අද අළුයම දඹුල්ල ප්‍රදේශයේදී ඝාතනයට ලක් වී ඇති සංක්‍රාන්ති සමාජභාවයක් සහිත පුද්ගලයාගේ මරණය හිරු නිවුස් ඇතුළු ගොසිප් වෙබ් අඩවි වාර්තා කර ඇති ආකාරය බකමූණෝ කණ්ඩායම තරයේ පිළිකුල් කරමු.
මෙම පුවත් වාර්තකරණය තුළ ඇගේ ඡායාරූප භාවිතා කර ඇති ආකාරය සහ සංක්‍රාන්ති අනන්‍යතාවය පිළිබද වාර්තා කර ඇත්තේ ඒ පිළිබද කිසිම අවබෝධයකින් තොරව බව පෙනී යයි. එමෙන්ම පුවතේ දැක්වෙන පරිදි දඹුල්ල පොලීසිය විසින් මෙම ඝාතනය සාධාරණීකරණය කිරීමට මෙන් මෙම පුද්ගලයා මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයටද ඉදිරිපත් කර ඇති බව පවසා ඇත.
අප කළ මූලික විමසීමකදී පෙනී ගියේ ඝාතනයට ලක් වූ පුද්ගලයා විරුද්ධ ලිංගික ඇදුම් අදින ( cross dresser) පුද්ගලයෙකු බවයි. එනම් ස්ත්‍රී සමාජභාවී ප්රකාශනයක් (Gender expression) සහිත පුද්ගලයෙකු බවයි. මෙවැනි පුද්ගලයන් සංක්‍රාන්ති සමාජභාවයක් සහිත පුද්ගලයන් ලෙස පොදුවේ හැදින්වේ. එහිදී ලිංගික අවයව වෙනස් කර ගැනීම හෝ එය ක්‍රියාවලියට ඇතුළත් වී ඇත්ද යන්න සලකා නොබැලෙන අතර උපතේදී නීර්ණය කරන ලිංගික අවයව වලට අනුරූප සමාජභාවයට වඩා වෙනස් සමාජභාවයක් ඇදුම්, හැසිරීම හෝ ශරීර ලක්ෂණ හරහා ආරෝපණය කර ගන්නා පුද්ගලයන් සංක්‍රාන්ති සමාජභාවයක් සහිත පුද්ගලයන් ලෙස හැදින්වේ.
ඝාතනයට ලක් වූ පුද්ගලයා ඒඩ්ස් පිටුදැකීම සදහා වූ ගෝලීය අරමුදලේ පිරිමින් සමග ලිංගිකව හැසිරෙන පිරිමින් සදහා වූ ව්‍යාපෘතියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සහෘද සන්නිවේදකයෙකු ලෙස රතු කුරුස සංවිධානය යටතේ සේවය කළ අයෙකි.
මෙම සිදුවීම සංක්‍රාන්ති පුද්ගලයන් වෙත එල්ල වන හිංසනයේ දරුණුතම අවස්ථාවක් වන අතර විශේෂයෙන් ලිංගික වෘත්තියේ යෙදෙන සංක්‍රාන්ති පුද්ගලයන් මුහුණ දෙන අභියෝග වලට හොදම උදාහරණයකි.
ශ්‍රී ලංකාව වැනි රටක් තුල සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවේ පුද්ගලයන් හට තිබෙන තත්ත්වය කුමක්ද යන්න අපි හොදා කාරවම දන්නවා. සමාජ සම්මතය සාමාජය තුල ඔවුන් ප්‍රතික්ෂේප වීම නිසාම බහුතරයක් සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් ලිංගික වෘත්තියේ යෙදීම කොයි කවුරුත් දන්නා කාරනාවක්. එවැනි පුද්ගලයන් මහපාරක මෙවැනි කෘර ලෙස ඝාතනය කිරීම තරයේ හෙලා දැකිය යුතු කාරණයක්. පුද්ගලිකව මා මාගේ අප්‍රසාදය ශ්‍රී ලංකා සමාජ සම්මතය හා මෙවැනි අමානුෂික සිතුම් පැතුම් තිබෙන පුද්ගලයන් පිළිබඳව ප්‍රකාශ කරනවා. පුවත් වාර්තා කරණයේදී මාධ්‍යය පවා මීට වඩා වෘත්තීය මට්ටමකින් හා සාමාන්‍ය දැනීමකින් යුතුව කටයුතු කළ යුතුයි. පුද්ගලයකුගේ අනන්‍යතාව හා ඔහුගේ හෝ ඇයගේ පවුලේ සාමාජිකයන් පිළිබඳව විස්තරා හෙළි කිරීම මඟින් ඔවුන් පත්වන අපහසුතාවය පිළිබඳව මාධ්‍ය කතා කරන්නේ නැහැ. තම වෙබ් පිටුව සඳහා හෝ තම අලෙවි නාමය ප්‍රවර්ධනය කරගැනීම සඳහා මිනිසුන්ගේ පුද්ගලිකත්වය විකිණීම සදාචාරාත්මක නොමැති බව මගේ හැගීමයි. මේ පිළිබඳව සාධාරණ නීතිය අනෙකුත් ශ්‍රී ලාංකික පුද්ගලයන්ට සේම මෙම සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයාටද එම පුද්ගලයාගේ පවුලටද ඉටුවිය යුතු බව මා තරයේ අවධාරණය කර සිටීමට කැමතියි.
සංක්‍රාන්ති ප්‍රජාවේ අයිතිවාසිකම් පිළිබද ක්‍රියාකාරිණියක් වන භූමි හරේන්ද්‍රන්.
උපුටාගැනීම: www.බකමූණෝ.lk