මාණික්කාවතේ කෙටිහාමි මියපරලොව ගියා.යූටියුබ් ප්රතිචාරයක රසිකයෙක් ලියල තිබුණා ඒ මරණය ඔවුන්ගේ ගෙදර සිද්ධ වුණු එකක් තරමටම හිතට දැනුන කියල.කෙට් හාමි මියගිය වෙලාවෙ පසුබිමින් එන කවිය විශාරද චතුර ගයාන් ජයනෙත්ති විසින් ගායනා කළේ වෙස්සන්තර වැලපුම් තාලෙට.ඒ හඬින් අවස්ථාව වඩාත් අලංකාර උනා.
දිවිය ලෝකයේ ඉඳලා
මෙලොවට ඇවිදිල්ලා
සිය පිරිවර හා සිටියා
තපසට නොගිහිල්ලා
ලොවක් බිහිකළා නිහඬව
ගත සිත දෙක හොල්ලා
මහා මිනිස් නිධානයට
සාදු කියාපල්ලා…
ජගත් චමිල කෙටිහාමි චරිතය ජීවමාන කරන්න නොසෑහෙන්න මහන්සි උනා.කෙටිහාමි චරිතය ගැටවර වියේ සිට වයස අවුරුදු අනූව දක්වා දිවෙන චරිතයක්.මේ අතර අවස්ථා දහයකට කිට්ටු ප්රමාණයක් වයසට අනුව චරිතයේ බාහිර-අභ්යන්තර වෙනස්කම් සිදු වෙනවා.මේ අවස්ථාවන්හි වෙනස ඔහු නිරූපණය කළේ පුදුම තරම් සියුම් විදිහට.ගුණාදරී ලොකු ළමයෙක් වෙච්චි දවසෙ දිය නාවන දවස එනතුරු ඇගේ මුහුණ බලන්නට එපා යැයි පිච්චී විසින් කියූ කල කෙටිහාමිට ඇතිවුණු සියුම් කම්පාව,ඒ වෙලේ ඇතිවුණු දකුණු උරහිසේ වේදනාව ඔහු මියයන තෙක්ම පවත්වාගෙන ආපු අති සියුම් විදිහ පමණක් ම උනත් ඇති මේ ගැන කතාකරන්න.තිරනාටකය එක්ක වගේම අධ්යක්ෂ වරයා එක්කත් ජගත් ඇතිකරගන්නා ගැඹුරු අධ්යාත්මික සමවැදීම හරිම මනරම් එකක්.
උමා වගේම ජගතුත් රූපගත්කිරීම් වලට පෙර අපේ ගමේ ගිහිල්ලා අපේ තාත්තගෙන් උදැල්ල පරිහරණය කරන හැටි,නියරෙ-මඩේ ඇවිදින හැටි,වී ඉහින හැටි එහෙම ගැඹුරින් අධ්යනය කළා.දෙබස් කියන හැටි-සියුම් ඉරියවු ගැන එහෙම ඉඩ ලැබෙන හැම වෙලාවෙම කතාකළා.ඇත්තටම රූපණවේදියානණි,ඒක විස්මිත කැපකිරීමක්.ඊට හදවතින්ම සුබපතමි යි කියනු වෙනුවට ‘හදවතින්ම පුදුම වෙමි’යි කියමි.
ජගත් චමිල,ඔබට ජය!