උපුටාගැනීම්විශේෂාංග

2020 දී ආණ්ඩුව වැටෙනවා

සංවාද සටහන  – බිඟුන් මේනක ගමගේ

රජයේ නව ආර්ථික දර්ශනය, විගණන පනත, සිල් රෙදි සිදුවීමට ජනපති කොමිසමක් පත්කිරීම, දඩ ගෙවීමේ පිණ්ඩපාත ව්‍යාපාරය,  20 වැනි සංශෝධනය, කෝප් කමිටුවේ ප්‍රගතිය හා සරත් ෆොන්සේකාගේ ප්‍රකාශ ගැන මෙවර සඳුඳා හමුවෙන් අදහස් දක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතායි.

ප්‍රශ්නය:- 2025 හැටියට ඉදිරි වසර අටක ආර්ථික දර්ශනය පහුගියදා රජයෙන් ඉදිරිපත් කෙරුණා. ඒ ගැන මොකද හිතන්නේ?
පිළිතුර:- ආණ්ඩුව දින සීයෙන් කියපු දේවල්වලින් මොනවද කරලා තියෙන්නෙ. විගණන පනත ගේන එක ආණ්ඩුවට රුපියලක්වත් වැය වෙන්නේ නැති එකක්නෙ. ඒකවත් ගෙනාවෙ නෑ. රස්සා දස ලක්ෂයක්, නිවාස පන් ලක්ෂයක් ගැන කිව්වා. වොක්ස්වැගන් කොම්පැනිය ආයෝජකයෝ ලංකාවට එනවා කිව්වා. ආණ්ඩුව එවැනි කතා කියන්නේ තමන් මුහුණ දෙන අර්බුද නිසාමයි. මේ ආණ්ඩුව පවතිනවාය කියන එක මුලින්ම එජාප හා ශ්‍රීලනිප පාක්ෂිකයන්ට තහවුරු කරගන්න එපැයි. ඔය 2025 කියලා එකක් දැම්මෙ ඒකට. එහෙම බැලුවාම 2025 ක් පෙන්නන එකේ තේරුම 2020 මේ ආණ්ඩුව වැටෙනවා කියන එකම තමයි.

ප්‍රශ්නය:- ජවිපෙ කිව්වෙ දැන් ජාතික ආණ්ඩුවෙ නියමිත කාලය අවසන් කියලයි. හැබැයි ආණ්ඩුව ඒ විරෝධතා ගණන් ගන්නේ නැතිව ලස්සනට යනවා නේද?
පිළිතුර:- ආණ්ඩුව ලස්සනට යනවා නම් ණය බර අඩුවෙන්න ඕනෙ. රුපියල කඩාවැටීම නතර වෙලා ආනයන අපනයන පරතරය අඩුවෙලා රටේ අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන ප්‍රශ්න නිරාකරණය වෙන්න ඕනෙ. විරැකියාවට බඩු මිලට උත්තරයක් තියෙන්න ඕනෙ. කොටින්ම ජනතාවගෙ ප්‍රශ්නවලට උත්තරයක් නැතිනම් ආණ්ඩුවක් ලස්සනට යනවා කියන්න බෑ. දැන් ලස්සන කියන්නෙ නායකයන් කන බොන අඳින පළඳින එක යාන වාහන අරගෙන සැප ගන්න එකට. ආණ්ඩුව මැති ඇමැතිලා නම් ලස්සනට ඉන්නවා.

ප්‍රශ්නය:- එහෙම බැලුවාම ජාතික ආණ්ඩුවෙ දේශපාලන දීගය ස්ථිරයි කියලා ජවිපෙ පිළිගන්නවද?
පිළිතුර:- පටන්ගන්නකොටම ජාතික ආණ්ඩුවක් තිබුණේ නෑ. ජාතික ආණ්ඩුව කියන්නේ ශ්‍රීලනිප යූඑන්පී දෙක එකතු වෙලා හොරකම් කරන එකට නෙවෙයි. මේක ජාතික ආණ්ඩුවක් කියලා අපි පිළිගන්නේ නෑ. අද ආණ්ඩුවට මන්ත්‍රීවරු රැකගන්න කප්පම් දෙන්න වෙලා තිබෙනවා. ආසන්නතම උදාහරණය අරුන්දික ප්‍රනාන්දු. ආණ්ඩුවෙ අර්බුදය කියන්නෙ රවි කරුණානායක අයින් වෙන එක හරි විජයදාසයි අරුන්දිකයි අයින් කරන එක හරි නෙවෙයි. රටේ ආර්ථික අර්බුදය, කර්මාන්ත ව්‍යාපාර කඩාවැටිලා රට එක තැන පල් වෙන එකට.

ප්‍රශ්නය:- විගණන පනත ජවිපෙන් ගේන බව කියනවා. ජවිපෙට ආණ්ඩුවෙ සහාය ලැබෙනවාද?
පිළිතුර:- විගණන පනත කියන්නෙ දින සීයෙ පොරොන්දුවක්. දැන් කොමිසම පිහිටෙව්වාට ඒකට බලයක් දෙන්නෙ නැතිව වැඩ කරන්න බෑ. විගණකාධිපතිගෙ අත් බැඳලා. රටේ යහපාලනයට නාමමාත්‍රික අර්ථයක් හෝ තිබෙනවා නම් ආණ්ඩුව හිතා මතා ඒක පරක්කු කරනවා නම් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට හෝ ඒක ගේන්න අපට යුතුකමක් තිබෙනවා. ඉතින් අපි ඒක ගේනවා. පක්ෂ විපක්ෂ වෙන එක ඒ අයගෙ වැඩක්.

ප්‍රශ්නය:- -සිල් රෙදි නඩුවේ තීන්දුව ගැන ජවිපෙ අධිකරණයට ස්තුති කළත් හිටපු ජනපති කියන්නේ ඔවුන් වැරැද්දක් කරලා නැහැ කියලයි. එතකොට ජවිපෙ කළේ වැරැදි පැමිණිල්ලක් ද?
පිළිතුර:- සිල් රෙදි සිරකරුවන් කියල කිව්වට ඔවුන් සිල් රෙදි හොරකම් කරලා නෑ. සිල් රෙදි බෙදන එකත් වරදක් නෙවෙයි. මෙතැන වරද සිල් රෙදි දේශපාලන අරමුණකට බෙදීමයි. තීරු බදු සහන සහිතව රුපියල් ලක්ෂ 6000 ක සිල් රෙදි මුළු රටටම දෙන්න පුළුවන්. අනෙක් අතට විදුලි සංදේශ නියාමන කොමිසම කොහොමද සිල් රෙදි බෙදන්නේ? එහෙමනම් බුද්ධ ශාසන අමාත්‍යංශය සැටලයිට්වලට ලයිසන් දෙන්න ඕනෙ. ඇස්තමේන්තුවක් හදලා සිල් රෙදි නැති අය සංඛ්‍යාව හොයල මහා භාණ්ඩාගාරෙන් මුදල් වෙන්කරගෙන බෞද්ධ කටයුතු කොමසාරිස් ලවා බෙදුවා නම් ඉවරයි. මෙතන ප්‍රශ්නෙ සිල් රෙද්දෙන් ඡන්දෙ කරපු එකයි.

ප්‍රශ්නය:- කොහොම වුණත් වැරැදිකරුවන්ගේ දඩ මුදල් ගෙවීමට භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතය වඩින ව්‍යාපාරයක් ද ආරම්භ කර තිබෙනවා. නඩුවට පැමිණිල්ල දාපු ජවිපෙට මේ මත සමඟ දේශපාලනිකව අවාසිසහගත තත්ත්වයක් උද්ගත වෙන්නේ නැද්ද?
පිළිතුර:- නෑ. එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද මේක කියන්නේමේ රටේ සිටින සියලුම භික්ෂූන් වහන්සේලා නෙවෙයිනෙ. එහෙම නම් හෙට අනිද්දා කුඩු ජාවාරමට හිරේ යන අයට කුඩු සිරකරුවන් වෙනුවෙන් කියලත් අරමුදල් පටන්ගනීවි. බැඳුම්කර හොරු නිසා බැඳුම්කර සිරකරුවන්ගේ අරමුදලක් ඒවි. අධිවේගී මාර්ගවලින් හොරකම් කරන අයට අධිවේගී මාර්ග සිරකරුවන්ගේ අරමුදල් හැදේවි. එහෙම ගියාම හෙට අනිද්දට ගුවන් තොටුපළ සිරකරුවන්, එයාර්ලංකා සිරකරුවන්, එයාර්බස් සිරකරුවන්, තාජුඩීන් සිරකරුවන් කියලා අය හිටීවි. ප්‍රශ්නෙ රෙද්ද නෙවෙයි. රෙද්ද බෙදුවෙ මොකටද කියන එකයි. එහෙම බැලුවොත් ඔය කිසි භික්ෂුවක් මේ වෙනුවෙන් පිණ්ඩපාතෙ වඩින්නේ නෑ.

ප්‍රශ්නය:- සිල් රෙදි නඩුවට අදාළව මහින්ද රාජපක්ෂ මහතා කරන ප්‍රකාශ අනුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංගට මෙන් අධිකරණය හමුවේ නඩු පැවැරිය හැකි යැයි රාජිත සේනාරත්න ඇමැතිවරයා පවසනවා. මේ තර්කය හරි ද?
පිළිතුර:- මේ ක්‍රියාත්මක කළේ මම දුන් නියෝග යැයි හිටපු ජනාධිපතිවරයා කිව්වාට එහෙම ඔහුට හිතෙන හිතෙන නියෝග දෙන්න බෑ. ජනාධිපතිවරයා මේක කරලා තිබෙන්නේ ඒකත් නොදැන නම් තත්ත්වය බරපතලයි. මොකද ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේ ලිඛිත නීතියකින් පවරන ලද කටයුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 170 වගන්තියෙන් පැහැදිලි කරල තිබෙනවා. ඒ හැර පාරෙ යන ගමන් හිතෙන දේවල් කරන්න බෑ. ජනාධිපති වුණා කියලා පිස්සෙක් වගේ වැඩ කරන්න බෑ. භයානකම වැඬේ ඒකවත් නොදැන ජනාධිපතිකම කරපු එක.

ප්‍රශ්නය:- කෙලින් කිව්වොත් අධිකරණය හමුවට ඔහු කැඳවිය හැකි ද?
පිළිතුර:- ඒක පැහැදිලි කරන්න මම නීතිඥයෙක් නෙවෙයි. හැබැයි ජනාධිපතිට එදා නීතිය හමුවේ මුක්තියක් තිබුණා. අද ඒක නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයා ලලිත් වීරතුංග හිරේ ගියේ මම නිසා යැයි අධිකරණයට ගිහිල්ලාම කියනවා නම් උත්තරේ අපිටත් දැනගන්න පුළුවන්.

ප්‍රශ්නය:- සිල් රෙදි බෙදිල්ලේ අග මුල හරියටම දැනගන්න ජනපති කොමිසමක් පත්කරන්න යැයි ජවිපෙ කිව්වා. හැබැයි බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දෙන්නේ නැතැයි අර්ජුන් ඇලෝසියස් කියන පසුබිමක සිල් රෙදි නඩුවට ජනපති කොමිසම් දැම්මා කියලා පලක් වේද?
පිළිතුර:- ඇලෝසියස්ගෙ කතාව වෙන එකක්. ඇලෝසියස් සාක්ෂිකරුවෙක් වගේම චූදිතයෙක්. එතකොට චූදිතයෙකුට සාක්ෂි දෙන හෝ නොදෙන එක තීරණය කරන්න පුළුවන් වගේම කොමිසමට ඔහු ඉදිරිපත් වෙන ස්වරූපය අනුව තීන්දුවක් ගන්නත් පහසු වෙනවා. කොමිසමට බල කරන්න බෑ වගේම ඔහු සාක්ෂි නොදෙනවා නම් ඔහු සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නත් පහසු වෙනවා. මගේ පුද්ගලික අදහස නම් ඔහු සාක්ෂි නොදීම වරද බාරගන්න එක සාක්ෂි දීලා වරද බාරගන්නවාට වඩා ප්‍රබලයි.

ප්‍රශ්නය:- 20 වැනි සංශෝධනයට සහාය දෙන්නේ කොන්දේසි සහිතව යැයි ජවිපෙ කිව්වා. මොනවද කොන්දේසි?
පිළිතුර:- පළාත් සභා ක්‍රමයෙ අර්බුදයක් තිබුණාට පළාත් සභා පැවැත්වුණේ එකම දවසකනෙ. ඇති වූ තත්ත්ව අනුව ඒක කෑලි කෑලිවලට කැඩුවාට එකම දවසක ඡන්දය තියන්න සංශෝධන ගේන එක හොඳයි. හැබැයි ඒ එකම දවස කියන්නෙ අවසාන පළාත් සභාව ඡන්දෙ තියලා විසුරුවන දවස නම් ඒක එතකොට ඡන්දෙ කල් දාන එකක්. මුලින් තියෙන ඡන්දත් අගින් තිබෙන ඡන්දත් මැද දිනේකට දාලා තියනවා නම් ඒක අපිට පිළිගන්න පුළුවන්. අපේ කොන්දේසිය වෙන්නේ අවසාන පළාත් සභාව හෝ මුල්ම පළාත් සභාව නොවන මැද දවසක්. ඒ දනය කලින්ම නිශ්චිත විය යුතුයි.

ප්‍රශ්නය:- ඒත් මේ ගැන අදහස් දක්වන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නම් කියන්නේ එකම දවසේ කුඩා මැතිවරණ පවත්වන රටක් ලෝකෙ කොහේවත් දැකලා නෑ කියලයි. ඇත්තටම එවැනි ලෝක සම්ප්‍රදායක් නැද්ද?
පිළිතුර:- ලෝක කොහේවත් නැති වුණාට ලංකාවෙ තිබුණනෙ. පළාත් සභා මුලින් ගෙනාවෙ වෙන වෙනම මැතිවරණ තියන්න නෙවෙයි. රුවන්වැලි සෑයේ තීත්න ගානව වගේ හැමදාම ඡන්ද තියන්නේ නැතිව පළාත් සභා, මහමැතිවරණත් එකම දවසෙක තිබ්බා නම් තමයි හොඳයි.

ප්‍රශ්නය:- ඒකාබද්ධය 20 පරාජයට දැන් සිටම සැරසෙනවා. 20ට අත උස්සලා විපක්ෂයට එන්න එපා කියලයි විමල් වීරවංශ කියන්නේ. මේ විරෝධයට පදනමක් නැද්ද?
පිළිතුර:- ඒක නම් ඔවුන්ගෙන්ම තමයි අහන්න ඕනේ. ඒගොල්ලො එක වෙලාවකට ඡන්දෙ තියන්න කියනවා. තව වෙලාවකට එපා කියනවා. එතැන තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ අර්බුදේ තමයි. ශ්‍රීලනිපය බෙදුණොත් පරාදයි කියලා ඔවුන්ම තර්ක කරමින් හිටියා. එහෙම තර්ක කළේ බෙදෙන්න නෙවෙයි. එකතුවෙන්න. හැබැයි මේ වෙනකොට ශ්‍රීලනිපයට බෙදිලා වෙන්වෙලා තරඟ කරන්න සිදුවෙනවා කියන එක පැහැදිලියි. එතකොට තමන් පරාදයි කියලා ශ්‍රීලනිප පාක්ෂිකයාම දන්නවා. දැන් තියෙන්නේ අඩුම පරාද වන මග හොයන එකයි.

ප්‍රශ්නය:- 20 වැනි සංශෝධනය සම්මත කිරීමට ජනමත විචාරණයක් හා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇතැයි වාර්තා වෙනවා. එවැනි තත්ත්වයකදි ජවිපෙ මතය කුමක් ද?
පිළිතුර:- උපකල්පන මත අපි තීන්දු ගෙන නෑ. ඉදිරියේ එන තත්ත්වයන් අනුවයි තීරණය කරන්න වෙන්නේ. ඒකත් විය හැකි දෙයක්.  අපි අහන්නේ වඩා ප්‍රායෝගික කුමක්ද? මහජන ධනය කාබාසිනියා කරලා ඡන්ද කඩනවාට වඩා එකම දිනයේ පැවැත්වීම නරක ද? ශ්‍රේෂ්ඨාධිකරණය එවැනි තීන්දුවක් ගෙන ඇත්නම් එය ව්‍යවස්ථාවට අදාළ කරුණක්නෙ. ඒ ගැන තීන්දුවක් ගත යුත්තේ ආණ්ඩුවයි. කොහොම වුණත් අපි ඕනෑම මැතිවරණයකට සූදානම්. අපිට එහෙම මැතිවරණ භීතිකාවක් නෑ. මේ වෙලාවෙ මැතිවරණ භීතිකාවක් නැති එකම පක්ෂෙ ජනතා විමුක්ති පෙරමුණ.

ප්‍රශ්නය:- කෝප් කමිටු මුල් පුටුව ජවිපෙ අතට යද්දි බොහෝ දෙනෙක් වෙනසක් වේ යැයි හිතුවා. අපේක්ෂිත වෙනස දැන් වෙලාද?
පිළිතුර:- මෙහෙමයි. ඒකෙ වෙනසක් වෙලාද නැද්ද කියන එක තීරණය කරන්න ඕනේ රටේ ජනතාවයි. නමුත් අපට සෑහීමකට පත්වෙන්න පුළුවන්. සීමාසහිතකම් තුළ වුණත් අපි වැඩක් කළා. ඒක මේ රටේ ජනතාව දන්නවා. අද ඔය සමහරු බැඳුම්කර ගැන මහ ලොකුවට කෑ ගැහුවාට ඒක යට ගහන එක වැළැකුණේ ජවිපෙ මැදිහත්වීම නිසයි. බැඳුම්කර තරම් එලියට ආවේ නැති වුණාට තවත් ආයතන ගණනාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙනවා. මුළු ආණ්ඩුවෙ සියලු වැරැදි නිවැරැදි කරන්න කෝප් කමිටුවට බෑ. නමුත් මීට කලින් කෝප් කමිටු ඉතිහාසෙ නොවෙච්ච දෙයක් දැන් වෙනවා. මේ තරම් වංචා දූෂණ මේ රටේ වෙනවාය කියන කාරණය හෙළිදරව් කරන්න අපට හැකි වී තිබෙනවා.

ප්‍රශ්නය:- නමුත් බැඳුම්කරේ හෙළිදරව් කළ බවට විවිධ පාර්ශ්ව සහතික ලියාගන්නවා නේද?
පිළිතුර:- කෝප් එකේ පරීක්ෂණයක් කරද්දී සිද්ධිය යට ගහන්න හදන මන්ත්‍රීවරු පරීක්ෂණ භාරවත් ඉන්නවා. එතකොට ඒක ටිකක් අමාරු වැඩක්. කොමිසම උගත් නීතිඥයන් එක්ක වැඩ කරද්දී අපට ඒක කරන්න සිද්ධ වෙලා තියෙන්නේ හොරුත් එක්කම ඉඳගෙනයි. එහෙම බැලුවාම ජනාධිපති කොමිසමටත් වඩා අමාරු කාරියක් තමයි අපි පාර්ලිමේන්තුවේ කළේ.

ප්‍රශ්නය:- සරත් ෆොන්සේකා මහතා ජගත් ජයසූරිය මහතාට එල්ල කරන චෝදනා යුද අපරාධ සම්බන්ධයෙන් රටට එල්ල වන චෝදනා සනාථ කරවන බවට මත පළවෙනවා. මේ ප්‍රකාශ නිකුත් කරන්නේ අවසන් යුද්ධයට අණ දුන් හිටපු හමුදාපතිවරයා කියලා සලකද්දී මෙය සරල නැහැ නේද?
පිළිතුර:- කට නිසා මාළුවා නහී කියනවා වගේ කට නිසා ෆොන්සේකා නහී කියලා තමයි කියන්න වෙන්නේ.

ප්‍රශ්නය:- මේ ප්‍රකාශ මගින් ඔහු හමුදාව පාවා දී ඇති බවත් ඒ නිසා ඇමැතිකමින් ඉවත් කළ යුතු බවත් ඒකාබද්ධ විපක්ෂය ජනපතිට යෝජනා කරනවා. ජවිපෙ මේ යෝජනාව දකින්නේ කොහොමද?
පිළිතුර:- මම නම් සරත් ෆොන්සේකා මම කියන්නේ මාව කුදලගෙන ගිය එක නිසා ජගත් ජයසූරිය මහත්තයා එක්ක මට පුද්ගලික ප්‍රශ්නයක් තිබුණත් ඒක පැත්තකින් තියලා යුද කාලයේදී මම දුන් නියෝගවලට මම වගකියනවා කියලයි. මම නොදුන් නියෝගවලට මට වගකියන්න බෑ කියලයි.

ප්‍රශ්නය:- සරත් ෆොන්සේකාගේ මේ ප්‍රකාශ සමඟ ඇතැමුන් ජවිපෙටත් ඇඟිල්ල දිගු කරනවා. යම් හෙයකින් 2010 දි ඔහු ජනපති වූවා නම් මීට වඩා නරක තත්ත්වයකට රට පත්විය හැකිව තිබුණා යැයි පළ වන මත අසාධාරණ ද?
පිළිතුර:- ඒක වැරදියිනෙ. ඒක වෙනම තත්ත්වයක් යටතෙ තිබුණු මැතිවරණයක්නෙ. 2009 යුද්දෙ දිනලා මහින්ද රාජපක්ෂ බැලට් එක වෙනුවට බුලට් එක අරගෙන ආවාම බුලට් එකක්ම ඡන්දෙට ඉදිරිපත් කරන්න අපිට සිද්ධවුණා. ඒ නිසා ඒ මැතිවරණයේදී අපි සරත් ෆොන්සේකා මහතා ජනාධිපති අපේක්ෂක හැටියට තෝරාගත්තා. ඒක ඒ නිශ්චිත මොහොතට අදාළව නිවැරැදි තීරණයක්. නමුත් ඒක සදාකාලික නිවැරැදි තීරණයක් නෙවෙයි. ඒ මැතිවරණයෙ ප්‍රතිපල ගැන අපටත් ගණන් බැලීමක් තිබුණා. ඒ ප්‍රතිපලේ අනුව තමයි අපිත් තීරණයක් ගත්තේ.

උපුටාගැනීම: ලංකාදීපයෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *