පුවතකට වැඩි යමක්විශේෂාංග

බුදු රුව පච්ච කෙටූ කතට ලක්ෂ 8ක වන්දියක්

ලංකාවෙන් දවසක් හෝ එලියට, වෙනත් රටකට ගිය අයෙකු එම රටවල බුදුන් වහන්සේගේ රුව එක් එක් ආකාරයෙන් නිර්මාණය කර ඇති  බව, දැක ඇතුවාට සෙක නැත. ඒ ඒ රටවලට ආවේනික ඔවුන්ගේම අනන්‍යතාවයක් සහිතව බුදු රුව නිමවා තිබීම අගය කළයුතුය. ලංකාවේ, ඉන්දියාවේ ඇතුළු ආසියාවේ විහාරස්ථාන වල දැකිය හැකි බුදු පිළිම ලෝකයේ බොහෝ රටවල දක්නට නැත. ඒ අපටම අනන්‍යවූ අපේම සම්ප්‍රධායක් ඊට තිබීමයි. ඉන්දියාවේ ඇතැම් ස්ථාන වලත් නේපාල්යේ ඉතාම ජනප්‍රිය බෞද්ධ විහාරස්ථානයක් වන ස්වයම්භූ නම් මහ දාගැබ පිහිටි ස්තානයේත් සිටින බෞද්ධ හිමිවරුන්ගේ හැසිරීම් රටාව අගය කළයුතුය. කාන්තාවන් ඇසුරු කර ඔවුන් සමඟ රතීසුව විඳීම විනයානුකූලව භික්ෂුවට තහනම් ය. අපේ රටේත් එය එසේමය. නමුත් අප්‍රසිද්ද තලයේ එය ජයටම කරගෙන යෑමට අපේ රටේ හාමුදුරුවරු සමත්කම් දක්වති. ඉඳ හිට එකක් දෙකක් මාට්ටුවෙනවා හැරෙන්නට ඉතිරි සියල්ලන්ට එය සාමාන්‍ය දෙයකි. මගේ කියවීම නම් එය අගය කළ යුතුය. බලෙන් තම ලිංගික කටයුතු කරගන්නට සාමණේර හිමිවරුන් යොදාගන්නවාට වඩා එය ඉතාම හොඳ තෝරාගැනීමකි.

මා මේ කියන්නට උත්සාහ කරන්නේ හාමුදුරුවරුන්ගේ ලිංගික ජීවිතයගැන නොවේ. එම අයිතියට හිසනමා ආචාරය පුදකරන ගමන් ලෝකයේ අනෙක් රටවල බුදුන්වහන්සේව යොදාගෙන තමන්ගේ ආදරය, බුදුන් වහන්සේට ඇතිගෞරවය පළකිරීමට කර ඇති නිර්මාණ කිහිපයක් ගැන ලියන්නට අදහස් කළෙමි. මගේ මිතුරකුගේ අද්දැකීමකින් එය ඇරඹීම අගේ යැයි සිතුවෙමි.

ඉන්දියාවේ බෞද්ධ සිද්දස්ථාන වැඳපුදාගන්නා සති තුනක චාරිකාවකට මගේ මිතුරාද එක්වී ඇත. එහිදී නේපාලයේ ලුම්බිණිය ඇතුළු වෙහෙර විහාරස්ථාන කිහිපයක් දැක බලාගැනීමටද ඔහු ට හැකි වී ඇත. නෙපාලයේ තමන් දුටු අපූරු සිදිවීමක් ගැන ඔහුගේම වචන වලින්.

“නේපාලයේ කත්මණ්ඩු නගරය ආසන්නයේ ඇති ජනප්‍රිය ස්තූපයක් ඇති විහාරයකට මට යන්නට අවස්තාව ලැබුණා. ස්වයම්භූ විහාරය කිව්වම හැමෝම දන්නවා.  ටිකක් දුරදීම මමදැක්කේ විශාල බුදු පිළිමයක්. වැව්රුකන්නල වගේ. එහෙත් මෙහි විශාල බුදුපිළිමයක් දෙපස මහා දේව පිළිම දෙකකි. එය සියසින් දැක ගැනීමේ උවමනාවෙන්ම පඩිපෙළ නඟින මට පසෙක සුන්දර නේපාල් යුවතියක් තුරුලු කරන් සිගරට්ටුවක දුම් උරන බෞද්ධ හාමුදුරුනමක් දකින්න ලැබුණා. කැමරාවට අතගියත් සේයාරුවක් ගැනීමට ලෝබ හිතුනා. ඒ ඔවුන්ගේ ආදරබර ආලිංගන කතාබහට මගෙන් හිරිහැරයක් වේදෝයි යන හැඟීමෙන්. ලංකාවේදී නම් දඬුවම් ලැබිය හැකි, මිනිසුන්ගෙන් අපහාස තොගයක් ලැබිය හැකි වරදක් වුවද මෙම ස්ථානයේ එය සාමාන්‍ය දෙයකැයි මගේ මිතුරාගෙන් දැනගත් විට සේයාරුවක් නොගැනීම ගැන මම ඉත සිතින් සතුටට පත් වුනා. “

ඔහුගේ කතාබහින් මට තෙරුම් ගිය ප්‍රධානතම කරුණ නම් ප්‍රසිද්ධ විහාරයක එසේ හැසිරීම සාමාන්‍යදෙයක් වීමට තරම් බුදුන් උපන් දේශයේ මිනිසුන් නිදහස් මිනිසුන් බවයි. එම විහාරයේ ඇති පහත සේයාරූ ඔවුන්ගේ නිදහස් නිර්මාණ කෞශල්‍ය මොනවට විදහා පාන්නකි.

   

නේපාලයේ ඇති නිදහසටත් වඩා යුරෝපයේ මිනිසුන්ගේ බුදුන්ට ඇති ආදරය අගේ කළ යුතුය. එහිදී නෙදර්ලන්තයේ ඇමස්ටර්ඩෑම් නුවර බොහෝ වීදි බුදුන්වහන්සේගේ එක් එක් නිර්මාණ වලින් පිරී ඇති බව කිව යුතුය. විවිධ ආකාර කන්සා නිශ්පාදන අළෙවි කිරීමට බුදුරුව යොදාගැනීමට නෙදර්ලන්ත නිර්මාණ කරුවන් කටයුතු කර ඇත. මේ වැඩි වේලාවක් රතීසුව විඳිය හැකි ජෙල් වර්ගයක් විකිණීමට ඇති වෙලඳ සැලක සේයාරුවක්.

කන්සා වලින් සෑදූ විවිධ සබන් වර්ග, බීම වර්ග, ලිංගික උත්තේජන පෙති, හා විවිධ වර්ගයේ රසැති කන්සා විකිණීමට ඇති කඩයක සේයාරුවක්.

මේ හැම තැනකම විශේෂත්වය වන්නේ බුදුරුව තමන්ට හිතුසේ නිර්මාණ කිරීමට එම රටවල් නිදහස ලබාදී තිබීමයි. එහෙත් ලංකාව බුදුරුව පච්චකොටාගෙන ආ කාන්තාවක පවා රටින් පන්නා දැම්මේය. ඇය ජාත්‍යන්තර මාධ්‍යයට කියාතිබුණේ තමන් බෞද්ධයකු බවත්, බුදුන් වහන්සේට, උන් වහන්සේගේ දහමට ඇළුම් කරන බවත්ය.

සිය බාහුවේ බුදු රුවක් පච්ච කොටගෙන පැමිණීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවට රුපියල් ලක්ෂ 8ක මුදලක් වන්දි සහ නීතීඥ ගාස්තු ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා නියෝග කර තිබේ. අපේ රටේ බුද්ධිමත් විනිසුරුවරුන් කිහිපදෙනකුගේ තීන්දුවකි. අඩුම තරමේ අප සඳහන් කළ එකඳු රටක හෝ මෙම විනිසුරුවරයා ගොස් හෝ අසා ඇතිබවට සහතික විය හැකිය.

බ්‍රිතාන්‍ය ජාතික නාඔමි මිචෙල් කොල්මන් නමැති කාන්තාව 2014 වසරේදී එසේ අත්අඩංගුවට පත්ව තිබිණි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අගතියට පත් කාන්තාව වෙනුවෙන් රජයෙන් රුපියල් ලක්ෂ 05ක් සහ ඉතිරි රුපියල් ලක්ෂය ඇය අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනාට රුපියල් 50,000 බැගින් ගෙවන ලෙසද නියෝග කර ඇත. නඩු ගාස්තුව ලෙස රුපියල් ලක්ෂ දෙකක්ද ඇය වෙත ගෙවන ලෙස ශ්‍රී ලංකා රජයට නියෝග කර තිබේ.

ලංකාවේ බොහෝදෙනකු තවමත් සිතන්නේ ලෝකෙන්ම උතුම්ම රට ලංකාවයි මගේ ලංකාවයි කියාය. එහෙත් මේ උතුම්ම රටේ ගොබ්බ ඇතමුන් බුදුන් වහන්සේ අනික් රටවල ආදරය ලබනවාට පවා අකමැතිය. ඒ තරමටම ඔවුන් ආත්මාර්තකාමීය. බ්‍රිතාන්‍ය ජාතික නාඔමි මිචෙල් කොල්මන් නමැති කාන්තාව මෙම අධිකරණ තීරණය සම්බන්ධයෙන් සතුටට පත්වන නමුත් යළි කිසි දිනක ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා නොකරන බවද මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

යහපාලනය ගෙනෙන්න්ට උත්සාහ කරන මේ ආණ්ඩුවද සංචාරකයින්ගෙන් රට දියුණු කරන්නට උත්සාහ කරන්නේ නම් වෙනත් රටවල ඇති මෙවන් දෑගැන අඩුමතරමේ තම තානාපති අංශවලින් හෝ තොරතුරු ලබාගත යුතුය. පොලිස් කාරයින්ට භවනා උගන්වන පොලිස්පතිවරයාට ලෝකයේ මෙවන් නිර්මාණ ඇති බවත් ඒවා මිනිසුන්ගේ ආධ්‍යාත්මයෙන් හටගත් ආදරනීය නිර්මාණ බව වත් මතක් කර දිය යුතුය.

සටහන : ඩෙස්කා කුඩාවිල

(මෙහි එන ඇතැම් සේයාරූ අන්තර්ජාලයෙන් ලබාගත් අතර ඇමස්ටර්ඩෑම් සේයාරූදෙක විකල්පයේ සම්පත් සමරකෝන්ගේ සේයාරූ දෙකකි.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *