අපරාධපුවතකට වැඩි යමක්

දකුණේ දේශපාලන පාතාලය උතුරේත් වැඩ අරඹයි..?

ගෝනවල සුනිල්ගෙන් පටන් ගෙන සොත්ති උපාලි, වම්බොට්ටා, ධම්මික අමරසිංහ, බැදදගානෙ සංජීව, ඕල්කට්, ෆාජි, පොට්ට නෞෆර්, ආනමාලු ඉමිටියාස්, චින්තක අමරසිංහ , කලු අජිත්, මොරටු සමන්, දෙමටගොඩ කමල්, කිඹුලා ඇලේ ගුණා, තෙල් බාලා , ප්‍රින්ස් කොලම් , ධනුශ්ක , නේවි රුවන්, නේවි අසංක, කරාටෙ ධම්මික, අයිස් මංජු, නෙලුවේ ප්‍රියන්ත,  කඩුවෙල වසන්ත, ආමි රොෂාන් , උස කුමාර ආදි 70 , 80 , 90 දශක හා පසුගිය දශකයෙ මුල් භාගයෙ පාතාල ලොව හෙල්ලු බොහොමයක් අද වන විට මිය ගොස්ය. නැතහොත් මරා දමා ඇත.

සමහරුන් අතුරුදන්. සමහරුන් හිරගෙදර සිය ජීවතයෙ අවසාන කාලය ගත කරති. දුකුණේ පාතාලය එසේ වෙද්දී මීට ටික කලකට පෙර උතුරෙන්ද පාතාලයක් නිර්මාණය වී ඇතැයි කසුකුසුවක් ඇසෙමින් තිබේ. මෙය ඇත්තටම පාතාලයක්ද නැතහොත් ඊනියා බුද්ධි අංශයේ හෝ ගෝඨාගේම නිර්මාණයක් බව සමහරුන් තර්ක කරති.

පසු ගිය ජුලි 30 වැනිදා දහවල් කාලයේ යාපනය – කෝපායි – කොන්ඩාවිල් ප්‍රදේශයේදී කඩු කිනිසි හරඹයකින්  පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තුවාල සිදු කර තිබීම දකුණේ මෙන්ම උතුරේද පාතාලයක සෙවනැලි රඟ දක්වන බවට හොඳම සාක්කියකි. මහදහවල් ජනයාගෙන් පිරීගිය වීතියක මෙය සිදුවූ නිසාම , විශේෂයෙන් පොලීසියේ දෙදනකුට සිදුවීම නිසාවෙන්ම උතුරේ මෙන්ම දකුණේද මේ ගැන කතාබහට බොහෝසේ ලක්වෙමින් තිබේ. වෙනත් අතුරුදහන් කරවීම් පහරදීම් හා ඝාතන දෙස නෑසුණු කන් වලින්, නොදුටු දෑසින් ඔහේ බලාසිටින පොලීසිය වාහාම ක්‍රියාත්මක විය.

බොහෝ මාධ්‍ය වලින් මෙම සිදුවීම කතාකළ අතර ඇතමුන් මෙය එල්.ටි.ටී.ඊ. යළි නැඟටීමක් ලෙස විකෘතිකිරීම් කරමින් ජනයා නොමග යැවීමට තරම් සමත් විය. වහාම ක්‍රියාත්මක වූ පොලීසිය මෙම සිද්දිය සම්බන්ධයෙන් ආවා  නමින් උතුරේ කල්ලියක් ඇතිබවත් එහි නායකයා යැයි කියමින් අයෙකු අත්තඩංගුවට ගත්තේය.

සත්‍යවේල්නාදන් නිශාන්තන් හෙවත් “නිශා වික්ටර්” නැමති මෙම සැකකරු යාපනේ මහේස්ත්‍රාත් අධිකරණට ඊයේ (16) ඉදිරිපත් කළේය. අධිකරණය ඔහුට ඇප ලබා දුන් අතර මේ වනවිට මාධ්‍යහරහා පාතාල නායකයකු හා එල්.ටි.ටී.ඊ. නායකයකු යැයි හංවඩු ගසා තිබූ නිසාදෝ ඔහුට ඇප තැබීමට කිසිවකු ඉදිරිපත් වී නැත.

එහෙත් අද සැකකරු යාපනය උසාවියට ඉදිපත් නොකර මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන යද්දී බන්ධනාගාර නිලධාරීන්ගේ ග්‍රහනයෙන් මිදී පලාගොස් ඇතිබව පොලීසියේ මහත්තුරුම අපට කියති.

ඇත්තටම ආවා නමින් කල්ලියක් යාපනය මූලික කරගෙන ඇද්ද? විස්සයි විස්සේ ජනාධිපති සිහින දකින ඝෝඨාභයගේ වැරදුණු  කුරුමානමක් වත් දෝයි දකුණේ මෙන්ම උතුරේද තැන තැන කසුකුසු ඇසේ.

ගෝනවල සුනිල්ගෙන් පටන් ගෙන සොත්ති උපාලි වම්බොට්ටා හරහා නේවි අසංක දක්වා ලංකාවේ දේශපාලුවන්ගේ බලල් අත් ලෙස ක්‍රියාකරන පාතලයක් උතුරේද ක්‍රියාත්මක කර ඇත්දැයි කීමට තාමත් කල් මඳිය.

සටහන: වසන්ත බංඩාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *