විමලා හේරත්
සසුනාරම්භයේ සිට බිහි වූ මහා සඟ පරපුර මෙම දරණී තලය ධර්මයෙන්, ගුණයෙන්, ශීලයෙන් හා ඥානයෙන් පෝෂණය කරන ලදී. රාජාන්තරාය, දුර්භික්‌ෂ, පරසතුරු වැනි අභාග්‍ය සම්පන්න සිදුවීම් පිළිලයන් මෙන් මේ ලක්‌දිව වෙලාගනිද්දී ශාසනය හා සාසනික සම්ප්‍රදායන් පශ්චිම ජනයා වෙනුවෙන් සුරැකීමට එදා පෙරමුණ ගත්තේ ගෞරවණීය භික්‌ෂුන්වහන්සේමය. තථාගතයන් වහන්සේගේ විමුක්‌තියේ පණිවුඩය තහවුරු වුයේත්, එය ජනතාව අතර වහා ව්‍යාප්ත වූයේත් සංඝ සමාජය නිසාය. එදා භික්‌ෂුව ශාසනය බැබළවූයේ අප්‍රතිහත ධෛර්යය හා ධර්ම විනයානුකූල පැවැත්ම මාධ්‍ය කරගනිමිනී. එදා උන්වහන්සේගේ භූමිකාව,
ශාසනික සේවය හෙවත් ආත්මීය විමුක්‌තිය
සමාජ සේවය හෙවත් අනුගාමී විමුක්‌තිය
ලෙස දෙයාකාර විය.
පුද්ගලයාගේ උපතේ සිට මරණය දක්‌වා වන සියලු කුදුමහත් කටයුතු භික්‌ෂුව හා විහාරස්‌ථානය කේන්ද්‍ර කරගනිමින් සිදුවෙද්දී භික්‌ෂුව පුද්ගලයාගේ නිර්වාණ මාර්ගයත්, සමාජ සංවර්ධන මාර්ගයටත් අවැසි මඟ පෙන්වීම සිදු කළහ. භික්‌ෂුව රජුට අවවාද අනුශාසනා කළා පමණක් නොව අවස්‌ථානුකූලව අණකිරීම් බලකිරීම් පවා සිදුකළහ. සිහසුන සම්බන්ධයෙන් ද උන්වහන්සේ සතුව විශාල අධිකාරි බලයක් පැවතණි. භික්‌ෂුව පාලකයා සමග සබඳතා පැවැත්වූ නමුත් කිසිවිටක උන්වහන්සේ සතු නිදහසට, අවංකත්වයට, හා එඩිතර බවට හානි පමුණුවා ගත්තේ නැත. ඒ අභියස නිවට වූයේ නැත. එකී ප්‍රතිබල වූ භික්‌ෂු භූමිකාව වත්මනය හමුවේ කොතෙක් දුරට ගළපාලිය හැකිද? යන්න පිළිබඳ සිතාබැලීම ගෞරවනීය පාඨක ඔබට භාර කරමි.
වත්මන් භික්‌ෂු පරපුර සිව් ආකාරයකින් විග්‍රහයේ පහසුව තකා බෙදා වෙන් කොට ගනිමු.
ඒ, ජාතික හා ආගමික, දේශපාලනික, ව්‍යාපාරික ජාතික හෝ ආගමික නොවු ස්‌වාමීන් වහන්සේලා වශයෙනි.
මේ තත්ත්වයට භික්‌ෂුන් වහන්සේ පත්වූයේ පංසල හා ගම අනුකලනය වෙමින් විහාරස්‌ථානය බහුකාර්ය ආයතනයක් බවට පත් වූ දා සිටය. එම තත්ත්වයත් සමග භික්‌ෂුන්වහන්සේ විහාරස්‌ථානය තුළ අතරමං වුවා පමණක් නොව භික්‌ෂුව පරමාර්ථ ධර්මයන්ගෙන් බැහැරවීමේ පළමු අත්තිවාරම ඒ ඔස්‌සේ දිගහැරෙන්නට විය. අද වන විට භික්‌ෂු භූමිකාව විපරීතභාවයට පත්ව ඇති අතර දේශපාලනික හා ආර්ථික බලපෑම්වලට හසුව එකිනෙකා විවෘත හා රහසිගත වශයෙන් ශීල ගුණයෙන් පරිහානියට පත්ව ඇත. අද සසුනේ තත්ත්වය අනුව නො වැඩු කාය විහරණ ඇති, නො වැඩු සිත් ඇති, නොවැඩු ප්‍රඥා ඇති, සිව්පසය බහුල කොටගත් ස්‌ථවිර භික්‌ෂුහු බහුල අතර ඔවුහු සසුන ලිහිල් කරගත්තාහු වෙති. භික්‌ෂුව සූරාකෑමට, තරගයට, පුද්ගල ලාභයට වඩා ජනතා සේවයට, සමුපකාර ක්‍රමයට , පොදු ජන අයිතියට නැඹුරූ වු කල්හි පොදු සමාජයෙහි ගැටුම් පිළියෙල වන්නේ නැත. භික්‌ෂුන්වහන්සේගේ ගමන හංසයාගේ ගමනටත්, ගිහියාගේ ගමන පිල් බරින් වැඩුන මොණරාටත් උපමා කළේ එහෙයිනි. අධ්‍යාත්මික ගවේෂණයේ දී භික්‌ෂුව ඔහුගේ ස්‌වාභාවිකම වූ වාසිදායක තත්ත්වය යටතේ ගෘහස්‌ථයාට තරග කළ නොහැකි ලෙස ඉදිරියෙන් සිටී. අද සිදුවන්නේ එකි චීවරය ආයුධයක් කරගනිමින්, ඊට මුවාවෙමින් කළ හැකි පහත් වැඩ යම්තාක් වෙද්ද ඒ සියල්ල සිදුකරමින් ශාසනය නමැති රඟමඩලේ එවන් අයවලුන් බඩ පිනුqම් ගැසීමය. මේ සමස්‌තයම නොවේ. උන්වහන්සේ මා හා උරණ නොවෙතැයි අපේක්‌ෂා කරමි.
භික්‌ෂුව ආධානග්‍රාහී නොවිය යුතුය. විහාරස්‌ථානයේ වැඩවෙසෙන භික්‌ෂුව ධර්ම මාර්ගයෙන් බැහැරව ළාමක දේශපාලන මතිමතාන්තර ඔස්‌සේ එල්බගෙන එක් දේශපාලන පක්‌ෂයකට බැඳීයාම දායකයා භික්‌ෂුව වෙත තබා ඇති විශ්වාසය හා ගෞරවය බිඳීයාමට හේතුවක් වනු ඇත. විචාරපූර්වකව සමාජ විචාරකයෙක් ලෙස සමාජ දර්ශනය ගැන අදහස් ප්‍රකාශ කරන සමාජයේ ජීවත්වන නිරන්තර විචාරකයා බෞද්ධ භික්‌ෂුවය. රාජ්‍ය බලය ජනතා පරමාධිපත්‍යයට ලක්‌කරන්නා වු භික්‌ෂුව යුක්‌තිවාදි අයෙකි. නායකත්වය ගිහියන්ගේ, පාලකයන්ගේ සුඛනම්‍ය අවියක් බවට පත්වීම, සුවච විධායකයක් බවට පත්වීමට හා පාලකයන්ට වුවමනා පරිදි නිවේදන නිකුත් කිරීමට භික්‌ෂුව නොපෙළඹවිය යුතුය.
ආසියාතික රටවල ආගමික සංස්‌ථාව බොහෝ විට දේශපාලනය කෙරෙහි බලපෑම් කරනු ලබන කණ්‌ඩායමක් ලෙස ක්‍රියා කරන බව Politis of Ceylon R M Kerney මහතා පෙන්වා දි ඇත. සුපේශල ශික්‌ෂාකාමී යතිවරයාණන් වහන්සේ මේ තත්ත්වයෙන් බැහැර කරන අතර නිහඬව තම ශාසනික මෙහෙවරෙහි යෙදෙන එබදු ගෞරවණීය ස්‌වාමීන්වහන්සේ සමස්‌ත බෞද්ධයාගේ ගෞරවය හිමිවන්නේමය. මේ තත්ත්වය අතිශය කනගාටුදායකය.
ඔබ මොහොතකට සිතාබලන්න. දිවයිනේ ඔබ දකින බොහෝ විහාරස්‌ථානයන්හි දක්‌නට ඇත්තේ අහසට මුව අයාගත් භාගෙට ඉදිකරමින් පවතින ගඩොල් ගොඩවල් නොවේද? භික්‌ෂුව අද වන විට ගොඩනැගිලි ඉදිකිරීමේ කොන්ත්‍රාත්කරුවන් බවට පත්වී ඇත. යාබද පන්සල ඇත්තේ යම් මට්‌ටමකද ඊට වඩා එක් පියවරකින් හෝ තම පන්සල වැඩි දියුණු කරගැනීමට උන්වහන්සේ තුළ ඇත්තේ දැඩි අරගලයකි. දේශපාලකයින් විසින් කරනුයේ ද නැති තැනට යමක් දීම නොව කොස් ඇති තැනටම දෙලුත් බෙදීමය. ගිනිගෙන දැවෙන සමාජ ප්‍රශ්නයන්ගෙන් මහජන අවධානය වෙනතක යොමුකරලනු වස් දේශපාලකයින් ආගම, ධර්මය උපයෝගි කොටගෙන දැවැන්ත බුදු පිළිම, විහාර මන්දිර, චෛත්‍ය, මංමාවත්, පනස් නමක්, සියක් නමක් විෂයෙහි මහා දාන හා පිරිත් පිංකම් සිදුකරති. මේවා දේශපාලන උපායන් බව භික්‌ෂුව තේරුම් ගත යුතුය. ගොඩනැඟිලි ඉදිකළ පමණින් ශාසනය සුරැකෙන්නේ ද? අවුරුදු 2552ට පෙර සම්බුදු සසුනේ ව්‍යාප්තිය ඇතිකළේ විහාර ගොඩනැගිලි තැනවීමෙන් නොව භික්‌ෂු සමාජය ගොඩනැගීමෙනී. මෙලෙස ගොඩනැගිලි ඉදිකිරීමට වෙහෙසෙන භික්‌ෂුව එක් සාමණේර හිමිනමක් හෝ තම විහාරස්‌ථානය තුළ රඳවා ගැනීමට නොවෙහෙසෙන්නේ මන්ද? ගොඩනැඟිලි ඉදිකරනවාසේම ඒවායෙහි වැඩසිටීමට ස්‌වාමීන් වහන්සේ ද වැඩ සිටිය යුතුය. මක්‌නිසා ද පන්සලක් තිබුන පමණටම එකී ස්‌ථානය පන්සලක් වන්නේ නැත. පන්සලක් පන්සලක් වන්නේ එතැන භික්‌ෂුන් වහන්සේ නමක් වැඩසිටියහොත් පමණි. පැවිදිවීමේ මුඛ්‍ය අරමුණ සාක්‌ෂාත්කර ගැනීම පසෙකලා දම් පිපාසයට දම් දෙසිය යුතු උන්වහන්සේ මේ ගමන් කරන්නේ කොයිබට ද?
අද වන විට බුදුරජාණන් වහන්සේට හාමුදුරුවරු නැත. හාමුදුරුවරු කොළ, රතු, නිල් පාට යන විවිධ පාට වලට බෙදී ඇත. බුදුන් වහන්සේට කවුරුත්ම නැත. සිවුරු දැරූ කිසිවකුට පක්‌ෂ දේශපාලනය අකැපය. අද වන විට භික්‌ෂුන්වහන්සේ නිකායත්‍රයට අමතරව එක එක පක්‌ෂ පාට වලට බෙදී ඇත. අප රටට ඉදිරියේa මැතිවරණ සමයක් එනු ඇත. ඉතිහාසයේ පැවති සෑම මැතිවරණයකදීම බුදු දහම පිළිබඳ මාතෘකාව කරළියට පැමිණ ඇත. එදාමෙදාතුර බුදු සසුන හෝ බෞද්ධයා සුරකිනුවස් පත්වූ පාලකයින් හරයාත්මක වූ දායකත්වයක් මේ වන විටත් ලබා දි නොමැත. හෙට දින ද මෙම මාතෘකාව කරළියට ගෙනඑනු ඇත. එහිදී ද දේශපාලකයින් බුදු දහම දේශපාලන පා ගමනෙහි ආකර්ෂණීය සැරසිල්ල බවට පත්කර ගනු ඇත. මේ සියලු පක්‌ෂවලට බෙදී වෙන්ව ඇති සියලුම ස්‌වාමීන්වහන්සේගේ හඬ එක හඬක් බවට පත්කර ගත යුතුව ඇත. තුණුරුවන් ඉදිරියේ තබා ඡන්දය අලෙවි නොකිරීමට වගබලා ගත යුතුව ඇත.
(උපුටා ගැනීම දිවයින)