[ පරිවර්තනය: රමිදු පෙරේරා
පහත පලවන්නේ ස්පාඤ්ඤයේ පොඩෙමොස් පක්ෂයේ නායක පැබ්ලෝ ඉග්ලේසියාස් විසින් මීට වසර කිහිපයකට පෙර පැවැත්වුණු සාකච්ඡා සභාවකදී කම්කරු පංතිය පිලිබදව අසනු ලැබූ ප්‍රශ්නයකට දෙනු ලැබූ පිලිතුරක සිංහල අනුවාදයයි. ලෝකයේ වෙනත් බොහෝ රටවල මෙන්ම ලංකාවේ ද වාමාංශිකයින් වන අප සිර වී සිටින ප්‍රශ්නයක් වන්නේ අපගේ කතිකාවට සමීප කවයකින් ඔබ්බට අපගේ අදහස් ජනප්‍රිය කරවීමට අසමත් වී තිබීමය. මෙම අසමත් වීම බොහෝ විට අවසාන වන්නේ සෑම ඡන්දයකින්ම පසු ඡන්දදායකයින්ට තකතීරුවන් හා මෝඩයින් යැයි බැණ වැදීමෙනි. මේ ප්‍රශ්නය ගැන සිතාබැලීමට කෙරෙන යොමුවකි ඉග්ලේසියාස්ගේ මේ කෙටි අදහස් දැක්වීම.
මම දන්නවා පසුගිය අවුරුදු පන්සියයක ඉතිහාසය තේරුම් ගැනීමේ යතුර තමයි ‘පංති’ යනුවෙන් අපි හදුන්වන සමාජ ප්‍රවර්ගයේ බිහිවීම බව. ඒක මම දන්නවා. මම ඔබට කථාවක් කියන්නම්. ඉන්ඩිග්නාඩෝස් ව්‍යාපාරය (ස්පාඤ්ඤයේ කප්පාදු පිලිවෙත්වලට එරෙහිව පැන නැගි වීදි චතුරස්‍ර අල්ලා ගැනීමේ ව්‍යාපාරය. පොඩෙමොස් පක්ෂය බිහි වුයේ මෙම ව්‍යාපාරය තුලිනි – පරිවර්තක) පටන් ගත්ත වෙලාවේ මම ඉගැන්වූ දේශපාලන විද්‍යා අධ්‍යනාංශයේ හා නීති අධ්‍යනාංශයේ ඇතැම් සිසුන් – මේ අය දේශපාලනිකකරණය වූ සිසුන් , ඒ වගේම මාක්ස්ව, ලෙනින්ව හොදට කියවා සිටි අය – ජීවිතයේ පලමු වතාවට සාමාන්‍ය ජනතාව සමග අභිමුඛ වූවා. හැබැයි ඔවුන් ඉන් පසු විස්සෝපයට පත්වුණා. ඔවුන් ආපහු ඇවිත් කීවා . ‘එයාලට කිසි දෙයක් තේරෙන්නෙ නැහැ, අපි එයාලට කීවා ඔහෙලා කම්කරුවෝ, ඔහෙල නොදන්නව වුණත් ඔහෙලා කම්කරුවෝ’ කියලා. මිනිස්සු පිටසක්වල ජීවීන් පිරිසක් දිහා බලනව වගේ මේ සිසුන් දෙස බැලුවේ. ඉතින් ඔවුන් දුකට පත්වී ආපහු ආවා. ‘එයාලට කිසි දෙයක් තේරෙන්නෙ නැහැ’ ඔවුන් කීවා. මම ඇහුවා ‘ප්‍රශ්නය තියෙන්නෙ එයාලගෙ නෙමෙයි ඔයගොල්ලන්ගේ කියලා හිතෙන්නෙ නැද්ද?’
දේශපාලනය කියන්නේ තමුන් හැමවෙලාවෙම නිවැරදි දේ කීම පිලිබද දෙයක් පමණක් නෙමෙයි , එය සාර්ථකත්වය අත්කරගැනීම පිලිබද ප්‍රශ්නයක්. ඔබට දේවල් අධ්‍යයනය කරලා තේරුම් ගන්න පුලුවන්. 16 වන සියවසේ සිට දේශපාලන සංවර්ධනයන් සිදු වූ විධිහ, සමාජ ක්‍රියාවලීන් වර්ධනය වීමේ යතුර ඓතිහාසික භෞතිකවාදය බව – මේවා ඔබට අධ්‍යයනය කොට වටහා ගත හැකියි. හැබැයි ඔබ ජනතාවට කියන විට ‘උඹලට තේරුණේ නැති වුණාට උඹලා කම්කරුවො තමයි’ කියලා, කොච්චර හයියෙන් කීවත් වැඩක් නැහැ. ඔබේ සතුරා කරන්නේ ඔබ දිහා බලලා හිනාවෙන එක. ඔබට පුලුවන් දෑකැත්තයි මිටියයි තියෙන ටීෂර්ට් අදින්න. ඉතාම විසාල ධජ අරගෙන ඔබට පෙලපාලි යන්න පුලුවන්. ඊට පස්සේ ඒ ධජය අරගෙන ආපහු ඔබට ගෙදර එන්නත් පුලුවනි. සතුරා කරන්නේ ඔබ දිහා බලලා හිනා වෙන එක. ජනතාව, කම්කරුවෝ තෝරගන්නෙ ඔබව නෙමෙයි සතුරාව. ඔවුන් විශ්වාස කරන්නේ සතුරාව. ඇයි ඒ? සතුරා කියන දේ ඔවුන්ට තේරෙනවා. ඔබ කියන දේ ඔවුන්ට තේරෙන්නෙ නැහැ. ඔවු, ඔබ හරි වෙන්න පුලුවන්. ඉතින් ඔබේ දරුවන්ට පුලුවන් ඔබ මිය ගිය දවසක ඔබේ සොහොන ඉස්සරහ ලොකු පුවරුවක් එල්ලන්න – ‘මෙහි සැතපී සිටින්නා සෑමවිටෙකම නිවැරදි විය, එහෙත් අවාසනාවකට කිසිවෙක්ට එය වැටහුණේ නැත’ කියලා.
සාර්ථක විපර්යාසකාරක ව්‍යාපාරවල ඉතිහාසය අධ්‍යයනය කරන විට, ඔබට වැටහේවි සාර්ථකත්වය අත්පත් කරගැනීමේ යතුර යථාර්තය පිලිබද ඔබ අවබෝධ කරගත් දෙය සහ බහුතර ජනතාවට ඇත්තටම දැනෙන දෙය අතර සහසම්බන්ධය ඇති කිරීම බව. මේක ඉතාම දුෂ්කර දෙයක්. ඒ සදහා ප්‍රතිවිරෝධයන් තුල වැඩ කරන්නට සිදුවෙනවා. ඔබ සිතනවද පැය හතලිස් අටක හෝ හැත්තෑ දෙකක මහා වැඩවර්ජනයක් කිරීම ගැන මට කිසිම න්‍යායික විරෝධයක් තියෙනවා කියලා? එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් වැඩවර්ජනයක් සදහා ආශා කිරීමයි ඇත්තටම වැඩවර්ජනයක් කිරිමයි දෙකක්. ඒක වෘත්තීය සමිතිවල ශක්තිය පිලිබද ප්‍රශ්නයක්. දේශපාලනය කියන්නේ ශක්තිය පිලිබද දෙයක් මිස ආශාව හෝ සාකච්ඡා සභාවල කථා කරන දේවල් පිලිබද දෙයක් නෙමෙයි. ස්පාඤ්ඤයේ එවැනි වැඩවර්ජනයක් කල හැකි වෘත්තීය සමිති දෙකයි තියෙන්නේ. මම ඒකට කැමතිද? නැහැ. ඒත් ඒක තමයි ඇත්ත.
වැඩවර්ජනයක් කරනවා කියන එක සරල නැහැ. මැඩ්‍රිඩ්වල කර්මාන්තශාලා ඉදිරිපිට පිකට් කල කම්කරුවන් එක්ක මම ඉදලා තියෙනවා. උදේට, කෑම පැය ඉවර වුණාම ඒ අය යා යුත්තේ කොහේටද? වැඩට. ඒ ඒ අය හොරිකඩයො හන්දා නෙමෙයි. වැඩට නොගියොත් ඔවුන්ව දොට්ට දමන නිසා. මොකද ඔවුන් වැඩ කරන තැන්වල ඔවුන්ව ආරක්ෂා කරන්නට වෘත්තීය සමිති නැහැ. වරායේ හරි පතල්වල හරි කම්කරුවන්ට තමුන්ව ආරක්ෂා කරගන්න පුලුවන් ඔවුන් වෘත්තීය සමිතිගත වී සිටින නිසා. ඒත් දුරකථන සන්නිවේදන ආයතනවල සේවකයින් විධිහට, පීසා හදන කම්කරුවන් විධිහට වැඩ කරන තරුණ ලමයින්ට හෝ සාප්පුවල වැඩ කරන ස්ත්‍රීන්ට තමුන්ව ආරක්ෂා කරගන්න බැහැ. ඔවුන් වෘත්තීය සමිතිවල නැති නිසා. ඒ අය විරෝධය දැක්වුවහොත් ඒ අයව දොට්ට දමනවා. ඒ අයව ආරක්ෂා කරන්නට ඔබටවත්, මටවත්, වෙන වෘත්තීය සමිතිවලටවත් බැහැ.
ඒ නිසා අපිට කොච්චර අවශ්‍යතාවය තිබුණත්, මහා වැඩවර්ජනයක් කරනවා කියන එක පහසු නැහැ. දේශපාලනය කියන්නේ ඔබ කැමති දේ නෙමෙයි, ඇත්තටම තියෙන දේ. ඔවු ඒක අමිහිරියි. ඒ නිසා තමයි අපිට ජනප්‍රිය එකමුතුවක් ගැන කථා කරන්නට වෙන්නේ. ඒ නිසා තමයි අපි නිහතමානී විය යුත්තේ. මොකද, ඔබට බොහෝ වෙලාවට කථා කරන්නට වෙන්නේ ඔබ පාවිච්චි කරන භාෂාව සමග, දේවල් පැහැදිලි කරන්න ඔබ යොදාගන්න යෙදුම් සමග අනන්‍ය නොවන මිනිස්සු එක්ක. මොකක්ද මේකෙ ප්‍රතිඵලය? දශක ගණනාවක් තිස්සේ වාමාංශය පරාජය වීම. මෙච්චර කාලයක් තිස්සේ පරාජය වීම විසින් පෙන්නුම් කරන්නේ මොකක්ද? මහජනයාගේ සාමාන්‍ය ඥානය වෙනස් බව. මේක අලුත් දෙයක් නෙමෙයි. මේ විප්ලවවාදීන් සෑම විටම දැන සිටි දෙයක්. සෙසාර් රෙන්දුවාලෙස් එකවරෙක කියනවා, බොහෝ මිනිස්සු, ඒ අය නොදැන සිටියා වුණත්, ධනවාදයට විරුද්ධ බව. ජූඩිත් බට්ලර්ව හෝ සිමොන්ද බෝවාව කියවලා නැති බොහෝ සාමාන්‍ය මිනිස්සු තමන්ගේ එදිනෙදා ජීවිතයේ දී ස්ත්‍රීවාදය ආරක්ෂා කරනවා. ගෙදර පිගන් සෝදන, තම දියණිය සමග සෙල්ලම් කරන පියෙක් ගත්තහම තමන්ගේ සෙල්ලම් බඩු තම නැගණිය සමග බෙදාහදාගත යුතු බව මුනුපුරෙක්ට උගන්වන සීයා කෙනෙක් ගත්තහම මේ වගේ දේවල්වල තියෙනවා අපි පෙලපාලියකට ගෙනෙන සියලුම රතු කොඩිවල නැති තරම් සමාජ විපර්යාසකාරක විභවයක්. අපි මෙන්න මේක තේරුම් ගන්නවා නම් අපිට පුලුවන් ඒ විධිහට දේවල්වලට ප්‍රවේශ වෙන්න. එහෙම නොවෙන තාක්කල් සතුරා අපට හිනා වෙනවා.
සතුරා කැමති මොකටද? ඔවුන් කැමතියි අපි කුඩා පිරිසක් විධිහට ඉන්නවට. අපි දැන් ඉන්න විධිහට ඉන්නවට. කාටවත් තේරෙන්නෙ නැති භාෂාවක් කථා කරන සුලුතරයක් විධිහට ඉන්නවට. අපේ සාම්ප්‍රදායික ලාංඡන හා සලකුණුවලට අපි සීමා වෙලා ඉන්නවට. මොකද ඔවුන් දන්නවා, ඒ විධිහට ඉන්න තාක් අපි ඔවුන්ට තර්ජනයක් නොවන බව. අපි අතර ඉතාම රැඩිකල් සංවාද තියෙන්න පුලුවන්. අපිට ඉතාම තියුණු වැඩවර්ජනයක් අවශ්‍ය වෙන්න පුලුවන්. අපි ඉතාම බලවත් ලාංඡන අරගෙන පෙලපාලි යනවා. ශ්‍රේෂ්ඨ විප්ලවවාදී නායකයින්ගේ පින්තූර උස්සගෙන පෙලපාලි දක්වනවා. සතුරා අපිට හිනාවෙනවා.
ඒත් අපිට පුලුවන් වෙනවා නම්, සිය ගණන් දහස් ගණන් ජනයා එක්රැස් කරන්න, ඔබ කියන දේ බහුතරයට ඒත්තු යන බව – සතුරාට ඡන්දය දෙන අයට පවා වැටහෙන බව – ඔවුන්ට තේරුම් යනවා නම්, අන්න එවිට සතුරා බය වෙනවා. මේකට තමයි දේශපාලනය කියන්නේ.
1905 දී රුසියාවේ සෝවියට් සභා ගැන කථා කරපු එක්තරා සහෝදරයෙක් හිටියා. මේ මනුස්සයා තට්ටය පෑදුණු, ඔලුවේ ලපයක් සහ ලස්සන මනසක් තිබුණු පුද්ගලයෙක්. විෂයමූල තත්වයන් ගැන විෂයමූල විශ්ලේෂණයක් තිබීමේ වැදගත්කම ගැන ඔහු හැමවෙලාවෙම කථා කලා. යුද්ධ කාලයේ, රුසියාවේ රෙජිමය ඉතාම දුර්වල වී තිබුණු අවස්ථාවක, ඔහු ඉතාම සරල, අතිශයින්ම සරල දෙයක් යෝජනා කලා සියලු රුසියානුවන්ට. සොල්දාදුවන් වේවා, කම්කරුවන් වේවා ගොවීන් වේවා සියල්ලන්ට. ඔහු ඔවුන්ට කීවා ‘සාමය සහ පාන්’ කියලා. ඔහු ‘සාමය සහ පාන්’ කී විට, ඒ වනවිට බොහෝ දෙනාට අවශ්‍ය වී තිබුණු දේ තමයි ඒ. මිනිස්සුන්ට යුද්ධය එපා වෙලා තිබුණා. බඩගින්න නිවාගැනීමට අවශ්‍ය වී තිබුණා. ඔහු ‘සාමය සහ පාන්’ කී විට, තමුන් වාමාංශික ද දක්ෂිණාංශික ද මේ කිසිම දෙයක් නොදත් අති විශාල ජනතාවකට – ඔවුන් බඩගින්නේ හිටපු නිසා – සිතුණා ‘මේ තට්ට මනුස්සයා කියන එකේ මොකක් හරි ඇත්තක් තියෙනවා’ කියලා.
ඉතින් තට්ට මනුස්සයා ඉතාම සාර්ථක වුණා. මිනිහා තමන්ගේ රටේ මිනිස්සුන්ට ඓතිහාසික භෞතිකවාදය ගැන කිසිවක් කීවේ නැහැ. මේ විසි වන සියවසේ ඉතාම වැදගත් පාඩමක්. හුදෙක් ඉතිහාසයේ වූ දේ පුනරුච්චාරණය කරමින් කවුරුහරි යතාර්තය වෙනස් කරන්නට උත්සාහ කරනවා නම්, ඉතිහාසයේ සලකුණු හා ලාංඡන කොපි කරමින් යථාර්තය වෙනස් කරන්නට උත්සාහ කරනවා නම්, සියලු ගෞරව සහිතව කිව යුත්තේ ඒක විකාරයක් බවයි. ඉතිහාසයේ කිසිම රටක සංයුක්ත අත්දැකීමක් ඒ විධිහටම තව තැනක ප්‍රතිනිර්මාණය වෙන්නේ නැහැ. යතුර තමයි ක්‍රියාවලින් හා ඉතිහාසයේ පාඩම් විශ්ලේෂණය කරලා ඒ නිශ්චිත අවස්ථාවේ ‘සාමය හා පාන්’ විය හැකි සටන් පාඨය කුමක්දැයි වටහා ගැනීම. බහුතර ජනතාවකට දැනෙන දේ සමග සම්බන්ධ වීමට අපේ සටන් පාඨවලට නොහැකි නම් එය අවසාන වන්නේ හාස්‍යයක් ලෙසයි.
උපුටාගත්තේ අක්ෂය වෙබ් අඩවියෙන්