අපරාධඋපුටාගැනීම්විශේෂාංග

දිනපොත සමග වළදැමූ ලසන්ත ඝාතනයේ අබිරහස

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රසන්න නානායක්‌කාර අත්අඩංගුවට ගත් හේතු මෙන්න…
 
* අත්තිඩිය ඇළේ තිබුණු යතුරු පැදිය කාගේද?

lasanthamaසන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කලින් කලට ජනප්‍රිය දේශපාලන මාතෘකාවක්‌ බවට පත්වෙයි. රටේ නීතිය සාමය, සාධාරණත්වය ගැන පුරසාරම් දොඩන දේශපාලනඥයන් ලසන්ත ඝාතනය ගැන පුන පුනා කියන්නේ ඔහුට සාධාරණයක්‌ ඉටුකර දීමට දැයි සැක සහිතය.

ඒ දේශපාලන කතා හුදෙක්‌ තම ජනප්‍රියත්වයන් සඳහා යොදා ගන්නා මාතෘකා බවට රටේ බුද්ධිමත් ජනතාව තේරුම් ගෙන සිටින බව නොරහසකි. ලසන්ත ඝාතනය වී වසර 09 ක්‌ ගත වී ගොස්‌ හමාරය. එහෙත් තවමත් ඔහුට සාධාරණයක්‌ ඉටු වී නැත.

ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය මේ දිනවල නැවතත් කරලියට පැමිණ තිබෙයි. ලසන්ත ඝාතන කථාව නැවත අලුත් වන්නේ ඒ සම්බන්ධයෙන් පොලිස්‌ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් තිදෙනකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමත් සමඟය.

ලසන්ත වික්‍රමතුංග ඝාතන විමර්ශනය යට ගැසීම සහ සාක්‍ෂි විනාශ කිරීම යන චෝදනා යටතේ එවකට ගල්කිස්‌ස පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපතිවරයාව සිටි පොලිස්‌ පරීක්‍ෂක තිස්‌ස සුගතපාල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී) මගින් අත්අඩංගුවට ගත්තේ මීට සති දෙකකට උඩදීය.

ලසන්ත ඝාතනය සිදු වූ කාල සීමාවේ ගල්කිස්‌ස කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයා වූ හේමන්ත අධිකාරි සී.අයි.ඩී.යට ගෙන්වා ප්‍රශ්න කළේ ඉකුත් සතියේදී ය.

ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ විමර්ශන ක්‍රියාත්මක වූ ආකාරය මෙන්ම නීතිය කනපිට පෙරලූ ආකාරයත් පිළිබඳව හේමන්ත අධිකාරි සී.අයි.ඩී.ය හමුවේ වැදගත් තොරතුරු හෙළි කළ බව පැවසෙයි.

ලසන්ත ඝාතන තොරතුරු යට ගැසීම, සාක්‍ෂි විනාශ කිරීම, විමර්ශන නිලධාරීන්ට බලපෑම් කිරීම ඇතුළු චෝදනා 07 ක්‌ සම්බන්ධයෙන් එවකට බස්‌නාහිර පළාත දකුණ භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රසන්න නානායක්‌කාර සීඅයිඩිය මගින් අත්අඩංගුවට ගත්තේ ඉන් අනතුරුවය.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය වන්නේ 2009 වර්ෂයේ ජනවාරි මස 08 වැනිදාය. අත්තිඩිය මලගල මහා විද්‍යාලය ඉදිරිපිට ජනාකීර්ණ මාර්ගයකදී ලසන්ත ඝාතනය වන්නේ ඉතාම සාහසික ආකාරයටය. ලසන්ත ඝාතනය සිදු වූ ප්‍රදේශය අයත්ව තිබුණේ ගල්කිස්‌ස පොලිස්‌ බල ප්‍රදේශයටය.

මෙම ඝාතනය සිදුවෙද්දී ගල්කිස්‌ස පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපතිවරයා වූයේ තිස්‌ස සුගතපාලය. මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂකවරයා ලෙස මහේෂ් පෙරේරා කටයුතු කළ අතර, පොලිස්‌ අධිකාරිවරයා වූයේ එල්. සී. ගුණවර්ධනය. ගල්කිස්‌ස කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයා වූයේ හේමන්ත අධිකාරිය. එවකට බස්‌නාහිර පළාත දකුණ භාරව සිටියේ නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රසන්න නානායක්‌කාරය. 2009 වර්ෂය වන විට පොලිස්‌පතිවරයා වූයේ ජයන්ත වික්‍රමරත්නය.

ලසන්ත ඝාතන සිද්ධියේ මූලික විමර්ශන කටයුතු භාර වී තිබුණේ තිස්‌ස සුගතපාල වෙතය. ඔහු මෙම විමර්ශන ක්‍රියාත්මක කරන්නේ කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයා සහ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා සමඟ සෘජු සම්බන්ධතාවන් පවත්වමින් ය.

ඝාතනය වූ අවස්‌ථාවේ ලසන්තගේ මෝටර් රථයේ තිබූ ඔහුට අයත් දේපළ සියල්ල තිස්‌ස සුගතපාල වෙත ලැබෙන්නේ 2009 වර්ෂයේ ජනවාරි 16 වැනිදා ය.

ලසන්ත පුරුද්දක්‌ වශයෙන් තොරතුරු සටහන් පොතක්‌ පාවිච්චි කළේය. ඔහු යන එන සෑම අවස්‌ථාවකදීම මේ තොරතුරු සටහන් පොත රැගෙන යැමට අමතක නොකළේය. ලසන්ත ඝාතනය වන අවස්‌ථාවේ මේ තොරතුරු සටහන් පොත ඔහු සතුව තිබුණේය. එය තිබුණේ ඔහුගේ මෝටර් රථයේ ය.

ලසන්ත සතුව තිබී සොයාගත් භාණ්‌ඩ අතර වූ තොරතුරු සටහන් පොත ද තිස්‌ස සුගතපාල භාරයට ගත්තේය. මේ තොරතුරු සටහන් පොතේ පිටු 160 කි. එහි පිටු 128 කම ලසන්ත විවිධ තොරතුරු සටහන් කර තිබුණේය. එහි සියලු තොරතුරු සටහන් කර තිබුණේ ඉංග්‍රීසි භාෂාවෙන් ය.

lasantha1තිස්‌ස සුගතපාල ලසන්තගේ තොරතුරු සටහන් පොත පරීක්‍ෂා කළේය. එහි සටහන් කර තිබූ බොහෝ දේවල් තේරුම් ගැනීමට පොලිස්‌ නිලධාරියා සමත් වූයේ නැත. එහෙත් සටහන් පොතේ පිටකවරයේ වාහන දෙකක අංකයන් සටහන්කර තිබුණේය. තම ජීවිතයට තර්ජන එල්ල කරන පුද්ගලයා ලුහුබැඳ එන වාහනවල අංක ලසන්ත විසින් සටහන් කරගෙන තිබෙන බව පොලිසිය ඒ වන විට දැනගෙන තිබුණේ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගෙන් ලබා ගත් තොරතුරු වලින්ය.

ලසන්තගේ සටහන් පොතේ තිබූ සැකකටයුතු වාහන අංක දෙක පරීක්‍ෂා කිරීමට තිස්‌ස සුගතපාල කටයුතු කළේය. මේ සම්බන්ධයෙන් ගල්කිස්‌ස පොලිසියේ අපරාධ අංශයේ තොරතුරු සටහන් පොතේ දීර්ඝ සටහනක්‌ තැබීමට ද සුගතපාල කටයුතු කර තිබුණේය.

එමෙන්ම ලසන්තගේ තොරතුරු සටහන් පොත නඩු භාණ්‌ඩයක්‌ ලෙස නම් කිරීමට ද සුගතපාල කටයුතු කළේය. මේ අතර මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ලැබුණු තොරතුරු අනුව ලසන්ත වික්‍රමතුංගගේ තොරතුරු සටහන් පොතේ තිබූ වාහන අංක දෙක යතුරුපැදි දෙකකට අයත් ඒවා බව හෙළිවිය. එම යතුරුපැදි ජාඇල සහ බොරලැස්‌ගමුව ප්‍රදේශවල පුද්ගලයන් දෙදෙනකුට අයත් බව ද තිස්‌ස සුගතපාල සොයා ගත්තේය.

තමන් විසින් සිදුකළ විමර්ශනයන් පිළිබඳව තිස්‌ස සුගතපාල ගල්කිස්‌ස කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයා සහ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා දැනුවත් කරන්නේ ඉන් පසුවය.

ලසන්තගේ තොරතුරු සටහන් පොත සහ මේ සම්බන්ධයෙන් සටහන් තැබූ අපරාධ අංශයේ සටහන් පොත රැගෙන වහාම පැමිණෙන ලෙස නියෝජ්‍ය පොලිස්‌පතිවරයා ගල්කිස්‌ස ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයාට දැනුම් දී තිබිණි.

තිස්‌ස සුගතපාල ලසන්තගේ තොරතුරු සටහන් පොත නියෝජ්‍ය පොලිස්‌පතිවරයා වෙත රැගෙන යැමට පෙර එහි මුල් කවරයේ සහ පසුපස කවරයේ ඡායාපිටපත් දෙකක්‌ ලබා ගැනීමට කටයුතු කළේය. ඒ ඡායා පිටපත් ලබා ගත් ඇතුගල නමැති පොලිස්‌ කොස්‌තාපල්වරයා අමතර ඡායා පිටපතක්‌ ලබා ගෙන එය තමන් සතුව තබා ගත්තේ නැවත අවශ්‍ය වූවොත් ප්‍රයෝජනයට ගැනීම සඳහාය.

ලසන්තගේ තොරතුරු සටහන් පොත නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රසන්න නානායක්‌කාර හොඳින් පරීක්‍ෂා කර තිබුණේය. නියෝජ්‍ය පොලිස්‌පතිවරයාට ඉංග්‍රීසි භාෂාව හොඳින් හැසිරවිය හැකි නිසා ලසන්ත ඉංග්‍රීසි භාෂාවෙන් සටහන් කර තිබූ සියල්ල පරීක්‍ෂා කිරීමට හැකි විය.

නියෝජ්‍ය පොලිස්‌පතිවරයා ලසන්තගේ තොරතුරු සටහන් පොතේ වූ ඇතැම් විස්‌තර ඒ මොහොතේ ම පොලිස්‌පතිවරයා වෙත ලබා දීමට කටයුතු කළේ එය අතිශය වැදගත් වූ නිසාය.

ලසන්තගේ තොරතුරු සටහන් පොත සහ අපරාධ අංශයේ සටහන් පොතේ වූ වාර්තාව පොලිස්‌පතිවරයා විසින් ඉල්ලා සිටින බව පැවසූ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා ඒවා තමන් සන්තකයේ තබා ගත්තේය.

මේවා ගැන හොයන්න ගිහිල්ලා තමුසෙටත් මැරුම් කන්න වෙයි. ඒ නිසා සද්ද නැතිව ඉන්නවා යනුවෙන් නියෝජ්‍ය පොලිස්‌පතිවරයා පොලිස්‌ පරීක්‍ෂක තිස්‌ස සුගතපාලට අනතුරු ඇඟවීමක්‌ ද කර තිබුණේය. මේ අවස්‌ථාවට ගල්කිස්‌ස ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයාව සිටි හේමන්ත අධිකාරි ද පැමිණ සිටියේය.

ගල්කිස්‌ස පොලිසිය විසින් කරගෙන ආ ලසන්ත ඝාතන විමර්ශන කටයුතු එතැන් සිට මන්දගාමී වන්නට පටන් ගත්තේය. ලසන්තගේ තොරතුරු සටහන් පොත සහ තිස්‌ස සුගතපාල විසින් අපරාධ අංශයේ තොරතුරු සටහන් පොතේ තැබූ සටහනට සිදු වූයේ කුමක්‌ ද යන්න අදටත් අභිරහසකි.

මේ අතර ලසන්තගේ තොරතුරු සටහන් පොත හා සමාන පොතක්‌ රැගෙන එන ලෙස තිස්‌ස සුගතපාල පොලිස්‌ නිලධාරියකු වෙත භාර දී තිබුණේය. දින දෙකක්‌ තිස්‌සේ කොළඹ පුරා කරක්‌ ගැසූ පොලිස්‌ නිලධාරියාට ලසන්තගේ තොරතුරු සටහන් පොතට සමාන පොතක්‌ සොයා ගැනීමට නොහැකි විය.

අවසානයේදී ලසන්තගේ සටහන් පොත මුද්‍රණය කළ සමාගම වෙත ගොස්‌ ඒ හා සමාන පොතක්‌ මිලදී ගැනීමට පොලිස්‌ නිලධාරීහු කටයුතු කළහ.

ඒ පොත ඔවුන් මිලදී ගෙන තිබුණේ අවශ්‍ය වූවොත් එය නඩු භාණ්‌ඩයක්‌ ලෙස ඉදිරිපත් කිරීමටය. එහෙත් ලසන්තගේ සටහන් පොත හෝ අලුතින් ගත් සටහන් පොතට අදටත් සිදු වූ දෙයක්‌ නැත.

මේ අතර 2009 වර්ෂයේ ජනවාරි 25 වැනිදා පොලිස්‌පතිවරයා විසින් නියෝජ්‍ය පොලිස්‌පතිවරයාට වැදගත් තොරතුරක්‌ ලබා දුන්නේය. ලසන්ත ඝාතනයට පැමිණි ඝාතකයන් ගමන් ගත් යතුරු පැදියක්‌ අත්තිඩිය ඇළේ ගිල්වා ඇති බවට ලබාදුන් තොරතුර පරීක්‍ෂා කිරීමට නියෝග ලැබුණේය.

නියෝජ්‍ය පොලිස්‌පතිවරයා මෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයා ද මේ රාජකාරිය භාර කළේ පොලිස්‌ පරීක්‍ෂක තිස්‌ස සුගතපාල වෙතය. අත්තිඩිය ඇළේ කිඹුලන් සිටින බැවින් එහි කිමිදීමට පුද්ගලයන් සොයා ගැනීම අපහසු කටයුත්තක්‌ විය.

එහෙත් කෙසේ හෝ ගලකිස්‌ස ප්‍රදේශයේ කිමිදුම්කරුවන් දෙදෙනෙක්‌ හොයාගෙන ඔවුන් අත්තිඩිය ඇළේ බස්‌සවා යතුරුපැදිය සෙවීමේ කටයුතු පොලිස්‌ පරීක්‍ෂකවරයා විසින් ක්‍රියාත්මක කළේය. ජනවාරි 26 වැනිදා දවස පුරා අත්තිඩිය ඇළ පරීක්‍ෂා කළ ද යතුරුපැදිය පිළිබඳ හෝඩුවාවක්‌ ලැබුණේ නැත.

ජනවාරි 27 වැනිදා ද කිමිදුම්කරුවන් දෙදෙනා යොදාගෙන යතුරුපැදිය සෙවීමේ කටයුතු සුගතපාල ක්‍රියාත්මක කළේය. එදින දහවල් සුගතපාලගේ ජංගම දුරකථනයට කිසිවකුගෙන් ඇමතුමක්‌ ලැබුණේය. ඒ ඇමතුම ලබා ගත් සුගතපාල කිමිදුම්කරුවන්ට කීවේ ඇළ අසල ඇති අට්‌ටික්‌කා ගස යට කිමිදී පරීක්‍ෂා කරන ලෙසය.

ලැබුණු තොරතුර සාර්ථකය. එම ස්‌ථානයේ ගිල්වා තිබූ යතුරුපැදිය කිමිදුම්කරුවන් විසින් සොයා ගත්හ. සොයාගත් යතුරුපැදියේ අංක තහඩු තිබුණේ නැත. එහි එන්ජින් අංකය පරීක්‍ෂා කළ පොලිස්‌ නිලධාරීන් යතුරුපැදියේ හිමිකරුගේ ලිපිනය සොයා ගත්තේය.

යතුරුපැදිය හිමිකරු වවුනියාව ප්‍රදේශයේ පදිංචි නඩරාජා නමැති අයෙකි. ගල්කිස්‌ස පොලිසියේ නිලධාරීන් වවුනියාවට ගොස්‌ යතුරුපැදියේ හිමිකරු අත්අඩංගුවට ගත්හ.

“සර් මම මේ බයික්‌ එක විකුණලා තිබුණේ. රත්ත්‍රන් බඩු බිස්‌නස්‌ කරන විග්නකුමාර් කියලා එක්‌කෙනෙක්‌ තමයි මේක ගත්තේ. යතුරුපැදියේ හිමිකරු පොලිසියට ප්‍රකාශයක්‌ ලබා දුන්නේය. අවසානයේදී පොලිසිය සිදුකළ විමර්ශනවලින් හෙළිකර ගෙන තිsබුණේ යතුරුපැදිය මිලදී ගෙන තිබූ පුද්ගලයා එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු බවත්, ඔහු මුදා නොගත් ප්‍රදේශයක පදිංචි වී සිටින බවත් ය.

ලසන්ත ඝාතනයට එල්.ටී.ටී.ඊය සම්බන්ධ බවට ප්‍රචාරයක්‌ යන්නේ එතැන් සිටය.

අත්අඩංගුවට ගත් නඩරාජා රඳවා තබා ගැනීමේ නියෝගයක්‌ මත තබාගෙන ප්‍රශ්න කිරීමට සුගතපාල කටයුතු කළේය.

මේ අතර මෙම යතුරුපැදිය මිලදී ගෙන තිබූ විග්නකුමාර් නමැති දෙමළ ජාතිකයාගේ සහ තවත් අයකුගේ මළ සිරුරු අනුරාධපුර තිරප්පනේ ප්‍රදේශයේ ටයර්සෑයක පිළිස්‌සෙමින් තිබියදී පොලිසිය සොයා ගත්තේය.

මේ පුද්ගලයන් දෙදෙනා ඝාතනය කර තිබුණේ අත් පා බැඳ දමා හිසට වෙඩි තැබීමෙන් අනතුරුව බව ද මරණ පරීක්‍ෂණයේ සඳහන් විය. මේ සියලු කරුණු කාරණා එකින් එක සිදුවෙද්දී ලසන්ත වික්‍රමතුංග ඝාතනය රටේ සිදු වූ තවත් එක්‌ අභිරහස්‌ මිනීමැරුම් ගොන්නට ඇතුළත් වුණේය. එහෙත් සිවිල් සංවිධාන, ජනමාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් ලසන්ත ඝාතනය යටපත් වීමට ඉඩ නොදී විශාල හඬක්‌ නඟමින් සිටියහ. ඒ හඬ ජාත්‍යන්තරය දක්‌වා ම රැගෙන යැමට ඔවුහු සමත් වූහ.

ලසන්ත ඝාතනයේ විමර්ශන සාධාරණ අයුරින් ක්‍රියාත්මක කරන බවට ඒත්තු ගැන්වීමට එවකට රජය දැඩි උත්සාහයක්‌ ගෙන තිබුණේය. ලසන්ත ඝාතනයේ විමර්ශන කටයුතු ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකය වෙත පැවරෙන්නේ එවකට පොලිස්‌පති මහින්ද බාලසූරියගේ නියෝග මතය.

එවකට ත්‍රස්‌ත විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ද අවශ්‍යව තිබුණේ ලසන්ත ඝාතන විමර්ශන ක්‍රියාත්මක කරනවාට වඩා එය යට ගැසීමටය. ත්‍රස්‌ත විමර්ශන ඒකකය ලසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිරිසක්‌ අත්අඩංගුවට ගෙන ඔවුන් මුදාහරිනු ලැබීය. එය සිදුවන්නේ එවකට රජයේ අදෘශ්‍යමාන හස්‌තයක්‌ ලබාදුන් නියෝග මත බව පැවසෙයි. යහපාලන ආණ්‌ඩුවේ ප්‍රධාන පෙළේ මැතිවරණ පොරොන්දුවක්‌ වූයේ ලසන්ත ඝාතනයේ මිනීමරුවන් අත්අඩංගුවට ගැනීමය. ලසන්ත ඝාතනය එවකට දේශපාලන වේදිකාවල රැව් පිළිරැව් දෙන්නට විය.

යහපාලන ආණ්‌ඩුව බලයට පත්වීමෙන් පසු 2015 වර්ෂයේ සැප්තැම්බර් 18 වැනිදා ලසන්ත ඝාතන විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත (සී.අයි.ඩීය.) භාර කළේaය.

ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ විමර්ශන කටයුතු සී.අයි.ඩි.ය විසින් ඉතාම ක්‍රමවත්ව විනිවිද භාවයකින් යුතුව ක්‍රියාත්මක කරන්නට පටන් ගත්හ.

ලසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවේ නිලධාරීන් 400 කට අධික පිරිසකගෙන් සීඅයිඩීය ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත්හ. එමෙන්ම එවකට යුද හමුදාපතිවරයාව සිටි සරත් ෆොන්සේකා සීඅයිඩීයට කැඳවා ඔහුගෙන් ද ප්‍රශ්න කළේය.

ලසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම අත්අඩංගුවට පත්වන්නේ යුද හමුදාවේ සාජන් මේජර් උදලාගමය. ඔහු අත්අඩංගුවට ගන්නේ ලසන්තගේ රියෑදුරු පැහැරගෙන ගොස්‌ තර්ජනය කිරීමේ චෝදනා මතය.

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට එල්.ටී.ටී.ඊ.ය සම්බන්ධ දැයි සෙවීමේ විමර්ශනයක්‌ ද ක්‍රියාත්මක කිරීමට සීඅයිඩිය කටයුතු කළේය.

මෙම ඝාතනය සිදු වී දින කීපයකට පසු අත්තිඩිය ඇළෙන් මතු වූ යතුරුපැදිය පිළිබඳව සෙවීමේ විමර්ශන සීඅයිඩිය කරගෙන ගියේය. එහිදී ඉතාම වැදගත් තොරතුරක්‌ හෙළිකර ගැනීමට සීඅයිඩියට හැකි විය.

ලසන්ත ඝාතනයට පැමිණි පුද්ගලයන් ගමන් ගත් යතුරුපැදියක්‌ අත්තිඩිය ඇළේ ගිල්වා ඇති බවට අරවින්දන් නමැති අයකු විසින් තොරතුරක්‌ තමන් වෙත ලබා දෙන්නේ 2009 ජනවාරි 26 වැනිදා බව පොලිස්‌පතිවරයා දැනුම්දී තිබිණි. එහෙත් යතුරුපැදියක්‌ අත්තිඩිය ඇළේ ගිල්වා ඇති බවට තොරතුරු පොලිස්‌පතිවරයා බස්‌නාහිර උතුර නියෝජ්‍ය පොලිස්‌පතිවරයා වෙත දැනුම් දෙන්නේ ජනවාරි 25 වැනිදාය. එම පරස්‌පර තොරතුරු පිළිබඳව සී.අයි.ඩිය විමර්ශන කළේය.

එමෙන්ම අත්තිඩිය ඇළේ ගිල්වා තිබියදී සොයාගත් යතුරුපැදියේ දෙවැනි හිමිකරු සොයා ගිය පොලිසිය ඉතාම වැදගත් තොරතුරු රැසක්‌ සොයා ගත්තේය.

යතුරුපැදියේ හිමිකරු රන් භාණ්‌ඩ නිෂ්පාදනකරුවකු බවත්, ඔහු වවුනියාව ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් හෙළිකර ගත්තේය. කොළ පැහැති වෑන් රථයක පැමිණි නාඳුනන සන්නද්ධ කණ්‌ඩායමක්‌ යතුරුපැදිය සමඟ එහි හිමිකරු වූ විග්නකුමාර් සහ ඔහුගේ මිතුරකු 2009 වර්ෂයේ ජනවාරි 18 වැනිදා වවුනියාවේදී පැහැරගෙන ගොස්‌ තිබූ බව සීඅයිඩිය සොයා ගත්තේය. මේ පැහැරගැනීම ඇසින් දුටු සාක්‍ෂි කීපයක්‌ ද සීඅයිඩියට ලැබී තිබිණි. නාඳුනන පිරිස විසින් මෙම යතුරුපැදිය පැහැර ගත්තේ ලසන්ත ඝාතනය වී දින 09 කට පසුවය.

පැහැරගැනීමට ලක්‌ වූ යතුරුපැදියේ හිමිකරුගේ සහ මිතුරාගේ මළ සිරුරු අනුරාධපුරයේ තිරප්පනේ තිබී සොයා ගත්තේ ලසන්ත ඝාතනය වී දින ගණනාවකට පසුවය. මෙම පුද්ගලයන් දෙදෙනාගේ මරණයන් පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වූ වෛද්‍යවරයා ඔවුන්ගේ හිස්‌කබල් දෙක තමන් සන්තකයේ තබා ගත්තේ කිසියම් විමර්ශනයක්‌ සිදුවූවොත් ඊට ඉදිරිපත් කිරීම සඳහා ය.

සීඅයිඩිය ලසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කරද්දී මෙම වෛද්‍යවරයා මාතලේ ප්‍රදේශයේ රෝහලකට මාරු වී ගොස්‌ සිටියේය. සීඅයිඩී නිලධාරීන් වෛද්‍යවරයා සොයාගොස්‌ තිරප්පනේදී ඝාතනයට ලක්‌ වූ පුද්ගලයන් දෙදෙනාගේ හිස්‌කබල්වල කොටස්‌ ලබාගෙන ඔවුන්ගේ දරුවන්ගේ සිරුරේ කොටස්‌ ඩී.එන්.ඒ. පරීක්‍ෂණයකට භාජන කර ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කර ගත්තේය.

ඒ අනුව තිරප්පනේදී හිසට වෙඩි තබා ඝාතනය කර තිබුණේ අත්තිඩිය ඇළෙන් ගොඩගත් යතුරුපැදියේ හිමිකරුගේ සහ ඔහුගේ මිතුරාගේ සිරුර බව සීඅයිඩිය අනාවරණය කර ගත්හ.

මෙම යතුරුපැදියේ හිමිකරු මෙන්ම ඔහුගේ මිතුරාද එල්ටීටීඊ සංවිධානයට කිසිම සම්බන්ධතාවක්‌ නැති අහිංසකයන් බව ද සීඅයිඩිය සොයා ගත්තේය. ලසන්ත ඝාතනයට එල්.ටී.ටී.ඊ.ය සම්බන්ධ වූ බවට ගොතා තිබූ වෘතාන්තය එයින් බැහැර කිරීමට සී.අයි.ඩි.යට හැකිවිය. අත්තිඩිය ඇළෙන් ගොඩගෙන තිබුණේ ලසන්ත ඝාතනය සඳහා පැමිණි සාහසිකයන් ගමන් ගත් යතුරුපැදිය බවට එවකට පොලිසිය විසින් ගෙතූ ගජබින්නයක්‌ බව අවසානයේ හෙළි විය. නාඳුනන පිරිසක්‌ විසින් මේ යතුරුපැදිය එහි හිමිකරු ද සමඟ පැහැරගෙන තිබුණේ ලසන්ත ඝාතනය වී දින නවයකට පසුවය.

ලසන්ත ඝාතනය යට ගැසීමට ගොතන ලද වෘතාන්තය වෙනුවෙන් ඒ අහිංසකයන් දෙදෙනාට තම ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුව තිබිණි.

ලසන්ත ඝාතනයේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම වසර 09 ක තරම් කාලයක්‌ ඇදී යන්නේ එදා ගල්කිස්‌ස පොලිසිය මෙම විමර්ශන කටයුතු යට ගැසීම නිසාය. එදා ඉහළ පොලිස්‌ නිලධාරීන් ලසන්ත ඝාතන විමර්ශන කණපිට පෙරළීම නිසාය. ලසන්ත ඝාතන සිද්ධියට අදාළ විමර්ශන යට ගැසීම සාක්‍ෂි විනාශ කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් ගල්කිස්‌ස පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපති තිස්‌ස සුගතපාල මේ වන විට සිටින්නේ බන්ධනාගාරගතවය.

එම චෝදනාවන් යටතේ අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රසන්න නානායක්‌කාර ද බන්ධනාගාරගත කෙරුණේය.

එවකට පොලිස්‌පතිවරයාව සිටි ජයන්ත වික්‍රමරත්නට එල්ල වී ඇත්තේ ද මේ චෝදනාවමය. ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සැකකරුවන් නීතියේ රැහැනට නතුකර ගැනීමට සීඅයිඩියට සැබෑ වුවමනාවක්‌ ඇති බවක්‌ පෙනෙන්නට තිබෙයි. එහෙත් මේ විමර්ශන කරගෙන යද්දී සීඅයිඩියට මොන ආකාරයේ බලපෑම් එල්ල වේ දැයි කිව නොහැක. ඒ මන්ද යත් අපේ රටේ තවමත් සියල්ල සිදුවන්නේ දේශපාලන අවශ්‍යතාවන් මත වීම නිසාය.

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ලක්‌ වී පසුගිය ජනවාරි 08 වැනිදාට වසර 09 ක්‌ ගත වී හමාරය. එහෙත් ලසන්ත වික්‍රමතුංගට හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට තවමත් සාධාරණයක්‌ ඉටු වී නැත.

ලසන්ත වික්‍රමතුංග මෙරට පුරවැසියෙකි. රටේ පිළිගත් මාධ්‍යවේදියකු ලෙස සිටි අයෙකි. මහ දවල් දෙනෝදාහක්‌ දෙනා බලා සිටියදී ලසන්ත ඝාතනය වන්නේ ඉතාම සාහසික අන්දමටය. මෙම ඝාතනය සම්බන්ධයෙන් මොන තරම් විමර්ශන කළ ද සැබෑ ඝාතකයන් තවමත් නිදැල්ලේය.

ලසන්ත ඝාතනය සිදුවන්නේ කාගේ වුවමනාවටද, ඔහු ඝාතනය කළේ කවුරුන් විසින්ද යන්න තවමත් හෙළිදරව් කර ගැනීමට නොහැකි වීම කනගාටුවට කරුණකි.

ලසන්ත ඝාතන සිද්ධිය වටා සිටින අවශේෂ චරිත අත්අඩංගුවට ගැනීමෙන් පලක්‌ නැත. කළ යුත්තේ ලසන්තගේ නියම ඝාතකයන් අත්අඩංගුවට ගැනීමය. ඝාතනයට ලක්‌ වූ ලසන්ත වික්‍රමතුංග නමැති මාධ්‍යවේදියාට සාධාරණයක්‌ ඉටු වන්නේ එවිටය.

(අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවට අනුව ලිපිය සකස්‌ කරන ලදී.)

හේමන්ත රන්දුණු

උපුටාගැනීම: දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *