පාතාල ලෝකයේ ප්‍රභල නායකයකු යැයි සැලකෙන දඩල්ලේ මංජු නොහොත ඩී. මංජු නමැති පාතාල නායකයා පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුමකදී වත්තල ශාන්ත ආනා වීදියේදී ඇතිවූ ගැටුමකදී වෙඩිකා මියගියේය. ඒ පසුගිය 23 වන සිකුරාදා රාත්‍රියේය.
ඩී. මංජු නමැත්තා සහ ඔහුගේ ගෝලයන් කිහිප දෙනෙක් මත්ද්‍රව්‍ය ජාවාරමක් සඳහා වෑන් රථයකින් පෑලියගොඩ සිට මීගමුව දෙසට ගමන් කරන බවට පොලිස් විශේෂ කාර්ය බළකායට තොරටුරක් ලැබිණි. වහාම ක්‍රියාත්මකවූ පොලිස් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතිෆ් මහතා මේ පිරිස කොටුකරගැණීමට අවශ්‍ය මෙහෙයුම වහාම ක්‍රියාත්මක කෙරිණි. ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකායයේ අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතිෆ් මහතාගේ උපදෙස් හා මෙහෙයවීම යටතේ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කිහිපදෙනකු ඇතුළු කණ්ඩායමක් යුහුසුළුව ලුහුබැඳ ගියේ මෙ පිරිස කොටුකරගැනීමේ අටියෙනි. පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබී තිබුණු ඔත්තුවකට අනුව මේ පාතාල කණ්ඩායම යමින් සිට තිබෙන්නේ මත්ද්‍රව්‍ය තොගයක් ගෙන ඒමටය.
වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී වත්තල ශාන්ත ආනා දේවස්ථානය ආසන්නයෙදී මොවුන් කොටුකර ගැනීමට විශේෂ කාර්ය බලකාය සමත්ව ඇත. වෑන් රථය පරීක්ෂා කිරීමට යන අවස්ථාවේදී සිටි කිසියම් පුද්ගලයකු විශේෂ බළකා කණ්ඩායම ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම වෙඩිතැබීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද සිල්වා මහතා බේරී තිබෙන්නේ අනූනවයෙනි. එසැනින් ක්‍රියාත්මකවූ වැටලීමට ගිය පොලිස් නිළධාරියකු ඔහු අත තිබූ රාජකාරි ගිණි අවියෙන් උණ්ඩයක් මුදා හැරියේ පොලිස් නිළධාරින්ගේ ජීවිත අවදානම සැලකිල්ලට ගනිමිණි. එම වෙඩි ප්‍රහාරයෙන් වෑන් රථය තුළ සිටි පුද්ගලයා මියගොස් ඇති බවට පොලීසියට දැණගන්නට ලැබුණේ ඔහු රෝහල වෙත ගෙනයාමට උත්සාහ කළ අවස්ථාවෙදීය. වෙඩිප්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ ප්රබලතම පාතාල නායකයකු ලෙස තම අණසක පැතිරූ දඩල්ලගේ මංජු හෙවත් ඩී. මංජු නමැත්තා බවට පොලිස් විශේෂ කාර්ය බලකාය තහවුරු කරගත්තේය. පළාතටම මහත් හිස රදයක්වී සිටි තවත් දෙශපාලන පාතාල හෙන්චයියකුගෙ ඉරණම විසඳුනේ ඒ අයුරිණි.
වෑන් රථයේ සිටි අනෙක් සගයන් දෙදෙනා විශේෂ කාර්ය බලකාය විසින් අල්ලා ගනු ලැබූ අතර , ඔවුන් වත්තල, හේකිත්තේ පදිංචි කමල් රංජිත් ප්‍රනාන්දු (50) සහ මුත්තු සෙල්වම් (37) නමැති පාතාල සගයින් දෙදෙනාය. එම්.එම්. 9 වර්ගයේ විදේශීය නිෂ්පාදිත පිස්තෝලයක් සහ උණ්ඩ 6 ක් අඳුරු පැහැති වීදුරු සහිත වෑන් රථය වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී හමුවිය.පොලිස් විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරුණ ජයසුන්දර සහ සහකාර පොලිස් අධිකාරි ජී.පී. කොඩිතුවක්කු යන මහත්වරු ද එම ස්ථානයට පැමිණ ඇත්තේ වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහාය.
ඩී. මංජු නමැති පාතාල කල්ලි නායකයා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල කැබිනට් අැමැතිවරයකුගේ සමීපතම ගෝලයෙකු බවටත් ඔහු ඉතාම දිගුකාලයක් මෙම ඇමතිවරයා යටතේ ඔහුගෙ බොහෝ අවශ්‍යතාවයන් ඉටුකර ඇති බවටත් බුද්ධි අංශ තහවුරු කරගෙන ඇත. මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් හා කප්පම් ගැනීම්, මනුෂ්‍ය ඝාතන, ඒ සඳහා අවි ආයුධ සැපයීම, ඇතුළු මහාපරිමාණ අපරාධ රැසක් සම්බන්ධයෙන් මොහු අත්තඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය මාන බලමින් සිටියේය. ඩී. මංජු නමැත්තාට තම නීතිවිරෝධී කටයුතු නිදැල්ලේ කරගෙන යාමට ඉඩහරින ලෙසට ප්‍රභල එක්සත් ජාතික පක්ෂ ඇමතිවරයාගෙන් පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන්ට බලපෑම් ඇති වී ඇති බවද පොලිස් ආරංචි මාර්ගවලින් තහවුරු වී තිබේ.
ඩී. මංජු පමණක් නොව තව තවත් පාතාල නායකයන් හා ඔවුන්ගේ ගෝල බාලයන් ද අත් අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය මෙහෙයුම් කරන්නේ ඔවුන් මුළු මහත් සමාජයටම පිළිලයක් වී ඇති හෙයිණි. එමනිසා දේශපාලකයින්ගේ සුවච කීකරු ගෝලබාලයන් වී සිටියා යැයි කියා පාතාලයන් ඇල්ලීම නතර කිරීමට විශේෂ කාර්ය බළකාය කිසිසේත්ම සූදානම් නැත.
2014 වසරේ මැයි 12 වැනි දින කැලණිය, දළුගම පරණ නුවර පාරේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ශ්‍යාමිල් සඳරුවන් මහතාගේ ඝාතනය සම්බන්දයෙන් අත්තඩංගුවට ගෙන ඇත්තේද ඩී. මංජුය.
ගිනි අවියක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් මහර උසාවියේ ද, ස්ත්‍රී දූෂණ නඩුවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ද, පිහියකින් ඇන පුද්ගලයකුට බරපතළ තුවාල සිදු කිරීමක් සම්බන්ධයෙන් කොළඹ අලුත්කඩේ අධිකරණයේ ද, හෙරොයින් ග්‍රෑම් 25 ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේද නඩු ඩී. මංජු නමැත්තාට එරෙහිව තවමත් විභාගවෙමින් පවතී.
දකුණේ ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු බව කියන කොස්ගොඩ සුජීගේ (ගජමුණි සුජී ද සොයිසා) කොළඹ කේන්ද්‍රගත පාතාලයේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නියෝජිතයා වී ඇත්තේද දඩල්ලේ මංජුය. දැනට විදෙස් රටක සැඟවී සිටින දකුණ හොල්ලන පාතාල ප්‍රභලයකු වන මාකඳුරේ මධූෂ්ගේ සමීපතම ගෝලයකුව සිටි හර්ෂ යසස් නමැත්තාව 2016 වසරේදී රාජගිරිය, ඔබේසේකරපුර ප්‍රදේශයේ දී ඝාතනය කිරීමට පාතාල සගයකු වූ කළු සාගර සමඟ පැමිණ තිබෙන්නේද ඩී. මංජු බවට බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන ඇත. කඩුවෙල රණාලේ සමයං , අංගොඩ ලොක්කා වැනි ප්‍රභල පාතාල නායකයින් සමඟද සමීපව ඇසුරු කර ඇති මොහු ඔහුගේ පාතාල කල්ලියට හිතවත් වෙනත් පාතාල කල්ලිවලට අවශ්‍ය ආයුධ කුලියට සැපයීමද කාලයක සිට සිදුකර ඇති බවටද සොයාගෙන ඇත.
පොලිස් පොතේ ලියවුණු සහ බුද්ධි අංශවලට ලැබුණු තොරතුරු වලට වඩා පොලිස් පොතේ නොලියවුණු මෙන්ම බුද්ධි අංශවලට වාර්ථා නොවුණු පාතාල නායාක ඩී. මංජු විසින් සිදු කර ඇති අපරාධ බොහෝවිට වැඩි බවට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරීන්ගේ අදහසයි.
සමහර දේශපාලඥයින්ගේ සුරතලුන් බවට පත්වෙමින් ඔවුන්ගේ ඕනෑ එපාකම් පිරිමසමින් තම අවශ්‍යතාවයන් වෙනුවෙන් දේශපාලකයින් ලවා පොලීසියට බලපෑම් කරණ මෙවන් පාතාල කෙරුමන් මුළුමහත් සමාජයෙන්ම තුරන් කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය ගන්නාවූ මෙහෙය ලියා නිමකළ නොහැකි කාර්යයක් වනවාට කිසිම සැකයක් නොමැත.
බස්නාහිර උතුරු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගේ විශේෂ උපදෙස් මත කැලණිය සහකාර පොලිස් අධිකාරි ජේ.එම්.පී. ජයලත් මහතාගේ මෙහෙයවීම යටතේ වත්තල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එරික් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශෙය් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මොහොමඩ් පිරඩවුස් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
සටහන: වසන්ත බංඩාර
(වීඩියෝ උපුටාගත්තේ හිරුTv සහ 24 Sri Lanka අඩවියෙන්)