දොස්තර ඇස්. ඒ. වික්රමසිංහ ලංකා ඉතිහාසයේ හමුවෙන දුරලභ මනුශ්යයෙකි. මාර්ටින් වික්රමසිංහ යුගාන්තයේදී අරවින්ද විහාරහේන නමින් වතුහාමි මුදලාලිගේ දොස්තර පුතා හැටියට අපට හඳුන්වා දුන්නත් සැබෑ වික්රමසිංහ යනු අජන්තා නිශාන්තය වැනි සමාජශාලා වල රස්තියාදු නොගැසු බෞද්ධ අර්ධයක් හා මාක්ස්වාදී අර්ධයක් සහිත දේශපාලකයෙකි. ඔහු දුප්පත් ලෙඩුන් ගැන වැඩි සැලකිල්ලක් දැක්වීම නිසා රජයේ සේවයෙන් නෙරපුනු පසු පරම විඥාණාරථ සමාගමේ පාසල්වල සාමාන්යාධිකාරි තනතුර දරමින් වැදගත් මෙහෙයක් කලේය. ඔහු 1931 මොරවක අසුනට තරඟ කරන්නට යද්දීම මාතර දිස්ත්රික්ක්ය තුල පමනක් නොව ලංකාවේ ප්රකට චරිතයක්ව සිටියේය.
කොට්ටේගොඩ සිටි දොන් අන්ද්රියෙස් විජේවීර දොස්තර වික්රමසිංහගේ ගේ දේශපාලනයට අකර්ශනය වන්නට ඇත්තේත් ඔහුගේ අනුගාමිකයෙක් වන්නට ඇත්තේත් හුදු මාක්ස්වාදය හා සමාජවාදය නිසා නොව මේ අපුරු මොරවක් කොරළ වැසියාගේ ගති පැවතුම් නිසාය. ඔහු 1947 මහා මැතිවරනයේදී හක්මන ආසනයට කොමියුනිස්ට් පක්ෂයෙන් තරඟ වැදුනු ප්රේමලාල් කුමාරසිරි ගේ අධාරකරුවෙක් වන්නේ මේ දේශපාලන හා පුත්ගලික බැඳීමේ කොටසක් හැටියටය. ඔහු කොට්ටේගොඩ සිටි ස්වකීය ඥාතීන්ගෙම ප්රහාරයට ලක්වන්නේ ඔවුන් මාතර සී. ඒ. ධර්මපාල පවුලේ යූ. එන්.පී. දේශපාලනයේ හතුරෙක් වීම නිසාය. මේ පහරදීමෙන් තුවාල ලබන අන්ද්රියෙස් විජේවීර 1965 මියයන තෙක්ම රෝගියෙක්ව සිටියේය. 1960 දී ලුමුම්බා සරසවියේ මුලම ජාත්යාන්තර ශිෂ්ය කන්ඩායමට ඔහුගේ පුත් නන්දසිරි හෙවත් රෝහණ විජෙවීර ඇතුල් කෙරෙන්නේ මේ දේශපාලන කැපවීමට ගෙවෙන වන්දියක් හැටියටය.
රෝහණ, දොස්තර වික්රමසිංහ හා කොමියුනිස්ට් පක්ෂයෙන් කෙරුණු වන්දි උපකාරය ඇම්මක් කර නොගත්තේය. ඔහු තමාගේම දේශපාලනයක් විශ්වාවාස කලේය. එය කෙලවර වන්නේ උපකාරය අපකාරයක් වී ඔහු මොස්කව් වලින් පිටමං කිරීමෙනි. ලංකාවේදී ඔහු කොමියුනිස්ට් පක්ෂ දේශපාලනයෙන් මිදුනේ රාජ්ය බලය ගන්නේ කොයි ආකරයට ද යන කාරනයේදීය. ඔහු සමාජවාදය හා ජාතිකවාදය මිශ්ර කලේය. එය බලය ගැනීමේ පහසුම ක්රමය බව ඔහු විශ්වාස කරන්නට ඇත. ඔහු ප්රසිද්ධියේ නොකීවාට මාඕ, හෝචිමිං හා කිම් ඉල් සුං දේශපාලනය අඩුවැඩි වශයෙන් විශ්වාස කලේය. සතුරෝ හා විවේචකයෝ රෝහණ බිගුල්ලෙකු හා පිස්සෙකු ලෙස වර්ග කලත් 20 වෙනි සියවසේදී 1971 දී බ්රිතාන්ය කිරීටයට විරුද්ධවත් 1988\89 දී දෙලක්ෂයක ඉංදියානු හමුදාවක් රටේ භූමියෙන් තුනෙන් එකක වාඩිලගෙන සිටිදී යන අවස්ථා දෙකෙදීම දුබල රාජ්ය පෙරලීමට අවි අතට ගත්තේය. පසුගිය සියවසේ දේශපාලන ඉතිහාසය රචනා කරන අනාගතය ඔහුට එම ඉතිහාසය තුල හිමි තැන තීන්දු කරනු ඇත. පුත්ගලිකවම 1983 ජුලිමාසයේ අවසාන වරට ඔහු මුනගැසුනු සාකච්ඡාවේදී ඔහු මරණ බිය ගැන කතා කලේ අවඥාවෙනි. ඔහු එවේලෙත් තමන්ට කිසිම දිනක සභාවික මරනයක් අත් නොවන බව කීවේය.
දැන් විජේවීර පවුලේ දේශපාලනය තෙවන පරම්පරාවට ගමන්කර තිබේ. නමුත් කොමියුනිස්ට් පක්ෂය [රෝහණ උපහාසයට කීවේ නොමිනිස් පක්ෂය කියාය.] විජේවීර පවුලට දේශපාලනය කිරීම නිසා සිදුවූ පාඩුවට වඩාත් සීලාචාර ආකාරයකාට උපකාර වන්දිය දුන්නත් සෝමවංශ අමරසිංහ හා ඔහුගේ ගෝලබාලයෝ රෝහණ තැනූ පක්ෂය නිසා ඔහුගේ පවුලට අත්වූ ඉරණමට කිසිම දවසක වන්දියක් නොගෙවීම්ට වග බලා ගත්හ. රෝහනගේ දේශපාලනය තොරම්බල් කරමින් පැමිනි වීරවංශ වැන්නවුන් මාළිගා තනද්දී ඔහුගේ දරු පවුලට පීතෘ ඝාතක සේනාවේම කඳවුරක ජීවිත කාලයම සිරගත කිරීමට සාහසික වූහ. අඩුම තරමින් ඔවුන්ට නිදහස් මනුශ්යයන් වශයෙන් මෙරට හෝ පිටරටක ජීවත් වීමට අවස්ථාවක් සලසා නොදීමට අමරසිංහ ප්රමුඛ තක්කඩි රැල වග බලාගත්හ.
දැන් තෙවෙනි පරම්පාරාවේ විජේවීර පවුලේ දේශපාලන නියෝජනය කරන උවිඳු දකුණු පලාතෙන්ම පැමිණි රීදේශපාලන පවුලක් තැනූ පොදු ජන එක්සත් පෙරමුනෙන් දේශපාලනය පිවිසීමට සුදානම් වන්නේය. ඔහුගේ පිය පාර්ශවයේ මුත්තා කොමියුනිස්ට් පාක්ෂිකයෙක් වෙද්දී ඔහුගේ මව් පාර්ශවයේ ප්රනාන්දු මුත්තා සමසමාජවාදියෙක් වී සිටියේය. ඔහුගේ මාමා කීර්තිමත් ගුරු සංගම් නායකයෙක් වූ එච්. එන් ප්රනන්දුය. එච්. එන් ගේ දේශපාලනයේ හැටි වරක් මට කීවේ තමිල් චෙල්වම් ය. කොටි සංවිධානය 1986 දී පමන උමා මහේෂ්වරන්ගේ කඳවුරක් අල්ලා ගෙන සමාජිකයන් අත් අඩංගුවට ගනිද්දී එහි සිටි නුපුරුදු වයස්ගත තරබාරු සිංහලයෙක් ද අල්ලා ගැනුණි. ඔහු ගුරු නායක එච්. එන්. ප්රනන්දු යයි හඳුනාගත් වහාම බස් ගාස්තුවද දී යාපනයෙන් කොළබට නිරුපද්රීතව පැටවුනේය. නමුත් එච්. එන් ට එම කරුණාව මස්සිනාගේ ජවිපෙන් ලැබුනේ නැත. 1980 වර්ජනයෙන් පසු ජවිපේ ඔහුගේ නිවසට අසුචි මුට්ටි වලින් පහර දුන්නේය. ඔහු මියගිය පසු ඔහුගේ නැගෙණිය චිත්රාංගනී උලපනේ නිවසෙ සිට වැඩිමහල් සොහොයුරාගේ මළගමට සහභාගී වන්නට සුදානම් වූවාය. එවිට විජේවීර පවුලේ දේශපාලනය වූයේ ‘ අයියගේ මළගමට යන්න හැබැයි ආපහු එන්න එපා’ යන නියෝගයයි. චිත්රාංගනී වැඩිමහල් සොහොයුරාගේ අවමඟුලට නොගියාය.
මොරටුවේ විල්ලොරාවත්තේ සිටි චිත්රාංගනීගේ බාල සහෝදරයා සරත් ප්‍රනන්දු ද රෝහණගේ එකම සහොදරයා වූ ආනන්ද විජෙවීර ද පවුලේ දේශපාලනය වෙනුවෙන් නිරපරදේ ජීවිත පිදුහ. ඉතින් මෙබඳු පරපුරක උපන් උවිඳුට තමන් කැමති දේශපාලනයක් කිරීමේ පරම අයිතිය උදුරා ගැනිමට කිසිවෙක් ගේ අයිතියක් නොවේ. නමුත් උවිඳුට මේ දේශපාලනයේදී පියාගේ සතුරන් ද මිතුරන් ද සමඟ එකගෙයි කෑමට සිදුවීම වැලැක්විය නොහැක. ඒ වෙනුවෙන් ඔහුට පුර්වාදර්ශයක් තිබේ. රෝහණ 1983 ජනමතවිචාරණ නඩුවේදී එවකට තමාගේ එක් බලවත් සතුරෙක්ව සිටි ෆිලික්ස් ඩයස් බන්ඩාරනායක සමඟ එකතු වුනේය. මේ ගැන විමසීමේදී රෝහන උපුටා දැක්වූයේ ‘දේශපාලනයේදී සදාකාලික සතුරන් ද මිතුරන්ද නැත’ යන චිරාගත දේශපාලන කියමනය. ඉතින් එයම පුනරුච්ඡාරණය කිරීමට උවිඳු විජේවීරට ද කිසිම භාදාවක් නැත.