🔴කෙටියෙන් කිව්වොත්.. ඔබ කවුද ?
මම මිනිහෙක් ! නම කැටිපෙ !!
🔴තව පොඩ්ඩක් විස්තරාත්මකව කිව්වොත් ?
ආදරය, මනුස්සකම, විද්‍යාව සහ අනාගතය විශ්වාස කරන මිනිහෙක්.
🔴ඔබේ රැකියාව මොකද්ද ?
මම වෘත්තීය මාධ්‍යවේදියෙක්. ඊට අමතරව දැන්වීම් නිර්මාණකරණයට සහ ඉසව් කළමනාකරණයට අදාළව අර්ධකාලීන රචකයෙක් හැටියටත් වැඩ කරනවා.
🔴ඔබේ වෘත්තීය ඉතිහාසය කියන්න පුළුවන්ද ?
මම මුලින්ම පටන් ගත්තෙ කළුබෝවිල RS වීඩියෝ ආයතනයේ රූපවාහිනී වැඩසටහන් කාර්මික ශිල්පියෙක් හැටියට. එහිදී, ටෙලිනාට්‍ය හා වෙනත් වැඩසටහන්වල ආලෝකකරණ ශිල්පියෙක් – ට්‍රැක් ඩොලි ක්‍රියා කරවන්නෙක් සහ කැමරා සහායකයෙක් හැටියට මම වැඩ කළා. ඉන් අනතුරුව කලා අධ්‍යක්ෂණය සහ සහය අධ්යක්ෂණ කටයුතුවල නියැලුණා. ඊටත් පසු කලෙක, ස්වර්ණවාහිනී ආයතනයේ සහාය නිෂ්පාදකයෙක් හැටියට සහ හඬකැවීම් ශිල්පියෙක් ලෙස වැඩ කෙරුවා. සිංහල දෙබස් කැවූ වැඩසටහන් කීපයක දෙබස් රචකයෙක් සහ හඬකැවීම් අධ්යක්ෂවරයෙක් ලෙස කටයුතු කළා. ඊළඟට රංගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ප්රවෘත්ති සංස්කාරකවරයෙක් බවට පත්වුණා. ඉන් අනතුරුව, ශ්‍රී එෆ් එම් රේඩියෝවේ වැඩසටහන් රචකයෙක් සහ නිෂ්පාදකවරයෙක් ලෙස වැඩ කළා.
විද්‍යුත් මාධ්‍යයෙන් මුද්‍රිත මාධ්‍යයට මාරු වෙමින්; ලංකා පුවත්පතේ දේශපාලන කර්තෘවරයා ලෙසත් ජනරළ පුවත්පතේ දේශපාලන කර්තෘවරයා ලෙසත් ඉන් පසු වැඩ කළා. කැරැල්ල සඟරාවේ ප්‍රධාන සංස්කාරක ධුරය දැරුවා. ඊටත් පස්සේ, සත්හඬ පුවත්පතේ විශේෂාංග කර්තෘවරයා සහ එහි කලා සංස්කෘතික අතිරේකය වූ `සිහිනය`හි සංස්කාරකවරයා ලෙස කටයුතු කෙරුවා.
ඉන් අනතුරුව යළි විද්‍යුත් මාධ්‍ය භූමිකාවකට එක් වුණේ හිරු tv නාලිකාවේ සලකුණ දේශපාලන වැඩසටහනේ විචාරාත්මක නිවේදකයකු ලෙස. එහිදී, `සලකුණ` වැඩසටහන් සියයකට ආසන්න ප්‍රමාණයක කටයුතු කරන්නට මට අවස්ථාව ලැබුණා. ITN මාධ්‍ය ජාලයේ ක්‍රියාකාරී අධ්යක්ෂවරයා වෙමින් විද්‍යුත් මාධ්‍ය ආයතනයක බැරෑරුම් වගකීමක් දැරුවේ ඉන් අනතුරුව. එහි මම `නියෝජ්‍ය සාමාන්‍යධිකාරී – වැඩසටහන්` යන තනතුරේ වැඩ බැලුවා.
ඒ පරිච්ඡේදය අවසන් වීමෙන් පසු, මේ වන විට, comrade.lk වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරකවරයා ලෙසත්, ලංකා පුවත්පතේ විශේෂාංග කර්තෘවරයා ලෙසත් එහි කලා සංස්කෘතික අතිරේකය වූ `ROSE`හි සංස්කාරකවරයා ලෙසත් කටයුතු කරමින් සිටිනවා. ඉතින් ඔන්න ඔය විදිහට; විද්‍යුත්, මුද්‍රිත හා ඩිජිටල් යන මාධ්‍ය තුනේම සැරිසැරීමේ අහඹු අවස්ථාවක් මට ලැබුණා.
🔴මේක මේ අතුරු ප්‍රශ්නයක්. `කූඹියෝ` සහ `සහෝදරයා` වැනි ටෙලිනාට්‍ය විකාශය කිරීම මගින් ලංකාවේ ටෙලිනාට්‍ය කලාවේ පෙරළිකාර වෙනසක් ඇතිකරන්න ඔබ දායක වුණා නේද ?
එය මගේ තනි තීරණයක් හෝ තනි හපන්කමක් නොවෙයි. ඒ විශිෂ්ට නිර්මාණ අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරුන්ටයි එහි පළමු ගෞරවය යා යුත්තේ. එම ටෙලිනාට්‍ය විකාශය කිරීම, එවකට අදාළ ආයතනයේ පාලනාධිකාරිය – විශේෂයෙන් සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරිවරයා වගේම ටෙලිනාට්‍ය අධීක්ෂණ මණ්ඩලය සමඟ ගත් තීරණයක්. ඒ අනුව සත්තකින්ම ඔබේ වචනය හරි. මමත් ඊට දායක වුණා. හොඳ නිර්මාණ වෙනුවෙන් කිසිදු අල්ලසකින් දූෂණයකින් හෝ කොන්දේසියකින් තොරව පෙනී සිටින්නට අපට පුළුවන් වුණා. ඒක සාමුහික හපන්කමක්.
🔴ඔබේ අධ්‍යාපන සුදුසුකම් මොනවද ?
මිනිහෙක්ගෙ අධ්‍යාපනය කියන්නෙ ඒ මනුස්සයා ජීවිතයෙන් ඉගෙන ගන්න දේ මිසක් වෙන මොකවත් නෙමෙයි. එකම අධ්‍යාපන සහතිකයක්වත් නැතත් ජීවිතය ගැන පුදුම දැනුමක් තියෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා. අපට එහෙම මිනිස්සු මුණගැහිලා තියෙනවා. ඒ මිනිස්සුන්ගෙන් අපි ජීවිතය ඉගෙනගෙන තියෙනවා. ජීවිතය තරම් සරසවියක් වෙන කොහේවත් නැති බව මා හොඳින් දන්නවා
🔴මේ අහන්නේ ආයතනගත විධිමත් අධ්‍යාපන ඉතිහාසය ගැන ?
මගේ පළමු පාසල කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි බප/පිළි ධර්මෝදය කනිෂ්ඨ විද්‍යාලය, ගල්කිස්ස. ඊළඟට හලාවත සාන්ත මරියා ප්‍රාථමිකය (වර්තමාන එඩ්මන් පීරිස් රදගුරු විදුහල) සහ සාන්ත මරියා මහා විද්‍යාලය. ඉතින් ඔබ මේ අහන්නේ විටින් විට ලැබූ සහතික පත් ගැන නම්, සාමාන්‍ය පෙළ සමත්. උසස් පෙළ සමත්. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව හා සන්නිවේදන ඩිප්ලෝමා සහතිකය මා සතුයි. මේ වන විට කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ ශ්‍රීපාලි මණ්ඩපයෙන් මෙහෙයවන මාධ්‍ය පර්යේෂණ පිළිබඳ ශාස්ත්‍රපති (MA) උපාධිය හදාරමින් සිටිනවා.
🔴ඔබ සාහිත්‍යකරුවෙක් ?
මම නවකතා තුනක් ලියල තියෙනවා. දූවිලි සේල, නවයෙ කතාව සහ NGO හෙවත් නැළවෙන ගී මැද ඕවිල්ල. කවිපොතක් ලිව්වා, එහි නම `හමුවෙන්න තවම හැකි කොම්රේඩ්`. ඒ කෙසේ වෙතත් `සාහිත්‍යකරුවෙක්` කියන්නෙ ලොකු වගකීමක්. විශිෂ්ට සාහිත්‍යධරයන් අපේ රටෙත් සිටියා සහ ඉන්නවා. `සාහිත්‍යකරුවෙක්` යන නාමකරණය ලබන්න ඒ පාරේ තව බොහෝ දුර යා යුතුයි කියා මම විශ්වාස කරනවා.
🔴ඒ කියන්නෙ කැස්බෑව ආසනේට ආයෙමත් කවියෙක් ඇවිත්ද ?
ඒක ලස්සන ප්‍රශ්නයක්. කැස්බෑව කියන්නෙ කලාව සංස්කෘතිය – විශේෂයෙන්ම කවිය එක්ක දේශපාලනය හොඳට පෑහුණු ආසනයක්. කැස්බෑව කියන්නේ සෝමවීර චන්ද්‍රසිරි වගේ රසවතුන් දේශපාලනය කළ ආසනයක්. මේ දැනුත් කැස්බෑව ආසනයේ, අපේ වර්තමාන කලා ක්ෂේත්රයේ අතිදක්ෂ නවීනයන් ප්‍රවීණයන් රැසක් ජීවත් වෙනවා. ඒ නිසා කැස්බෑව කේන්ද්‍ර කරගෙන කොළඹ දිස්ත්‍රික්කයේ දේශපාලනය කිරීම එක්තරා විශේෂ තෘප්තිමත් අද්දැකීමක් බව මාත් පිළිගන්නවා.
🔴ඇයි ඔබ දේශපාලනය කරන්නෙ ?
අපි කවුරුත් උපදිනකොටම දේශපාලනේ අපි ඉස්සරහට එනවා. අප වටේ තිබෙන හැම ප්‍රශ්නයක්ම හරියට බැලුවොත් දේශපාලන ප්‍රශ්නයක්. දේශපාලන ප්‍රශ්නවලට තියෙන්නෙ දේශපාලන උත්තර. ඉතින් කොහොමද දේශපාලනේ නොකර ඉන්නෙ ?
🔴මොකද්ද ඔබේ ක්‍රියාකාරී දේශපාලන ඉතිහාසය ?
මම ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයෙක් වෙනකොට මගේ වයස අවුරුදු විස්සයි. ඒ 1997. එතැන් සිට මේ දක්වා වාම සහ ප්රගතිශීලී කඳවුරේ දේශපාලනය තමයි අපේ දේශපාලනය වුණේ. එය විටෙක පූර්ණකාලීන ක්රියාකාරීත්වයක්. තවත් විටෙක අර්ධකාලීන ක්රියාකාරීත්වයක්. හැබැයි, අප ලියූ කියූ පෙනී සිටි සියලු දේ තුළම තිබුණේ දේශපාලනය.
🔴ඔබ මේ මැතිවරණයකට ඉදිරිපත් වෙන පළමු වතාව ?
නැහැ. දෙවැනි වතාව.
🔴එතකොට පළමු වතාව මොකද්ද ?
මීට අවුරුදු ගණනාවකට කළින් ජනතා විමුක්ති පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් මහමැතිවරණ අපේක්ෂකයෙක් හැටියට මනාප නොඉල්ලන සටනක මම හිටියා.
🔴ඇයි මෙවර කොළඹින් ඡන්දෙ ඉල්ලන්නෙ ?
කොළඹ කියන්නෙ මේ පුංචි දූපතේ අගනුවර පිහිටි දිස්ත්‍රික්කය. අපි කැමති වුණත් නැතත් තවමත් මේ රටේ ඉරණම තීරණය කරන්නේ කොළඹින්. ඒ වගේම සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ ආදී විවිධ ජනකොටස් ගණනාවක් එකට ජීවත්වෙන අසිරිමත් දිස්ත්‍රික්කයක් තමයි කොළඹ කියන්නෙ. එක ජාතියක් පාගලා තව ජාතියකට ගමනක් නැහැ කියල ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් දිස්ත්‍රික්කය කොළඹ. ඒ විතරක් නෙමෙයි භූගෝලීය වශයෙනුත් සංස්කෘතික වශයෙනුත් ලස්සන විවිධත්වයක් කොළඹ තියෙනවා. දෙමටගොඩට වඩා අවිස්සාවේල්ල වෙනස්. අවිස්සාවේල්ලට වඩා වැල්ලවත්ත වෙනස්. වැල්ලවත්තට වඩා කැස්බෑව වෙනස්. කැස්බෑවට වඩා මෝදර මට්ටක්කුලිය වෙනස්. ඒ වෙනස්කම් තේරුම් අරගෙන කොළඹ දිස්ත්‍රික්කය සංවර්ධනය කරන්න ඕන. ඒ වගේම කාන්තා ශ්‍රම බලකායේ කොළඹ භූමිකාව විශේෂයි. දරුවන්ගෙ වැඩත් කරගෙන කාර්යාලයේ හෝ වැඩබිමේ කම්හලේ වැඩත් කරගෙන ඉස්සරහට යන කොළඹ කාන්තාවන් බල ගැන්වීම කොළඹ සංවර්ධනයේ ලොකු වැඩකොටසක් හැටියට මම දකිනවා. කොළඹට ආදරය ඕනේ. කොළඹට විද්‍යාව ඕනේ. කොළඹට නවීනත්වය ඕනේ. ලෝකය වෙනස් වෙමින් තියෙන්නේ. වෙනස් වෙන ලෝකය එක්ක ඉස්සරහට යන්න වෙනස් මිනිසුන් ඕනේ. ලංකාවේ දියුණුතම දිස්ත්‍රික්කය භාරගන්න දියුණුතම මිනිසුන් ඕනේ. ජාතික ජන බලවේගය ඒ වෙනුවෙන් පෙරට එනවා.
🔴ජාතික ජන බලවේගය ඔබට විශ්වාසද ?
ඔව්. මට විශ්වාසයි. පසුගිය ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට මම සහාය දැක්වූයේ ඒ විශ්වාසය නිසයි. දේශපාලන පක්ෂ, විද්වත් සංවිධාන හා කලා සංස්කෘතික ක්ෂේත්රයේ විශිෂ්ටයන් සහ සබුද්ධිකයන් රැසක් ජාතික ජන බලවේගය තුළ සිටිනවා. එය ගතානුගතික රළු ගොරහැඩි දේශපාලන ගල්ගුහාවක් නෙමෙයි. විවෘත අදහස් හුවමාරු වෙන දියුණු තියුණු වේදිකාවක්. පැරණි දේ වෙනුවට අලුත් දේ වැලඳගන්නා නැවුම් සංවිධානයක්. මේ මොහොතේ මේ රටේ වැඩකරන දේශපාලන බලවේග අතරින් ඊට වඩා විශ්වාස කළ හැකි දේශපාලන ව්‍යාපාරයක් තියෙනවාද කියා ඔබ මට කියන්න.
🔴සමාජවාදය තවමත් වලංගුද ?
`සමාජවාදය` කියන වචනයේ සරල තේරුම, `ධනයට බලයට නොව මනුස්සකම පරිසරය සතා සීපාවා සහිත සමාජයට මුල්තැන දීම` කියන එකයි. ඒකට අකමැති කෙනෙක් නැහැනේ. හැමෝම ඒකට කැමතියි. හැබැයි, `ධනවාදී` හෝ `සමාජවාදී` බෝඩ් ලෑලි විතරක් පවත්වාගෙන යාම තවදුරටත් වලංගු නැහැ කියන එකයි මගේ අදහස. මේ යුගයේ වැදගත් ලේබල් නෙමෙයි වැඩ. මම එක උදාහරණයක් කියන්නම්. ස්කැන්ඩිනේවියන් රටවල් දිහා බලන්න. අධ්‍යාපන ක්රමයේ විප්ලවීය නිමැවුම්කරුවන් බවට ඔවුන් පත්වෙලා. දරුවන්ට බරක් නොවෙන සැබවින්ම නිදහස් අධ්‍යාපනයක් එහි ක්‍රියාත්මක වෙනවා. ඒ රටවල්වලට එළියෙන් අලවන බෝඩ් එක `ධනවාදී` වෙන්න පුළුවන්. හැබැයි හරයෙන් ඒ වැඩ `සමාජවාදී`. ඒකයි මම කිව්වේ ලේබල් නෙමෙයි වැදගත් වැඩ, කියල.
දැන් අපේ කාර්යභාරය වෙන්න ඕන මේ එක එක ලේබල්වලට රණ්ඩු කර කර ඉන්න එක නෙමෙයි. ගතානුගතික දේශපාලනය අවසන්. දැන් අපට නවීන දේශපාලනයක් අවශ්‍යයි. පරිසරය එහි අංක එකේ ප්‍රමුඛතාව බවට පත්විය යුතුයි. මේ කතාකරන මොහොත වන විටත් අධික අව් රශ්මියෙන් අපි දැවෙමින් ඉන්නේ. දවල්ට පාරට බහින්නවත් රෑට නිදාගන්නවත් බැරි තරමේ උණුසුමක් අපි හැමෝවම පෙළමින් ඉන්නේ. ලෝකයේ ලැව් ගිනි පැතිරෙමින් තිබෙනවා. අනාගත ලෝකය වතුර වෙනුවෙන් යුද්ධ කරාවි. ගෝලීය උණුසුම වැඩිවෙලා ග්ලැසියර දිය වෙලා, ගින්නෙනුත් ජලයෙනුත් එකවර විනාශ වෙන ලෝක ඉරණමකදී, “ඔයා ධනවාදීද ? ඔයා සමාජවාදීද ?“ කියල අහ අහ විනාශය එන්නෙ නැහැ. ඒ නිසා මෙන්න මේ යථාර්ථයන් දුර සිට දකින මිනිසුන්, මේ ජරාජීර්ණ දේශපාලනයට කඩා වැදිය යුතු කාලය දැන් එළඹ තිබෙනවා.
අපි කොළඹින් පටන් ගනිමු !
One thought on “අපි කොළඹින් පටන් ගනිමු ! – විමල් කැටිපෙආරච්චි”
Hello! This post couldn’t be written any better! Reading this post reminds me of my good old room mate! He always kept chatting about this. I will forward this write-up to him. Fairly certain he will have a good read. Thanks for sharing!