විශේෂාංග

UNPයේ ප්‍රශ්නය රනිල් වික්‍රමසිංහද?

ලංකා සමසමාජ පක්ෂය ඇතුළු පැරණි වාමාංශිකයන් එක්සත් ජාතික පක්ෂය (UNPය) හැදින්වුයේ කොම්ප්‍රදෝරු (comprador/compradore)  ධනපති පක්ෂයක් ලෙසය. ඒ අනුව එහි නායකයින් කොම්ප්‍රදෝරු ධනපති නායකයින් ලෙස හැදින්වීය. එහි අර්ථය වුයේ විදේශීය ධනපතීන්ගේ දේශීය නියෝජිතයන් (foreign agent)  යන්නය.  කාලයක් පුරාම  පශ්චාත් යටත්විජිත රටවල   වාමාංශිකයින් සිය රටවල දක්ෂිණාංශික පාලකයින් හැදින්වීමට භාවිතාකල ‘කොම්ප්‍රදෝරු’ ධනපතීන් යන්න වෙනුවට පසුව ‘කෝපරේටිව්’ (cooperative) ධනපතීන් යන්න භාවිතයට ගත්හ. එය  සමුපකාර ක්‍රමය ඇසුරෙන්  පැනනැගුනකට වඩා,  Gardiner Coit Means (1962) ආදීන් විස්තරකල 1960 ගණන්වල හිස එසවූ ‘collective capitalism’ නම්වූ ධනවාදය සමාජ දේශපාලන තත්වයන්ට හැඩගැසීමේ තත්වය යටතේ විස්තර විය.

කලින් සදහන්කල ‘කොම්ප්‍රදෝරු’ ධනපතීන්  විදේශීය ධනපතීන්ගේ දේශීය නියෝජිතයන් (foreign agent) නම්  ‘කෝපරේටිව්’ (cooperative) ධනපතීන්  පශ්චාත් යටත්විජිත රටවල දේශීය ධනේශ්වරයේ උවමනාවන් ඉටුකරන, ස්වදේශීය අධිපති වාර්ගිකයන්ගේ අවශ්‍යතාවයන් ආමන්ත්‍රණය කරන ධනවාදයක්විය.  ආසියානු සහ ලතින් ඇමරිකානු රටවල ක්‍රමයෙන් මුල්බැසගත් මෙම මොඩලය, අග්නිදිග ආසියාව තුල ආර්ථික ව්‍යාඝ‍්‍රයින් බිහිකරන අතරම බහුතර ජනවර්ගයාට දේශපාලන බලය පමණක් නොව ආර්ථික, සමාජ සහ සංස්කෘතික ආධිපත්‍යය පවා අත්කරදෙන සමාජ-දේශපාලන-ආර්ථික ආදී පෙරමුණු කිහිපයකින් සමන්විත ස්වොත්මවාදීන්ගේ (chauvinist)  ජාතිකවාදී දේශපාලන ව්‍යාපෘතියක්ද විය. ජාතිකවාදීන් Corporate nationalism නමින් හදුන්වාදුන් මෙම Collective capitalism නම්වූ  ධනවාදය දේශීය තත්වයනට ගලපාගැනීමේ ව්‍යාපෘතිය   Ted Grant (May 1960) වැනි ට්‍රොට්ස්කිවාදී වාමාංශිකයින් හැදින්වුයේ ‘Landlord capitalism’ නමිනි (Socialist Fight, vol. 2 no. 4). එය එක්තරා ආකාරයකට ‘භූමිපුත්‍රයන්ගේ ධනවාදය’ ක් ලෙස නම්කළ හැක.

2015දී එක්සත් ජාතික පක්ෂය සමග සන්ධාන ගතවීමට පෙර චම්පික රණවක ආදීන් පවා මෙම Collective capitalism නම්වූ  ධනවාදය දේශීය තත්වයනට ගලපාගැනීමේ ව්‍යාපෘතිය හෙවත් බහුතර ජනවර්ගයාට දේශපාලන බලය පමණක් නොව ආර්ථික, සමාජ සහ සංස්කෘතික ආධිපත්‍යය පවා හිමිකරදෙන  Corporate nationalism ව්‍යාපෘතිය පිළිබද අදහස් දක්වා තිබිණි. ඔහුට අනුව මැලේසියාවේ  මහතීර් මොහොමඩ්,  ඉන්දුනීසියාවේ සුකර්ණෝ ආදීන් පමණක් නොව ලංකාව තුල  D.S. සහ ඩඩ්ලි සේනානායකවරුන්ගේද,  J.R. ජයවර්ධනගේ සහ ප්‍රේමදාසගේ එක්සත් ජාතික පක්ෂය විසින්ද,  S.W.R.D. සහ සිරිමා බණ්ඩාරනායකවරුන්ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින්ද මෙම Corporate nationalism ව්‍යාපෘතිය ලංකාවතුල අඩුවැඩි වශයෙන් ක්‍රියාවට නන්වා තිබුණි. ඔහුගේ තර්කය වැරදි නොවන බව පෙනීයනුවේ නිදහසින් පසුව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකවූ ධනවාදය බහුතර වර්ගයාගේ ආර්ථික, සමාජ, දේශපාලන සහ සංස්කෘතික පදනම් ශක්තිමත් කල, සුළුතර වාර්ගිකයන් ක්‍රමයෙන් අවශේෂණයකල ව්‍යාපෘතියක් බව බොහෝ ශාස්ත්‍රිය අධ්‍යනයන් මගින් පවා දක්වා තිබෙන බැවිනි (Peiris, G.H. 1975,  Gunasinghe, Newton 1984, Kuruppu L.P.  ‎1983, Moore, Mick 2001).

එහෙත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම රනිල් වික්‍රමසිංහගේ  එක්සත් ජාතික පක්ෂයද ඔවුන්ගේ පක්ෂවල එතෙක් සිටි නායකයින් අනුගමනයකල ඉහත සදහන්කල       Corporate nationalism ව්‍යාපෘතියට වඩා වෙනස් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපෘතියක් ගැන විශ්වාස තැබු නායකයින් විය. විශේෂයෙන්ම මෙතෙක් පැවති දේශපාලන, ආර්ථික, සමාජ සහ සංස්කෘතික ක්ෂේත්‍රවල බලය බහුතර ජනවර්ගයාට අත්කරදීමේ ව්‍යාපෘතිය වෙනුවට බලය බෙදීම, පුද්ගල නිදහස, මානව හිමිකම්,  සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද නව මානයන් ගැන උනන්දුවීම එහිලා කැපී පෙනෙන ලක්ෂණයන්විය. එයිනුත් රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගටත් වඩා ක්‍රියාත්මක ඉහල තලයකට මෙම මානයන් ඔසවා තැබීමට ක්‍රියාකල බව පෙනේ.

විශේෂයෙන්ම, රනිල් වික්‍රමසිංහගේ ලිබරල්  ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපෘතිය පැහැදිලිවම ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක වෙමින් පැවති ආර්ථික, සමාජ සහ සංස්කෘතික ක්ෂේත්‍රවල යම් තීරණාත්මක බලපෑමක් සිදුකිරීමට අපේක්ෂිත මට්ටමින් දියත්වෙන බව (රට බෙදීම, දේශීය සම්පත් විකිණීම, බටහිර පදයට නැටීම් ආදී ලෙස)  ඔහුගේ විරුද්ධවාදී නිතර දැක්වුවද එම ක්ෂේත්‍රවල පමණක් නොව දේශපාලන මට්ටමින්වත් චන්ද්‍රිකාට මෙන්ම රනිල්ටද සිය ව්‍යාපෘතීන් තීරණාත්මක මට්ටමකින්  ක්‍රියාත්මක කිරීමට හැකිවී නැත.

විශේෂයෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගෙන් පසුව බලයට පැමිණි මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රී ලංකාවේ එතෙක් වර්ධනය වෙමින් පැවති ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන විකාශනයන් මිලිටරි ඒකාධිපතිත්වයකට නැබුරු, ජනප්‍රියවාදී, පවුල්වාදී,  ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් වලපල්ලට යවන, බොනපාර්ට්වාදී (Bonapartism) දේශපාලන ප්‍රවාහයකින් යටපත් කිරීමත් සමග එතෙක් ශ්‍රී ලංකාව තුල විකාශනයවෙමින් පැවති දේශපාලන වර්ධනයන්ගේ ස්වරූපය සහමුලින්ම වෙනස් තලයකට රැගෙන යනලදී.

පශ්චාත් යටත් විජිත ශ්‍රී ලංකාවේ ධනේශ්වර දේශපාලන වර්ධනයන් කොම්ප්‍රදෝරු (comprador/compradore) අවධියක සිට Corporate nationalism ව්‍යාපෘතියට මාරුවුනි නම්, පසුව එය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ රනිල් වික්‍රමසිංහ යටතේ ලිබරල්  ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපෘතියක් බවට පත්කිරීමට අපේක්ෂා කලේ නම් අද එය මහින්ද රාජපක්ෂවාදීන් විසින්  බොනපාර්ට්වාදයකට (Bonapartism) යටකර තිබේ.

අද උද්ගතව ඇත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රමයෙන් ගලාගිය  දේශපාලන ප්‍රවාහයේ අනිසි හැරවුම් ලක්ෂයවූ රාජපක්ෂලාගේ බොනපාර්ට්වාදී (Bonapartism) ව්‍යාපෘතිය වෙතින් බැහැරව ශ්‍රී ලංකාව එතෙක් අනුගමනයකල ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන විකාශනයන් වෙත  නැවත යොමුකිරීම පිළිබද අභියෝගයය.

තවද එහි ඊලග අවධිය ලෙස Corporate nationalism ව්‍යාපෘතිය වෙනුවට ලිබරල්  ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපෘතිය ඉස්මතුවෙන්නේ නම් එය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගමනය සම්බන්දයෙන් ඉතා වැදගත්ය. මන්දයත් බහුතර වර්ගයාගේ ආධිපත්‍යය තහවුරුකල  ශ්‍රී ලංකාවේ Corporate nationalism ව්‍යාපෘතියට සුළුතර වාර්ගිකයන් විසින් අභියෝගයට ලක්කර තිබීම නිසාය.

ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රවාහය නැවත නිසි ධහරාව වෙත යොමුකරලීමට පමණක් නොව එය එහි ඊලග තලය ලෙස පෙනීගිය   ලිබරල්  ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපෘතිය දක්වා ගෙනෙයාම පිලිබදව ඇති අභියෝගය භාරගෙන ඇත්තේ රනිල් වික්‍රමසිංහය.    එවැනි  රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන වෙනස සිදුකිරීමට නම් රනිල් වික්‍රමසිංහට දැවැන්ත දේශපාලන පිම්මක් පැනිය යුතුව ඇත. එය කල  හැක්කේ ඔහු වාමවාදී සහ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සමග සන්ධාන ගතවීම තුලත් පසමිතුරු සම්ප්‍රදායික සහ ගතානුගතික බලවේග තුලනය කරගැනීමත් තුලය. ඒ සියල්ල කල හැකි මාධ්‍ය වනුවේ ඔහු වර්තමානයේ උසුලන එක්සත් ජාතික පක්ෂයේ නායකකම සහ අගමැතිධුරය පමණි.

එහෙත්, ඔහුගේ පක්ෂය සහ අනෙකුත් දේශපාලන බලකදවුරුද ඉල්ලා සිටින්නේ රාජපක්ෂලාගේ බොනපාර්ට්වාදයට (Bonapartism) මුහුණදීමට  සමත් ජාතිකවාදියෙකි, බහුතර වර්ගයාගේ ආධිපත්‍යය තහවුරුකල හැකි  Corporate nationalism ව්‍යාපෘතියක් නැවත මතුකළ හැකි නායකයෙකි. රනිල් වික්‍රමසිංහගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය පත්‍රය යටතේ එක්සත් ජාතික පක්ෂයේ හිස රැඩිකල්වුවද කද සම්ප්‍රදායකවම කසිකබලකි.  J.R. ජයවර්ධන සහ ප්‍රේමදාස යටතේ පමණක් නොව රනිල් වික්‍රමසිංහ යටතේද එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීධුරවලට සහ සංවිධායක තනතුරුවලට පත්ව ඇති අතිමහත් බහුතරයක් එක්කෝ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරික පවුල්වලින් පැමිණි දරුවන්ය, නැතහොත් නිදහස් අධ්‍යනය ඔස්සේ ස්වදේශීය භාෂාවලින් ඉගෙනුම ලැබූ ප්‍රාමානික වෘත්තීකයන්ය, නැතිනම් නැතිනම් හයිකාරකම් පෙවිය හැකි මැරයන්ය, නැතහොත් මධ්‍යම පන්තික සිහිනවලින් ඔද්දල්වූ කදවල්ය. රනිල් වික්‍රමසිංහට ශ්‍රී ලංකාවේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනය කරා යෑමට සිදුව ඇත්තේ ඔවුන් සමගය. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ එම ශරීර වඩාත් ඉල්ලන්නේ ඔවුන්ගේ කදවලට ගැලපෙන හිසකි. එය එක්තරා ආකාරයකට එක්සත් ජාතික පක්ෂයට පමණක් සීමාවූ ගැටළුවක් නොවේ.

එය අපේ රටේ තත්වයය.  රටේ ජනයාගේ තත්වයය. ඇතැම් පක්ෂවලට, දේශපාලන කණ්ඩායම්වලට තමන්ගේ කදවලට ගැලපෙන දේශපාලන හිස් ලැබී ඇති බව සත්‍යය. එහෙත්  ශ්‍රී ලංකාවේ ජනයාගෙන් අති විශාල බහුතරයක් තවමත් පසුවෙන්නේ සම්ප්‍රදායික වැඩවසම් තත්වයකය. ඔවුන්ගේ සමාජ-සංස්කෘතික  සහ දේශපාලන සබදතා සියල්ල පසුවෙන්නේ එවැනි තලයකය. ඔවුන් ආර්ථික වශයෙන් වෙන වෙනත් ප්‍රතිලාභ භුක්ති වින්දද  සමාජ-සංස්කෘතික  සහ දේශපාලන වශයෙන් තවමත්  සම්ප්‍රදායික වැඩවසම් ජන කොටසකි. එවැනි ජන කොටසකට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය පත්‍රයක් පෙරටුකරගත් දේශපාලන නායකත්වයක් බොහෝදුරට දුරස්ථ ස්වරූපයක් ගත හැක. එහෙත් ශ්‍රී ලාංකික ජන සමාජය දේශපාලන වශයෙන්  වඩාත් ප්‍රගතිශීලි අඩියකට ගෙන යෑහැකි ව්‍යාපාරයක් ප්‍රගතිශීලී ව්‍යපෘතියක් බව පැහැදිලිය. විශේෂයෙන්ම රාජපක්ෂවාදීන්ගේ බොනපාර්ට්වාදයට  (Bonapartism)  එරෙහිව එය වඩාත් අභියෝගාත්මකවුවද වඩාත් ප්‍රගතිශීලිවුවකි.

මාකස් ප්‍රියන්ත පෙරේරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *