අපරාධ

වෙඩිතැබීම් දෙකක් හා බෝතල් ප්‍රහාරයක්

ආරම්භයේ නිහඬ බවකින් ඇරඹි මෙම සතියේ පළමු වෙඩි හඬ ඇසෙන්නේ හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයෙනි. ඒ අනුරාධපුරයේ සිට හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයට කිසියම් කටයුත්තක් කරවාගැනීමට යැයි පවසා ගෙන්වා ගත් පුද්ගලයකුට පස්වන    අඟහරුවාදා දහවල් වෙඩි තැබීමත් සම්ඟිනි.

අනුරාධපුර දුටුවැව කටාරම්පුර පදිංචි   38 හැවිරිදි පුද්ගලයකු මෙසේ වෙඩි ප්රහාරයන්ට ලක්ව හික්කඩුව ආරච්චිකන්ද රෝහලටත් එතැනින් ගාල්ල කරාපිටිය රෝහලටත් ඇතුලත් කර ඇත.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මි.මි.9 වර්ගයේ පිස්තෝලයකින් මෙම වෙඩි තැබීම කර ඇතැයි පොලිසිය පවසයි. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මේවනතුරුත් පොලීසියට නොහැකි වී ඇති අතර තුවාලකරු හදිසි ප්‍රතිකාර සඳහා දැඩි සත්කාර ඒකකයට ඇතුලත්කර ඇති අතර මේ සටහන තබන මොහොත වනතුරුත් ඔහු කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීමෙන් දිනක් ගත්වෙද්දී තවත් අපරාධයක තොරතුරු  නාවලපිටියෙන් වාර්තාවිය. ඒ දෙපිරිසක් අතර හටගත් ආරවුලක් දුරදිග යාමෙන් ඇතිවී තිබෙන ගැටුමෙන් නාවලපිටිය බස් නැවතුම්පොළ අසළදී පුද්ගලයෙකු ඝාතනය කර තිතිබීමයි.

මුලදී එකට කාබී විනෝද වුණු පිරිස ඉතම සුළු බහින් බස් වීමක් පටන්ගෙන ඇත. එම ආරවුල දුරදිග යාමෙන් පුද්ගලයෙකු විසින් තවත් අයෙකුට මත්පැන් බෝතලයක් කඩා පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ.

ඝාතනයට ලක්ව ඇත්තේ නාවලපිටිය, බලන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි අයෙකු වන අතර සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් තිබේ. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නාවලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්ය.

සතිය ගෙවීයන සිකුරාදා  මෝදර  ජෝන්වත්තට හැරෙන හංදියේ  මළගෙදරක සිටි පුද්ගලයකුට අලුයම එල්ලවූ වෙඩි ප්‍රහාරයකින්  ඔහු බරපතල තුවාල  ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි. සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ මෝදර කදිරානේ පදිංචි අජිත් කුමාර (42) නැමැති මාළු ව්යාපාරිකයෙකි.

එදින අළුයම  දෙකට පමණ ඔහු  තවත් පිරිසක් සමග මළගෙදර සිටියදී ත්‍රීරෝද රථයකින් පැමිණ පුද්ගලයකු මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බවයි වාර්තාවන්නේ. මෙම සිද්ධිය පුද්ගලික ආරවුලක් මත සිදුකර ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවත් වෙඩි තැබු සැකකරු හදුනාගෙන ඇති බවත් පොලිසිය කියයි.

සටහන: වසන්ත බංඩාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *