[ රමිදු පෙරේරා විසිනි
ස්වාධීන රූපවාහිනියේ විකාශනය වෙන කූඹියෝ ටෙලි නාට්‍යය ලංකාවේ ජනප්‍රිය සංස්කෘතියට අලුත් මානයක් එකතු කරලා තිබෙනවා. ත්‍රිලර් ගණයට අයිති මෙම නාට්‍යය බොහෝ දෙනා අතර ජනප්‍රිය වී තිබෙන අතර එය විසින් විවිධ තලවල විවිධ සංවාදයන් ද ඇති කොට තිබෙනවා. උදාහරණයක් ලෙස ෆේස්බුක් තුල නාට්‍යය වෙනුවෙන් සාදා තිබෙන සමූහයේ නාට්‍යය ගැන ඉතාම උනන්දුසහගත සංවාද ඇති වෙන ආකාරය දකින්නට පුලුවන්. විවිධ අය විවිධ ලෙස අදහස් දක්වමින් එම සංවාදවලට සහභාගී වන ආකාරය මේ නාට්‍යය විසින් ඇති කොට තිබෙන ජනප්‍රිය බලපෑමේ පිලිබිඹුවක්.
මෙම නාටකයේ තිබෙන ‘අමුතු ගතිය’ නිසා සහ ඊට මෑතක සිට වාමාංශික පක්ෂයක් ද ඈදි තිබෙන නිසා වාමාංශික අදහස් දරන අය අතරත් මෙම නාට්‍යය එක්තරා සංවාද මාතෘකාවක් වී තිබෙනු දැකගත හැකියි. පසුගිය දිනෙක පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අනුබද්ධ ‘වෙනසක තාරුණ්‍යය’ සංවිධානය විසින් කූඹියෝ සහ ස්වාධීන රූපවාහිනියේම විකාශනය වන ‘සහෝදරයා’ ටෙලි නාටක දෙක අලලා සංවිධානය කල සම්ම්න්ත්‍රණය මේ සම්බන්ධ විධිමත් කතාබහක් ඇති කිරීම සදහා ගත් ප්‍රශංසනීය වෑයමක්. මෙම කෙටි සටහන ලියන්නට යොමුව ඇති වුණේ එම සම්මන්ත්‍රණයේ දී පුබුදු ජයගොඩ සහෝදරයා වම සහ සමකාලීන තාරුණ්‍යය ගැන කල වැදගත් නිරීක්ෂණ කිහිපයක් නිසා ඇති වූ පෙලඹවීම මත.
ග්‍රාමීය රැඩිකල්වාදය
රෝහණ විජේවීර ජනතා විමුක්ති පෙරමුණ තැනීම සදහා පලමු සාකච්ඡාව කරන්නේ 1965 මැයිවල. 1971 වෙන කොට රාජ්‍ය බලය අල්ලා ගැනීම සදහා දහස් ගණනක් තරුණයින්ගේ මැදිහත්වීමෙන් විශාල කැරැල්ලක් දියත් වෙනවා. තරුණයින් අතර ආකර්ෂණීය රැඩිකල් ව්‍යාපාරයක් ඇති කිරීමට විජේවීරට ගත වෙන්නේ අවුරුදු පහකටත් අඩු කාලයක්. මේ ක්‍රියාවලියේම වඩා විශාල ප්‍රතිනිරූපණයක් අපිට පෙනෙනවා 1980 ගණන්වල අග සිදුවන අයුරු.
මේ කැරලි දෙක ගත්තහම – සහ මේ යුගවල ක්‍රියාත්මක වූ වෙනත් කුඩා වාමාංශික කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වය දෙස බැලුවහම පෙනෙන දේ තමයි රැඩිකල් විමුක්තිකාමී දේශපාලනයට තරුණ පරම්පරාව අතර තිබුණු පිලිගැනීම සහ ආකර්ෂණය. මේ අවස්ථා දෙකේම ජනතා විමුක්ති පෙරමුණේ සක්‍රීය සමාජ පදනම වුණේ ග්‍රාමීය හා අර්ධ නාගරික පහල පාන්තික තරුණ තරුණියන්. මේ සමාජ තලය තුල අත්විදි දරිද්‍රතාවය,ආර්ථික අසමානතාවය, විරැකියාව, සමාජ අසාධාරණය ආදිය ගැන තිබුණු කෝපය හා විරෝධාකල්ප සාර්ථක ලෙස සංවිධානය කිරීමට හැකිවීමේ ප්‍රතිඵල තමයි ඉහත කී දේශපාලන නැගිටීම්. වැටුප් නොගෙන සිය ජීවිතය පූර්ණකාලීන දේශපාලනය සදහා කැප කරන ක්‍රියාධරයින් සහ අවශ්‍ය නම් ජීවිතය වුණත් පූජා කිරීමට සූදානම් කේඩර්ගත සාමාජිකයින් සහිත පක්ෂ ව්‍යුහ ගොඩනැගෙන්නේ මෙන්න මේ සන්දර්භය තුල.
1970 ගණන්වල හා 80 ගණන්වල රැඩිකල් විරෝධාකල්ප දේශපාලනයට ගම්බද හා අර්ධ නාගරික තරුණ පරම්පරාව අතර තිබුණු ආකර්ෂණය ගැන – දශක කිහිපයකට පසු – එනම් 2017 දී අපට කිව හැක්කේ කුමක්ද?
මේ ආකර්ෂණය සැලකිය යුතු මට්ටමකින් දුර්වල වී තිබෙන බව සහ එම දුර්වල වීම එම ආකර්ෂණය මත පදනම් වූ ජනතා විමුක්ති පෙරමුණ සහ පසුව ඉන් බිදී ගිය පෙරටුගාමී පක්ෂය යන පක්ෂවල පැවැත්ම කෙරෙහි විශාල අභියෝගයක් එල්ල කොට තිබෙන බව පැහැදිලිව පෙනෙනවා. උදාහරණයක් විධිහට මේ පක්ෂවල බලකොටු ලෙස සැලකෙන විශ්ව විද්‍යාලවල මීට දශක කිහිපයකට කලින් දක්නට ලැබුණු දේශපාලන උනන්දුව අද වන විට දක්නට නැහැ. විශ්ව විද්‍යාලවල දේශපාලන සංවාදවල මට්ටම ඉතාම දුර්වලයි. විවිධ හේතු නිසා ශිෂ්‍ය සංගම්වල කටයුතුවලට සිසුන් තවමත් සම්බන්ධ වූවත් දේශපාලන පක්ෂවලට සිය වැඩ සදහා පිරිස් සොයාගැනීම දුෂ්කර වී තිබෙනවා. සිය පෞද්ගලික පැවැත්ම ඉවත ලා පක්ෂය වෙත පූර්ණකාලීනව ජීවිතය කැප කිරීමට ඉදිරිපත් වන තරුණ තරුණියන් එන්න එන්නම අඩු වෙනවා. ඉතාම පෙරලිකාරී ආමන්ත්‍රණයක් සහිතව ආරම්භ කල විජේවීරගේ ව්‍යාපෘතිය වසර පහක් තුල අත්පත් කරගත් සාර්ථකත්වය වැන්නක් වත්මන් තත්වයන් තුල රිපීට් කිරීමට තිබෙන ඉඩ ඉතාම අඩු බව කණගාටුදායක වුණත් ඇත්තක්.
මේ වෙනසට බලපා තිබෙන හේතුව මොකක්ද? ප්‍රධානතම හේතුව තමයි දශක කිහිපයක විවෘත ආර්ථිකය විසින් ලංකාවේ සිදු කොට තිබෙන බරපතල සමාජ විපර්යාසය. මේ සමාජ විපර්යාසය ගම්බද හා අර්ධ-නාගරික තරුණ පරම්පරාවේ රැඩිකල්හරණයට බලපාන ආකාර දෙකක් හදුනාගන්නට පුලුවන්.
A) පලමුවැන්න තමයි විවෘත ආර්ථිකය විසින් ආර්ථිකය තුල සිදු කොට තිබෙන ප්‍රසාරණය. විවෘත ආර්ථිකය විසින් එතෙක් නොතිබුණු ‘ආර්ථික අවස්ථා’ පෙලක් විවෘත කරනු ලැබුවා. උදාහරණයක් විධිහට, විදේශ රැකියාවකට ගොස් – ඉතාම නරක සේවා කොන්දේසි යටතේ හෝ – යම් කාලයක් වැඩ කොට යමක් කමක් උපයා ගෙන යලි සියරට ඒමේ හැකියාව අවුරුදු හතලිහකට කලින් තිබුණේ නැහැ. සේවා ආර්ථිකය විසින් ඇති කොට තිබෙන නව රැකියා – පෞද්ගලික බස්වල කොන්දොස්තරකම්වල සිට හෝටල්වල සේවය කිරීම දක්වා, ත්‍රීරෝද රථ එලැවීමේ සිට නගරවල බුරුතු ගණන් ඇති වී තිබෙන කොමියුනිකේෂන්වල වැඩ කිරීම දක්වා ‘නව රැකියා’ දශක කිහිපයකට පෙර නොතිබුණු දේවල්. මේ නව තත්වය විසින් විශ්ව විද්‍යාලවලට නොතේරෙන පහල පාන්තික තරුණයින්ට කැරලි ගැසීමට වඩා වෙනස් තෝරාගැනීමක් සපයා දෙනු ලැබ තිබෙනවා.හැම අවස්ථාවකදීම යථාර්තයක් නොවුනත් ස්වකීය පරිභෝජන ස්ථරය මාරු කරගැනීම පිලිබද ‘සිහිනයක්’ හැම වෙලේම මෙම තත්වය විසින් නඩත්තු කරනු ලබනවා.
විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් ගත්තහම ශිෂ්‍ය ජීවිතය කාලය තුල වුණත් දේශපාලනය කරනවාට වඩා ආර්ථික වසයෙන් ප්‍රතිලාභසහගත විවිධ විකල්ප විවෘත වී තිබෙනවා. ජවිපෙ හෝ පෙසප ශිෂ්‍ය සංවිධානවල සංවිධායකයින් යනු මේ ප්‍රශ්නය හොදින්ම අත් විදින පිරිසක්. යම් දේශපාලන උනන්දුවක් තිබෙන සිසුන් උනත් ටියුෂන් කිරීම, විවිධ ප්‍රමෝෂන් වලට සම්බන්ධ වීම, පාට්-ටයිම් රැකියා කිරීම ආදියට උනන්දුයි දේශපාලන පංතිවලට සහභාගී වෙනවාට වඩා. රජරට ආදී තරමක් පරිධියේ තියෙන විශ්ව විද්‍යාලවලට වඩා මෙබදු අවස්ථා සුලභ කොලඹ නගරාසන්න විශ්ව විද්‍යාලවල මේ තත්වය වඩාත් තීව්‍රයි.
B) විවෘත ආර්ථිකය විසින් ඇති කොට තිබෙන අනෙක් බරපතල වෙනස තමයි එය විසින් ඇති කොට තිබෙන පුද්ගලවාදී සහ පරිභෝජනවාදී සංස්කෘතිය. පාරිභෝගික සංස්කෘතිය විසින් අවසන් නොවෙන ආශාවන් නිෂ්පාදනය කෙරෙන අතර මේ ආශාවන් පසුපස හඹා යන මිනිස් ආත්මයක් ද නිර්මාණය කොට තිබෙනවා. මෙන්න මේ තත්වය ගම්බද හා අර්ධ නාගරික තරුණ කොටස් කෙරෙහි තියුණු ලෙස බලපා තිබෙනු දැකගත හැකියි. එක් පැත්තකින් ‘තමන් තනිව’ ගොඩ යා යුතු බවට වූ දෘෂ්ටිවාදය නඩත්තු කෙරෙන අතර අනෙක් අතට ‘තමන්ට තනිව ගොඩ යා හැකි’ බවට විශ්වාසය තරුණයින් තුල ඇති කරන යම් යම් ආර්ථික අවස්ථා ද විවෘත වී තිබෙනවා. වෘත්තීය සමිතිවල ක්‍රියාකාරී අත්දැකීම් සහිත ක්‍රියාධරයෙක් වරෙක අප සමග කියා සිටියේ වැඩපොලවල සේවය කරන තරුණ කොටස් වෘත්තීය සමිති කටයුතු කෙරෙහි දක්වන සාපේක්ෂ උනන්දුව අඩු බව. ඊට වඩා ඔවුන් උනන්දු වන්නේ ස්වකීය ජංගම දුරකථනය, ලැප්ටොප් යන්ත්‍රය ආදී දේවල් ගැන බව සහ දැනට තිබෙන භාන්ඩයට වඩා හොද භාන්ඩයක් මිල දී ගන්නේ කෙසේද යන්න ගැන බව. පාරිභෝගික සංස්කෘතිය සහ වැටුප් ඉහල නොයාම විසින් ‘ණය සංස්කෘතියක්’ නිර්මාණය කොට තිබෙන අතර ස්ට්‍රයික් කලහොත් මාසික ණය වාරික ගෙවීමට නොහැකි වීම නිසා වැඩවර්ජන වැනි සාමූහික ක්‍රියාවන්ට සහභාගී වීමට තිබෙන පෙලඹවීම කෙරෙහි ද එය අහිතකර ලෙස බලපා තිබෙනවා. ඒ වෙනුවට මානව සම්පත් කලමණාකරුවන් සමග පුද්ගලිකව කථා කොට ප්‍රශ්න විසදා ගැනීම කෙරෙහියි වැඩි යොමුවක් දක්නට ලැබෙන්නේ.
අම්මගෙ රෙද්දේ විප්ලවය
ඉහත කී පසුබිම තුල කූඹියෝ නාටකයේ ජෙහාන් සහ ප්‍රියන්තව හදුනාගත හැක්කේ කෙසේද? අපිට යෝජනා කරන්න පුලුවන් විවෘත ආර්ථිකය විසින් ගම්බද හා අඩ නාගරික තරුණ ජනයා අතර ඇති කොට තිබෙන එක්තරා පැල්මක් මෙම චරිත විසින් නියෝජනය කරන බවට. විවෘත ආර්ථිකය විසින් ඇති කල අවස්ථා හොදින් ඩැහැගෙන සිය තත්වය උසස් කරගත් අය සහ එසේ කරගැනීමට – ඉහත කී පලමු ප්‍රවර්ගයට සාපේක්ෂව – අසමත් වූ අය ලෙස මෙම පැල්ම අපට නම් කරන්නට පුලුවන්.
ජෙහාන් සහ ප්‍රියන්ත දෙපොලම ග්‍රාමීය මූලයක් සහිත තරුණ චරිත. පලමුවැන්නා නාගරික ජීවිතයේ ඇතැම් සූක්ෂමතා අවශෝෂණය කරගැනීම නිසා ‘ස්මාට්’ තත්වයට පත්වූ අයෙක් වන අතර දෙවැන්නා සතුව එම සූක්ෂමතා නැහැ. ජෙහාන් ගතකරන ජීවිතය නරුමයි. තමුන් ගේම්කාරයෙක් බව ඔහු දන්නවා. ඒ ගැන ඔහු ආඩම්බරයි. සතුටුයි. සිය ගේම් සදහා තමා ගැන විශ්වාස කරන අනෙකා වන ප්‍රියන්තව වුණත් පාවිච්චි කිරීමට හෙතෙම පසුබට වෙන්නේ නැහැ. වාමාංශික දේශපාලනය ඔහුට ආකර්ෂණය වන විෂයක් නෙමෙයි. වාමාංශික පක්ෂයේ අය ඉදිරියේ ඔහු ඔවුන්ගේ දේශපාලනය ගැන කථා කරන්නේ පරිහාසාත්මකව. තමුන්ට වැදගත් ඉන් තමුන්ට ලැබෙන මුදල පමණක් බව ඔහු කිසිදු පැකිලීමකින් තොරව කියනවා. කූඹියෝ සම්මන්ත්‍රණයේ දී පුබුදු ජයගොඩත් මතක් කල විධිහට විප්ලවය ඔහුට ‘අම්මගෙ රෙද්දේ විප්ලවය’.
තරමක සීමාන්තික ලෙස වූවත් ජෙහාන් විසින් මේ පෙන්නුම් කෙරෙන ගති ලක්ෂණය සමකාලීන තරුණ පරම්පරාවේ එක්තරා ස්ථරයක් තුල දක්නට ලැබෙන ගති ස්වභාවය බව කිව හැකියි. ගේම් තුලින් නොවුණත් යම් යම් අවස්ථා තුලින් ස්වකීය පරිභෝජන ස්ථරය උසස් කරගත්, ගම්බද හෝ අඩ නාගරික මූලයක් සහිත මෙම ස්ථරය ඉතාම තදින් පුද්ගලවාදය සමග ආබද්ධව සිටින අතර ‘සමාජය’ මේ ලෝක දැක්මට අනුව විහිලුවක්. සමාජය වෙනුවෙන් දේශපාලනය කරන්නට යෝජනා කරන වාමාංශික දේශපාලනය ඔවුන්ට ගෝචර වන දෙයක් නෙමෙයි.
මේ ස්ථරයේ දැක්ම ප්‍රකාශ වූ හොද අවස්ථාවක් තමයි පසුගිය දවස්වල ඇති වූ ශිෂ්‍ය සටන් ගැන ෆේස්බුක් ආදී තැන්වල හුවමාරු වූ ඇතැම් අදහස්. අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මසකට වරක් කොළඹ පැමිණ වතුර නෑම ගැන සිංහල භාෂාවෙන් පරිහාසයෙන් කථා කල බහුතරය ගත්තහම ඔවුන් නියෝජනය කරන්නේ මෙන්න මේ සමාජ ස්ථරය සහ ඒ සමග සම්බන්ධිත නරුමවාදී සිතීම. මෙබදු අය විසින් පරිහාසයට ලක්කෙරුණු තවත් දෙයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී පක්ෂය ආදී සංවිධාන ජාත්‍යන්තර සහයෝගය සදහා කල යම් යම් වැඩ. කියුබාවට අත නොතබනු කියලා ලංකාවේ පෙලපාලි ගියාම ඇමරිකාව කියුබාවෙන් අත ගනීද? ආදී ලෙස ඇසුණු ප්‍රශ්නවලින් පෙන්නුම් වූයේ ගෝලීය මිනිස් සමාජයක් ගැන වාමාංශික පරමාදර්ශයන් හා මේ ස්ථරයේ සිතීම අතර තිබෙන පරතරය. 70 හා 80 දශකවල උන්නතිකාමී පහල පාන්තික තරුණයින්ට වෙනත් විකල්පයක් නොතිබීම තුල රැඩිකල් දේශපාලනය විකල්පයක් වූ නමුදු විවෘත ආර්ථිකය විසින් ඇතිකොට තිබෙන අවස්ථා විසින් අද වනවිට එවැනි අය තම පරිභෝජන ස්ථරය මාරු කරගෙන සිටින අතර ඔවුන්ගේ සිතීමට ආමන්ත්‍රණය කිරීමට සමකාලීන වාමාංශය බොහෝ දුරට අසමත් වී තිබෙනවා.
අනෙක් චරිතය ගත්තහම, ප්‍රියන්ත ජෙහාන්ට සාපේක්ෂව ‘පරාජිතයෙක්’. ඔහු ජෙහාන්ට පසුපසින් ගාටනවා. ජෙහාන් විසින් අත්පත් කොට ගෙන තිබෙන විවිධ සූක්ෂමතා ඔහු සතුව නැහැ. ප්‍රාග්ධනයට සාපේක්ෂව හසු නොවූ පිටිසර ගමකින් කොලඹ එන ඔහු තුල – ගුණදාස අමරසේකරගේ වචනවලින් කියනවා නම් – එක්තරා විධිහකට කුසලාකුසල විඥානයක් ජෙහාන්ට සාපේක්ෂව (තවමත්) වැඩ කරනවා. අපිට කියන්න පුලුවන් 1970 හා 80 ගණන්වල ජනතා විමුක්ති පෙරමුණේ රැඩිකල් දේශපාලනයට ආකර්ෂණය වූ මිනිස් විෂය ප්‍රියන්ත විසින් නියෝජනය කරනවා කියලා. (අදටත්, ජනතා විමුක්ති පෙරමුණේ හා පෙරටුගාමී පක්ෂයේ සක්‍රීය ක්‍රියාධර තලය අඩු වැඩි වසයෙන් සංයුක්ත වන්නේ දේශපාලනිකකරණය වූ ප්‍රියන්තලාගෙන්)
අපි සිතමු ප්‍රියන්ත ජෙහාන්ගේ ගැටයේ ප්‍රතිඵලයක් ලෙස නොව වෙනත් විධිහකට ශාක්‍යා හෝල්ඩිංස්හි වැඩට ගිය බවට. එය ශාක්‍යා හෝල්ඩිංස් වේවා, නගරයක ආපන ශාලාවක් වේවා, කොමියුනිකේෂන් ආයතනයක් වේවා, කොරියාවේ රැකියාවක් වේවා ඕනෑම දෙයක් විය හැකියි. එතනින් එහාට ඔහු සම්බන්ධ වෙනවා පාරිභෝගික භාණ්ඩවලින් සමන්විත වෙනත් ලෝකයකට. එසේ වුවහොත් ඇතැම් විට හිරුණි විසින් මුලාවක් ලෙස පොරොන්දු වූ ජංගම දුරකථනය මිල දී ගැනීමට සමහර විට ඔහු මාස් පතා මුදල් ඉතිරි කිරීම පටන් ගන්නට පුලුවන්. එබදු දේ සදහා ඕවර් ටයිම් කිරීමට සහ අවශ්‍ය නම් පාට් ටයිම් රැකියාවක් කිරීමට පෙලඹෙන්නට පුලුවන්. මහඋල්පතගම සුදු නංගී සමග ජයට මගුලක් ගැනීම සදහා ණය ගැනීමටත්, ඒ ණය ගෙවීම සදහා තව වැඩ කිරීමටත් ඔහු යොමු වීමට පුලුවන්. ඒ සදහා ණය දෙන ආයතනත් ඇති තරම් තිබෙන තත්වයක් තුල වාමාංශික පක්ෂයේ රතු සහෝදරයින් ඔහුට තෝරාගැනීමක් ලෙස මුණ ගැසෙන්නට තිබෙන ඉඩ සාපේක්ෂව අඩුයි. ඒ වගේම මේ ක්‍රියාවලිය තුල ඔහුගේ කුසලාකුසල විඥානයට මොකක් වේවිදැයි සහතිකයක් දෙන්නත් බැහැ.
සරලව කියනවා නම්, එක් අතෙකින් ජෙහාන්ලා බිහිවීම නිසා ජනතා විමුක්ති පෙරමුණ ආදී රැඩිකල් පක්ෂවල සාම්ප්‍රදායික බල පදනමේ එක් කොටසක් ඔවුන්ට අහිමි වී තිබෙනවා. අනෙක් අතට, ප්‍රියන්තලාට 1970 ගණන්වල නොතිබුණු ලෝකයක් විවෘත වීම නිසා එම පක්ෂවලට පූර්ණකාලීනව සම්බන්ධ විය හැකි වර්ගයේ ප්‍රියන්තලා ප්‍රමාණය සීඝ්‍ර ලෙස පහල වැටී තිබෙනවා. 1970 ගණන්වල යථාර්තයන්ට අනුරූපී, වැටුප් නොලබා ස්වේච්ඡාවෙන් දේශපාලනයට කැපවන ක්‍රියාධරයින්ගෙන් සමන්විත සංවිධාන ව්‍යුහ මත පදනම් වූ රැඩිකල් වාමාංශික පක්ෂවලට මේ නිසා මුහුණ දෙන්නට සිදු වී තිබෙන්නේ පැවැත්ම ගැන ප්‍රශ්නයකට. පරණ පන්නයේ රැඩිකල්වාදය ඒ අනුව විසාල අභියෝගයකට මුහුණ දී සිටින බව කිව හැකියි.
නව රැඩිකල්වාදයක්?
මෙම තත්වය අභියෝගයක් ලෙස පිලිගන්නවා නම්, මේ අභියෝගය ජය ගත හැක්කේ කෙසේද? මේ තරමක් බැරෑරුම්ව කල්පනා කරන්නට වෙලා තියෙන ප්‍රශ්නයක්. ඒ ගැන සදා නිම කල පිලිතුරක් ඉදිරිපත් කල නොහැකියි. නමුත් පැහැදිලිව කිව හැකි එක් දෙයක් තමයි ‘කුසට සාගිනි – හදට සෝ ගිනි – ඉනට වැරහැලි’ පන්නයේ පරණ පීඩිත කතිකාව ජෙහාන්ට කෙසේ වෙතත් ප්‍රියන්තලාට වුණත් ආකර්ෂණීය වීමට තිබෙන අවකාශය ඉතාම අඩමානබව.
මේ තතු තුල කල හැකි එක් දෙයක් තමයි විවෘත ආර්ථිකය විසින් ඇති කල නව තත්වයන්වල යථාර්තය පිලිගෙන, එම තත්වයන් තුල තිබෙන ප්‍රතිවිරෝධතා තුල වැඩ කිරීම. ප්‍රියන්තලා මුහුණ දෙන නව ප්‍රශ්න – අඩමාන ශ්‍රම කොන්දේසි, ණය, ගෙවල් කුලී ආදියට දේශපාලනිකව ආමන්ත්‍රණය කිරීමට වෑයම් කිරීම. ඇත්තටම විවෘත ආර්ථිකය විසින් ඇති කල නව රැකියා වල නියුක්ත තරුණ ශ්‍රමිකයින්ට මුහුණ දෙන්නට සිදුවන බරපතල ප්‍රශ්න තිබෙනවා. මේ අය රැකියා අත් හැරලා පූර්ණකාලීනව දේශපාලනය කරන්නට එන්න තියෙන ඉඩ අඩුයි තමයි. නමුත් ඔවුන්ගේ මේ ප්‍රශ්න දේශපාලනිකව ආමන්ත්‍රණය කෙරෙන ප්‍රබල ව්‍යාපෘතියක් පෙනෙන්නට නැහැ.
සහ අනෙක් දෙය තමයි පුද්ගලවාදී සහ පරිභෝජනවාදී ජීවන රටාව තුල මේ අයට අත් විදින්නට සිදුවන මනුෂ්‍ය ආත්මය පිලිබද ගැටලුවලට රැඩිකල් ලෙස ආමන්ත්‍රණය කිරීමට උත්සාහ කිරීම. මොන තරම් නරුම හැසිරීමක් පෙන්නුම් කරත් ජෙහාන් සසල වෙන තැන තමයි හිරුණි. මේ සසල වීම තුල ගැබ් වී තිබෙන්නේ හර පද්ධතියකින් තොර නරුමවාදී ජීවිතය විසින් ඇති කොට තිබෙන මිනිස් කාංසාවද?මේ කාංසාවට අද ආමන්ත්‍රණය කරන්නේ පිටිදූවේ සිරිධම්ම සහ මහමෙවුනාවේ ලොකු සාදු වගේ අය. මේ කාංසාවට ආමන්ත්‍රණය කරමින් – මාක්ස් වෙනස් සන්දර්භයක කීවා වගේ ‘අවසානයේ දී මිනිසාට තම ජීවන තත්වයන් හා තම වර්ගයා සමග ඇති අන්‍යොන්‍ය සම්බන්ධතා දෙස සන්සුන් සිතින් බැලීමේ අවශ්‍යතාවය’දේශපාලන ප්‍රශ්නයක් ලෙස මතු කල හැකිද? සමසමාජ පක්ෂය 1970 ගණන්වල තමන්ගේ න්‍යායික සගරාවල පරාරෝපණය ගැන කථා කරලා තිබෙනවා. නමුත් එය සක්‍රීය දේශපාලන ව්‍යාපෘතියක් සමග සම්බන්ධ කිරීමක් ගැන ඒ අය කල්පනා කලේ නැහැ. පෙරටුගාමී පක්ෂය ජවිපෙන් කැඩී වෙන් වූ අලුත පරාරෝපණය හා පරිභෝජනවාදය වගේ මාතෘකා තම දේශපාලන සංවාද තුල සාකච්ඡා කරන්නට පටන් ගත්තා. ඊට කවර ප්‍රමාණයක අවධානයක් මේ වනවිට ලැබෙනවාදැයි පැහැදිලි නැහැ.
අනෙක් අතට ගත්තහම එක්තරා සන්දර්භයක් තුල වලංගු වූ සංවිධාන හා පක්ෂ ආකෘති නව තත්වයන්ට කොයි තරම් ගැලපෙනවාද? එක්තරා යුගයක් නියෝජනය කරන සංකේත, භාෂා රටා සහ හැගවුම්වල සමකාලීන වලංගුතාවය මොකක්ද? මේ වගේ බොහෝ ප්‍රශ්න තියෙනවා සැලකිල්ලට භාජනය විය යුතු.
ඒ කොහොම වුණත්, සමාජයේ සිදු වී තිබෙන වෙනස්කම් නිසා තවදුරටත් විපර්යාසකාරී රැඩිකල් දේශපාලනයක් වලංගු නැහැ කියන අසුබවාදයට හා නිෂ්ක්‍රීයවාදයට අප නොවැටෙනවා නම්, නව තත්වයන් ආමන්ත්‍රණය කල හැකි නව පන්නයේ රැඩිකල්වාදයක් අවශ්‍ය බව නම් පැහැදිලිව කිව හැකියි. කූඹියෝ නාටකය තුල ශාක්‍යා හෝල්ඩිංස් මෝඩ විධිහට උත්කර්ෂයට නංවා තිබෙන හැටි, වෘත්තීය සමිති හා කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් වැඩ කිරීම කලු පාටින් පින්තාරු කරලා තිබෙන හැටි සහ ඒවා නරුමවාදී වෙලද දෘෂ්ටිවාදය සමග සම්බන්ධ විධිහ ආදී දේවල් මේ සටහන තුල සාකච්ඡා කලේ නැහැ. කාට හරි ඒකත් කරන්න පුලුවන් නම් ලොකු දෙයක් මොකද හියුමන් රිසෝස් මැනේජ්මන්ට් ගැන සහ වෘත්තීය සමිතිවල නපුර ගැන හා හෝ ගාන බොහෝ අය කූඹියෝ ෆැන් පේජ් වැනි තැන්වල රංචු ගැහිලා සිටින නිසා.
උපුටාගැනීම: akshaya.lk