උපුටාගැනීම්විශේෂාංග

ආත්ම විශ්වාශය සහ ඇය

‘කිලිං ඊව්’ ( Killing Eve ) නම් බි්‍රතාන්‍ය ත්‍රාසජනක ටෙලිකථා මාලාවේ රඟපෑ ෂියෝනා ෂෝ, මීට වසර ගණනාවකට පෙර දෙසැම්බර් 26 වැනිදාවක සිය පවුලම මුහුදට බිලිවීම හේතුවෙන් අතිශය වේදනාකාරී අත්දැකීමකට මුහුණ දුන් ආර්ථික විද්‍යාඥවරියක් හා පෙමින් බැඳී සිටියි. හැරී පොටර් චිත්‍රපට මාලාවේද රඟපෑ ෂියෝනා සිය සහකාරිය වන ආචාර්ය සොනාලි දැරණියගල සමග ප්‍රීතිමත් ගෘහ ජීවිතයක් ගත කරන බවත් එම ජීවිතයට ඇය බෙහෙවින් ඇලුම් කරන බවත් මෑතකදී පවසා තිබුණා. තම තෘප්තිමත් දිවිය ගැන වැඩිදුර කතා කරමින් සැට වියැති කීර්තිමත් වේදිකා නාට්‍ය නිළිය මෙසේ පැවසුවා. “මම විවාහ වුණා. විවාහය ඔබව සන්සුන් කරනවා. නිතරම වැඩ කළ නිසා මට ගෘහස්ත ජීවිතයක් තිබුණේ නැති තරම්. ඒත් දැන් මට එහෙම දෙයක් තිබෙනවා. මා එයට කැමතියි.” කෙසේ වුවත් ඇගේ සහකාරියට විවාහ දිවියේ සතුට ළඟාවූයේ සිය ජීවිතය වියවුල් කළ, කිසිසේත්ම සිතාගත නොහැකි ඛේදවාචකයකින් සිය සැමියා, දෙමව්පියන් හා කුඩා පුතුන් දෙදෙනා ඉන්දියන් සාගරයට බිලිවූ පසුවයි.

ආචාර්ය දැරණියගල ආර්ථික විද්‍යාඥයකු වූ ස්ටීවන් ලෙසෙන්බර්ග් නම් සිය සැමියාද තුන්වූ නිකිල් (7) හා වික්‍රම් (5) තම දෙමව්පියන් වූ ජෙමිනි හා එඞ්වඞ් සමග තමාගේ උපන් රට වූ ශ්‍රී ලංකාවේ නත්තල් නිවාඩුවක් ගත කරමින් සිටියා. ඔවුන් නවාතැන් ගෙන සිටියේ ශ්‍රී ලංකාවේ දක්ෂිණ ප්‍රදේශයට වන්නට හරියටම සුනාමිය පැමිණි මාර්ගයේ පිහිටි යාල සෆාරි බීච් හෝටලය තුළයි. තම දෑස් ඉදිරියේම යෝධ රළ තමා වෙත එනු දුටු ආචාර්ය දැරණියගල හා ඇගේ සැමියා සිය දරුවන් හනි හනිකට එක්කාසු කර ගනිමින්, හෝටලයෙන් වහා එළියට බැස ජීප් රථයකින් පැන යාමට උත්සාහ කළත් ඒ වනවිටත් හෝටලයේ කාමරයක සිටි සිය දෙමව්පියන් එක්කාසු කරගන්නට වත් ඔවුන්ට කාලයක් නොවීය. මෙසේ දැරණියගල පවුල පලා යාමට උත්සාහ කරද්දී අඩි 30ක පමණ ජල තාප්පයකින් ඔවුන් වටකොට ගත්තේය. “මම හිතන්නෙ එයා (ස්ටීවන්) රළ උස්වී අපේ පැත්තට එන බව දැක්කා.” තම සැමියා ජීවමානව දුටු අවසාන අවස්ථාව මතක් කරමින් ඇය පැවසුවා.

“මම අවසන් වතාවට ස්ටීව් දකින කොට මා නොදුටු දෙයක් දැකීම නිසා ඔහුගේ මුහුණේ තිබුණේ ඉමහත් භීතියක්. පිටුපස හැරී බලන්නට තරම් වෙලාවක් මට තිබුණේ නැහැ. මොකද එතකොටම වගේ තමයි ජීප් එක අනෙක් පැත්ත පෙරළිලා අපි හැමදෙනාම විසිරිලා ගියේ.”

පසුව ආචාර්ය දැරණියගල ගසක් බදාගෙන, අඩනිරුවතින්, සිහිසුන්ව කළපුවක සිටියදී සොයා ගනු ලැබුවා. ඇය රෝහල් ගත කළ පසු තම සැමියා, පුතුන් දෙදෙනා සහ දෙමාපියන් සිටින ස්ථානයන් තහවුරු කරගැනීමට ඇය දැඩි උත්සාහයක නිරත වුණා.

අවාසනාවකට ජීවතුන් අතර සිටියේ ඇය පමණයි. වික්‍රම් සහ ඇගේ දෙමව්පියන්ගේ මෘත දේහයන් සුනාමියෙන් දින ගණනාවකට පසු සොයා ගැනුණත් ස්ටීවන් හා නිකිල් මාස ගණනාවකට පසු සමූහ සොහොනකදී සොයා ගැනුණේ DNA පරීක්ෂණයක්ද සිදුකිරීමෙන් අනතුරුවයි.

2013 වසරේ ඇය විසින් රචිත හද සසල කරවන සුළු මතකයන් ඇතුළත් වන ‘වේව්’ (Wave) නම් ග්‍රන්ථය ඇගේ ජීවිතයේ සිදුවූ ඛේදවාචකය සමග එකඟවීම පිළිබඳ සිය අරගලයේ පාපෝච්චාරණයකි. එහි සඳහන් වන අන්දමට ඒ සියලුම අහිමිවීම් නිසා ආචාර්ය දැරණියගල අවුරුදු ගණනාවක් මානසික අවපීඩනයෙන් පෙලුණා. මේ කාලය තුළ ඇය සියදිවි නසා ගැනීමට බොහෝ වර උත්සාහ කරමින් බෙහෙත් හා මත්පැන් අනිසි ලෙස භාවිත කරන්නට වුණා. රෝහලෙන් පිටමං වූ ඇය කොළඹ පිහිටි තම නැන්දනියගේ නිවසේ දිවි ගෙව්වා. ඇගේ ඥාතීන් හා මිතුරන් පැය 24 පුරාම ඇය ගැන සෝදිසියෙන් සිටිමින් ඈ සියදිවි හානිකර ගැනීම වළකාලීමට කටයුතු කළා.

“මාස ගණනක් යනකල් මට කාමරයෙන් එළියට එන්න පුළුවන් වුණේ නැහැ.” ඇය වරක් සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණා. මම හැම දෙයක් ගැනම බයවුණා. ඉර දිහා, තණකොළ දිහා, කිසිම දෙයක් දිහා බලන්න මට ඕන වුණේ නැහැ. ඒ කිසිම දෙයක් නිසා අපේ අතීත ජීවිතය. ඔවුන් කිසිවෙකුවත් නැවත සිහිවෙනවාට මම කැමති වුණේ නැහැ.”

පවුලේ අය නැතිව ජීවිතයේ යථාර්ථයට මුහුණදීමේදී ඇයට විඳින්නට සිදුවූ වද වේදනා පිළිබඳව එම පොතෙහි ඇය ලියා තිබෙනවා. “ඔවුන් කොහිද? ඔවුන්ව නැවත අරන් එන්න” යැයි මම අන්ධකාරයේ ඉඳිමින් ආයාචනා කළා. මම ඉක්මනින්ම මගේ ජීවිතය, නැතිකර ගන්නවා, ඒත් ඒ වෙනකල් මේ වේදනාව තුනී කරගන්නෙ කොහොමද?”

“මම අපේ ඇඳේ වැතිරිලා ඉන්නා විට ඔවුන් නැති අඩුව මට පහර දෙන්නාක් මෙන් දැනෙනවා. ස්ටීව්වුයි, මමයි අවසන් වතාවට ඇඳේ නිදාගත් පසු ඇඳ ඇතිරිලි කොයිම වෙලාවකවත් මාරු කළේ නැහැ. ඇඳ රෙදි හෝදන්න මගේ හිත එකඟ කරගන්න මට බැරිවුණා. ඒ නිසාම මට මුළු රෑ පුරාම කිවිසුම් ගියා.”

මෙසේ මාස ගණනාවක් කොළඹ හුදකලාවෙන් මෙන් ගත කළ ඇය නිව්යෝක් බලා පිටත් වුණා. එහිදී විපත්තිදායක අත්දැකීම් පිළිබඳ විශේෂඥ ප්‍රවීණ මනෝචිකිත්සක මාක් එප්ස්ටීන්ගෙන් ප්‍රතිකාර ලැබුවා.

පසුකාලීනව සම්මානනීය ග්‍රන්ථයක් වූ ‘වේව්’ නම් මතක සටහන් ග්‍රන්ථයේ ඇගේ සිතුවිලි ලියා තබන්නැයි ආචාර්ය දැරණියගලට යෝජනා කරන ලද්දේ මෙම මනෝ චිකිත්සකවරයායි.

‘මේ පොත ලිවීම ඉතා වේදනාකාරී දෙයක් වුණා” යැයි ඇය වරක් පවසා තිබුණා. සිදුවීමෙන් ඇතිවූ කම්පනය, ඇගේ ජීවිතයේ තිබුණු සතුට, ඒ හැම දෙයක්ම එහි ඇතුළත්. මේ දේවල් එකක් නැතිව අනෙක පවතින්නේ නැහැ.

ඛේදවාචකයෙන් පසු සිව් වසරක් තිස්සේ ඇය තම පවුලේ නිවසින් බැහැරව සිටියා. එහි තිබූ සිය පුතුන් දෙදෙනාගේ බඩුබාහිරාදිය ඔවුන් නත්තල් නිවාඩුවට ලංකාවට බලා පිටත්ව යනදා මෙන් එලෙසම තිබුණා. සිදුවීමෙන් වසර 4කට පසු වේව් සම්මාන රාශියක් දිනා ගත්තා. ඛේදවාචක හා පවුලේ අහිමිවීම් සම්බන්ධව සාර්ථකව මුහුණදීම ගැන ලියැවුණු ඉතා අග්‍රගණ්‍ය කෘතියක් ලෙස සමහර විචාරකයන් ඇගේ කෘතිය හඳුන්වාදී තිබුණා. ඇගේ ශෝකය මෙන්ම ආචාර්ය දැරණියගල සිය පවුල සමග විනෝදයෙන් ගත කළ ප්‍රීතිමත් පවුල් ජීවිතය, සිය පුතු ක්‍රිකට්වලට හා වන ජීවීන්ට තිබුණු තදබල කැමැත්ත, සිය සැමියා සමග ගත කළ කාලය මෙන්ම ලංකාවේදී ගත කළ නිවාඩු කාලයන් පිළිබඳවත් එහි සඳහන් වනවා.

2013 වසරේදී ‘ටෙස්ට්මන්ට් ඔෆ් මේරි’ නම් බ්‍රෝඞ්වේ වේදිකා නිෂ්පාදනය රඟපෑමේ නියැලෙන අතරතුර මේ කතාව කියවූ ෆියෝනා ෂෝගේ හදවත සසල වී තිබුණා. ඇයට පොතේ කතුවරිය හමුවීමට අවශ්‍ය වී තිබුණා. දෙදෙනාගේ අන්‍යොන්‍ය මිතුරන් මාර්ගයෙන් මුණ ගැසුණු ඔවුන් හමුවූ මුල් අවස්ථාවේ සිටම එකිනෙකා කෙරෙහි දැඩි ඇඟෑලුම්කමක් දැක්වූවා.

“2004 සිදුවූ සුනාමියෙන් සොනාලිට සිය සැමියා, දෙමව්පියන් හා දරුවන් අහිමිවීම පිළිබඳ මතක සටහන් පොත විස්මයදනවන සුලුයි.

ඇය ගසක අත්තක රැඳී ජීවිතය බේරාගෙන තිබුණා. ඉන්පසුව එහි ඔවුන්ගේ ප්‍රීතිමත් ලන්ඩන් ජීවිතය සහ ශ්‍රී ලංකාගමනය පිළිබඳව ඉතා සතුටුදායක ලෙස විස්තර කර තිබුණා. එයින් මා විස්මයට පත්වුණා.” ෂියෝනා වරක් මාධ්‍යයට පැවසුවා. අද වන විට මේ යුවළට ඉස්ලින්ටන්, උතුරු ලන්ඩනයේ හා චෙල්සිහි නිවෙස් කිහිපයක් තිබෙනවා. වයස අවුරුදු 54ක් වන ආචාර්ය දැරණියගල ලන්ඩනයේ පෙරදිග හා අප්‍රිකානු පාසලේ ආර්ථික විද්‍යා මහාචාර්යවරියක මෙන්ම නිව්යෝක් කොලොම්බියා විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර හා මහජන සබඳතා පිළිබඳ පාසලේ මහාචාර්යවරියක ලෙසද කටයුතු කරනවා.

ඔවුන් දෙදෙනා සිය ප්‍රේම සම්බන්ධය පටන් ගත් පසු, ආචාර්ය දැරණියගල සමග ෂියෝනා ෂෝ කිහිප වතාවක්ම ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් ඇගේ කොළඹ සිටින ඥාතීන් සමග රැඳෙමින් කල්ගත කළා. ලොව පුරා ප්‍රමුඛ පෙළේ සාහිත්‍යකරුවන් හා නළු නිළියන්ගේ සහභාගිත්වයෙන් සෑම වසරකම ශ්‍රී ලංකාව තුළ පවත්වන ඉහළ පෙළේ ගාලු සාහිත්‍ය උළෙලටද මේ දෙදෙනා එක්ව සහභාගි වුණා.

කොළඹ හැදී වැඩුණු ආචාර්ය දැරණියගලට කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේදී ඔවුන් දෙදෙනාම ආර්ථික විද්‍යාව උගෙනමින් සිටින කාලයේදී ස්ටීවන් මුණ ගැසුණා. 1990 වසරේ කොළඹදී විවාපත් වන ඔවුන් දෙදෙනා උතුරු ලන්ඩනයට ගොස් පවුලක් ලෙස ජීවිතය අරඹන්නට පෙර කොළඹ නගරයේ වසර දෙකක් ජීවත් වුණා.

සුනාමියෙන් පසු, අවුරුදු 4ක් තිස්සේ ඇය තම ලන්ඩනයේ පිහිටි පවුලේ නිවසට ගියේ නැහැ. එම නිවසේ තිබූ සියලුම දේවල් ඇය දරුවන් හා සැමියා සමග නත්තල් නිවාඩුවට ලංකාවට යෑමට පෙර තබා තිබූ ආකාරයටම එම අවුරුදු 4 පුරාවට එක ලෙසම තිබුණා.

ආචාර්ය දැරණියගල සිය ජීවිතය තුළ නැවතත් ආදරය සොයා ගැනීම පිළිබඳව ඇගේ මාමණ්ඩිය වන පීටර් ලිසෙන්බර්ග් ඬේලි ඔන් ලයින් වෙත සතුට පළකර තිබුණා.

“සොනාලි සහ ප්‍රසිද්ධ නිළියක් අතර සිදුවෙමින් පවතින දෙය ගැන මට මගේ දුවත් පැවසුවා. මම කවරදාකවත් ෂියෝනා ෂෝ ගැන අසා තිබුණේ නැහැ. ඒත් මට ගොඩක් ටෙලිවිෂන් එක බලන නිසා ඇය රඟපෑ කිලිං ඊව් වැඩසටහන බලා තිබුණා.

“සොනාලි නව සහකාරියක සොයා ගැනීම ගැනත්, ඇයට නැවත ආදරය හමුවීම ගැනත් මා සතුටු වනවා.”
“ඇය වෙනත් කාන්තාවක් සමග තම ජීවිතය යළි සොයා ගැනීම මා පුදුමයට පත් කළා. ඒත් එය මට කම්පනයක් ඇති කළේ නැහැ. ඇයට බොහෝ දේ අහිමි වුණා. බොහෝ සිත් රිදීම්වලට මුහුණ දෙන්නට සිදුවුණා. දැන් ඇය සතුට සොයාගෙන තිබෙනවා. මට වැදගත් වන්නේ එපමණයි.” ලන්ඩනයේ එසෙක්ස්හි විශ්‍රාමික ලොරි රියදුරකු වන 82 හැවිරිදි ලෙසෙන්බර්ග් මහතා එසේ පැවසුවා.

අයිතිය:  වින්ද්‍යා ගමගේ

Ravaya . lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *