය. ඇත්තටම ඒවාට වගකිව යුත්තන් සිරගත කළහොත් (සවස ගෙදර එන්නට නොවේ) මේ රටේ යුක්තිය ගැන ජනතාව සතුටු වන්නේ නැද්ද? සිවිල් සමාජ නියෝජිතයෝ පසුගිය කාලය පුරාම මෙම අවධාරණය ආණ්ඩුවට කළහ. ආණ්ඩුව නෑසු කන්ව සිටියේය. දැන් සිදුවී ඇත්තේ කුමක්ද? ආර්ථික බලය නැතුව වැඩ කිරීමට විදියක් නැත කීම කෙතරම් සාධාරණ ද යන ප්‍රශ්නය අප මිත්‍ර ජනපති උපදේශකවරයාගෙන් අසන්නෙමු.
විමලනාත් වීරරත්න
උපුටාගත්තේ සත්හඬෙන්