උපුටාගැනීම්විශේෂාංග

මේ හදන්නේ ව්‍යාජ සතුරා පෙන්නා පොදු සතුරා අමතක කිරීමටයි

kumaජාතිවාදී ආගම්වාදී ගැටුම් කෝලාහල තුළ සිංහල දමිළ හා මුස්‌ලිම් ජනතාවගේ පොදු සතුරා ඔවුන්ට මඟහැරී ගොස්‌ ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් මහතා සඳහන් කරයි.

පවතින ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව විමසා බැලීම සඳහා “දිවයින ඉරිදා සංග්‍රහය” ඒ මහතාව සම්බන්ධ කරගත් අවස්‌ථාවේදී ඔහු එසේ සඳහන් කළේය. පහතින් පෙළ ගැසෙන්නේ ඒ මහතා සම`ග සාකච්ඡාවයි.

ප්‍රශ්නය – රට තුළ මේ වන විට මතුව ඇති කලබලකාරී තත්ත්වය පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය දකින්නේ කෙසේද?

පිළිතුර – රටේ පොදු ප්‍රගතිශීලි ජනතාව හිතන ලෙසම අප තුළත් මේ පිළිබඳව මහා කම්පනයක්‌ පවතිනවා. මෙම ගැටලුව වහා විසඳිය යුතු තැන අප සිටිනවා. මෙය මුළුමනින්ම ජාතිවාදය පදනම් කරගත් ප්‍රශ්නයක්‌. අප රටේ ජාතිවාදය කාලයෙන් කාලයට ඒ ඒ දේශපාලන පක්‍ෂවල අවශ්‍යතා මත ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන තැනක තිබෙන්නක්‌.

ප්‍රශ්නය – ඔබ සඳහන් කළා මෙය ජාතිවාදී ප්‍රශ්නයක්‌ බව. එකිනෙක ජාතීන් එකිනෙකාට ජාතිවාදීන් යෑයි චෝදනා කරමින් සිටිනවා.

පිළිතුර – මෙහි විවිධ ප්‍රකාශනයන් තිබෙනවා. සිංහල ජාතිවාදය තිබෙනවා. දෙමළ ජාතිවාදය තිබෙනවා. මුස්‌ලිම් ජාතිවාදය තිබෙනවා. කෙටියෙන් ගත්තොත් ජාතිවාදය කියන තත්ත්වය කුමන තත්ත්වයෙන් ගත්තත් පොදු මහජනතාවට හානියක්‌. මෙයින් සිදු වන්නේ සැබෑ සතුරා සැඟවිලා ව්‍යාජ හතුරෙක්‌ සමඟ සටන් කරන තත්ත්වයක්‌ ලෙස තමයි අප මෙය හඳුනා ගන්නේ. එකට එක්‌වෙලා පොදු සතුරාට එරෙහිව සටන් කරන්න ඕන පොදු මහජනතාව ව්‍යාජ හතුරකු සමඟ සටන් කරනවා.

ප්‍රශ්නය – ඔබ කියන පොදු සතුරා කව්ද?

පිළිතුර – අපේ දේශපාලන භාෂාවෙන් කිව්වොත් මේ ක්‍රමය තමයි පොදු සතුරා. ඊට විරුද්ධව සටන් කළ යුතු පොදු ජනතාව එකිනෙකා කුළල් කා ගන්නා තැනට වැටිලා තිබෙනවා. මෙය මහා ඛේදවාචකයක්‌. මේ මහා ඛේදවාචකය අප පරාජය කළ යුතුයි.

ප්‍රශ්නය – එය පරාජය කළ හැක්‌කේ කෙසේද?

පිළිතුර – මෙහි අප දකින ප්‍රධාන කාරණයක්‌ තිබෙනවා. ඔබ කරුණාකර එය පුවත්පතේ පළ කරන්න. ජාතිවාදය එක්‌තරා ආකාරයේ පිළිකාවක්‌ වගේ. එමගින් ජනතාවගේ සටන්කාමී ශක්‌තිය සමගි සම්පන්නව පොදු හතුරාට එරෙහිව සටන් කරන්න ඇති හැකියාව දුර්වල වෙනවා. එමගින් ජනතාව ඔත්පල වෙනවා. සිංහලද, දෙමළද, මුසල්මානුවද කියලා නැහැ. ඔවුන් මේ මගින් දුර්වල වෙනවා. ඇති නැති පරතරයේ වගඋත්තරකරුවෝ සිටියදී ඒ අයට විරුද්ධව සටන් කළ යුතු පොදු මහජනතාව එකිනෙකාට එරෙහිව ජාතිවාදය විසින් ඔත්පල කර තිබෙනවා. ඔවුන් ඉන් මුදා ගන්න දැවැන්ත සමාජ ව්‍යාපාරයක්‌ නිර්මාණය කරන තැන සිටිනවා. ඒ සැබෑ සතුරාට එරෙහිව ඇත්ත සටන පෙළ ගස්‌සවන්නයි.

ප්‍රශ්නය – මෙවැනි තත්ත්වයන්ට ඔබ පක්‍ෂය දෙන විසඳුම කෙබඳුද?

පිළිතුර – සියලු ජාතීන් අතර සැබෑ සමගියක්‌ ඇති කළ යුතුයි. දේශපාලකයෝ සමගිය ගැන නිතර කතා කළත් ඒ අයට සැබෑ සමගියක්‌ අවශ්‍ය නැහැ. ඒ අයට අවශ්‍ය බෙදීමයි. මේ බෙදීමට ඒ අය හරි ආසයි. ඒ අය ඔවුන්ගේ දේශපාලනයේ එක කොටසක්‌ පවත්වාගෙන යන්නේ මේ බෙදීමෙන් තමයි. දේශපාලකයන් ව්‍යාජ දේශප්‍රේමයක්‌ කරපින්නාගෙන සිටින්නේ. ඔවුන් එය පීඩිත ජනතාව අන්දන්න භාවිතා කරනවා. මෙමගින් ඔවුන්ගේ ඇත්ත ප්‍රශ්නය වසා ව්‍යාජ දේශප්‍රේමය ඔළුවට ඇතුළු කර ජාතිවාදය දේශප්‍රේමය ලෙස හුවා දක්‌වලා, ඔවුන්ගේ පැවැත්ම තහවුරු කර ගන්නවා.

ප්‍රශ්නය – දේශප්‍රේමය ව්‍යාජ යෑයි ඔබ සඳහන් කරන්නේ ඇයි?

kuma1පිළිතුර – ඇත්ත දේශප්‍රේමය නම් ඇමරිකාවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින්, ලෝක බැංකුවෙන් ලබාදෙන කොන්දේසිවලට යටත්වෙලා කටයුතු කරන්නේ නැහැනේ. ව්‍යාජ දේශප්‍රේමයක්‌ පෙන්නා සිංහල දේශපාලනඥයෝ සිංහල ජනතාව අන්දවනවා. දෙමළ දේශපාලනඥයෝ දෙමළ ජනතාව මුහුණදෙන ගැටලු සිංහල ජාතිකයන් රට පාලනය කරන නිසා මතුවන ගැටලු ලෙස පෙන්නා දෙමළ ජනතාව අන්දවනවා. මුස්‌ලිම් දේශපාලනඥයෝත් කරන්නේ ඒ ටිකම තමයි. මෙය ඊනියා නිදහස ලැබුණදා සිට පවතින තත්ත්වයක්‌. සියලුම ධනේශ්වර දේශපාලන පක්‍ෂ නායකයන් බෙදීම තමන්ගේ දේශපාලන පැවැත්ම සඳහා යොදා ගන්නවා.

ප්‍රශ්නය – ඇත්ත සමගිය ගොඩනැඟිය හැක්‌කේ කෙසේද?

පිළිතුර – එය හුදු වචන හරඹයකින් කළ හැකි දෙයක්‌ නෙවෙයි. එයට ව්‍යවහාරයේ යමක්‌ සිදුවිය යුතුයි. සිංහල, මුස්‌ලිම් හා දෙමළ වැඩකරන ජනතාවගේ ඒකාබද්ධතාවයක්‌ ඇතිවිය යුතුයි. ඒ සඳහා ඇති මාධ්‍ය පොදු සතුරාට එරෙහි අරගලයයි. එතැනදී සිංහලයට, දෙමළ මුසල්මානුවට තනි සටන් පාඨයක්‌ යටතට එක්‌විය හැකියි. එතැනදී තමයි සැබෑ සමගිය උත්පාදනය වෙන්නේ…

ප්‍රශ්නය – සහෝදරයා සුළුතරය බහුතරයට ඉහළින් යනවා. බහුතරය සුළුතරය පාගා දමනවා වැනි අදහස්‌ තුළ ඔය කියන කාරණය කළ හැකිද?

පිළිතුර – ලංකාවේ බහුතරය සිංහල, සුළුතරය දෙමළ හා මුස්‌ලිම් කියලා ප්‍රශ්නයක්‌ තිබෙනවානේ. එය ප්‍රශ්නයක්‌ නොව එය තත්ත්වයක්‌. හැබැයි මේ සැමගේ රට ලංකාවයි. සියලු ජන කොටස්‌ අප ලාංකික ජාතියක්‌ ලෙස සිතිය යුතුයි. බහුතරය ඔවුන් බහුතරය වීම නිසා සුළුතර ජන කොටස්‌වල ජාතික අයිතිවාසිකම් රැකීමට වගකීමක්‌ පැවරෙනවා. සුළු ජන කොටස්‌වලට ආණ්‌ඩු තුළින් යම් අසාධාරණයක්‌ වෙනවා නම් බහුතරය සිංහල වැඩකරන ජනතාව ඒ වෙනුවෙන් පෙළ ගැසිය යුතුයි. එතැනදී ඉබේම මුස්‌ලිම් දෙමළ ජාතීන් අතර ඇති සැකය දුරු වෙනවා. ඔවුන්ගේ ජාතිවාදය ඇති වන්නේ සැකයෙන්. මෙතැන ප්‍රශ්නය ඇත්තේ සිංහල පාලකයන් සිටින නිසා නොව ධනේශ්වර ආණ්‌ඩුවක්‌ නිසා බව දැනෙන්න ඕන. මෙය සිංහල පාලකයන්ගේ ප්‍රශ්නයක්‌ නොව ධනේශ්වර පාලකයන් නිසා මතුවූ ප්‍රශ්නයක්‌. සම්බන්ධන්ට, රනිල්ලට, මෛත්‍රීට, රාජපක්‌ෂට ආර්ථික ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක්‌ නැහැ. ඒ අය එතැනදී එකයි. ඔවුන් නව ලිබරල් වාදයට කොන්දේසි රහිතව කොන්ද නමනවා. සිංහලය, දෙමළ සහ මුසල්මානුවාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනව නම් ඔවුන් සිංහලයා සමඟ එක්‌ව සටනට අවතීර්ණ වෙනවා. මෙයින් තමයි සැබෑ සමගියක්‌ ගොඩනැඟිය හැක්‌කේ. ඉහළ මාලයේ ධනේශ්වර පැලැන්තිය සමගියෙන් ලස්‌සනට ජීවත් වෙනවා. ජාතිවාදී විෂෙන් පොදු ජනතාව වැනසෙන්න එපා. ජාතිවාදයෙන් වැනසෙමුද? එක්‌ව සටන්වැදී ජයගමුද? යන්න ජනතාව තීරණය කළ යුතුයි.

ප්‍රශ්නය – ජාතිවාදී ගැටුම් ඉතිහාසය පුරා දකින්නට ලැබුණා. හදිසි නීතිය, ඇඳිරි නීතිය, සමාජ ජාලා අවහිර කිරීම් තුළින් මෙය නතර කළ හැකිද?

පිළිතුර – මෙයට තාවකාලික විරාම තියන්න පුළුවන්. නමුත් මේවා නැවත පැන නගිනවා. 1983 කලු ජූලිය අප දැක්‌කා. එමගින් සිදුවූ විනාශය අප අත් වින්දා. මෙයට ස්‌ථිරසාර විසඳුමක්‌ දෙන්න කිසිම පාලකයකුට මේ දක්‌වා හැකිවුණේ නැහැ වගේම මේ ආණ්‌ඩුවටත් එය කළ නොහැකියි.

මෙය සියලු ආණ්‌ඩුවල අසමත්කමේ ප්‍රතිඵලයක්‌. සමත්කම් ඇති දේශපාලන තත්ත්වයක්‌ ගොඩනැඟෙන තුරු මේ ප්‍රශ්නය පවතීවි. නමුත් ඒ පීඩාව අනිවාර්යය නිසා වෙන දෙයක්‌ වෙත්දෙන් කියලා බලාගෙන ඉන්න අප ලෑස්‌ති නැහැ. අප ප්‍රගතිශීලී ජනකොටස්‌, බුද්ධිමතුන්, වාමාංශික ජන කොටස්‌, මාධ්‍යවේදීන් ඇතුළු සැම සමඟ මේ සංවාදය ගොඩනඟන්න කටයුතු කරනවා.

ප්‍රශ්නය – එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්‌ සෙයිද් රාද් අල් හුසේන් මහතා ප්‍රකාශ කර තිබුණා ශ්‍රී ලංකාවේ සුළු ජන කොටස්‌වලට වරින්වර එල්ල වන ප්‍රචණ්‌ඩකාරී තත්ත්වයට හේතුව වගවීම හා සංක්‍රාන්ති යුක්‌තිය ක්‍රියාත්මක නොවීම බව.

පිළිතුර – එක්‌සත් ජනපදය හා ඔවුන්ට හිතවත් රටවල රූකඩයක්‌ වී ඇති එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට පැහැදිලිව දේශපාලන න්‍යාය පත්‍රයක්‌ තිබෙනවා. ඔවුන්ට තමන්ගේ බලය පැතිරවීම සඳහා ලෝකය බෙදාගැනීමේ දේශපාලන න්‍යාය පත්‍රයක්‌ තිබෙනවා. ඔවුන් ලෝකයේ විවිධ කලාපවල මේ තරගයේ නියෑලිලා ඉන්නවා.අප සිටින කලාපයත් ඔවුන්ගේ මෙම යුද්ධයේ එක්‌ කලාපයක්‌. එය ලංකාවේ ආණ්‌ඩුවලට බලපානවා. ඒ නිසා තමයි මේ ප්‍රශ්න ඔවුන් ගෙනෙන්නේ. ඔවුන් මෙයට මැදිහත් වන්නේ අප රටේ සිටින ජනතාවගේ ආදරයට නොවෙයි. ඔවුන් ඉදිරිපත් කරන විසඳුම් ගැන අපේ විශ්වාසයක්‌ නැහැ. විසඳුම තිබෙන්නේ මේ වැඩකරන මුළු මහත් සිංහල, දෙමළ, මුස්‌ලිම් ජනතාව අතේ පමණයි.

ප්‍රශ්නය – වත්මන් ආණ්‌ඩුව මුහුණ දී ඇති උග්‍ර ප්‍රශ්න විස¹ ගැනීමට ජාතිවාදී ගැටුම් ඇතිකර ඇති බව ඇතැමුන් චෝදනා කරනවා.

පිළිතුර – මේ ආණ්‌ඩුව නෙමෙයි හිටපු කුමන ආණ්‌ඩුව හිටියත් ජනතාවගේ ප්‍රශ්නයන්ට ඔවුන්ට උත්තර දෙන්න නොහැකි නම් එම ප්‍රශ්න වසා ගන්න මේ වගේ ප්‍රශ්න ඔවුන් ඇති කරනවා. එය පොදු කලාවක්‌.

ප්‍රශ්නය – ඒ පොදු කලාව මේ ආණ්‌ඩුවත් භාවිත කරනවාද?

පිළිතුර – අන්න ඒක තමයි මමත් කියන්න හැදුවේ. අනිවාර්යයෙන්ම ඔව්.

හැම ආණ්‌ඩුවක්‌ම එහෙමයි. මම උදාහරණ කියන්නම්. 1983 කලු ජූලිය ඡේ. ආර්. භාවිත කළ විදිහ අපි දන්නවනේ. 1977 දී ඡේ. ආර්¾ කිව්වා යුද්ධයක්‌ නම් යුද්ධය සාමය නම් සාමය කියලා. ඒ කාලයේදීත් ජාතිවාදී ගැටුම් පැමිණි පසු එය ඔවුන් පාවිච්චි කළා. 83 දී කළු ජූලිය එදා තිබූ මහා ප්‍රශ්න වසා ගන්න භාවිතා කළා. ඉතින් මේ ආණ්‌ඩුවත් එහෙම තමයි. මෙම ආණ්‌ඩුව බලය සම්බන්ධව අභියෝගයට මුහුණ දී තිබෙනවා. ආර්ථික ප්‍රශ්නයට මුහුණ දී තිබෙනවා. ඒ නිසා දැන් සංවාදය ජාතිවාදි සංවාදයකට ඌණනය කරන්න ඔවුන්ට මෙය අවශ්‍යතාවයක්‌ වෙලා තිබෙනවා.

ප්‍රශ්නය – ජාතීන් අතර සංහිඳියාව වචනයකට පමණක්‌ සීමා වූ කාරණයක්‌ වේවිද?

පිළිතුර – සිංහල ජනතාවගේ සංස්‌කෘතිය සහ ඓතිහාසික වටිනාකම් මුසල්මානුවා සහ දෙමළ ජනයා දැන ගත යුතුයි. එසේම මුසල්මානුවාගේ දෙමළ ජනයාගේ සාධනීය දේවල් සිංහලයා දැනගන්න ඕන. ඇතැම් තැන්වල නරක ලක්‍ෂණ, ජාතිවාදී ලක්‍ෂණ, විභේදනකාරී ලක්‍ෂණ තිබෙන බව සත්‍යයක්‌. නමුත් අප සියලු සංස්‌කෘතීන්වල ඉහළම සහ දියුණුම ලක්‍ෂණ උරාගත යුතුයි. සංහිඳියාව ඇති කිරීම ජාතිවාදය වපුරන තරම් ලෙහෙසි නැහැ. මෙයට ධෛර්යසම්පන්න, ප්‍රගතිශීලී, අප්‍රතිහත ධෛර්යයෙන් ජීවිත පරිත්‍යාග කරන මිනිසුන් ඕනෑ. මේ යථාර්ථවාදී සිහිනයේ අප ඉන්නවා. මහ දැවැන්ත ජනතා ව්‍යාපාරයක්‌ අප ගොඩනඟනවා

ඡායාරූප දිමුතු ප්‍රේමරත්න
සාකච්ඡා කළේ –  සිරිමන්ත රත්නසේකර

උපුටාගත්තේ: දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *