දිනය ඉකුත් පෙබරවාරි 07 වැනිදාය. තරුණියක් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා නාරාහේන්පිට පොලිස් ස්ථානය වෙන පැමිණියාය. ඇයත් සමඟ ඇයගේ මවද පොලිස් ස්ථානය වෙත පැමිණ සිටියාය.
සොරකම්, වංචා, පවුල් ආරවුල්, පහරදීම් ආදී පැමිණිලි දිනපතා පොලිස් පොත්වල සටහන් වුවත් මෙම තරුණියගේ පැමිණිල්ලට පොලිස් නිලධාරීහුද ඔළුවේ අතගසා ගත්හ. ඇයගේ පැමිණිල්ලට අනුව ඇය අවස්ථා කිහිපයකදී සමූහ දූෂණයට ලක් වී ඇත. ඇය පෙම් කළ අයකු සහ ඔහුගේ මිතුරන් තිදෙනකු එක්ව ස්ථාන තුනකදී ඇයව සමූහ දූෂණයට ලක් කර ඇති බව ඇය පෙලිස් නිලධාරීන් ඉදිරියේ හඬා වැටෙමින් පැවැසුවාය.
ඇයගේ පෙම්වතා වන්නේද වෛද්‍යවරයෙකි. වෛද්‍යවරයා ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය සේවා බළකායට අයත් වෛද්‍යවරයකු බවද ඇය පොලිසිය හමුවේ පැවැසුවාය.
යුද හමුදා නිලය අනුව ඔහු කපිතාන්වරයෙකි. ඔහු නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේ වෛද්‍යවරයකු ලෙස කටයුතු කරන්නේය. පොලිස් පැමිණිල්ල අනුව තරුණියද නාරාහේන්පිට ප්‍රදේශයේම පිහිටි පෞද්ගලික රෝහලක හෙදියකි.
ඇය මෙම වෛද්‍ය කපිතාන්වරයාව දැන හඳුනා ගන්නේ වර්ෂ 2016 දීය. තරුණිය සේවය කරන පෞද්ගලික රෝහලට වෛද්‍ය කපිතාන්වරයාද රාජකාරි කටයුතු සඳහා පැමිණුනි.
ටික කලක් ගත වෙත්ම හෙදිය සහ වෛද්‍ය කපිතාන්වරයා අතර ආදර සබඳතාවක් ගොඩනැඟුණි.
ඒ සබඳතාව කාලයත් සමඟ ටිකක් දුරදිග ගියේය. නුදුරු දිනයක හෙදියව විවාහ කර ගන්නා බව පැවැසූ කපිතාන්වරයා 2016 වසරේ අග භාගයේදී එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ රාජකාරි සඳහා සුඩානය බලා පිටත්ව ගියේය.
මාස හයක පමණ කාලයක් කපිතාන්වරයා එරට රාජයේ කටයුතුවල නිරතව සිටියේය. මෙම කාලය තුළ හෙද නිලධාරිනිය තමාගේ අනාගත සැමියා පිළිබඳ තොරතුරු වටින් ගොඩින් සොයා බැලුවාය. “ඩොක්ටර් බැඳපු කෙනෙක්. ළමයි දෙන්නෙකුත් ඉන්නවා.”
වෛද්‍යවරයාගේ සැබෑ තතු දත් දෙතුන් දෙනකු සියලු තතු හෙදියගේ කන තැබූහ. තමාගේ සියල්ල මුළාවෙන් උදුරාගත් වෛද්‍යවරයා ගැන කලකිරුණු ඇය වේදනාව දරාගෙන ඔහුගෙන් අෑත් වීමට තීන්දු කළාය. වෛද්‍යවරයාද නැවත සුඩානයේ සිට මෙරටට පැමිණුනි. ඒ වන විටත් හෙදිය ඇයගේ ජංගම දුරකතන අංක වෙනස් කර තිබුණාය. කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි හෙදියට ඒ වන විට මංගල යෝජනාවක් පැමිණ තිබිණි. හෙදිය තමාව මඟහරින බව තේරුම්ගත් වෛද්‍යවරයා චාටු බස් දමා 2017 වසරේ ඔක්තෝබර් මාසයේ දිනක ඔහුගේ මෝටර් රථයේ ඇයව දමාගෙන නිට්ටඹුව ප්‍රදේශයේ පාළු නිවෙසකට ඇයව රැගෙන ගියේය.
ඒ යන විටත් එම නිවෙසෙහි තවත් නාඳුනන පිරිමි පුද්ගලයන් දෙදෙනකු වූහ. තමාව නැවත බෝඩිමට රැගෙන ගොස් දමන ලෙසට දැන්වුවත් ඇයට මත්පැන් සහ ගංජා බලහත්කාරයෙන් දී රාත්‍රි 8.00 සිට රාත්‍රි 1.00 පමණ වන තෙක් වෛද්‍යවරයා සහ ඔහුගේ මිතුරන් දෙදෙනා එක්ව ඇයව සමූහ දූෂණය කළහ.
ඔවුන් තිදෙනාද ගංජා පානයට ඇබ්බැහි වූවෝ වෙති. ඔවුන්ද ගංජා සහ මත්පැන් පානය කර නොමිනිසුන් ලෙස මෙම පාපතර කටයුත්ත සිදු කළහ.
ඇය මරහඬ දෙන දසුන්ද මෙම පාපතරයාගේ වීඩියෝ ගත කරනු ලැබූහ.
සියල්ල අවසානයේ ඇයව මොවුන් කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි නිවෙස අසලට දමා නැවත කොළඹට පැමිණියහ. මෙම පාපතර ක්‍රියාව මෙතැනින් නොනැවතිණි. සමූහ දූෂණයේ ඡායාරූපයන් සහ වීඩියෝ දර්ශන පෙන්වමින් හෙදියට තර්ජනය කළ වෛද්‍යවරයා මාස තුනකින් පසු නැවත වරක් ඇයව මෝටර් රථයේ දමාගෙන ඔහු සිටින නුගේගොඩ කන්දවත්තේ නිවාස සංකීර්ණය වෙත ගියේය.
එදිනද පෙර සමූහ දූෂණයට සම්බන්ධ වූ වෛද්‍යවරයාගේ මිතුරන් දෙදෙනාත් නිවාස සංකීර්ණයේ දෙවන මහලේ කාමරයට වී ගොදුර එන තෙක් බලා සිටියහ. එදින දිවා කාලයෙත් මෙම පාපතරයෝ නැවත ඇයව සමූහ දූෂණයකට ලක් කළහ.
මෙම ක්‍රියාවටද මාස කිහිපයකට පසු නැවත වෛද්‍යවරයා ඇයගේ නිරුවත් ඡායාරූප පෙන්වා බිය වද්දා ඇයව මෝටර් රථයේ දමාගත්තේය. එදින ඔවුන්ගේ නැවතුම්පොළ වූයේ මොරටුව ප්‍රදේශයේ නිවෙසක්ය. එම නිවසේ හිමිකරුවා වූයේ ඉන්ජිනේරුවෙකි. එදිනද වෛද්‍යවරයාගේ මිතුරන් දෙදෙනා හෙදියව නැවත නැවතත් දූෂණය කිරීමේ අරමුණින් එම නිවෙස වෙත පැමිණ තිබිණි. එදින හෙදිය සිවු දෙනකුගේ සමූහ දූෂණයට ලක් වූවාය. ඇය හඬමින් බැගෑපත් වෙමින් එම ක්‍රියාව නතර කරන ලෙසට දැන්වුවත් ඇයටද බලහත්කාරයෙන් මත්පැන් සහ ගංජා පොවා මත් කර ඔවුහු එම පාපතර කටයුත්ත සිදු කළහ.
ඉන්ද නොනැවතුණු පාපතර වෛද්‍යවරයා හෙදියගේ මුළු ජීවිතයම කෙලෙසීමේ අරමුණින් ඉකුත් 07 වැනි දින ඇය සේවය කරන පෞද්ගලික රෝහලේ විද්‍යුත් ලිපිනයට ඇයගේ නිරුවත් ඡායාරූප පෙළක් එවනු ලැබීය.
පසුව මෙතෙක් කල් තමා අමාරුවෙන් සිතේ තබාගෙන සිටි මේ පාපතර ක්‍රියාව ඇය අයගේ මවට පැවසුවාය. හෙදියට සිටින්නේ මව සහ නැඟණිය පමණි. ඇයගේ පියා මෙලොවින් සමු ගෙනය. ඉන් ඉක්බිති ඇය මේ පිළිබඳ පොලිසියට පැවැසීමට මෙලෙස නාරාහේන්පිට පොලිස් ස්ථානය වෙත පැමිණියාය. කොළඹ දිසාව භාර වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, කොළඹ දකුණ භාර ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පාලිත පනාමල්දෙණිය, සහකාර පොලිස් අධිකාරි රොෂාන් ඩයස් යන නිලධාරීන්ගේ සෘජු අධීක්ෂණය මත නාරාහේන්පිට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගයාන් ප්‍රසන්නගේ උපදෙස් හා මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක ලලිත් පෙත්තතන්ත්‍රී, කාන්තා උප පොලිස් පරීක්ෂක ජානකී ද සිල්වා, පොලිස් කොස්තාපල්වරුන් වන සිසිර (86735), සාලින්ද (61287) යන පොලිස් නිලධාරීහු කණ්ඩායම මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු ආරම්භ කළහ.
පැමිණිල්ලෙන් සතියක් ඉක්මවීමටත් පෙර මීට සම්බන්ධ ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය සේවා බළකායේ වෛද්‍ය, කපිතාන් දිනේෂ් පෙරේරා, ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් සේවා බළකායේ කල්අඩි ක¼දවුරේ කපිතාන් අජිත් කුමාර ජයවර්ධන, ශ්‍රී ලංකා යුද හමුදා රෝහලේ ඉහළ නිලධාරියකුගේ රියැදුරු වන කෝප්රල් රණසිංහ සහ ඉන්ජිනේරුවරයකු වන ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු කපිතාන්වරයකු අත්අඩංගුවට ගනු ලැබීය.
මේ සියලු සැකකරුවන් ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරන සහ කළ අය වීම විශේෂත්වයකි. යුද හමුදාවක පදනම හා පැවැත්ම නිර්මාණය කරන්නේ විනය ය. එහෙත් ඒ විනය තුළ ශික්ෂණ කළ නොහැකි කාලකණ්ණි විකෘති තිබෙන්නට පුළුවන. මේ එළි දුටුවේ ඒ තිරිසන්කමය.
අම්මලා, බිරින්දෑවරුද, දියණියන්, සහෝදරියන් සිටින මොවුන් හට නීතියේ දඬුවම මේ වන විට ලැබී තිබේ. නමුත් මෙවැනි අහස පොළොව නුහුලන අපරාධකාරයන්ට ස්වභාවධර්මයෙන්ද දඬුවම් ලැබිය යුතුය. හිත්පිත් නැති මෙවැනි නොමිනිසුන් මිනිස් සමාජයේ පැවැත්මත් ව්‍යසනයට ලක් කරන බැවිනි.
චාමර අමරසූරිය
උපුටාගත්තේ මව්බිමෙන්