විශේෂාංග

එකොළහක් වාර්තා චිත්‍රපටයයේ අන්තර්ගත කතා 11 හෙන් එකක්…

මංජරී,
මේ කතාවත් අහන්න

නාවික හමුදාවේ සිටි කප්පම් කල්ලියක් විසින් පැහැරගෙන ගොස් කප්පම් ගෙන දසවද දී ඝාතනය කර බඩ කපා මුහුදට විසිකළා යැයි කියන පුද්ගලයන් සංඛ්‍යාව 11කට වැඩිය. හරියටම කියනවා නම් 28කි. එහෙත් එලෙස ඝාතනය කළැයි කියන පුද්ගලයන් 11ක් පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට ටක්කෙටම කරුණු සොයාගෙන එම කරුණු අධිකරණයට වාර්තා කර ඇත. ඊට අමතරව මෙම සිද්ධිය මෙහෙයුවා යැයි සැකපිට හිටපු නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කොමදෝරු ඞීකේපී දසනායක ඇතුළු නාවික සෙබළුන් 5 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. ඉදිරියේදී තවත් නාවික ලොක්කන් සහ සොක්කන් රැසක් අත්අඩංගුවට පත්විය හැකි බවද දැනගන්නට ඇත.

2008, 2010 වකවානුවේ සිදු වුණා කියන මේ සිදුවීම් එවක නාවික හමුදාපති ලෙස කටයුතු කළ වසන්ත කරන්නාගොඩද දැන සිට ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට අධිකරණයට කරුණු දක්වා ඇත. එහෙත් මේ ලොක්කන්ට විරුද්ධව නීතිය එක සමානව ක‍්‍රියාත්මක වන බවක් දකින්නට නැත. අනෙක් පැත්තෙන් මේ පිළිබදව වැදගත් ප‍්‍රකාශයක් රහස් පොලීසියට ලබාදෙන හිටපු නාවික හමුදාපති ට‍්‍රැවිස් සින්නයියාට නාවික හමුදාපති පුටුවෙන් යන්නට වෙන්නේ සේවා දිගුවක් නොලබාමය. ඒ වර්තමාන ජනාධිපතිවරයාගේ ඔළුවට ගසා තිබෙන රණවිරු අනුකම්පාවේ තරම නිසා ය. යහපාලනය සදහා යැයි කියමින් අප විසින් පත් කරගන්නා ලද ජනාධිපතිවරයාට මිනීමරුවන් සහ රණවිරුවන් කවුරුන්දැයි හරිහැටි අදුනා ගන්නට බැරිවීම කරුමයකි. ජනාධිපතිවරයාගේ මේ හැසිරීමෙන් ජවය ලැබූ බොහෝ දෙනෙක් දැන් මේ පරීක්ෂණ අඩාල කිරීමට සහ මේ පරීක්ෂණ මෙහෙයවන දක්ෂ පොලිස් නිලධාරීන් කුරුසයේ තබා ඇණ ගැසීමට සැදීපැහැදී සිටිති.

අනෙක් පැත්තෙන් ඞීකේපී දසනායකගේ දියණිය මංජරී දසනායක, මේ පිළිබදව එක්සත් ජාතීන්ට පැමිණිලි කරන්නට යෑම සහ ඒ ඔස්සේ මේ මිනීමරුවන්ගේ මානව හිමිකම් පිළිබදව සංවාද කරමින් ඝාතනයවූවන්ට ලැබිය යුතු යුක්තිය ප‍්‍රමාද කිරීම සදහා දැන් කටයුතු කරමින් යන බවක්ද පෙනෙන්නට තිබේ. මේ තත්ත්වය තුළ කිසිදු වරදක් නොකර දරුණු වදහිංසාවලට ලක්වී මරණයට පත්වන්නට සිදුවූ මේ 11 දෙනාගේ පවුලේ සමීපතමයන්ට තමන්ගේ සොහොයුරා, තාත්තා, පුතා පිළිබදව, ඔහුට අත්වූ මේ ඉරණම පිළිබදව හැගෙන්නේ කුමක්ද? අපි ලිපි මාලාවක් තුළින් ඒ පිළිබදව කතා කරන්නට සිතුවෙමු. එහි පළමු පියවර ලෙස අප ගෙන එන්නේ ඝාතනයට ලක්වූ සිංහලයෙකු ගැන තොරතුරුය. ඒ නිල ලත් මේ කප්පම් කල්ලිය දෙමළුන් විතරක් නොව සිංහලූන්ද ඝාතනය කළ බව කියන්නටය.

දික්ඇල්ලේ ශාන්ත

ඔහුගේ නම ශාන්ත සමරවීරය. පදිංචි වී සිට ඇත්තේ මල්වත්ත කන්ද, ඇකිරියගල, කෑගල්ල ලිපිනයේය. තම බිරිද ධම්මිකා දමයන්තිගේ ගමේ ඇයගේ ඉඩමේ ඉදිකළ නිවසකය.

අපි මේ නිවස සොයා ගියෙමු. බ්ලොක් ගලින් බැදී තවමත් වැඩ අහවර නැති නිවසකි එය. අප එහි යනවිට එනිවසේ කිසිවෙකුත් සිටියේ නැත. ශාන්ත සමරවීරගේ දියණිය මෙන්ම බිරිදද රැකියාවට ගොසින්ය. බිරිද ඇගළුම් කම්හලක සේවය කරන අතර දියණිය රූපලාවන්‍ය ආයතනයක සේවය කරන බව දැනගන්නට ලැබුණි. ශාන්ත සමරවීරද තැනින් තැන යමින් එක එක වර්ගයේ ව්‍යාපාර කරමින් දුෂ්කර ජීවිතයක් ගෙවා දැමූ මිනිසෙකි. අවසන අපි ශාන්ත ගැන තොරතුරු දැනගැනීමට ලලිතා ජයසිංහ සොයා අමුගොඩ පාරේ දික්ඇල්ල ගමට ගියෙමු. එහිදී අපිට දැනගන්නට ලැබුණේ ලලිතා ජයසිංහ මහත්මිය තමන්ගේ සොහොයුරාට කුමක් විණිදැයි දැනගැනීමට 2010 අවුරුද්දේ සිට පොලිසිවලද උසාවිවලද රස්තියාදු වෙමින් සිටින බවය. අපි ඇයගෙන් ශාන්ත ගැන කරුණු ඇසුවෙමු.

අක්කාගේ කතාව

‘‘අලව්ව පොලීසිය මල්ලිව අත්අඩංගුවට ගත්තේ 2010.07.22දා. ඒ නාරම්මල එයාගේ නෝනාගේ අයියාගේ ගෙදර ඉන්නකොට. මට පහුවදාම මේ ආරංචිය එනවා. පස්සේ මම චූලා සංජීව අධිකාරි කියන ලෝයර් එක්ක 25 ඉරිදා රාත‍්‍රියේ අලව්ව පොලිසියට යනවා මල්ලිව බලන්න. මුලින්ම කිව්වේ එහෙම කෙනෙක් නැහැ කියලා. පස්සේ ලෝයර් මහත්තයා කතා කළාම අපිට මල්ලිව බලන්න දෙනවා. එතකොට මල්ලි පොලිස් හිරකූඩුවේ දාලා තමයි හිටියේ. පස්සේ අපි ආවා. සදුදා උසාවි දානවා කිව්වා. අපේ අයියා කෙනෙක් උසාවි ගිහිං ඇවිත් කිව්වා උසාවියට අරගෙන ආවේ නැහැ කියලා. ඊට පස්සේ පොලිසියෙන් පණිවිඩයක් ආවා ඔලූවේ කැක්කුමකට මල්ලිව ඉස්පිරිතාලෙට ඇතුල් කළා කියලා. ඊට පස්සේ අපි ඉස්පිරිතාලෙට බලන්න ගියාම ඉස්පිරිතාලෙන් කිව්වා මල්ලි පැනලා ගිහිං කියලා. එයාලා කිව්වේ ටොයිලට් එකේ ජනේලෙන් පැනලා ගිහිං කියලා.
ඊළගට 28දා අපි උසාවි දානවාද බැලූවා. පොලිසියෙත් නැහැ. උසාවි දැම්මෙත් නැහැ. මම මානව හිමිකම් කොමිසමට ගිහිං පැමිණිල්ලක් දැම්මා, මල්ලි අතුරුදන් කියලා. පොලිසියේ ඉදිද්දී කියලා. අපි පැමිණිලි විභාගයට කීප සැරයක්ම මානව හිමිකම් එකට ගියා. හැබැයි එයාලා හැම වෙලාවෙම පොලිසියේ පැත්තට වාසි වෙන විදියට තමයි කටයුතු කළේ. ඊළගට මම 2008 අගෝස්තු 08 වැනිදා කෑගල්ලේ පොලීසියට ගිහිං අලව්ව පොලීසියට විරුද්ධව පැමිණිල්ලක් දැම්මා. පැමිණිල්ල විභාග කරන්න ආ රාළහාමි අලව්ව පොලිසිය ගැන කියූ ගමන් මම ඒක පොලිසියත් එක්ක බලාගන්නම් කියලා ගෙටවත් ගොඩවෙන්නේ නැතුව ආපහු යන්න ගියා. ඊට පස්සේ ඉතිං පේන බැලූවා. සාස්තර ඇහුවා. මමයි මගේ නංගිලා දෙන්නායි අපි අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම කළා සහෝදරයා වෙනුවෙන්. අපි පොඩිකාලේ ඉදලා හරි සමගියෙන් හිටියේ.” ඇයට තිබෙන්නේද දුෂ්කර ජීවිතයක් ය. ඇය කුඩා වෙළෙදසැලක් පවත්වාගෙන යන්නී වැඩකරන ගමන් අපි සමගද කතා කරන්නී ය. ඔයා හිතන්නේ මොකද්ද මල්ලිගේ මේ අතුරුදන් වීමට හේතුව? අපි ඇයගෙන් ඇසුවෙමු. ඇයගෙන් දීර්ඝ පිළිතුරක්ය. ලංකාවේ අධම දේශපාලනය සහ වයිරය ගැන කඳුළු කතාවක් ය එය.

හේතුව

‘‘අපේ තාත්තාට විවාහයන් දෙකයි. ලොකු අම්මා පුංචි අම්මා කියලා අම්මලා දෙන්නායි. අපි පවුලේ සහෝදර සහෝදරියෝ සේරම 18යි. මගේ අම්මා තමයි තාත්තාගේ දෙවැනි විවාහය. අපේ අම්මාට ළමයි හත්දෙනායි. අනික් අය ලොකු අම්මාගේ දරුවෝ. කොහොම හරි අපේ පවුලේ ගැහැනු පස්දෙනායි. අනික් දහතුන්දෙනාම පිරිමි. මගේ අම්මාට ගැහැණු තුනයි පිරිමි හතරයි හිටියා. මේ මල්ලිත් ඒ අයගෙන් එක්කෙනක්. කොහොම හරි ලොකු අම්මාගේ පවුලේ අයියලා ගමේ මිනිස්සුන්ට කරදරයක් වෙන විදිහට තමයි ජීවත් වුණේ. ජේවීපී කලබල කාලේ ආවා. මේ ගමේ ගොඩ දෙනෙක් ජේවීපී තමයි. මේ කලබල කාලේ අපේ පවුලේ සහෝදරයෝ තුන්දෙනෙකුයි අක්කාගේ පුතායි කපලා වෙඩි තියලා මැරුවා. මේ මිනි හරියට වළලගන්නවත් අපිට ඉඩ දුන්නේ නැහැ. දෙන්නෙක් ලයිට් කණුවල බැදලා තමයි වෙඩි තියලා තිබුණේ. අපේ ගෙවල් පිච්චුවා. ඉතිරිවුණ සහෝදරයෝ අනුරාධපුරේ කොළඹ වගේ විසිරිලා ගියා. අපේ මුළු පවුලම අනාථ වුණා. ඔය නැතිවෙලා ඉන්න මල්ලිත් කොළඹ කැලණියේ හිටියා. ඊට පස්සේ සැරින් සැරේ මේ හැමෝම ගමට එනකොට මේ මිනිස්සු පොලිසියට එක එක බොරු පැමිණිලි කළා. අපිට ඉන්න දුන්නේම නැහැ. එක සැරයක් ඔය නැතිවෙලා ඉන්න මල්ලිගේ ඔළුවට වෙඩි තිබ්බා. මේ වෛරය තමයි මේ දිගටම යන්නේ. දැන් අපිට ආරංචි මේ වැඬේත් මේ ගමේ ඉන්න සල්ලි තියෙන මනුස්සයෙක් දුන්න කොන්ත‍්‍රාත් එකක් කියලා. ඒත් අපිට ඕනෑ අපේ මල්ලිට මොකද වුණේ කියලා හරියටම දැනගන්න.”

ඇයගේ ස්වරය හැගීම්බරය. හැඩුමට ආසන්න ඇයගේ දෑස්වලින් මම මගේ දෑස ඉවතට ගනිමි. ඇයගේ සොහොයුරන් තුන්දෙනෙකු මරා දමා ඇති අතර තවත් සහෝදරයෙකු දැන් සිටින්නේ අතුරුදන් තත්ත්වයේ ය. තවත් සහෝදරයෙකු සිටින්නේ බන්ධනාගාරගතවය. 18 දෙනෙකුගේ සුවිශාල පවුලක් සමාජ වෙනසක් සදහා කැපවූ මිනිසුන් විසින් පොඩිපට්ටම් කර දමා ඇත. මේ තත්ත්වය තුළ මේ අතුරුදන් වූ ශාන්ත සමරවීරද නොයෙකුත් අපචාරවල නිරතවූ බවත් ඒ හේතුවෙන් උසාවිවල නඩුගොනු තිබුණු බවටත් තොරතුරු ඇත. ශාන්ත සමරවීරට එසේ වුණේ ඇයි? අප නැවත නැවතත් මේ තොරතුරු ඔස්සේ සිතා බැලිය යුතුය. ශාන්ත සමරවීර කුමක් කළත් මෙලෙස මරා දමන්න හෝ අතුරුදන් කරන්නට කිසිවෙකුටත් අයිතියක් නැත. එය අප සමාජයක් වශයෙන් පිළිගත යුතුය.

කොන්ත‍්‍රාත්තුව

මේ කොන්ත‍්‍රාත්තුව සහ ශාන්ත සමරවීර නාවික හමුදා කප්පම් කල්ලියේ අත්අඩංගුවට පත්වන්නේ කෙසේද? මේ පිළිබදව තොරතුරු විමර්ශන කණ්ඩායමට ලැබෙන්නේ නාවික බුද්ධි අංශයට අනුයුක්තව වැඩකළ බස්නායක මුදියන්සේලාගේ විජේකාන්තන් කළ හෙළිදරව්වකට අනුවය. විජේකාන්තන්ගේ පියා සිංහල ජාතිකයෙකු වන අතර මව දෙමළ ජාතිකයෙකි. එල්ටීටීඊ සංවිධානයේ මුලින්ම කටයුතු කර ඇති විජේකාන්තන් පසුව නාවික බුද්ධි අංශයට එකතුවී ඇත. එහිදී ඔහු ලූතිනන් කමාන්ඩර් ක‍්‍රිෂාන්ත වෙළගෙදර සමග කටයුතු කර ඇති අතර වෙළගෙදර සහ රණසිංහ යන ඉහළ නාවික නිලධාරීන් දෙදෙනා අතර ඇතිවූ ප‍්‍රශ්නයක් නිසා ගන්සයිඞ් භූගත කදවුරේ විජේකාන්තන් සිරකර ඇත. මේ සිද්ධියත් සමග ක‍්‍රිෂාන්ත වෙළගෙදර ඔස්ටේ‍්‍රලියාවට ජීවිත ආරක්ෂාව පතා පළාගොස් ඇති බව දැනගන්නට ලැබෙන අතර නාවික බුද්ධි අධ්‍යක්ෂ ලෙස උලූගේතැන්න නමැති නිලධාරියා පත්වීමත් සමග විජේකාන්තන් නිදහස් වී ඇත. ඒ වනවිට ඔහු ගන්සයිඞ් කදවුරේ මාස 11ක් පමණ සිට ඇති බව දැනගන්නට ලැබේ. මෙලෙස මෙම සිරකදවුරේ සිටින විට තමන්ට මුහුණ දෙන්නට වූ අත්දැකීම් සහ එහිදී යාබද සිරකුටිවල සිටි සිරකරුවන් පිළිබදව අනාවරණය කරයි. ඒ අනුව ශාන්ත සමරවීර තමාගේ දුරකථන අංකය සබන් කැටයක සටහන් කර විජේකාන්තන්ගේ අතට පත්කර ඇත. ඒ තමන්ට කලින් නිදහස් වුවහොත් ගෙදරට දැනුම්දීම සදහා ය. දැන් මේ සබන් කැටය නඩු භාණ්ඩයක්ය.

අනෙක් පසෙකින් විජේකාන්තන් සමග රහස් පොලීසිය අදාළ සිරකුටි නිරීක්ෂණය කර ඇති අතර එහිදී තමන්ගේ කුටියට ළංව පිහිටි ශාන්තගේ සිරකුටියද ඔහු රහස් පොලිසියට පෙන්වා තිබේ. එම කුටියේ බිත්තියක ශාන්තගේ නම දුරකථන අංකය සහ සිරකුටියට ගෙනා ආකාරයද විස්තර කර ලියා ඇත. මෙහිදී ශාන්ත සිරකුටියට ගෙන ආ අයුරු විජේකාන්තන් පවසා ඇති අතර එහිදී ශාන්ත විජේකාන්තන්ට කියා ඇත්තේ, පොලිස් ජීප් රථයකින් රැගෙනවිත් සුදු වෑන් එකකට තමන් බාරදුන් බවය. මේ තොරතුරු ඔස්සේ රහස් පොලිසිය මේ ශාන්ත ගැන තොරතුරු සොයන විට හෙළිවන්නේ, අලව්ව පොලිසියේ සිටියදී ශාන්ත කෙනෙකු අතුරුදන් වී ඇති බව සහ මේ ශාන්තලා දෙදෙනාම එක් අයෙකු බවය.

මෙම තොරතුරු ඔස්සේ තවදුරටත් සොයාගෙන යනවිට අනාවරණය වන්නේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ මැදිහත් වීම මත ශාන්ත නාවික හමුදා භාරයට පත්වෙන බවය. අවසානයේ මේ වනවිට ලැබී තිබෙන තොරතුර වන්නේ කෑගල්ල ප‍්‍රදේශයේ ප‍්‍රබලයෙකුගේ සල්ලිවල බලයට ශාන්තට ‘වැඩක් දී’ ඇති බවය. ඒ අනුව මේ නාවික කප්පම් කණ්ඩායම කුලියට මිනිසුන් මරා ඇති බවය. ශාන්තගේ ඉරණම පිළිබදව තොරතුරු මෙලෙස කරලියට එනවිට ඔහුගේ දියණිය තමන්ගේ තාත්තා ගැන කියන්නේ කුමක්ද? අපි ඇය සොයාගෙන ඇය රැකියාව කරන තැනට ගියෙමු. මේ පිළිබදව ප‍්‍රසිද්ධියේ යමක් කිවහොත් පළිගැනීමේ හස්තය තමන්වත් ග‍්‍රහණයට ගනිවීයැ’යි බියෙන් ඇය කිසිවක් ප‍්‍රකාශ නොකළාය. එහෙත් අප යන්නට හැරුණු විට ඇය පැවසුවේ ‘‘මම හිතන්නේ අප්පච්චි ඉන්නවා. පොලීසිය භාරේ තමයි ඉන්නේ.”

කතාව මෙතැනින් නතර කරමි. ඞීකේපී දසනායක තාත්තා ගැන මංජරී දියණියට තිබෙන දුකම මේ දුවටත් ඇත. ඇයට ඒ දුක හඬගා කියන්නටවත් අඩුම තරමේ ශක්තියක් නැත. එනිසා අප කියන්නේ මේ මිනිසුන්ටද යුක්තිය නොපමාව ඉටුවිය යුතු බවය…………

කේ සංජීව

උපුටාගැනීම FB එකෙන්

One thought on “එකොළහක් වාර්තා චිත්‍රපටයයේ අන්තර්ගත කතා 11 හෙන් එකක්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *