ඇමෙරිකා එක්සත් ජනපදයේ මුලින්ම කොරෝනා වයිරස් රෝගියෙකු වාර්තා වුනේ නිව්යෝර්ක් නුවරින්. දැනට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේත් නිව්යෝර්ක් ප්‍රාන්තයෙන්. නිව්යෝර්ක් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ඇන්ඩ්රු කුමෝ සමඟ නිව්යෝර්ක් ටයිම්ස් වෙබ් අඩවිය කල සාක්ච්චාවක් මාර්තු 18 වෙනිදා පොඩ්කාස්ට් වුනා.
මාධ්‍යවේදියා ඔහුගෙන් අහනවා “ මම ඇහුවා ඔබ කියනවා අප දැන් ඉන්නේ යුධ පෙරමුණක කියා. එහෙම නම් යුද්ධයේ කොයි අවස්ථාවේද නිව්යෝර්ක් පවතින්නේ. ?” කියලා. ආණ්ඩුකාරයා කියනවා “ අප තවමත් සතුරා දකින්නේ ඈත ක්ෂිතිජයේ. සතුරා ඉතා වේගයෙන් අප කරා එනවා. ඒත් අප තවමත් අපගේ ආරක්ෂක බලඇණි ස්ථාන ගතකර නැහැ. “ කියලා. වැඩි දුරටත් තත්වය විස්තර කරමින් ඔහු කියනවා “සතුරා අප කරා එන වේගය ට අනුව අපට එල්ලවන ප්‍රහාරයේ උච්චම අවස්ථාවට තව තියෙන්නේ දවස් 45 ක් තරම් කාලයක්. මේ කාලය තුල අපගේ ආරක්ෂාව සකසා ගන්න ඕනේ. මොකක්ද ආරක්ෂාව? යුද්ධයේ තුවාල කරුවන් රැකබලා ගන්න, සතුරාට පහර දෙන්න පුළුවන් සෞඛ්‍ය සේවා පද්ධතියක්. ඒත් අපට ඒවා නැහැ. මේ උච්ච අවස්ථාවේ අපට රෝහල් ඇඳන් 110,000 ක් ඕන වෙනවා. ඒත් අපට තියෙන්නේ 50,000 යි. ICU ඇඳන් 37,000 ක් ඕන වෙනවා. අපට තියෙන්නේ 3000 යි. “ කියලා. සතුරාගේ ආගමනය නවත්තන්න අප මෙතෙක් ගත් ක්‍රියාමාර්ග ඵල දරා නැති බව ආණ්ඩුකාර කුමෝ කියනවා. මොනවාද ඒ මෙතෙක් ඵල නොදැරූ ක්‍රියාමාර්ග කියලා මාධ්‍යකරුවා අහනකොට ඔහු දෙන්නේ මේ උත්තරේ. “පරීක්ෂණ කිරීම තමයි පළමු පියවර. ඒ මගින් සතුරාගේ ආගමනය පමා කරන්න බලාපොරොත්තු වුණා. ඒක හරිගියේ නැහැ.සතුරා එමින් සටිනවා. සාමාන්‍ය සමාජ දුරස්ථ කිරීම් පටන්ගත්තා. ස්වේච්චාවෙන් ව්‍යාපාර, වැඩකටයුතු ගෙදර ඉඳන් කරන්න වගේ. ඒකෙනුත් වෙනසක් වුනේ නැහැ. අප මොනවා කලත් රෝගී සංඛ්‍යාව දවසින් දවස වැඩිවෙන්න පටන් ගත්තා. මේ ඉලක්කම් ඉහල යනකොට අපට සිදුවුනා විශාල වශයෙන් බලපෑම් කලහැකි යැයි සිතෙන ක්‍රියාමාර්ග වලට යන්න. බාර්, රෙස්ටුරන්ට්ස්, ජිම්, පාසල් වසා දමන්න. හෙදි සේවක සේවිකාවන් වගේ අත්‍යාවශ්‍ය සේවාවල යෙදෙන අයගේ ළමයින් රැකබලාගනීමේ පහසුකම් සපයන්න. ඊළඟට ජනරාශි එකතුවන සියලු ක්‍රියාකාරකම් ව්‍යාපාර අනිවාර්යයෙන් වසා දමන්නට නියෝග කරන්න. “මාධ්‍යකරු අහනවා “බාර් සහ රෙස්ටුරන්ට්ස් වහනවා කියන්නේ ඩොලර් බිලියන ගණනක් අහිමි කරවන තීන්දුවක්. දස දහස් ගණනක ගේ රැකියා අහිමි කරවන තීන්දුවක්. … එය ආර්ථිකයේ විශාල පදාසයක්. ඔබ කොහොමද ඒ තීරණය සාධාරණීකරණය කරන්නේ.. ?” කියලා. ඊට දෙන පිළිතුර තමයි..
”අප දැන් ඉන්නේ කීදෙනෙක් ජීවත් වෙනවාද කීදෙනෙක් මැරෙනවාද කියන තීරණාත්මක තීන්දුව අභිමුව. එතනයි අප ඉන්නේ. රෙස්ටුරන්ට් සහ බාර් වසා දැමීම හරහා මේ උවදුර පැතිරීම වලකන්න පුළුවන්. විෂබීජය ඉතා වේගයෙන් පැතිරෙනවා. කැස්සෙන් කිඹිසුමෙන් විතරක් නෙවෙයි. සමහර අධ්‍යයන පෙන්වා දෙන විදියට මතුපිටක් මත මේ වයිරසය දවස් දෙක තුනක් වුනත් පවතින්න පුළුවන්. “
පාලනයකින් තොරව රෝගීන් වැඩිවෙන එක නවතා නොගතහොත්, වෛද්‍ය පහසුකම් නැතිව මියයන සංඛ්‍යාව පාලනය කරන්න බැරි බවයි ආණ්ඩුකාර වරයා පවසන්නේ. දැඩි පාලිත තත්වයක් යටතේ හෝ චීනය කොරෝනා පාලනය කරගන ඇති බව සත්‍යයක්.
නිව්යෝර්ක් ටයිම්ස් වෙබ් අඩවිය, ආණ්ඩුකාර වරයා ගේ ඉන්ටර්වීව් එක පොඩ්කාස්ට් කලාට පසුවදා එනම් මාර්තු 19 වෙනිදා චීනය පළමු වතාවට එකදු අළුත් කොරෝනා රෝගියෙකු වාර්තා නොවුණු පැය 24 ක් පසු කලා. චීනය රෝගය පාලනය කරලා. කොරියාව පාලනය කරලා. අපේ තරමේ හැටියට අපිත් නරක නැහැ.
අද මුළු ලංකාවටම ඇඳිරි නීතිය. ලෝක තත්වයත් මීට වෙනස් නැහැ. එහෙම නැතුව මේ වගේ තත්වයක් කළමණා කරණය කරගන්න බැහැ. මේ තත්වයට මුහුණ දෙන්න වෙන්නේ යුද්ධයකට මුහුණ දෙනවා වගෙයි. කොයිතරම් අඩුපාඩුකම් මැද්දේ වුනත් අපේ සෞඛ්‍ය සේවයේ තත්වය පැසසිය යුතුයි. ඇඳන් 500 ක් තියෙන තැනකට ලෙඩ්ඩු 5000 ක් ආවොත් ජීවත් කරන්න තෝරාගන්නේ කවුද කියලා තීරණයක් ගන්න වෙන තැනකට අපි තල්ලු වෙන එකක් නැහැ. එහෙම තත්වයක දී ඉදිරිපත් වෙන්න හැඟීමක් තියෙන ප්‍රජාවක් අපට ඉන්නවා. නිරෝධායන මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා තමන්ගේ පුද්ගලික ගෙවල් දේපොළ දෙන්න සුදානම් මිනිසුන් පිරිසක් ඉන්නවා. ඇඳිරි නීතිය අස්සේ වීදිවල බඩගින්නේ ඉන්න අයට කෑම වේලක් දෙන පොලිස් නිලධාරීන් දැක්කා. රෝහල් සේවක සේවිකාවන් සඳහා මුඛ ආවරණ මහණ අය දැක්කා.
ලංකාවේ කොරෝනා පැතිරුණේ මෝඩ කමට ලෙඩේ සඟවාගන තම නෑදෑ හිතමිතුරන් අතර ගැවසෙන්න ගිහින් තමයි. ඒත් ඒ මෝඩකම අස්සේ අවතක්සේරු කල නොහැකි මනුස්සකමකුත් තියෙනවා. අනතුරකදී තම හිතෙශිවන්තයින් තනි කරන්න හිත දෙන්නේ නැති. ඒවා අගය කලයුතු වටිනාකම්.
ඒ අස්සේ නරුමයින් දෙතුන් දෙනෙක් කොරෝනා පැතිරවීමේ ජන සංයුතියක් ගැන අවධාරනය කරන්නත් හදනවා. කොරෝනාත් එක්කම මේ නොමිනිස්කමුත් පරාජය කල යුතුයි.
මුළු ලෝකයටම දැඩි නිද්‍රාවකට යන්නට කොරෝනා බල කරලා. නගර මං මාවත් මිනිසුන්ගෙන් හිස් වෙලා. මිනිසුන්ගෙන් හිස් වුනු මෙට්‍රොපොලිටන් වීදිවල වල් සතුන් නිදහසේ ඇවිදිනවා. වැනීසියේ බෝට්ටු පාවුනු ඇල වීදි දිගේ ඩොල්පින් ලා පීනනවා. ( ඒ කතා බොරු කියලත් කියනවා. කමක් නැහැ. ඒත් පරිසරය ට හුස්මක් ගන්න ඉඩක් ඇවිත් කියන එක ඇත්තක්. ) කඩිමුඩිය නිසා අප අහිමිකරගත් සුන්දරත්වයක් මතක් කරලා දෙනවා. මේ නිද්‍රාව ට පස්සේ ලෝකයට ඇහැරෙන්න සිද්ධවෙන්නේ අලුත් යතාර්තයකට.