උපුටාගැනීම්පුවතකට වැඩි යමක්

පෑලියගොඩදී සංක්‍රාන්ති කාන්තාවකට මැර ප්‍රහාරයක්

අප සැමට හිමි සමානාත්මතාව, ගරුත්වය සංක්රාවන්ති සමාජභාවී පුද්ගලයන්හට හිමි නැත්ද?

දඹුල්ලේ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයා ඝාතනයට කොට තුන් මසක් ගත වන්නට පෙර තවත් සංක්‍රාන්ති කාන්තාවක් කොල්ල කා ඇයට පහර දීමේ සිදුවීමක් පෑලියගොඩ ප්‍රදේශයෙන් වාර්තා විය.

මේ සිදුවීමට මුහුණ දුන් සංක්‍රාන්ති කාන්තාව ඔක්තෝබර් 30 වන දින රාත්‍රී ආහාර මිලදී ගැනීම සදහා පෑලියගොඩ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පාලම අසල කඩයකට ගොස් ආපසු සිය නවාතැන කරා පැමිණෙන අතර වාරයේ වාහනයකින් පැමිණි පුද්ගලයන් කීප දෙනෙකු ඇයට අපහාස වන ආකාරයෙන් පරුෂ වචනයෙන් බැණ වැදී ඇත. මේ පුද්ගලයන් ලිංගික ඇසුර සදහා ඇයට ආරාධනා කර ඇති අතර ඇය එය ආරාධනාව ප්‍රතිකෂේප කළ නිසා නැවතත් ඇවය පරුෂ වචනයෙන් බැණ වදිමින් පහර දී ඇත. ඇගේ ඇදුම් ඉරා දමා ඇය සතුව තිබූ ජාතික හැදුනුම්පත සහ මුදල් කොල්ල කා තිබේ. මැරයන්ගෙන් බේරීමට ඇය අසල තිබූ ආපන ශාලාවකට දිව ගියද ඇයට ඉන් දොට්ට දමා ඇත. එම අවස්ථාවේදී වාහනයෙන් පැමිණි පිරිස ඇවය බලෙන් වාහනය තුළට දමා ගැනීමට උත්සහ කළ බව බව ‍ඇය ප්‍රකාශ කළාය.

මේ සිදුවීමෙන් පෙනෙන්නේ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් වෙත එල්ල වන හිංසනයන් අඩු වී නැති බවයි. ශ්‍රී ලංකාවේ ජීවත් වන සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් නිතරම මෙවැනි සිදුවීම් වලට මුහුණ දෙන බව රහසක් නොවුවත් මෙවැනි හිංසන අපට අසන්නට ඉතා කලාතුරකිනි. ඒවා වාර්තා වන්නේ ඉතා අල්ප වශයෙනි. ඔවුන් හට සිදුවන මේ අසාධාරණ සැලකීම් වෙනුවෙන් ඉදිරිපත් වීමට අප උත්සහ දරන්නේ නැත. ඒවගේම ඒ සඳහා නීති ආධාර ලබාගැනීමට සහ පොලිසියට යාමට සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් මැලිකමක් දක්වන්නේ ඔවුන්ගෙන්ද විවිධාකාරයේ කොන්කිරීම වලට ලක්වීමට සිදු වන බැවිනි.

සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් කුඩා කාලයේ සිටම තමාගේ පවුලේ සමජිකයන්ගෙන්ද, පාසැල තුළින්ද ,රැකියා ස්ථානයේදීද , සමාජයේ විවිධ අවස්ථාවන් වලදී මෙම කොන්කිරීමට සහ වෙනස්කොට සැලකීමට ලක් වේ. මෙය නවතින්නේ කවදද යන ප්‍රශ්ණය අපි ඔබ හමුවේ තැබීමට කැමතියි. සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ද මනුෂ්‍යයෝය යන්න අප සැවොම සිහි තබා ගත යුතු කාරණයකි.

පාලිත විජයබණ්ඩාර

(බකමූණෝ )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *