තෙල් ප්‍රශ්නය යාන්තමින් අහවරය. දැන් තිබෙන්නේ අරක්‌කු ප්‍රශ්නයකි. මෙවර අයවැයේ කතාබහට ලක්‌වුණු මාතෘකා දෙකක් තිබිණි. එකක් වාහන ප්‍රශ්නයයි. දෙවැන්න අප ඉහත කී අරක්‌කු ප්‍රශ්නයයි. වාහන ගන්නට හිටි අය දැන් හිත හදාගෙන තිබෙන වාහන හදාගෙන පාවිච්චි කරන්නට කටයුතු කරමින් සිටිති. අරක්‌කු බොන අයට එවැනි විකල්පවලට යන්නට බැරිය. අරක්‌කු මිල වැඩි වූ විට රටේ අරක්‌කුවලට ලොල්ව සිටින බොහෝමයක් ආදේශක හැටියට කසිප්පු භාවිත කරන බවට මතයක් තිබිණි. එහෙත් මේ වන විට ඒ විකල්පයට යැමේ හැකියාවක් අරක්‌කු ලෝලීන්ට නැත. ඊට හේතුව කසිප්පු වැනි ගමේ ගොඩේ හොර අරක්‌කුවලට තහනම වැඩි නිසාය. ඒ වෙනුවට මිල අඩුකර ඇති බියර් බීවාට කික් එකක් නැති නිසා අමාරුවෙන් හෝ සැර බීම සොයන උදවිය කසිප්පු පොට් මඟහරින්නේ නැත. මේ බව හොඳින්ම තේරුම් ගත් නිසා කම්කරු ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතා කියා තිබුණේ අඩු කළ යුත්තේ බියර් මිල නොව කම්කරු ජනතාව පාවිච්චි කරන ගල් අරක්‌කු මිල බවය.
1995 වර්ෂයේදී ද එවකට මුදල් ඇමැතිවරයා බියර් බදු 50% කින් අඩු කරන ලදී. එහි ප්‍රතිඵලය වූයේ මේ රටේ බියර් භාවිතය සීග්‍රයෙන් ඉහළ යැමයි. හැබැයි අරක්‌කු භාවිතය අඩු වුණේ ද නැත. එය ද බියර්වලට සාපේක්‍ෂව සීග්‍ර ලෙස ඉහළ ගියේය. ඒ නිසාම මේ යෝජනාව ප්‍රායෝගික නොවන අසාර්ථක යෝජනාවකි. කොහොම මිල ඉහළ දැම්ම ද බොන එකා බීම නවත්තන්නේ නැත. මේ රටේ මද්‍යසාර භාවිතය අවම කිරීමේ අදහසින් මුදල් අමාත්‍යවරයා ඒ යෝජනාව ගෙන ඇත්නම් එය අසාර්ථක බවත්, ඊට වඩා ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් රාශියක් ඇති බවත් කිව යුතුය.
නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීමට අවංක වුවමනාවක් ඇත්නම් කළ යුත්තේ වෙනත් මද්‍යසාර සඳහා පනවා ඇති නීති ලිහිල් කිරීම නොවන බව අපේ අදහසයි. කළ යුත්තේ තිබෙන නීතිය හෝ අකුරටම නිසි පරිදි ක්‍රියාත්මක කිරීමයි. කොටින්ම කීවොත් කසිප්පු පාලනය සඳහා මෙවැනි විහිළු සහගත යෝජනා ගෙන ඒම නිරර්ථකය. නීති විරෝධී මද්‍යසාර භාවිතාව පිළිබඳ ප්‍රාදේශීය වශයෙන් කර ඇති සමීක්‍ෂණ වාර්තා පෙන්වා දෙන්නේ නීති විරෝධී මද්‍යසාර භාවිතාව 10% ක ප්‍රමාණය නො ඉක්‌මවන බවය. රාජිත සේනාරත්න ඇමැතිවරයා ද මේ ගැන පාර්ලිමේන්තුවේදී අදහස් දක්‌වා තිබිණි.
ඔහු කියන දේ සංක්‍ෂිප්තව මෙසේය. “බීරවලට දුන් සහනය ගැන එකඟ වෙන්න බෑ. මත්පැන් භාවිතය ගැන මුදල් ඇමැතිවරයාට වැරැදි තොරතුරු ගිහින් තියෙනවා. රටේ නීති විරෝධී මත්පැන් භාවිතය අඩුයි. රටේ සියයට විස්‌සක්‌වත් මත්පැන් බොන්නේ නෑ. මේ නිසා දරුවන්ට බීර පිළිබඳ උත්තේජනයක් ඇතිවන්නට පුළුවන්.” එයින් පෙනෙන්නේ යම් අනර්ථයක් සිදුවීමේ ඉඩකඩක් ඇති බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට වුව අවබෝධ වී ඇති බවයි. සාමාන්‍යයෙන් අරක්‌කු බෝතලයක නිෂ්පාදන වියදමට වඩා බදු ප්‍රමාණයක් ඊට ඇතුළත්ය. බදු වැඩි කළ පමණින් මතට ඇති ඇබ්බැහිය එහෙමට අඩු වූ බවක් වාර්තා වී නැත. බීර මිල අඩු කිරීමෙනුත්, අරක්‌කු මිල වැඩි කිරීමෙනුත් ආණ්‌ඩුවට ආදායමක් ලැබීමේ අවස්‌ථාව වැඩි වන මුත් මත් විරෝධී වැඩසටහනට ලැබෙන සහනයක් නැත.
(උපුටා ගැනීම දිවයින කතුවැකිය)