දෙමළ විමුක්ති කොටි සංවිධානය සහ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව අතර පැවති යුද්ධය සහ එම යුද්ධය අවසන් කරන ලද ආකාරය ගැන සමාජ ප්රජාතන්ත්රවාදීන් අතර විවිධ වාද සහ ප්රතිවාද පවතී. නමුත් පක්ෂයක් ලෙස අපි යුද විරෝධීන් වෙමු. මන්ද යුද්ධය සැමවිටම වටිනා මිනිසුන් රටට අහිමි කර ඇති බැවිනි.
කිසිදු රටක් යුද්ධයකින් පසුව එම යුද්ධය ගැන සතුටු වන අයුරු අප දැක නැත. නමුත් දෙමළ සන්නද්ධ අරගලය යුද්ධය හරහා අවසන් කිරීමෙන් පසුව බහුතර සිංහල ජනයා හැසිරෙන ආකාරය ගැන නැවත සිතා බලන ලෙස අපි සිංහල දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටිමු.
මන්ද දෙමළ විමුක්ති කොටි සංවිධානයෙහි නායකයාව ඝාතනය කිරීමෙන් අනතුරුව සෑම නගරයක ම කිරිබත් දන්සල් පවත්වා සතුට සැමරීමට සිංහල ජනයා කුරිරු වීම ගැන සිංහල දේශපාලන නායකත්වය සෘජුව වගකිව යුතුය.
නමුත් දෙමළ විමුක්ති අරගලය සරලව ත්රස්තවාදයට සීමා කරන සිංහල පාලකයන් දෙමළ විමුක්ති අරගලය මර්ධනය කිරීමෙන් අනතුරුව දෙමළ ජනයාට දේශපාලන විසඳුමක් ලබාදී තුවාල සුව කරනවා වෙනුවට දිගින් දිගටම එම තුවාල පාරමින් පීඩාවට පත් කිරීම කණගාටුවකි.
පසුගියදා ලන්ඩන් නුවර සිටින ලාංකික හමුදා නිලධාරියෙකු හැසිරුණු ආකාරය ද එහිම තවත් දිගුවකි. රජයේ හමුදා නිලධාරියෙකු ලෙස ඔහුට ශ්‍රී ලංකා ජාතික කොඩිය පෙන්වා අභිමානයෙන් අවසන් කිරීමට තිබුණු ප්‍රතිචාර දැක්වීම ගෙල කපා දමන හස්ත මුද්‍රාවකින් අවසන් කිරීම දක්වා දුර දිග යාම නිසා අද ඔහුගේ සේවය අත්හිටුවා ඇත.
ලන්ඩන් නුවර සිටින උසස් හමුදා නිලධාරියෙකු මෙලෙස හැසිරෙන විට යුද්ධයෙන් පසුව විධිමත් ලෙස පුනරුත්තාපනය නොකරන ලද සෙසු හමුදා භටයන් සහ නිලධාරින් සිටින මානසිකත්වය ගැන වටහා ගත හැකිය. එමනිසා අප රජයට යෝජනා කර සිටින්නේ පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීමට නොපමාව කටයුතු කරන ලෙසයි. එවැනි ආකල්පමය වෙනසක් ඇති නොවන්නට රටෙහි ජාතික ආරක්ෂාව සහ පුරවැසියන්ගේ ආරක්ෂාව දැඩි අනතුරක ඇති බව මෙහි සටහන් කර තබමු.
එමෙන්ම සිංහල ජනයාට මෙන්ම දෙමළ ජනයාට යුද්ධයෙන් මියගිය සමීප සගයන් සැමරීමට සම අයිතිය ලබා දිය යුතුය. මියගිය කොටි සොල්දාදුවන් වුව ද මනුෂ්‍යයෝ වන නිසා ඔවුන්ගේ සොහොනක් ඉදි කිරීමට අවසර දිය යුතුය. සිංහල ජනයාට මෙන්ම දෙමළ ජනයාට ද සාමයෙන් රැස්වීමට, සංවිධානය වීමට, විරුද්ධ අදහස් දැරීමට ඇති අයිතිය තහවුරු කළ යුතුය.
විරුද්ධ මත ප්‍රකාශ වීමට ඉඩදීම සාමය හා සංහිදියාව ඇති කිරීමට අතිශය වැදගත් කරුණකි. එම නිදහස මර්දනය කිරීමෙන් සිදුවන්නේ එම ප්‍රතිවිරුද්ධ අදහස් පිට කිරීමට විකල්ප ක්‍රමවලට යොමු වීමයි. එමෙන්ම විදෙස්ගත සිංහල සහ දෙමළ ජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නෙ ජාතිවාදී ගැටුම් ඇතිකර නොගෙන සහෝදරත්වයෙන් කටයුතු කරන ලෙසයි. ශ්‍රී ලාංකිකයන් ලෙස සමගියෙන් දිවි ගෙවන ලෙසයි.
විදෙස් සේවයට පුද්ගලයන් යොමු කරන විට අදට වඩා වැඩි අවධානයක් යොමු කරන මෙන් සමාජ ප්රජාත්නත්රවාදී පක්ෂය රජයෙන් ඉල්ලා සිටියි. මන්ද ශ්‍රී ලංකා ජනරජය නියෝජනය කරමින් විදෙස් රටවල සේවය කරන පුද්ගලයන් රාජ්‍යයෙහි නිල මතය නියෝජනය කරන බැවිනි. එවැනි පුද්ගලයන්ගෙන් ඉහළ විනයක් බලාපොරොත්තු වියයුතු බව අපගේ අදහසයි.
අවසාන වශයෙන් ශ්‍රී ලංකා ජනරජයෙන් සහ සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් සිදු කිරීමට කැමැත්තෙමු. බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා හැත්තෑ වසරක් සමරන විට එම හැත්තෑ වසරෙන් තිස් වසරක් කුරිරු යුද්ධයට සහ යුද්ධයෙන් පසුව දස වසරක් ගෙවා දමා ඇත. එලෙස නාස්ති වු කාලය ආපසු ලබා ගැනීමට නොහැකි නමුත් දැන්වත් අපි වර්තමානය සහ අනාගතය ගැන සිතිය යුතු වෙමු. මිනිසුන් බෙදා වෙන්කරන සියලු වාර්ගවාද පිළිකුල් කළ යුතුය. නිදහස, සමානාත්මතාවය හා සහෝදරත්වය අගයන මනුෂ්‍ය ජාතියක් ලෙස නැගී සිටිය යුතුය.
තුසිත බාලසූරිය
ප්‍රධාන ලේකම්
සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂය
උපුටාගත්තේ සිස්.lk