පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ අශිෂ්ඨත්වය ලොවට පෙන්වමින් සිර මැදිරියක් තුළ යළිත් වරක් රැදවියන් 27 දෙනෙකු ඝාතනය කළේය. ඒ වැළිකඩ බන්ධනාගාරයේ 2012 නොවැම්බර් 09 වනදාය. රාජපක්ෂ ආණ්ඩුවේ 1000කට ආසන්න ආයුද සන්නද්ධ හමුදාව වැලිකඩ සිරමැදිරියට කඩා වැදී අමු අමුවේ මෙසේ ඝාතනය කළේ ආණ්ඩුවේ සිර මැදිරියක් තුළ සිටි රැදවියන්ය.
ඒ ඝාතන ඇසින් දුටු එසේම ඒ වෙනුවෙන් තාමත් හඬක් නඟන බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා මහතා තාවකාලිකව රැඳී සිටින ඔහුගේ සහෝදරියකගේ නිවසට ඊයේ රාත්රියේදී කිසියම් පිරිසක් විසින් වෙඩිතබා ඇතැයි වාර්තාවේ.
වෙඩික්කරුවන් නිවෙසේ ඉදිරිපස ගේට්ටුවට වෙඩි ප්‍රහාර හතරක් පමණ එල්ල කර පලා ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි. ඊයේ රාත්‍රි 11.00ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවත් වෙඩි ප්‍රහාරය සඳහා මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් භාවිත කර ඇති බවයි මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන පොලිස් නිළධාරියකු සඳහන් කළේ.
2012 නොවැම්බර් මස 11 දින නම් ලැයිස්තුවක් රැගෙන වැලිකඩ බන්ධනාගාරයට පැමිණි ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් තෝරාගත් සිරකරුවන් පිරිසක් දණ ගස්වා හිසට වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා එල්ල වී ඇත. මෙම සිද්ධිය ඇසින් දුටු පිරිස් ඒ බව සිය නීතිඥයන්ට හා ඥාතීන්ට දැනුම් දී ඇත. නන්දිමාල් එම සිදුවීමේ ප්‍රධාන සාක්ෂිකරු වේ. සිවිල් සංවිධාන හා ජනමාධ්‍ය මේ පිළිබද තොරුතුරු දිගින් දිගටම අනාවරණය කරනු ලැබීය. නන්දිමාල් ද සිල්වා විසින් පුවත්පත් සාකච්ඡා, උද්ඝෝෂණ සංවිධානය කරමින් ද, ආරක්ෂක අංශ වෙත සාක්ෂි දෙමින් ද, මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයින් නම් ගම් සහිතව හෙළිදරව්වක් සිදු කර ඇත. 2016 පෙබරවාරි 10 වැනිදා රාත්‍රි සාක්ෂිකරු නන්දිමාල් වෙත පැමිණි පිරිසක් සිරකරු ඝාතනය සම්බන්ධ නීතිය ඉදිරියට යාම නවතා නොදැමුවහොත් අඩි 6ක් යට යන්නට සිදුවන බවට මරන තර්ජනයක්ද සිදුකර තිබිණි. මෙම පසුබිම තුළ ඔහුගේ ජිවිතයට අනතුරක් කිරීමේ උත්සාහයක් ඇති බව සනාථවන බවත් ඒ සම්බන්ධයෙන් වැලිකඩ ඝාතනයේ නියෝග නිකුත් කළ සහ ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් වෙත ඇඟිල්ල දිගුවන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි.
මේ තත්ත්වය හමුවේ වැලිකඩ ඝාතනයේ ප්‍රධාන සාක්ෂකරුට ජීවිත ආරක්ෂාව සලසන ලෙසත්, වැලිකඩ ඝාතනයට සැක කෙරෙන දැනට සේවයේ නිරත පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වන ලෙසත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය රජයට බලකර සිටී.
සිරසින් උපුටාගත් වීඩියෝවක්
සටහන: වසන්ත බංඩාර