ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සියල්ල වෙනුවෙන් දිවි හිමියෙන් කැපවන බව පෙනෙයි. ඇතැම්හු පුදුමාකාර ලෙස ජාතියට ආදරය කරන බව කියති. දේශාභීමානී ගී ගයති. පපුවට ගසා ගනිති. දෙමළුන්, මුස්ලිමුන් පළවා හැරිය යුතු බව කියති. රණවිරුවන්ට අත තියන්නට නොදෙන බව කියති. මෙසේ අන් සියල්ල කිරීම නරක දෙයක් නොවේ. එහෙත් ඔවුන් ඒ සියල්ලට පෙර පාලකයාගේ භූමිකාව ඉෂ්ට කර තිබීම වැදගත්ය. නළුවෝ රඟ නොපාති, එහෙත් අන් සියල්ල කරති නම්, රංග කලාව පරිහානියට පත්වනවා සේම පාලකයෝ පාලනයෙහි නිරත නොවී රටට ජාතියට ආදරය කරන බවට පුරසාරම් දොඩමින් සිටියහොත් සිදුවිය හැක්කේ කුමක්ද?
එසේ කරන්නේ ඇයි?
මෙහි ඇත්තේ පාලකයන්ගේ ආරවුලකටත් වඩා ජනයාගේ අවුලකි. පාලකයා මළ ගෙදර, දානේ ගෙදර හෝ මඟුල් ගෙදර එන එක ජනතාව බලාපොරොත්තු වෙයි. එසේ නාවොත් පාලකයාට ඊළඟ වතාවේ ඡන්දය නොදෙන තරමට ඔවුහු රොස් වෙති. ඒ නිසා පාලකයෝත් ජනතාව ශේප් කර ගැනීමට යත්න දරති. ඒ වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික වැඩකටයුතු අස්සේත් පිරිත් ගෙවල්වල නිදි මරති. ඕනෑම ගජ බින්නයක් කියති. ජනතාව පත් විය යුත්තේ පාලකයා ආවත් නාවත් ඒ ගැන වධ නොවන තැනකටය. ඒ සඳහා ලංකාව දැනුමෙන් සුපෝෂිත සමාජයක් බවට පත් විය යුතුය. එසේ වුවහොත් පාලකයාටත් අනුෂාංගික දේවල් නොකර තම භූමිකාව පමණක් ඉටු කිරීමට නිදහස ලැබෙනු ඇත.
පුළුල් සිතීමක අවශ්‍යතාව
ජගත් ජයසූරියට එරෙහිව යුද අපරාධ එල්ල වූ සැණින්, සරත් ෆොන්සේකා කීවේ ඔහු අද අපරාධ කළ බවට සාක්ෂ්‍ය තමා සතු බවය. ෆොන්සේකා හමුදාපති වශයෙන් ඊට වගකිවයුතු නොවේදැයි යනුවෙන් මතු වුණු ප්‍රශ්නයකට සිද්ධියෙන් දින දෙකකට පමණ පසු ඔහු කියා තිබුණේ තමා අණ දුන්නේ විශාල හමුදාවකට බවත් සමහරුන් තනි තනිව කරන අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් තමාට වගකිව නොහැකි බවත්ය.
රාජපක්ෂ ආණ්ඩුව ජයසූරියට ඉදිරියෙන් සිටි හමුදාවේ ජේ්‍යෂ්ඨයන් කිහිප දෙනෙකුම පසු කර ජගත් ජයසූරිය මහතාට හමුදාපති ධුරය ලබා දුන් අන්දම ද ඔහු මෙහිදී සිහිපත් කර තිබුණි. එමෙන්ම රතුපස්වල උද්ඝෝෂණයට වෙඩි තැබුවේ ජගත් ජයසූරියගේ අනුදැනුම මත බව ද ෆොන්සේකා මහතා කීවේය. හිටපු ජනපතිවරයා සේනාධිනායකයා ලෙස ඔහුට හමුදාපති ධුරය දෙන්නට ඇත්තේ තමාට වඩාත් විශ්වසනීය යැයි හැඟෙන පුද්ගලයාට විය හැකිය. එමෙන්ම රාජපක්ෂ මහතා යුද අපරාධ ගැන පරීක්ෂණ අනවශ්‍ය බව කියන සහ සිදුවූ බව කියන යුද අපරාධ අනුමත කළ පුද්ගලයෙකි. එවිට ජයසූරිය බඳු තම මනෝරථය ඉෂ්ට කරන නිලධාරියකු හිටපු ජනපති තවත් ජේ්‍යෂ්ඨයන් කිහිප දෙනෙකු ඉක්මවා හමුදාපති ධුරයට පත් කළා විය හැකිය. ඉකුත් ආණ්ඩුවට සහ හමුදාවට යුද්ධයේ දී සිදු කෙරුණු අපරාධ පිළිබඳ චෝදනා නැතැයි කිව නොහැකිය. සුදු කොඩි සිද්ධිය ගතහොත් ප්‍රභාකරන් වුව සුදු කොඩිය රැගෙන හමුදාව ඉදිරියට ආවා නම් මැරෙන්නට වෙඩි තැබීම ආචාර ධර්ම විරෝධී ක්‍රියාවකි.
ලංකාව යුද අපරාධ පිළිබඳ සම්මුතියට අත්සන් නොකළ රටක් නිසා එය යුද අපරාධ කිරීමට වළංගු සහ ඉන් බේරා හැරෙන බලපත්‍රයක් නොවේ. යුද්ධයේදී අපරාධකාරී ක්‍රියාවක් සිදුවුණි නම් එය අපරාධයක් මිස යුද්ධයේ උපක්‍රමික සහ අනිවාර්ය තැතක් ලෙස අර්ථ ගැන්විය නොහැකිය. ජනපතිවරයා ශ්‍රීලනිපයේ 66 වන සංවත්සරයේදී නිවැරැදි ප්‍රකාශයක් කළේය. ඒ ජගත් ජයසූරියට අත තැබීමට විදේශීයයන්ට ඉඩ නොදෙන බවය. රණවිරුවන්ට එරෙහිව කෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් ජනපති මීට පෙර වතාවක පැහැදිලිව කියා තිබෙන්නේ රණවිරුවන් වුව වරදක් කර තිබේ නම් වරදෙන් නිදොස් වීමට රණවිරු ලේබලය මඟක් නොවන බවය. ඒ කතාව ජයසූරියටත් පොදුය. ජනපති කියන්නේ කවර වරදක් කළත් රණවිරුවන්ට ගැලවීමක් තිබේ යන්න නොවේ. යුද අපරාධ හෝ වෙනත් වැරැදිවලට චෝදනා එල්ල වන්නේ හමුදා සාමාජිකයනගෙන් සියයට දශම ගණනකටය. චෝදනාවලින් නිදහස් කරන බව ජනපති කිසිම තැනක කියා නැත. එබැවින් ජනපතිගේ ප්‍රකාශයේ වැරැදි කොණක් අල්ලා නොගත යුතුය.
හිටපු ජනපති කියන්නේ වත්මන් ජනපති කියන දෙයෙහි අනෙක් පැත්තය. ඔහු කරන චෝදනාව වන්නේ රජය රණවිරුවන් බිල්ලට දී තිබෙන බවය. එය මුළුමනින් වැරැදි ප්‍රකාශයකි. වත්මන් රජය හමුදා නිලධාරීන්ට හෝ සාමාන්‍ය හමුදා සොල්දාදුවන්ට අවැඩක් වන කිසිදු දෙයක් මේ දක්වා සිදු කර නැත. ජනපති කීවේ වැරැදි කළ හමුදා සාමාජිකයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු බවය. එහෙත් යුද අපරාධ චෝදනා ලද අය පවා රට බේරාගත් පිනෙන් සියලු වරදින් නිදහස් කළ යුතු බව රාජපක්ෂ මහතා කියයි. එසේ බලන විට බෞද්ධ රටක් ලෙස ලංකාව අනුමත කළ යුත්තේ කාගේ මතයද? බුදුන් කීවේ කළ වරැදි රියසකසේ තමා පසු පස එන බවය. නැතහොත් මෙලොවදී හෝ මරණයෙන් මතු ඒවාට ප්‍රතිවිපාක ලැබෙන බවය. ජනපති මෛත්‍රී කියන්නේ වැරැදි කළහොත් නීතියෙන් දඬුවම් ලැබිය යුතු බවකි. එහෙත් රාජපක්ෂ මහතා කියන්නේ එසේ නොවන සහ එසේ නොකළ යුතු බවකි. ඒ අනුව රාජපක්ෂට ඇත්තේ බුදුන් පිටු දකින මිථ්‍යා ධර්මයකි. පූර්ව දේවදත්තගේ ධර්මයකි.
නටන්නේ කොතැනද
මේ කාටත් නටන්නට වේදිකාවක් ඇත. වේදිකාවට ගොඩ නොවී මේ කවුරුත් නටන්නේ වෙන තැනක වීම රටේ මූලික ප්‍රශ්නයයි. ජනපතිට මෙන්ම හිටපු ජනපතිටත් හමුදා නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් ගැන මත පළ කිරීමට අයිතියක් තිබේ. ඒවා ඔවුන් හිටපු හා වත්මන් සේනාධිනායකවරු හැටියට කළ යුතු ධුරයට අදාළ දේවල්ය. එහෙත් මෙවැනි වාද විවාද රටේ දේශපාලන සංදර්භය වෙනස් කරන හෝ ඊට බාධා පමුණුවන දේවල් බවට පත් විය යුතු නැත. එමෙන්ම ඒවා රටේ ප්‍රධාන දේශපාලන සංවාදය බවට පත් විය යුතු නැත. ලංකාවේ ජනයාගේ මෙන්ම දේශපාලනඥයාගේද තිබෙන ප්‍රධාන අවුල වන්නේ ප්‍රශ්නයේ මධ්‍යයට නොපැමිණ ප්‍රශ්නයේ වල්ගයෙන් අල්ලා ගැනීමය. එවිට ඔහුට ප්‍රශ්නයේ මුහුණුවර පෙනෙන්නේ නැත. ජගත් ජයසූරියගේ හෝ යුද අපරාධ විෂයයේ ඇත්ත මුහුණුවර ජයසූරිය හෝ යුද අපරාධ කළා යැයි කියන තවත් අයට නඩු දානවාද නැද්ද යන්න නොවේ. ජනපති කියන ආකාරයට වැරැදි කළ අයට නීතියෙන් දඬුවම් පැමිණ විය යුතුය. ඊට වඩා ඒ ගැන කතා කරන්නට දෙයක් නැත. ජයසූරියට අත තියන්නට ඉඩ දෙනවාද නැද්ද යන්න ගැනත් වාද කරන්නට දෙයක් නැත. එම වාදය නිරර්ථකය සහ ඇත්ත ප්‍රශ්න කොළෑ කරවන සුළුය. මේ සියල්ලෙහි අග ඇත්තේ දෙමළ ජනයාගේ පැවැත්මට අදාළ සමාජ දේශපාලන සහ ආර්ථික ප්‍රශ්නයකි. යුද අපරාධ වැනි නිරර්ථක වලිග අතහැර යා යුත්තේ දෙමළ ජනයාගේ ප්‍රශ්නයේ මුහුණුවර සහ එහි කඳ දෙසටය. ප්‍රශ්නයට විසඳුම් ලබා දිය හැක්කේ එවිටය.
උතුරු ආණ්ඩුකාරවරයාගේ දැක්ම
“යාපනයේ සිංහල මහා විද්‍යාලය දැන් හමුදා කඳවුරක්. මම යෝජනා කළා ජනාධිපතිතුමාට ඒක නිදහස් කරලා නැවත වතාවක් ඒ පාසල ආරම්භ කරන්න කියලා. ඉතින් ඒකට අවශ්‍ය ඉඩම් ලබා ගැනීමේදී පාසලේ සිටින හමුදාව කඳවුරට යා යුතුයි. දැන් හමුදාව බලකොටුවෙන් එළියට ඇවිත් ඉස්කෝලවලයි දෙමළ ජනයාගේ ඉඩම්වලයි ඉන්නවා. ඒ අය යාපනය බලකොටුවට ගියොත් හොඳයි. යාපනය බලකොටුව අක්කර 45ක් කියනවා. හමුදාව බලකොටුවට ගියොත් සාමාන්‍ය ජනයාගේ ඉඩම් නිදහස් කරලා දෙන්න පුළුවන්.”
උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා මෙම ප්‍රකාශය කර තිබෙන්නේ වව්නියාවේ බෞද්ධ විහාරස්ථානවල විහාරාධිපතිවරුන් සමඟ වව්නියාවේදී පැවැති සාකච්ඡාවකදීය. දේශපාලනඥයකු වෙතින් මෑත අවදියේ මෙ තරම් ප්‍රගතිශීලී අදහසක් මතු නොවූ තරම්ය. රණවිරුවන්ට කෙළවන්නට ඉඩ දෙන්නේ නැත කියා අනුක්ත සතුරෙකුට තර්ජනය කරන භූමිකාවකට වඩා දේශපාලනඥයකුගේ ඇත්ත භූමිකාව විය යුත්තේ මෙය නොවේද? ආණ්ඩුකාරවරයාගේ මෙම අදහසට සැබෑ බෞද්ධ කේන්ද්‍රීය සමාජයකට විරුද්ධ විය නොහැකිය. මන්ද එහි පූර්ණ සාධාරණත්වය ගැබ් වන බැවිනි. ඊට විරුද්ධ විය හැක්කේ ව්‍යාජ බෞද්ධ කේන්ද්‍රීය සමාජයකටය. එමෙන්ම හුදු චීවරධාරීන්ටය. ඊට නිසැකවම විරුද්ධ විය හැකි දකුණේ රාජපක්ෂවාදී සංඝයාවහන්සේලා කවුද යන්න ගැන දැන් රටේ ජනයාට යමක් කල්පනා කර බැලිය හැකිය.
ජනපති හා යථාර්ථය
ශ්‍රීලනිපයේ 66 වැනි සංවත්සර උළෙලේ දී ජනාධිපතිවරයා ජගත් ජයසූරියට අත තියන්නට ඉඩ නොදෙන බව කීමත් සමඟ තවත් දෙයක් කීවේ එය මෙසේය. “එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවෙනි මානව හිමිකම් කඩවීම් ඇතුළු බරපතළ චෝදනාවලට ලක්ව තිබුණු මේ රට ඉන් මුදාගෙන පාලනය කිරීම සඳහා තමා එම සංවිධානය හමුවට ගියේ එජාපය හා ශ්‍රීලනිපය සහ පක්ෂ දෙක දෑතේ තබාගෙ නයි. එම නිසාම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බාධා කිරීම්වලින් තොරව රට පාලනය කිරීමට සහාය ලැබුණා”
ජනපති මෙහි කතා කරන මානව හිමිකම් කඩවීම් සහ බරපතළ චෝදනා ලංකාවට හා ලංකාවේ හමුදාවට එරෙහිව එල්ල වුණේ 2009 අවසන් යුද්ධයට අදාළවය. එසේ නම් හමුදාව අතින් අපරාධකාරී ක්‍රියා සිදු නොවුණේ යැයි මහින්ද රාජපක්ෂ මතු නොව කිසිම ජගතෙකුට කිව නොහැකිය. යම් හෙයකින් ජනපති එසේ කියනවා නම් ඔහු තෙමේම නිශේධනය කර ගනී. එය කිසිසේත්ම විය නොහැක්කකි. මින් පෙනී යන්නේ ලංකාව යථාර්ථයට මුහුණ දිය යුතු බවය. මානව හිමිකම් පිළිබඳ ජිනීවා සැසිය ලංකාවේ යුද්ධයට අදාළව සිදු කර තිබෙන නිරීක්ෂණ ඉවත හළ නොහැකිය. ජනපතිවරයාම එය ඔප්පු කොට දක්වයි. ජිනීවා සැසිය ලංකාවේ මානව හිමිකම් සහ ජනපති කියන බරපතළ චෝදනා සම්බන්ධයෙන් යෝජනා කළ දෙමුහුන් අධිකරණය වැදගත් වන්නේ මෙහිදීය. ඉකුත් ආණ්ඩුව කළ දූෂණ වංචා ගැන මෙන්ම යුද්ධයේ දී සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය වීම් ගැනත් විශේෂනේම සාමාන්‍ය ජනයාට එරෙහිව සිදු වූ අකටයුතුකම් ගැන පරීක්ෂණත් කිරීමට ජනපතිට අවශ්‍ය බව පෙනේ. එහෙත් ඒ සඳහා ඉඩ නොදෙන්නේ මෙරට ජාතිවාදී කොටස්ය. ඒ ඇතැම්හු රාජපක්ෂ සමඟ කල්ලි ගැසී සිටිති. තවත් සමහරු ජනපතිට කිට්ටු වී සිටිති. රට පළමුව මුදාගත යුත්තේ මෙම තක්කඩින්ගෙනි. එවිට සාපේක්ෂ වශයෙන් හෝ අවංකව වැඩ කිරීමට රිසි දේශපාලනඥයකුට තම භූමිකාව හරිහැරි ඉටු කිරීමට අවකාශය සැලසෙනු ඇත.
විමලනාත් වීරරත්න
උපුටාගත්තේ සත්හඬෙන්