උපුටාගැනීම්විශේෂාංගවීඩියෝ

යාපනයේ මෛත්‍රී සහ උබුන්ටු

දකුණු අප්‍රිකාවේ, උබුන්ටු සම්ප්‍රදායික සාරධර්ම ඔස්සේ රටේ මූලික ගැටලුව වූ අසමගියට පිළිතුරු සෙවීම සඳහා කටයුතු කරනු ලැබුවේ මිනිසුන් තව දුරටත් අන්ධ භක්තිකයින් කිරීමෙන් නොවේ. ඔවුහු තේරෙන බසකින් ඒකරාශී කිරීමෙනි. ඒකරාශී කොට ඔවුහුට ඇහුන්කම් දීමෙනි.


නිලන්ත ඉලංගමුව

පුද්ගලයෙකු, පුද්ගලයෙකු වන්නේ අනෙකුත් පුද්ගලයින් හේතුවෙනි. මෙම කාරණය, උබුන්ටු සම්ප්‍රදාය තුළ සඳහන් වන්නේ මෙලෙසය, එනම් “මනුෂ්‍යයෙකු මනුෂයෙකු වන්නේ අනෙකුත් මිනිසුන්ගේ ඇති මනුෂ්‍යය ගති හේතුවෙනි”. එකිනෙකට බැඳුනු නොබිඳිය යුතු මෙම සම්බන්ධය විවිධ ආගමික ඇදහිලිවලදි විවිධාකාර අර්ථ නිරූපණ ලබා දී තිබේ.

උබුන්ටු යනු විසිරී ගිය සහ එකිනෙකා ඇනකොටා ගත් ප්‍රජාවක් ජීවත් වූ දකුණු අප්‍රිකාවේ මිනිසුන් එකතු කළ මූලික සම්ප්‍රදාය ලෙස බොහෝ දෙනෙකු පිළිගැනෙන සාරධාර්මික කාරණයකි. මෙය එම සමාජයේ ගැටුම් නැවත්වීම සඳහා අතිශය බලපෑමක් කළ වැදගත් සාරධර්මයකි. දකුණු අප්‍රිකාව බිහිකළ කීර්තිමත් පුද්ගලයින් වන ඩෙස්මන් ටුටූ, නෙල්සන් මැන්ඩෙලා වැනි පුදගලයින්ගේ දේශපාලන සහ සමාජීය වැඩපිළිවෙල තම ජනතාව අතර ප්‍රචලිත කිරීම සඳහා අනුගමනය කරනු ලැබූ ප්‍රධාන ධාර්මික මෙවලමක් ලෙස උබුන්ටු සාරධර්මය එරට බොහෝ දෙනෙකු හඳුන්වති.

මෙවැනි කාරණයක් ගැන සඳහන් කරන විට ඇතැමුන්, අපේ සියලුම ගැටලු වලට බුදුදහමේ පිළිතුරු තිබේය; පිටරට දෑ ගැන ගුණ වැයීම නොවටින්න්නේය, යනුවෙන් කියති. සියලු ගැටලු වලට පිළිතුරු බුදුදහමේ ඇතිබව බොහෝ සිංහල බෞද්ධයින් දැඩිව විශ්වාස කරන කාරණයකි. එය සැබෑවක් විය හැකිය. පරම සත්‍යය බුදු දහම තුළ ගැබ්වී ඇති බවට කිසිඳු සැකයකින් තොරව පිළිගත හැකි වටපිටාවක් සකස් කළ හැකිය.

නමුත්, වැදගත් වන්නේ එම අවබෝධය දේශපාලනික වශයෙන් සමාජයේ උන්නතිය උදෙසා කෙතරම් දුරට භාවිතා කිරීමට සමත්වූයේද යන්නය. එම කාරණයේදී, රටක් ලෙස සිංහල බෞද්ධයින් අසමත් වී සිටිති. එකතුවීම වෙනුවට විසිරීම ඇරඹි ඇත්තේ බෞද්ධ පන්සලේන්මය. ආගමික සම්ප්‍රදාය තුළ අර්ථ නිරූපණය කරන මූලික සාරධර්ම දේශපාලනික වශයෙන් සාර්ථක රාජ්‍යයක් වීම සඳහා භාවිතා කිරීමට අසමත් වී සිටින්නේ මන්ද? අපි එකිනෙකාගෙන් ඇසිය යුතු මූලික ගැටලුව වන්නේද එයයි?

නොතේරෙන බසකින් පැය ගණනාවක් පිරිත් අසා ඉන් තමන්ට පිහිටක් ලැබෙන්නේය යනු මිත්‍යාවේ මූලාරම්භයයි. බස යනු අවබෝධය සඳහා වූ අවිය මිස, අන්ධවීම සඳහා භාවිතා කළ යුතු මෙවලම නොවිය යුත්තේය. ජාතියක ශක්තිය සඳහා අත්‍යවශ්‍යය පදනම සකස් වන්නේ, තේරෙන සහ තේරුම්කර දීමට අවශ්‍යය සරල සහ ශක්තිමත් බස විසිනි. එය නැසූ කළ, ජාතිය වැනසීම එතරම් බරපතළ කටයුත්තක් නොවේ.

දකුණු අප්‍රිකාවේ, උබුන්ටු සම්ප්‍රදායික සාරධර්ම ඔස්සේ රටේ මූලික ගැටලුව වූ අසමගියට පිළිතුරු සෙවීම සඳහා කටයුතු කරනු ලැබුවේ මිනිසුන් තව දුරටත් අන්ධ භක්තිකයින් කිරීමෙන් නොවේ. ඔවුහු තේරෙන බසකින් ඒකරාශී කිරීමෙනි. ඒකරාශී කොට ඔවුහුට ඇහුන්කම් දීමෙනි.


ටුටු උබුන්ටු ගැන කළ කෙටි විස්තර  කළ අවස්ථාවක්

මෙම කාරණය රට තුළ වඩාත් කතාබහට ලක් වී ඇති සංහිඳියාව සමඟ සම්බන්ධ කොට තේරුම් ගැනීම වැදගත් යැයි සිතේ.

රටකට සැබෑ සංහිඳියාවක් අවශ්‍යය වන්නේ නම්, ඒ වෙනුවෙන් පෙනී සිටින සියලුම දෙනා කළයුතු මූලික කාරණය වන්නේ සත්‍යයට ආමන්ත්‍රණය කිරීමය. සත්‍යයෙන් තොර සංහිදියාවක් නැත, යන මූලික කාරණය මෙහිදී ඉතාම වැදගත් සහ අත්‍යවශ්‍යය මූලික අවබෝධයකි. එසේම, සංහිඳියාව ඇති කිරීම සඳහා වැදගත් වන්නේ වින්ධිතයන්ට සවන්දීම සඳහා නිසි වැඩපිළිවෙලක් සකස් කිරීම සහ ඔවුන්ගේ මූලික ජීවන අවශ්‍යතාවයන් ඉටු කිරීමය.

මෙහි වැදගත් සිදුවීමක් ලෙස, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පසුගිය සතියේදී යාපනයේදී මුහුණදීමට සිදු වූ සිදුවීම සඳහන් කළ හැකිය. එය දේශපාලනික වශයෙන් පූර්වයෙන් සකස්කළ එකක් වන්නේද; නොඑසේනම්, අහඹු සිදුවීමකදී කළ සාර්ථක ප්‍රතිචාරයක්ද යන්න, බොහෝ දෙනෙකුට ඇති මූලික ගැටලුවක් ලෙස ඇතැමුන් සඳහන් කර තිබුණි.

නමුත් අහඹු සිදුවීමකදී කළ සාර්ථක ප්‍රතිචාරයක්ය; යන්නෙහි පිහිටා මෙය තේරුම් ගතහොත්, එහිදී දක්නට ලැබුණු දේශපාලන භාවිතය ඉතාම සාර්ථක එකකි. ජනාධිපතිවරයා ගැටලුවක් වෙනුවන් කෑ ගසන්නා හමුවේ පුද්ගලිකව පෙනී සිටි අතර ඔහුට ඇති ගැටලුව ගැන ඉතාම සාවදානව අසනු ලැබුවේය. එසේම, ඊට අවශ්‍යය ප්‍රතිචාරය ලබා දෙනු ලැබීය. අදාළ පිළිතුරු ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න වෙනම කාරණයකි.

නමුත් දේශපාලනික වශයෙන් කුණු වී ගිය ගැටලු සඳහා ප්‍රතිචාර ලබාදීමේදී ඒ වෙනුවෙන් අනෙකා අපේක්ෂා නොකරන පියවරක් ගැනීම ඉතාම සාර්ථක දේශපාලන භාවිතයකි.මෙම සිදුවීම අවසානයේ උද්ඝෝෂණය සඳහා සහභාගී වූ මහජනතාව තේරුම්ගත යුතු මූලික කාරණය වන්නේ; ඔවුන්ගේ ගැටලුව වෙනුවෙන් පෙනී සිටි දේශපාලන නියෝජිතයින් ( සිවාජිලිංගම් වැනි) සැබෑ ගැටලුවේ බරපතළකම අවබෝධ කරගෙන එය විසඳීම සඳහා සැබෑ වුවමණාවෙන් කටයුතු කරන්නේද යන්නය.


හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා උබුන්ටු ගැන කළ කෙටි විස්තර කළ අවස්ථාවක්

සිදුවීම අවසානයේ එය මනාව කළමනාකරණය කොට දේශපාලනික වශයෙන් ජයගත් ජනාධිපතිවරයෙක් සහ ජනතාවගේ අපේක්‍ෂාවන් මෙන්ම වේදනාවන් තම දෑතට ගෙන ඉන් දේශපාලනික වාසි ලබා ගැනීමට තටමන පරාජිත දේශපාලන නියෝජිතයින් පිරිසක් රට හමුවේ බිහිවේ. සිදුවීම අවසානයේ, පවතින ගැටලුව තව දුරටත් සංකීරණ කරන්නේද? නොඑසේනම්, ගැටලුව සාධනීය ලෙස විසඳා ගැනීම සඳහා මගක් පෑදුණේද? යන්න, විපතට පත් ජනතාව හමුවේ ඇති මූලික කාරණය වේ. එය නායකත්වය සතු මූලික වගකීමද වේ.

කෙසේ වෙතත්, සිදුවීමෙන් පසු ජනාධිපතිවරයා තමන් තොර වූ තැන, යක්‍ෂයාට ඉඩ ලැබෙන්නේය, යන්න මෙහිදී ඉදිරිපත් කළ මූලික අදහසකි. එහි අර්ථ නිරූපණය සරලව තේරුම් ගත යුතු කාරණයක් නොවේ. මෙරට දේශපාලනයේ මූලික හැඩතලයන් යාවී ඇත්තේ එම මූලික කාරණය වටාය.

මේ නිසා යමක් සහ යමෙකු අහිමිකර ගැනීමකින් පසු භුක්ති විඳීමට සිදුවන නිශ්චිත අතවරයට සහ හිරිහැරයට වඩා යමක් පවතින අවස්ථාවේදී එහි වගකීම සහ වගවීම නිවැරදිව කළමනාකරණය කරගනිමින් තම මූලික ගැටලු විසඳා ගැනීම අත්‍යවශ්‍යය වේ.

එහි, මූලික පියවර වන්නේ, එකිනෙකාට හිමි පුද්ගලික වගකීම නිවැරදිව ඉටු කිරීම සහ එහි ඇති වැදගත්කම තේරුම් ගැනීමයි.

ජනාධිපති මෛත්‍රී සිටින්නේ එම මූලික අවබෝධය තුළය. එසේම ඔහු වටා ඒකරාශී වී සිටින අව්‍යාජ පුද්ගලයින්ගෙන් ඉටුවිය යුත්තේද එම අවබෝධය මත පිහිටා කටයුතු කිරීමය. වැදගත් වන්නේ පුද්ගලික වාසි සපුරා අගනීම සඳහා සිදුකරන හුදෙකලා කිරීම නොව, රටේ මූලික ගැටලු විසඳීම සඳහා ඒකරාශීවී කටයුතු කිරීමය.

 

උපුටාගැනීම: SLG

Leave a Reply

Your email address will not be published. Required fields are marked *