1997දී රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ 0885 අංක දරණ මාඩ්ද්යයවේදී හැඳුනුම්පත හිමි ජනහඬ පුවත්පතේ එවකට සිටි ජායාරූප මාධ්‍යවේදියා වූ විජය රෝහණ හෙවත් “ගුණ්ඩු” ඝාතනය වන්නේද බන්ධනාගාරයේ ලැයිස්තුගත ඝාතන දිනය වූ 2012 වසරේ නොවැම්බර් 10දා පාන්දරය.විජය රෝහණගේ මවට හා පියාට අනුව විජය රෝහණ සිරබත් කන්නේද,ඝාතනය වන්නේද පොලිස් මත්ද්‍රව්‍ය කාර්ය්‍යංශයේ එක්තරා ඉහළ නිලධාරියෙකුගේ පුද්ගලික කෝන්තරයකටය.
“රංගජීව මහත්තයා මගේ පුතාගේ බණ දවසේ ගෙදරට ඇවිත් කිව්වා “ඔන්න උඹේ පුතා යම ලෝකෙට ඇරියා”කියලා.මම රංගජීවගේ බඩට තට්ටු කරලා කිව්වා මගේ පුතාව මැරුවේ මහත්තයා කියල මමත් මේ මුලු ගමමත් දන්නවා කියලා.මගේ පුතාගෙන් පලි ගත්තෙ මම රංගජීවට එරෙහිව නඩුවකට සාක්කි දෙන නිසා.මගේ ගෙදර පිටිපස්සේ කොල්ලෙකුට එයා ගහල මැරුවා.ඒ නඩුව එයාට විරුද්ධව ඔප්පු වෙනවා මගේ සාක්ෂියත් එක්ක.මම කොළඹ අංක දෙකේ උසාවියට ගිහිල්ලා චේම්බර් එකට නැගලා සාක්කි දුන්නා.සාක්කි දීලා ආවට පස්සෙයි මෙහෙම මගේ පුතාව මරා දැම්මේ.මගේ පුතා බීඩියක් සිකරට් එකක් බොන කෙනෙක් නෙමෙයි.එයා බිත්තර තියෙන නිසා කේක්වත් කන්නේ නෑ.පුතා පත්තරේ ඉද්දි රංගජීවගේ ෆොටෝ එකක් එක්ක මොකක්දෝ පළ කළා කියලා තමයි මගේ පුතාට කුඩු දාල හිරේට දැම්මේ.පුතාට අවුරුදු හතලිහ ලැබුවේ හිර ගේ ඇතුලේදී.පිළිකාවක් හැදිලා ඉන්න වයසක මට බොරු කියන්න ඕනෑ නෑ මහත්තයෝ.”මේ මොහොමඩ් සිරියාවතී වයෝවෘද්ධ අම්මාගේ හඬය.
මේ තාත්තාගේ විලාපය වැලිකඩ බන්ධනාගාර මූලස්ථානය ඉදිරියේදී අපේ කන් බිහිරි කළේය.මේ ඉල්ලන්නේ මසුරන් නොව.මේ ඉල්ලන්නේ ඉන්න ගෙයක්,යන්න වාහනයක්,වැඩි පඩියක් නොව.ඉල්ලන එකම ඉල්ලීම ඝාතනය වුණු තම පුතා වෙනුවෙන් යුක්තිය ඉටු කරන්න කියාය.එදා එතනට ආ සුජීව සේනසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා පොරොන්දු වූ පරිදි සති පහක් ඇතුළත කටයුතු කරන ත්‍රිපුද්ගල කොමිසමට තවත් සති 4ක් ඉතිරිව ඇත.යුක්තිය ඉටුවනතුරු පුරවැසියන් යහපානය දෙස අවධානයෙන් බලාසිටී.
“මම දේශබන්දු යෝග ශාස්ත්‍රී ගුප්ත විද්‍යා සාම සූරී සැම්සන් අල්විස් සාමි,මම විජේ රෝහණගෙ සුලු පියා.මගේ නෝනව කසාද බඳිද්දී විජේ රෝහණට අවුරුදු එකයි.එයා මස් මාලුවත් නොකන කෙනෙක්.ඒත් රංගජීව මහත්තයා එයාව කඩු නඩුවකට ඇතුළට දැම්මා.ඒකට හේතුව මාධ්‍යවේදියෙක් විදියට මගේ පුතා රංගජීව ගැන කරපු හෙළිදරව් කිරීමක් නිසා.පුතාට ඒ නඩුවෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් නියම වුණා.පුතාව මැරුවේ රංගජීව මහත්තයා කියලා ඔප්පු වුණේ පුතාගේ හත්දවසෙ බණට ආව වෙලාවෙ.
බණට මෙයාලා හතරදෙනෙක් ආවා.රංගජීව මහත්තයා මගේ නෝනට කිව්ව “ඔන්න මම උඹේ පුතා ගුණ්ඩුව යම ලෝකෙට ඇරියා,උඹලා සාක්කි දීලා මාව එල්ලුම්ගස් යවන්න නේද හිටියේ” කියලා.පුතාගෙ ෆොටෝ එකටත් පයින් ගහලා යන්න ගියේ.ඒකෙන් තමයි අපි දැනගත්තේ අපේ පුතාව මැරුවේ රංගජීව මහත්තයා කියලා.මම අදත් කියනවා රංගජීව මහත්තයව අත්අඩංගුවට අරන්,සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා.එයා එදා රෑ අවිත් කියපු කතාව ඇහුණ සාක්කි හත අටක්ම අපේ ගෙදර තියෙනවා.මම බෞද්ධයෙක්.මම ඉගෙන ගත්ත කෙනෙක්.මැරුණ මනුස්සයෙක් වෙනුවෙන් මට බොරු කියන්න ඕනෑ නෑ.මේ ඝාතන වලට සාධාරණයක් ඉටු කරන්න.”
Kasun Pussewela
උපුටාගත්තේ මාධ්‍යවෙදියා අඩවියෙන්