(වසර 8කට පෙරාතුව අතුරුදන් කරවූ මාධ්‍යවේදී ප්‍රගිත් එක්නැෙළිගොඩ පිළිබද ස්මරණයකි)
දිනය 2010 ජනවාරි 24 වෙනිදාය. සන්ධ්‍යාගේ නිවසේ උදෑසන ආහාරය වේලාසනම පිළියෙලව ඇත. වෙනදා සන්ධ්‍යා ඉන්සියුලින් දෙන තෙක් ඉවසන ප්‍රගීත් එදින වේලාසනම සන්ධ්‍යාට කතා කොට ඉන්සියුලින් විදවා ගනී. තමාට ඇඳගෙන යාමට සුදු කමිසයක් නැහැ නොවේදැයි අසන ප්‍රගිත්ට සන්ධ්‍යා පවසන්නේ සංජයට මැසූ කමිසයක් ඇති බව පවසයි. එය ඉල්ලා ගෙන ඇඳ බලන ප්‍රගීත්, ‘අපේ කොල්ලා ලොකු වෙලානේ’යි සතුටින් පවසන්නේ සිනාසෙමින්ම කමිසයේ බොත්තම් පියවන අතරය.. අවසන් වරට හැරී බලා අදින් පසු ඔහුගේ වැඩ අවසාන වන බවත් හෙට සිට සන්ධ්‍යාගේ වැඩට තමා උදවු කරන බවත් පවසන ප්‍රගීත් පිටව යයි…
“මම දැනගෙන හිටියේ නෑ ඒ මම එයා දකින අවසාන මොහොත බව… මට ඇතිවී තිබුනේ පුදුමාකාර සතුටක් …බඩුමූට්ටු, ගෙවල් දොරවල් , ඇදුම් මේ ඕනේ දෙයක් මගේ කරගන්න පුළුවන්, ඒත් මිනිස්සු මගේ කරගන්න බැහැ… හැකි වෙන්නේ මිනිස්සු දිනාගන්න… ඒ තමයි මම ප්‍රගීත් දිනාගෙන ඇති බව මට දැනුනු මොහොත…..” ඒ සන්ධ්‍යා ගේ වදන්ය……
රාත්‍රී නවය පසුවනතුරුද ප්‍රගීත් ගෙදර නොමැතිවුවහොත් පමණක් සොයා බැලීම සන්ධ්‍යා මේ වනවිට පුරුද්දක් කරගෙන ඇත.. ඒ පළමු අතුරුදහන් වීම නිසා වූ ඇයගේ විමසීමේ ස්වභාවය විය. පළමු දුරකථන ඇමතුම ගන්නේ නවයට නවයයි කාලට පමණය.. ප්‍රගීත්ගේ දුරකථනය අක්‍රියය.. එම දිනය තුල සාමානයයෙන් කරණ වැඩට අමතර වැඩ කිහිපයක් තිබෙන බව උදෑසන පිටව යාමට පෙර ප්‍රගීත් ප්‍රකාශ කල බව සිහිවීමෙන් ඔහු තවමත් වැඩක යෙදී ඇතැයි සන්ධ්‍යා අනුමාන කරන්නිය. තව ටිකක් බලමු, ඇය තමාටම පවසා ගනියි…
අඳුර දැඩි වෙමින් පවතී.. සන්ධ්‍යාගේ හිත සසල වෙන්නට පටන් ගෙනය.. 9.30- 10 වනවිට සන්ධ්‍යාහට සියල්ල වැටහෙමින් තිබෙනා මෙනි. මොකක්හරි වෙලා තමයි, ඇයගේ සිත ඇයට පවසයි. යහන මත සුවසේ නිදනා දරු දෙදෙනා හැර ඇයට කථාකරන්නට කියන්නට අසන්නට කිසිවෙක් ළඟ අහලකවත් නැත. ප්‍රගීත් සමග උදයේ සිට වැඩ කරනවායැයි කියූ අයට ද, ප්‍රගීත් එම කාලය තුල සම්බන්දව සිටි දේශපාලන සම්බන්දකම්වලටද දුරකථන ඇමතුම් ගන්නට ඇය දිගින් දිගටම උත්සාහයන දරන්නීය.. එතෙත්………ඇය දකින්නේ අඳුර පමණි. එළිය වැටෙන තෙක් ඈ කාලය ගත කරන්නේ වේදනාවක් පමණක්ම හදවතට තුරුළු කොටය. විටෙක ඇය කාමරයට ඇවිදියි, ඇඳේ හාන්සි වෙයි, නැවත එළියට ඇවිදියි, දුරකථන ඇමතුම් ගන්නට උත්සාහ කරයි, පුටුවක හිඳ ගනියි, දොර දෙස බලා සිටියි, මුලුතන්හෙට යයි, ඔහේ බලාසිටියි…
අවසානයේ එළිය විසින් අඳුර නිදහස් කරයි. දුරකථනය නාද වෙයි. ඇය විසින් රැය පුරා අමතනු ලැබූවන් අවදිවය.. ඔවුන් උදෑසන සිටම ඇයව අමතන්නේ ප්‍රශ්නය කිමෙක්දැයි අසන්නට මිස පිළිතුරක් දෙන්නටනම් නොවේ… කිසිවෙකුට පිළිතුරක් නැත…. ඇතිවූවා වුවද නැතිවා මෙනි!
ඒ මීට හරියටම අවුරුදු 8කට පෙරය…..දැන්?? තවමත් ඒ එසේමය…. ප්‍රගීත්ගෙන් බොහෝ දේ ලබාගත්, බොහෝ වූවන් බරපතල නිහඩතාවයකය…. ඉතිං අපි කුමක් කරමු ද????
– කුමාරි කුමාරගමගේ –