අභිරහස් ලෙස ඝාතනය කළ බවට සැක කරන 29 හැවිරිදි එක් දරු පියෙකුගේ සිරුර කටුගස්තොට පොලිස් බල ප්රදේශයට අයත් උගුරැස්සපිටිය පාලම යට ඇළේ තිබී පොලීසිය මගින් අද(14) සොයා ගෙන ඇත. මෙලෙස අභිරහස් ලෙස මිය ගොස් ඇත්තේ කටුගස්තොට උගුරුස්සපිටියේ පදිංචි මොහෙමඩ් තවුෆික් මොහමඩ් දිල්ෂාන් (29) නමැති එක් දරු පියෙකි.
කුළුගම්මන උගුරැස්සපිටිය මාර්ගයේ පාලම යට ඇළේ තිබී ඊයේ උදේ ප්රදේශවාසීන් විසින් මෙම මළ සිරුර දැක ඇති අතර ඔවුන් පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කරනු ලැබ තිබේ.
මෙම මෘත ශරීරය තිබූ ස්ථානයට මඳක් උඩින් ඔහුගේ යතුරුපැදියද වැටී තිබූ අතර ඔහුගේ බවට සැක කරන මුදල් පසුම්බිය පාලම උඩ වැටී තිබී සොයාගෙන ඇත. ඊයේ(13) රාත්රී 12 ට පමණ ත්රීරෝද රථයකින් පැමිණ යම් දෙයක් පාලම අසලින් වීසි කරන හඩ ඇසුණු බවත් ඇතැම් දවස්වල පස් ඇතුළු විවිධ දෑ මෙම ස්ථානයට දමන බැවින් ඒ පිළිබඳව විශේෂ කොට නොතැකූ බවත් ප්රදේශවාසීන් පොලීසියට පවසා තිබේ.
කෙසේ නමුත් මෙය අනතුරක් විය නොහැකි බවත් වෙනත් තැනක ඝාතනය කර මෙම ස්ථානයට මෙම මෘත ශරීරය ගෙනවිත් දමන්නට ඇති බවත් පොලීසිය සැක පළ කරයි.