දින කිහිපයක් ගත වී ඇත. බිහිසුණු අන්දකාරයක සේයාවන් මතු වුවද, බොහෝ පිරිසකගේ දායකත්වයෙන් එය තාවකාලිකව පහවී ගොස් ඇත. නමුත්, සමාජය පුරා පැතිරෙමින් පවතින සැකය මෝදු වෙමින් පවතින අතර අළුයට ගිනිපුපුරු සූක්ෂමව පැතිරී යෑමේ විශාල අවදානමක් තිබේ. විවිධ පාදඩ අවශ්‍යතාවයන් සඳහා සුළු පිරිසක් විසින් නිර්මාණය කරනු ලැබූ කාරණා සැකයක් බවට පෙරළා ඇත.
වරක් සිදු වූ ආරවුල වෙනත් ආකාරයකින් වෙනත් සාමාජ පසුබිමක යළිත් සිදුවීම මෙරට ඉතිහාසය විසින් ලබා දී ඇති අත්දැකීමයි. ඉතිහාසයේ සිදුවීම් වලින් ලබාදෙන පාඩම් ඉගෙන ගැනීමට ඇති අකමැත්ත හෝ එම පාඩම් ඉගෙන ගෙන ආකල්ප වෙනස් කරගැනීමට ඇති ඉඩ අහුරුවා ලීම මෙවැනි දෑ යළි යළිත් සිදුවීමට මූලික හේතුව විය හැකිය. මේ නිසා මෙම කාරණය සම්බන්ධයෙන් මූලික පැහැදිළි කිරීමක් අත්‍යවශ්‍යය වේ.
මන්ද, වසර එකසීය තුනකට පසු එනම්, පරම්පරා අවම වශයෙන් හතරකට පමණ පසු අපි ජාතියක් ලෙස යළිත් අපේ පැරණි අක්මුල් වැරදි ආකාරයෙන් සොයා ගෙන ගොස් යළිත් අඳුරු කාලච්ඡේදයකට සමස්ථ රටම තල්ලු කිරීමේ බරපතළ වෑයමක නිරත වෙමින් සිටින හෙයිණි. මෙහිදී සිංහලයින් මූලික කරගෙන එල්ල වන පක්ෂග්‍රාහී විවේචන පමණක් නොව අනවශ්‍යය ලෙස අනුකම්පාව මූලික කරගෙන මුස්ලිම් ජනතවාගේ ප්‍රධාන ගැටලු වල හරය තේරුම් නොගැනීමේ ප්‍රවණතාවයක් ප්‍රධාන වශයෙන් දක්නට ලැබේ. මේ නිසා සමස්ථ ගැටලුවට වර්ගවාදී මුහුණුවරක් ලබා දීමට බො හෝ පිරිසක් යොමු වී සිටිති. එනම්, සිංහල ජනතාව සහ මුස්ලිම් ජනතාව අතර වාර්ගික අර්බුදයක් ඇතිබව විස්තර කිරීමට මෙම සිදුවීම යොදා ගනිමින් සිටිති. මෙය, මෙම ගැටලුව හඳුනා ගැනීමේදී බොහෝ දෙනෙකු විසින් සිදු කොට ඇති භයානක වරදක් ලෙස මා පෞද්ගලිකව විශ්වාස කරමි. ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේදී සිදු වී ඇති මෙම මූලික අත්වරැද්ද විසින් පැවති ගැටලු වඩාත් සංකීරණ වීම පමණක් සිදු වී තිබේ. ඒවා විසඳීමට ඇති මාර්ග සොයා බැලීමක් හෝ ඒ සඳහා අවශ්‍යය පියවර ගැනීමක් සිදු වී ඇත්තේ නම් ඒ ඉතාම සුළුවෙනි.
1915 දී ගම්පොළ සිට 2018 දිගන ප්‍රදේශය දක්වා ඇති වූ මිනී මරා ගැනීම්, අනෙකාගේ දේපල වලට හානී කිරීම් ආදී සියලුම දෑ සඳහා මූලික වී ඇති නියෝජනය ලෙස ආගම සහ ඒ වටා ඇති මූලික ඇදහීම් හෝ චාරිත්‍ර-වාරිත්‍ර මතුපිට තලය නියෝජනය කළද, ඒ සියල්ල පිටුපස තිබුණු මූලික ළතෝනිය කේන්ද්‍ර ගත වී ඇත්තේ ආර්ථිකමය කාරණාය. ඒ හැරෙන්නට සම්බවය හෝ ඇදහීම ( විශ්වාසය) මූලික කර ගනිමින් ශ්‍රී ලාංකික ජාතිය නියෝජනය කරන වාර්ගිකයින් අතර අනවබෝධයක් පවතින්නේ නම් ඒ ඉතාම ක්‍ෂුද්‍ර වශයෙනි. එසේම, සමස්ථ අර්බුදය කේන්ද්‍රගත වී ඇති ආර්ථිකමය කාරණා වලට සාදාරණ විසඳුම් ලබා දීමට ආණ්ඩුවට සහ වගකිව යුතු පාර්ශවයන්ට හැකි වන්නේ නම්, ආගම මෙවලමක් කර ගනිමින් විවිධ කණ්ඩායම් නටන විකාර නාඩගම් අවසන් කිරීමට අවශ්‍යය පදනමක් සකස් වන්නේය.
පසුගියදා එක්තරා සුළු අනවබෝධයක් දුරදිග යෑමෙන් සිදු වූ බහින්බස්වීමකින් පසු, අවිනීත තරුණයින් කිහිපදෙනෙකුගේ පහර කෑමට ලක් වී මිය ගිය පුද්ගලයාගේ සිය බිරිඳ මාධ්‍යට ලබා දුන් නිවේදනය මෙම සමස්ථ ආරවුල ලියා බැලීමට පමණක් නොව ඊට අවශ්‍යය විසඳුම් ලබා දීමට හැකි මානයන් නිර්මාණය කොට තිබේ. වැදගත් වන්නේ ගැටුමකදී ඇතිවන නීරස පාඩම් වලින් ඉගෙනගෙන, එය යළි සිදුවීමට ඇති ඉඩකඩ අහුරුවා ලීමය. එසේ කළ හැක්කේ, නීරස සිදුවීම් කඩිනමින් විසඳාගැනීම සඳහා මිනිසුන්, මානව සංහතියේ ආරක්‍ෂාව වෙනුවෙන් කටයුතු කළ ආකාරය ගැන ඒ ගැන නොදන්නා පාර්ශවයන්ට පරිශීලනය කිරීමට පහසුවන පරිදි පරිසරය නිර්මාණය කිරීමෙනි.
දිගන ඇති වූ අවාසනාවන්ත සිදුවීමෙන් මිය ගිය පුද්ගලයාගේ බිරිඳ මෙසේ කියන්නීය. “ මම, අපේ දරුවන් වගේම එයාගේ අම්මා බලාගත්තෙත් එයා. කරන්න ඕන, මම වගේ තවත් වැන්දඹුවන් ඇතිවීමට හැකි පරිසරය හදන එක නෙමෙයි. අපට තියෙන ප්‍රශ්නේ අපේ හෙට දවස ගෙවා ගන්නේ කොහොමද කියන එකයි. ආණ්ඩුව ඒකට දෙන උත්තරය මොකද්ද කියන එකයි,” එම පවුලේ දරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ආබාධිත දරුවෙකි. ආබාධිත දරුවෙකු පවුලක සිටින විට එම පවුලට මුහුණ දීමට සිදුවන අභියෝග සුළුපටු නොවන බව අපි සියල්ලෝම දන්නෙමු. සිදු වූ අපරාධයෙන් පසු, ඊට අවශ්‍යය නීතියානූකූල විසඳුම් ලබා දීමේ මූලික පියවර ආණ්ඩුව විසින් ගෙන තිබුණි. එම අවශ්‍යය නීතිමය ක්‍රියාවලීය නිසි පරිදි සිදුවන බව රටට සහ ලෝකයට සන්නිවේදනය කිරීමේ නියමිත වැඩපිළිවෙලක් කිසිවෙකුට නොතිබුණා පමණක් නොව, ගැටුම ඇවිස්සීමෙන් පසු අනවශ්‍යය ලෙස ගැටලුවට පාදක වූ සියලු කාරණා අමතක කරමින්, සිංහලයින් ප්‍රචණ්ඩකාරී වර්ගවාදී පිරිසක් ලෙස අර්ථ නිරූපණය කිරීමට බොහෝ දෙනෙකු සමත් වූහ. මෙය පැවති නොසන්සුන්තාවය තව දුරටත් සංකීරණ කිරීමට පමණක් හේතු විය.
එපමණක් නොව, සිදුවීම දඩමීමා කරගෙන විවිධ දේශපාලන වුවමණා එපාකම් යුහුසුළුව ඉටු කර ගැනීමටද ඇතැමුන් සමත් වූහ. එක්තරා දේශපාලනඥයෙකු, පුරසාරම් දොඩවමින්, “ බලන්න මේ ආණ්ඩුව කරන්න ඕන වැඩනේ මට කරන්න වෙලා තියෙන්නේ,” යැයි සඳහන් කළේය. ප්‍රදේශයේ සිදු වූ අවාසනාවන්ත සිදුවීම හා සමාන සිදුවීමක් කාලයක සිට බලාපොරොත්තුවෙන් සිටි ආකාරය ඔහුගේ අදහස් සහ හැසිරීම් දැකීමෙන් පෙනේ.
ඕනෑම අවාසනාවන්ත සිදුවීමක වාසනාවක් ඇතැයි සිතා කටයුතු කරණ පිරිස් වලින් රට පමණක් නොව ලෝකයම පිරී තිබේ. දේශපාලන බලය සෑම විටම ඉලක්ක කරගන්නේ මෙවැනි අවස්ථාවන් බව අපට ඉතිහාසය විසින්ම උගන්වන පාඩම වේ. මේ නිසා සැමරුම් වලදී හෝ ඛේදජනක සිදුවීම් වලදී කැමරා ඉදිරියේ සිනහා මුසු මුහුණෙන් බබාලා වඩාගන්නා “ ගැලවුම්කරුවන්” රඟන නාඩගම් වලින් අඩුවක් නැත. එවැනි දෑ රටේ පවතින ගැටලු විසඳීමට සමත් නොවන බව ඔප්පු වී තිබේ. නමුත් එම නාඩගමට වැඩි ඉඩක් වෙන්වේ.
සිදුවීම් සඳහා හේතුවන කරුණු නිවැරදිව අවබෝධ කර ගැනීමකින් තොරව, ආණ්ඩුවට හෝ රටේ බුද්ධි අංශවලට චෝදනා කිරීමට වඩා වැදගත් වන්නේ, සෑම පුරවැසියෙකු සතුවම ඇති මූලික වගකීම තේරුම් ගැනීමට හැකිවන පරිදි, මාධ්‍ය භාවිතා කිරීමය. ඉතිහාසය පුරාම සිදු කරගත් අත්වැරැද්ද යළිත් සිදු වීමට ඉඩ අහුරුවා ලිය හැක්කේ, ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කිරීමෙන් පමණි. ඇතැම් සංවේදී කාරණා මූලික කරගෙන රටේ ජනතාව ඇවිස්සීම, අවිශ්වාසය පළල් කිරීම ආදී කටයුතු ඉතාම පහසුවෙන් සිදු කළ හැකිය. නමුත් ජන කණ්ඩායම් අතර සමගිය සහතික කිරීම සහ සියලු දෙනාගේම සහයෙන් රට දියුණු කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීම බැරෑරුම් කටයුත්තකි.
අවාසනාවට මෙන් සිදුවෙමින් පවතින බොහෝ දෑ වලින් අවබෝධ වන්නේ, ඉතිහාසයෙන් ලද පාඩම් අමතක කිරීම පමණක් නොව ඇතැම් ඛේදජනක සිදුවීම් යළි යළිත් සිදුවීමට අවශ්‍යය පරිසරය නිර්මාණය කිරීමය. ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කළ පකිස්තානයේ හිටපු අගමැතිනි බෙනාසීර් භූතෝ සඳහන් කළ මූලික කාරණයක් මෙහිදී උපුටා දැක්වීම යෝග්‍යය යැයි සිතේ. “මූලික පරිපාලන ක්‍රමවේදය ජනතාවගේ අවශ්‍යතාවයන් නොසලකා හරිනු ලැබූ විට පමණක් අන්තවාදයට වැජඹීම සඳහා අවශ්‍යය පරිසරය නිර්මාණය වන්නේය. එසේම, දේශපාලන ආඥාදායකත්වය සහ සමාජීය බලාපොරොත්තු රහිත බව ආගමික අන්තවාදයට අවශ්‍යය ඉන්ධන සපයන්නේය.”
සිංහලයින් විසින් අනෙකුත් සුළු ජාතීන් යැයි නම් කරනු ලැබූ කොටසට විශාල හානියක් සිදු කරන බව බොහෝ දෙනෙකු විසින් විවිධ තලයන් ඔස්සේ සිදුකරන බලවත් ප්‍රචාරයක් තිබේ. දිගන ප්‍රදේශයේදී ඇති වූ අවාසනාවන්ත සිදු වීම ඔස්සේ ඇතැම් දේශීය මාධ්‍යය මෙන්ම බොහෝමයක් ජාත්‍යන්තර මාධ්‍යය සෑම විටම උත්සහ දරනු ලැබුවේ වාර්ගික ජනකණ්ඩායම් අතර බරපතළ අරබුදයක් ඇති බව හුවා දැක්වීමටය.
අතීතයද මීට වඩා වැඩි වෙනසක් නැත.
1915 දීද මේ හා සමාන තත්වයක් උදා වූ බව අදාළ සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ වී ඇති මූලාශ්‍ර පෙන්වා දෙනු ලබන කාරණයකි. අදාළ සිදුවීම් අළලා, අර්මන්ඩ් ද සූසා ලියු කෘතිය වන “ ලංකාව හමුදා නීතිය යටතේ දින සීයක්” ඔස්සේ පැහැදිළි කරනු ලබන මූලික කාරණයක් මෙහිදී අවදානයට යොමු කිරීම ඉතාම වැදගත් යැයි සිතේ.
“1915 දී ඇති වූ කැරැල්ල බ්‍රිතාන්‍යය විරෝධී කැරැල්ලක් නොව වෙළඳ අරමුණු පෙරදැරි කරගත් සිංහල සහ මුස්ලිම්වරුන් අතර පැන නැගී ආගමික මුහුණුවරක් ආදේශ වූ අරගලයක් බව දක්වමින් ලංකාවේ ආණ්ඩුකාර රොබට් චාමස් එංගලන්තයට විදුලි පණිවිඩයක් යැව්වේය”, සූසා තම කෘතීය ආරම්භ කරනු ලබන්නේ එලෙසය.
මෙම මූලික කාරණය සමස්ථ සිදුවීමේ හරය තේරුම් ගැනීමට ප්‍රමාණවත් වේ. එසේම ගම්පොල ඇති වූ එම කෝලාහලය දඩමීමා කරගෙන, සිංහලයින් ජර්මානුවන් සමග එකතු වී, බ්‍රිතාන්‍යය පරිපාලනයට එරෙහිව කුමන්ත්‍රණය කොට ජර්මානු ජාතිකයෙකු ආණ්ඩුකාරවරයෙකු කිරීමට අර අදිමින් සිටින බවත් සිංහලයින් ඉතාම කලහකාරීන් පිරිසක්ය, යන මතයත් මෙරට පමණක් නොව බ්‍රිතාන්‍යය පුරාද ව්‍යාප්ත කරනු ලැබීය. එමඟින්, කෝලාහලයේ ඇත්ත වසන් කරනු ලැබුවේය.
අදාළ සිදුවීමෙන් පසු බලධාරීන්ගේ හැසිරීම ගැන සූසා, වසර ගණනාවක් මෙරට අග්‍ර විනිශ්චකාර ධූරය දැරූ ක්‍රීසි ( සර් එඩ්වර්ඩ් ෂෙපර්ඩ් ක්‍රීසි ) මහතාගේ පුත්‍රයෙකු වූ හැරී ක්‍රීසි විසින් 1919 අගෝස්තු 11 වන දින ලංකා ව්‍යවස්ථාදායක සභාවේදී කළ ප්‍රකාශය උපුටා දක්වන්නේ පහත පරිදිය. ඔහු සඳහන් කොට ඇත්තේ සියලු ඝාතන වලටත් දේපල විනාශයටත් හේතු වූයේ පොලිසිය හුදෙක් බැටන් පොල්ලට සීමා කර තීබීම බවය.
සූසා මෙසේ සඳහන් කරන්නේය; “ආණ්ඩුකාර රොබර්ට් චාමස් මෙම කෝලාහලය දුටුවේ බ්‍රිතාන්‍යය මහරජතුමාගේ එක් යටත්වැසි කොට්ඨාශයක් වූ සිංහලයින් තවත් යටත් වැසි කොට්ඨාශයක් වූ සාමකාමී මුස්ලිම්වරුන්ට පහරදීමක් ලෙසය. මෙය මුළුමනින්ම තත්වය විකෘති කර දැක්වීමකි. සම්පූර්ණ සත්‍යය නම් හම්බ මරක්කලයෙකු විසින් නිරායුධ සිංහලයෙකුට ප්‍රථම වෙඩිල්ල තැබීමය. අසරණ බෞද්ධ තරුණයෙකුට මුල්ම පිහි පහර එල්ල කළේද ඔවුන්මය. බෞද්ධ පෙරහැරකට අවහිර කිරීමෙන් සමස්ථ බෞද්ධ ජනතාවම ප්‍රකෝපයට පත් කළේද ඔවුන්මය. මෙවැනි තහංචි පැනවීමක් අන් කිසිඳු ආගමකට එරෙහිව නොතිබුණේය.”
එසේම, ජනතාව උසී ගැන්වීම් සඳහා කෝලාහලයේ ඇත්ත වසන් කොට වෙනත් ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කරනු ලැබීය. දළදා මාළිගාව කොළඹින් පැමිණි මුස්ලිම්වරුන් විසින් පොළවට සමතලා කොට ඇතැයි එකළ ප්‍රචාරය වූ කාරණයක් විය. මේ නිසා පැවති අසමගිය තව තවත් උඩු දිවීමට සමත් විය. මෙවර වඳපෙති ආදී ව්‍යාජ කාරණා ඔස්සේ සිදුවෙමින් පවතින්නේද එයමය.
ජනතාවගේ හැසිරීම සම්බන්ධයෙන්, වසර සියයකට පමණ පසු ආපසු හැරී බැලීමේදී දැකගත හැකි සමානකම් රාශියකි. එකළ බ්‍රිතාන්‍යය ආණ්ඩුව තම බලය රැක ගැනීම සඳහා විවිධාකාර උප්පරවැට්ටි යෙදු අතර මෙවර පවතින ආණ්ඩුව බල රහිත කිරීම සඳහා ඊට එරෙහිව මතු වී ඇති පාර්ශවයන් විවිධාකාර උප්පරවැට්ටි පාව්ච්චි කරමින් සිටිති. ඒ සඳහා, පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසු ලබාදුන් ප්‍රතිඵලය මෙවලමක් ලෙස භාවිතා කිරීමට අවශ්‍යය පරිසරය සකස් වී ඇත.
අවාසනාවට මෙන්, ආණ්ඩු පාර්ශවයෙන් අසමගියේ විපාකය තේරුම් ගෙන ඊට අවශ්‍යය විසඳුම් සොයා බැලීමක් දක්නට නැත. රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින අසහනය සහ අසතුට දඩයම් කිරීමට යෑමෙන් සිදුවන්නේ, ආණ්ඩුවට එරෙහි බලය ශක්තිමත් වීම පමණි. හාමතේ පෙළෙන්නට වැදගත් වන්නේ බණ දෙසීම නොව මූලික අවශ්‍යතාවය වන කෑම සැපයීමය. අතිශෝක්තියෙන් කරන පුරසාරම් දෙඩීමකට හෝ මර්ධනයකට වඩා වැදගත් වන්නේ එයයි.
නිලන්ත ඉලංගමුව
මතු සම්බන්ධයි.
උපුටාගැනීම: SLG