මගේ බිරිඳ බොනවාට මම කැමතිය. ඇය නොබොන කාන්තාවක් වනවාට වඩා “බොන ගැහැණියක්” වූවාට මම වඩාත් කැමතිය. විවේකී සවසක දෙදෙනා එක්ක හීනියට අඩියක් ගසා ‘සාමාන්‍ය දවස්’ වල අතෑරුනු දේවල් ගැන, ජීවිතේ ඉදිරි සැලසුම් ගැන වෙරි මරගාතේ සංවාද කරමින් ටිකක් වැඩිවූ පසු දෙදෙනා එක්ක සාමකාමී පිස්සුවක් නැටීමේ ආතල් එක මේ වැඩවසම් ශික්ෂණය තුළ ගොඩනැඟුනු බොහෝ දෙනෙකුට තේරුම් ගන්න බැරි වීම ගැන ඈත ගමකින් පැමිණි මට හොඳින් තේරුම්ගත හැකිය.
ඒ විතරක් නොවේ. මම යහළුවන් සමඟ සෙට් වන්නෙක්මි. ඉතින් ඇයද එසේ කරයි. මම එළියට ගොස් අඩියක් ගසා එන දවසට ඇය රාත්‍රී කෑම පිළියෙල කර ගෙදර කටයුතු තනියෙන් සිදුකරයි. ඒ වාගේම ඇය එසේ ගොස් පැමිණෙන දවසට මම ඒ දේවල් කරන්නෙමි. ඉඳහිට අපි දෙදෙනාගෙන් එකෙකුට හෝ වැඩිවුනුවිට පහුවදා සෑහෙන්න විනෝදකාමී දවසකි. වැඩිවූ කෙනා කිවූ දේවල්, කල දේවල් මතක් කරමින් අපි සෑහෙන්න විනෝද වන්නෙමු.
බොහෝ විට බයිට් හදන්නේ මමයි. ඒ ඇයට වඩා ඒ කාර්යයට මම දක්ෂ නිසාය. ඇයගේ යහළු යෙහෙළියන්ද එය නිතර කියන්නකි. මට වැඩ අධික දිනවල ඇය යහළුවන් හා සෙට් වන විට පවා ඇය එපා කියද්දීත් මම ගෙදරින් පිටත් වීමට පෙර ඇයට බයිට් එකක් සාදා දීමට කෙසේ හෝ වේලාවක් සොයා ගනිමි. වෙනත් කාරනා වලදී ඇයත් එසේය. මගේ හැඟීමනම් අපි දෙදෙනාගේ බැඳීම ඉන් තවත් ශක්තිමත් වන බවයි. ඉතින් අපි ඉතා සතුටින් ජීවත් වන්නෙමු. එහෙත් ජනාධිපතිගේ සිට ලංකාවේ පරිපාලන ක්ෂේත්රයේ සිටින සියවස් කීපයක් අතීතයේ ජීවත්වන බොහෝ ළිං ගෙම්බන්ට මෙවැනි සරල දේවල් පවා නොවැටහෙයි.
මට සිතෙන ආකාරයට අනුව වඩාත්ම වැදගත් කරුන නම්, මගේ බිරිඳට නොබී සිටීමට මගේ අනුමැතිය අවශ්‍ය නැතුවාක් මෙන්ම බීමටද මගේ අනුමැතිය, ආශීර්වාදය අවශ්‍ය නැතිය යන්නයි. බිරිඳක් බොන එක හරිද වැරදිද වගේ විවාදද තේරුමක් නැත. ඒ මා ඇතුළු අතිශය බහුතරයක් පිරිමි එවැනි දේ සිදුකරන්නේ බිරිඳගේ/පෙම්වතියගේ ආශීර්වාදයෙන් නොවන නිසාය. බිරිඳ කුමක් කිව්වද මම බොන බව මම දනිමි. ඉතින් මම කුමක් කිව්වත් ජීවිතයේ එවැනි තීරණ ගැනීමේ ස්වාධීනත්වය ඇයට ඇති බව මගේ අදහසයි. අපි දෙදෙනා එකට බොන එක වෙනම කතාවකි. එහෙත් ඇයගේ බීම හෝ නොබීම ඇයගේ තීරණයකි. අපි දෙදෙනාගේ බැඳීම, ගිවිසුම ඇත්තේ ඊට බොහෝ එපිටිනි. ඒ නිසා ඔවැනි සුළු කරුණු අපේ සබඳතාවයට අදාළ නැත.
සරලවම තේරෙන භාෂාවෙන් කිවුවොත්, මෙසේ ගොබ්බ විදියට සිතන ජනාධිපතියෙක් මෙන්ම වෙන්ඩ ජනාධිපතිලා, වෙන්ඩ අගමැතිලා, වෙච්ච ජනාධිපතිලා සහ උන්ව පත්කර විමුක්තිය උදා කරගැනීමට සිහින දකින බහුතර ජනතාවක් සිටින රටක මෙවුවා මෙසේ කතා උනාට මේවායේ කතා කරන්නවත් ඇති මඟුලක් නැත. හරිනම් මේ වෙද්දී මීට වඩා බොහෝ එහා ගිය දේවල් අපි කතා කරමින් සිටිය යුතුය.
ප.ලි. – මට බිරිඳක් නැත.
නජිත් ඉන්දික
උපුටාගැනීම: විවර