උපුටාගැනීම්විශේෂාංග

ගෝඨාභය ව්‍යාපෘතියේ අනාගතය – Anupa Premarathne

පසුගිය දා ශිෂ්‍ය උද්ඝෝෂකයන් සමග ගණුදෙනු කළ ආකාරය ගෝඨාභය පාලනය විසින් නියෝජනය කරන නව ප්‍රවේශය සම්පිණ්ඩනය කරන්නක් කියා සිතමි.මෙය මුළුමනින්ම නිශේධනාත්මක දෙයක් ලෙස හඳුනා ගැනීමට අප උත්සාහ නොකළ යුතුය.සැකයකින් තොරවම මේ සියල්ල පසුපස ඕනෑම මොහොතක කඩා පැනිය හැකි රාක්ෂයෙක් සිටිනවා වැනි හැඟීමක් බොහෝ දෙනෙකුට ඇති වනු ඇත. මෙය මුළුමනින් අසාධාරණ නොවන්නේ එය නිශ්චිත ඉතිහාසයක පාඩම් හරහා ඇති වන හැඟීමක් වන නිසාය. කෙසේ වුවත් දැනට මෙම පාලනය පෙන්වමින් තිබෙන්නේ වෙනත් ආකාරයක ප්‍රවේශයක් ඇසුරින් සම්ප්‍රදායික ප්‍රශ්න වලට පිළිතුරක් සෙවීමට දක්වන උනන්දුවයි. මේ කෙටි සටහනේ දී පෙන්වා දීමට උත්සා කරන්නේ, මාගේ තක්සේරුවේ හැටියට, මෙහිදී මුහුණ දිය යුතු වඩාත් අභියෝගාත්මක ප්‍රශ්න කීපයක් පිළිබඳවයි.

විශ්ව විද්‍යාල ශිෂ්‍ය ඉල්ලීම් යනු තරමක් සංයුක්ත ඉල්ලීම් වන නිසා ඒවාට විසඳුම් ඉදිරිපත් කිරීම එතරම් අභියෝගාත්මක කරුණක් වන්නේ නැත. නමුත් මෙයට වඩා අපහසු ඉල්ලීම් දෙකක් නුදුරු අනාගතයේ දී ගෝඨාභය ව්‍යාපෘතිය හමුවේ ඉදිරිපත් වන්නට නියමිතය. පළමු ඉල්ලීම වන්නේ පොදුවේ සුළු ජාතික දේශපාලනයේත්, විශේෂයෙන් උතුරේ දෙමළ දේශපාලනයේත්, සමානාත්මතාවය සඳහා වන ඉල්ලීමය. දෙවැන්න වන්නේ මෙරට කලාත්මක සමාජය නියෝජනය කරන අවකාශයේ නිදහස සඳහා වන ඉල්ලීමය.

මෙම ඉල්ලීම් දෙක වඩාත් අභියෝගාත්මක වන්නේ මෙමගින් ඉල්ලා සිටින දෙය ලබා දීම වෙනුවෙන් ගෝඨාභය ව්‍යාපෘතිය පදනම් වන දෘෂ්ඨිවාදී ව්‍යාපෘතියේ බරපතල වෙනසක් විය යුතු වීමයි. නමුත් ගැටලුව වන්නේ මෙම දෘෂ්ඨිවාදී ව්‍යාපෘතිය නොමැති වූ විට ගෝඨාභය ව්‍යාපෘතියේ යෝජිත ආර්ථික සංවර්ධනයෙන් බැහැර කිරීමට ලක් වන සමාජ පන්ති තමන් වෙත දිනා ගැනීමට විකල්ප ක්‍රමවේදයක් සොයා ගත යුතු වීමයි. මේ ආර්ථික මූලෝපාය මගින් අවසානයේ දී සමාජයේ පහත මාලයේ බහුතරයක් වෙත උරුම වන්නේ, ගුණදාස අමරසේකර ගේ වචන වලින් කියන්නේනම්, ඉහළ සහ මධ්‍යම පන්තික සුළුතරයේ අත පල්ලෙන් වැටෙන දේ අහුලන් කෑමට පමණි. එවැනි පිරිසක් එකට බැඳ තැබීම සඳහා ‘ජාතිය’, ‘රට’, ‘මුස්ලිම් ආක්‍රමණය’, ‘බුදු දහමේ චිරස්ථිතිය’ වැනි කතිකාමය දැලක් අවශ්‍ය වෙයි.

නමුත් එම නිසාම මෙය සුළු ජාතික දේශපාලන ඉල්ලීම් වලට මෙන්ම කලාත්මක සිතීමක ඒකීය නිදහස සමගද මුළුමනින් ප්‍රතිවිරුද්ධ ලෙස පිහිටවෙයි. මෙය ප්‍රායෝගිකව මේ වනවිටත් හඳුනා ගත හැකි තත්වයකි. ගෝඨාභය රාජපක්ෂ සඳහා පසුගිය ජනාධිපතිවරණයේ දී සුළු ජාතික ඡන්ද ලැබුනේ ඉතාම අඩුවෙන් කියා අපි දනිමු. එමෙන්ම, මාගේ අදහසේ හැටියට, කලාව යනු, ඉතාම පුළුල් අර්ථයෙන්, කලාව පිළිබඳව අදහසක් (art is an idea of art) යන අර්ථයෙන් කලාව තුළ මැදිහත්වීම් සිදු කිරීමට උත්සාහ කරනා සාතිශය බහුතරයක් දෙනා සිටියේ ගෝඨාභය ට ප්‍රතිවිරුද්ධ කඳවුරු වලයි. ‘කලාකරුවන්’ යනුවෙන් නිල වශයෙන් නම් කරන පිරිසක් ගෝඨාභය ට සහය පල කිරීමෙන් මේ තත්වය වෙනස් වන්නේ නැත – ඒ අය කලාව යනුවෙන් හඳුන්වන්නේ ඔවුන් කරනා රස්සාවයි, ව්‍යාපාරයයි. නමුත් සිනමාව තුළ, වේදිකාව තුළ, සාහිත්‍යය තුළ, සංගීතය තුළ, දෘශ්‍ය කලාව තුළ කලාව පිළිබඳව සිතීමක සිටිනා සෑම දෙනෙක්ම පාහේ සිටියේ මෙයින් බාහිර කුලකයේය. ඉන් සමහර දෙනෙක් එජාපයටත්, තවත් පිරිසක් ජවිපෙටත්, ඉතිරි අය පෙසපය ඇතුළු පක්ෂ වලට හෝ කිසිවෙකුට සහය නොදෙන තැනක හෝ සිටිය හැකිය. නමුත් මේ කිසිවෙක් ගෝඨාභයට සහය දුන්නේ නැත.

මේ ඉල්ලීම් දෙකම – සුළු වාර්ගික දේශපාලනය සහ කලාත්මක/සංස්කෘතික නිදහස ඉල්ලන සමාජ කාණ්ඩය – දැනට නොසලකා සිටීමට ගෝඨාභයට හැකිය. නමුත් මෙය දිගු කාලීනව සිදු කළ හැකි නොවේ. මෙයට හේතුව වන්නේ එයට බාහිරව එකතු කරගෙන තිබෙන මේ සමාජ කැමැත්ත අකණ්ඩව පවත්වාගෙන යාමට ඉතාම අපහසු වීමයි. සුළු ජාතික ඡන්ද සහ සංස්කෘතික මත මෙහෙයවන්නන් සඳහා තීරක භූමිකාවක් ඇති වන්නේ එවැනි තත්වයකදී ය. එජාප දේශපාලනය මුහුණ දී තිබෙනා සාංදෘෂ්ඨික අර්බුධය හමුවේ මෙවැනි දෙයක් නුදුරු අනාගතයේ දී සිදු වීමට ඇති ඉඩ ඉතාම අඩු වුවත් දේශපාලන පෙරළි සිදු වීමට එතරම් කාලයක් ගත නොවන බව අපි දනිමු.

ගෝඨාභය මේ අභියෝගයට මුහුණ දෙන්නේ කෙසේද කියා මම බලා සිටිමි. මගේ යෝජනාව වන්නේ සිංහල ජාතිකවාදය සමග අතරමැද සම්මුතියකට යාමට උත්සාහ කරන ලෙසයි. සමානාත්මතාවය සහ නිදහස යනු අසාධාරණ ඉල්ලීම් නොවේ. ජාතික ආරාක්ෂාව පිළිබඳව – සැබෑ – අවශ්‍යතාවයක් සමග මෙය ගැලපිය යුත්තේ කෙසේද යන්න විශාල අභියෝගයකි. නමුත් දිගු කාලීන සමාජ පරිවර්තනයක් සඳහා වෙනත් විකල්පයක් අපට ඇත්තේ නැත. නමුත් මේ සඳහා සංවර්ධනය පිළිබඳව විකල්ප අදහසකට මෙය මාරු විය යුතු බවත් ඉතාම පැහැදිළි වේ. ගෝඨාභය හමුවේ තිබෙනා තියුණු අභියෝග වන්නේ මේවාය.

අයිතිය: Anupa Premarathne

Leave a Reply

Your email address will not be published. Required fields are marked *