ශ්‍රී ලාංකේය දේශපාලන වංශ කථාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් තාත්තාගැන දුවකු ලියූ පොතක් එළිදැක්වීම, නොහොත් මෛත්‍රීපාල ජනාධිපතිවරයා ගැන ඔහුගේම දුවක වන චතුරිකා සිරිසේන විසින් ලියන ලදැයි කියන “ජනාධිපති තාත්තා” ග්‍රන්ථය එළිදැක්වීම කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ඊයේ සිදු කෙරිණි.
සිරිමාවෝ බණ්ඩාරනායක යුගයේ සිට යුගයෙන් යුගය සිදුවූ දේශපාලන සංසිද්ධීන් වලදී සිය පවුල වෙත ඒවායේ බලපෑම එල්ලවු ආකාරය පිළිබදව විග්රහයන් මෙහි ඇතුළත් කොට ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබුනේ මහ ඉහලිනි. විශාල මාධ්‍ය ප්රචාරක වැඩසටහන් දින කිහිපයක සිට පළවනු දැකගත හැකිවිය. ආණ්ඩුවේ සියළුම වෙළඳ දැන්වීම වලින් හරි අඩකටත් වඩා ගලාගෙන යන “රෙඩ් චෙරි” නම් වූ ආයතනය ඇය පිටුපස සිට මෙහෙයවන ප්රචාරක ආයතනයක් නොව ඇය ඇගේ නමින්ම මෙහෙයවන ප්රචාරක ආයතනයක්ය. ජනාධිපති තාත්තා වෙනුවෙන් වියදම් කරන්නට ඇත්තේද මේ ජනතා මුදල්ම නොවේද?
PV103978 අංකය යටතේ සමාගම් නීතිය යටතේ සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති එම සමාගමේ නම RED CHERRY ADVERTISING AGENCY (Private) LIMITED ය. එහි පළමු අධ්යක්ෂවරුන් දෙදෙනාගෙන් අයෙකු වන්නේ පල්ලේවත්ත ගමරාළලාගේ දර්ශනී චතුරිකා පල්ලේවත්ත හෙවත් ජාතික හැඳුනුම්පත් අංක 828024022Vහිමි ජනාධිපති දියණි චතුරිකා සිරිසේනය. සමාගම් ලියාපදිංචියේ ඇගේ ලිපිනය අංක 06, පළමු පටුමග, නව නගරය, පොළොන්නරුව යන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පොළොන්නරු ලිපිනයය. ඒ අනුව ඔවුන්ගේ පවුලේ බයිලාව කියවීමට, අපේ සල්ලිවලින් අපට පොතක් ලියා දී ඇත. දැන් යහපාලනය ගෙනෙන්නට උදේ රෑ මහන්සිවූවන්ට තලු මර මරා කියවන්නට දෙයක් ඇත. අගේ ඇති යහපාලනය.
ඊයේ ජනාධිපති තාත්තා ගැන සටහනක් ලියන ලංකා ඊ නිවුස් කියා සිටියේ මෙය සැබෑවටම චතුරිකාගේ පොතක් නොවන බවයි. ඔවුන් සඳහන් කරන්නේ මෙම පොත ඇය විසින් ලියන ලද්දක් නොවන අතර ඇයට එවැනි ලිවීමේ හැකියාවක් නොමැති බවයි. මෙම පොතේ මුල් කොටස් ලියා ඇත්තේ ටෙලිකොම් සමාගමේ වෙළඳ අංශයේ ප්‍රධානියෙකි. ඉන්පසු ඔහු එය අත් හැර දමා ඇති අතර ඉතිරි කොටස් ලිවීම සඳහා වෙළඳ ප්රචාරක කටයුතු වලට සම්බන්ධ අයෙකු දායක කරගෙන තිබේ. ඔහු ද කොටස් කිහිපයක් ලිවීමෙන් පසු අත්හැර දමා ගොස් ඇති අතර ඉන්පසුව තුන් වැන්නෙකු විසින් පොත අවසන් කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුතුන් කලඑළියේ කරළියට ආවේ ඔහුගේ දෙවන ධුර කාලයේදීය. එසේ වුවත් මෛත්‍රී ඔහුට වඩා ඉදිරියෙන් සිටී. ආඩම්බර විය යුතුය. පළමු ධුර කාලයේ අඩක් ගෙවෙන විට ජනපති දියණි චතුරිකා සිරිසේන දක්වමින් සිටින කුසලතාව කිසිවකුත් සුළු කොට තැකිය යුතු නැත. කෙසේද යත් රාජපක්ෂ පුතුන්ගේ සීඑස්එන් නාලිකාවද චතුරිකා සිරිසේනගේ සමාගමේ ගනුදෙනුකරුවෙකු ලෙස සඳහන් වන නිසාය. එම නිසාම චතුරිකා සිරිසේනගේ මේ ව්‍යාපාරික ආගමනය යහපාලන ජනාධිපති වරයකුගේ කටයුතුවලට කොතරම් සදාචාරමය වශයෙන් බලපාන්නේද යන්න යහපාලන මිතුරනි සිහියෙන් යළි සිතාබැලිය යුතුය.
සටහන: සේන හේරත්
Photo Credit By: Dinamina
පොත එළිදැක්වීම ගැන දෙරණෙන් උපුටාගත් වීඩියෝවක්.