ඉකුත් බදාදා (07) දින නාරාහේන්පිට පුද්ගලික රෝහලක සේවය කළ තරුණියක සමූහ දූෂණයට ලක්ව ඇති බව බොහෝ මාධ්‍ය වාර්තාකර තිබුණි. දේශයේ මුරදේවතාවෝ යැයි විරුදාවලිය ලත් හමුදා නිළධාරින් සිව් දෙනෙකු විසින් මෙම දූෂණය සිදුකිරීම මෙහි නැවත සලකා බැලිය යුතු තත්වයක් වේ. යුද්ධයේදී රට බේරාගත් විරුවන් පශ්චාත් යුධ කාල වකවානුවකදී මෙවැනි දූෂිත ක්‍රියාවන්ට හවුල් වීම සමස්ත රණවිරුවන්ට සිදුවන හානියකි. එය හේතුවෙන් රටෙහි ජනතාව හමුදා නිලධාරීන් පිළිබඳ තබා ඇති විශ්වාසය මුළුමනින්ම පලුදු වේ. මෙහි සිදුවී ඇත්තේ සමූහ දූෂණයකි. එක් හමුදා නිළධාරියෙක් අතින් මෙය සිදුවීනම් එය ඔහුගේ මානසික දුර්වලතාවයක් ලෙස සැලකීමට හැකිය. එහෙත් මෙම මානසික විකෘතිතාවය හමුදා නිළධාරීන් සිව්දෙනෙකු අතින් සිදුවීම නැවත සලකා බැලිය යුතු තත්වයකි. මෙය යුද්ධයෙන් පසු නැවත ඔවුන් පුනුරුත්තාපන ක්‍රියාවලියකට ලක් නොකිරීමේ හානිය ද වියහැකිය.
ඇය විශ්වාස කරනුයේ ඔහු අවංකව ප්‍රේම කරනවාය කියාය. සීමාව පනින හැම විටකම ඈ ඔහුගෙන් විශ්වාසය ප්‍රාර්ථනා කළාය. විශ්වාසය අවිශ්වාසයක් තරමටම සමාජගත වී බොහෝ කල්ය. විශ්වාසය යනු හුදෙක් ‘හිස්’ වචනයක් පමණක් වී බොහෝ කල් ය. කල් ඉකුත් වූ භාණ්ඩ වීසි කරනවාක් මෙන් විශ්වාසය නැමති වචනයද වීසිකොට ඒ වෙනුවට අලුත් වචනයක් ආදේශ කිරීමට කාලය විත් බොහෝ කල්ය. ඉඩ හසර ලැබෙන අවස්ථාවන්හීදී සෙනෙහසේ අසිරිය හොයන ඈ ඔහුගෙන් ඊට පෙරළා ලද්දේ වංචාවේ සලකුණුය.
ව්‍යාජ පෙම්වතා විසින් ක්‍රමානුකූලව ඈ සිය ග්‍රහණයට ගෙන තිබිණි. නාස් පුඩු තෙක් ගිලුණුකල ඉන් ඔබ්බ ගැන කවර කතාද? විටින් විට ඇයට ඔහුගෙන් ආවේ හද කම්පා සහගත බලපෑම්ය. මිතුරන්ගේ කාම පවස නිවන ගොදුරක් බවට ඈ පත් කිරීමට තරම් ඔහු ආත්මය කෙලෙසාගෙන සිටියේය.
ඇය තමාගේ ආත්ම ගෞරවය පිළිබඳ වූ තැතිගැන්මකින් සියදිවි හානි කර නොගත්තාය. පියාද නොමැතිව තමාව රැකබලා ගත් මව හා තම සොහොයුරා වෙනුවෙන් ඇය ජීවත් වීමට තීරණය කළාය. නීතිය හමුවේ තමාට සිදුවූ විපත කීමට ඇය තීරණය කළේ එලෙසින්ය. ඇය හෙද නිළධාරිනියකි. ඇය කාන්තාවකි. පිරිමින් සිව්දෙනෙකුගේ ලිංගික අතවරයට ඇය මුහුණ දෙන්නේ කාන්තාවක් ලෙස ඇයට මෙම සමාජය තුළ වූ රැකවරණයේ අඩුපාඩුව හේතුවෙනි. ආදරය කිරීමට තෝරාගත් පුද්ගලයා නිසියාකාරව තේරුම් නොගැනීමේ කාරණාව හේතුවෙනි. එය වර්තමාන සමාජ පරිහානියේ එක් පැතිකඩක් පෙන්නුම් කරයි.
මෙම සිදුවීම පොලිසිය හමුවේ නිරාවරණය වීමට මූලික හේතුව වන්නේ එම දූෂණයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇයගේ නිරුවත් ඡායාරූප කිහිපයක් ඇය සේවය කරන රෝහලේ විද්‍යුත් ලිපිනයට යොමු කිරීමයි. ඉන්පසු ඇය නාරාහේන්පිට පොලිසියට මේ පිළිබඳ පැමිණිල්ලක් කළාය. එම පැමිණිල්ලට අනුව ඇය එම සිදුවීමට අදාළ ප්‍රධාන සැකකරුවා සමඟ මීට වසර ගණනාවකට පෙර පෙම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත. එම සැකකරු කොළඹ යුධ හමුදා රෝහලේ වෛද්‍යවරයකු ලෙස සේවයේ නිරතවන්නෙකි. හෙදිය එම වෛද්‍යවරයා හඳුනාගන්නේ ඔහු එම හෙදිය සේවය කරන රෝහලට රාජකාරි සඳහා පැමිණීමෙනි. වසර කිහිපයක් මෙම සම්බන්ධතාවය පවත්වාගෙන ගොස් ඇති අතර යම්කිසි කරුණක් හේතුවෙන් ඔවුන් විරසක වී ඇත. ඒ ඔහු විවාහක දෙදරු පියෙක් බව ඇය නිසැකවම දැනගැනීමෙනි. මෙම ගැටලුවෙහි ආරම්භය සැකසෙන්නේ ඒ අයුරිනි. පසුව ඇයගේ නිවැසියන් මරණ බවට තර්ජනය කරමින් ඇයව විවිධ ස්ථානයන්ට ගෙන්වාගෙන තිබුණි. ඒ අනුව නිට්ටඹුව ප්‍රදේශයේ එක්තරා ස්ථානයකට, නුගේගොඩ ප්‍රදේශයේ යුධ හමුදා නිළ නිවෙසකට සහ අවසන් වතාවට මොරටුව ප්‍රදේශයේ වූ ස්ථානයකට ඇය ගොස් ඇත. එහිදී එම සැකකාර හමුදා වෛද්‍ය නිළධාරියා, හමුදා සේවයේ සිටි පරිගණක ඉංජිනේරුවරයෙක් සහ තවත් හමුදා නිළධාරීන් දෙදෙනෙක් අතින් ඇයව දූෂණයට ලක් කර ඇත. ඔවුන්ගේ මෙම නොමනා හැසිරීම පිළිබඳ ඇය මෙම වෛද්‍යවරයා සමග වූ බහින්බස් වීමකදී ඔහුගේ බිරිඳට සියල්ල හෙළිකරන බව පවසා ඇත. ඇය ක්‍රියාත්මක වීමට පෙර ඔහු ක්‍රියාත්මක වූයේ ඔවුන් එම අවස්ථාවන්හි ගන්නා ලද ඡායාරූප ඇය රාජකාරීකරන රෝහලේ විද්‍යුත් ලිපිනයට යොමු කිරීමෙනි. මෙම සිදුවීම පුපුරා යන්නේ එම කාරණාව සමඟිනි.
ඇගේ ශරීරය වැනසූ භ්රශ්ටයෝ ඇගේ ආත්මයේ අවසන් අපේක්ෂාවටද ගිනි තැබූහ.
දූෂණය සම්බන්දව හද කකියන කතා නිරන්තර අසන්නට ලැබීමට තරම් දීන ලෝකයක අපි ජීවත් වෙමු. යුවතිය හපයක් කොට එහි ඡායාරූප ගෙන, ඉන් නොනවතින ඔවුන් එකී ඡායාරූප ඈ සේවය කරන සේවා ස්ථානයට යෑවීමට තරම් මිලේච්ඡ හැඟීම් වලින් යුක්ත වූහ.
සිවු දෙනෙක් දුටු ඇගේ වත ලෝකයාටම දකින්නට ඉඩ හල නරුම සොල්දාදුවා ඉන් නොනැවතී ඇයට තර්ජනය කරන්නටද පටන් ගත්තේය.
එහෙත් ඈ නොවැටුණාය. ගැහැණියක් තුළ වෙඩරු මෙන් මෘදු හදවතක් ඇත. එසේම අසීරු මොහොතක පිරිමි සියයකටවත් නැති මහා ශක්තියක් ඇයට වෙයි.
ඈ ඉන්ද්‍රකීලයක් සේ නැගිට්ටාය.
ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 වෙනි වගන්තිය යටතේ වරදක් සිදුකර ඇති බවත් බලහත්කාරයෙන් මත්ද්‍රව්‍ය (ගංජා සහ අරක්කු) පොවා සිහි විකල් කොට මරණ බවට තර්ජනය කර මෙම ලිංගික අතවරය කර ඇති බවත්, පසුව සැකකරු සමඟ පැමිණි තවත් පුද්ගලයන් තිදෙනකු ද ඇතුළු රංචු ගැසී බරපතළ ස්ත්‍රී දූෂණයක් සිදුකර ඇති බවටත් කරුණු අනාවරණය වනබව පොලිසිය අධිකරණයේදී කරුණු වාර්තා කර ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ. පී. ජී. ධර්මකීර්ති පැවසුවේ අධිකරණ වෛද්‍ය වාර්තාව ඉදිරි දින කිහිපය තුළ ලැබීමට නියමිත බවත්, මාර්තු දෙවැනි දින නැවත අධිකරණය කැඳවීම සිදුවන බවත්, එතෙක් සැකකරුවන් බන්ධනාගාරගත කර ඇති බවත්ය.
මේ පිළිබඳව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු දැක්වූයේ මෙවන් අදහසක්.
” මේ සිදුවී ඇති දේ වැරදියි. යම්කිසි හමුදා නිලධාරියෙක් දින හතරකට වඩා රක්ෂිත බන්ධනාගාර ගතවී ඇත්නම් ඔහුගේ රාජකාරි ඉබේම අත්හිටුවීමකට පත්වෙනවා. ඇප මත ඔවුන් නිදහස් වුවත් ඔවුන්ට හමුදා නීතියෙන් ගැළවී සිටීමට නොහැකියි. ඕනෑම හමුදා නිළධාරියෙක් රටේ පවතින විසිල් නීතියට මෙන්ම හමුදා නීතියටත් යටත් විය යුතුයි. ඔවුන් සම්බන්ධයෙන් මේ වනවිටත් යුධ හමුදා විනයාරක්ෂක අධ්යක්ෂ මණ්ඩලය වෙනම පරික්ෂණයක් පවත්වනවා. හමුදා පනත හා හමුදා ස්ථාවර නියෝගවලට අනුව ඉදිරියේ මොවුන්ගේ හමුදා පැවැත්ම ඇත්තේ අවධානමක. ඔවුන්ගේ පමණක් නොවේ, මෙවැනි වැරදි සඳහා චෝදනා ලබන ඕනෑම හමුදා නිළධාරියෙක්ගේ හමුදා පැවැත්ම ඇත්තේ අවධානමක “.
රට තුළ පවතින මෙම වාතාවරණය සහ හිත් පිත් නැති මිනිසුන්ගෙන් කාන්තාවන්ට සිදුවන බලපෑම අවසන් වන යුගයක් උදාවීම කාලීන අවශ්‍යතාවයක් වේ. එමෙන්ම හමුදා නිළධාරීන් අතින් මෙවැනි අපරාධ සිදුවීම හුදෙක් හමුදාවට දොස් පැවරීමෙන් අවසන් කළ හැක්කක් නොවේ. මෙම තත්වයට ඔවුන් පත්වීමේ මූලයන් සොයාගත යුතුය. යුද්ධයකින් අවසානයේ එම හමුදාව සමාජගත කිරීමේදී ඔවුන්ගේ මානසික තත්වයන් හඳුනාගැනීම හා පුනරුත්ථාපනය කිරීම සිදුකළ යුතුය. එසේ නොවේනම් මෙම සිදුවීම අවසාන සිදුවීම නොවී තවත් එක් අපරාධයක් ලෙස ඉතිහාසයට එක් වනු ඇත.
දැන් සියල්ල නීතිය අබියස වෙයි. නීතියේ දෙවඟන සියල්ල ඉටු කරනු ඇත.
මතක තබා ගතයුත්තේ පුරුෂ ලිංගයක් තිබූ තරමින් පිරිමියෙක් වන්නේ නැති බවය, එය තිරිසන් සතුන්ටද තිබෙන බවය.
නදී මාණික්කගේ
උපුටාගත්තේ : Resa.lk