උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්රචාරක කටයුතුවල නිරතවීම ආයතන රෙගුලාසි උල්ලංඝණය කිරීමක් බවත් ඔහු දේශපාලනය හෝ ආණ්ඩුකාරධූරය යන දෙකින් එකක් තෝරාගත යුතු බවත් කැෆේ සංවිධානය පවසයි.
ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි මහතා මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා එජනිස මැතිවරණ වේදිකාවට පිවිසීම පිළිබඳ තමන් පුදුමයට හා දැඩි කනස්සල්ලට පත් වන බව නිවේදනයක් නිකුත් කරමින් කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා කියයි.
එය සදාචාර සම්පන්න නොවන ක්‍රියාවක් බවද හෙතෙම පෙන්වාදෙයි.
කැෆේ සංවිධානයේ අධ්යක්ෂවරයා සිය නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (ආ) වගන්තියෙන් ආණ්ඩුකාරවරයා හා ඔහුට අයත් රාජකාරි ගැන සදහන් වේ. ජනාධිපති විසින් ඔහුට පවරනු කටයුතු ඉටුකළ යුතු අතර එම එම කටයුතු විධායක කටයුතු වේ.
පළාත් සභාවක විධායක බලය හිමි වී ඇති පුද්ගලයා මැතිවරණයට තරග කරනු ලබන දේශපාලන පක්ෂයක ප්රචාරක කටයුතු වලට සම්බන්ධවීම තුල ඔහු ස්වාධීන පුද්ගලයෙකු නොවන බව ගම්‍ය වේ.
ගෞරවනීය තනතුරක් දරන පුද්ගලයෙකු එම පළාත් සභාවේ සභිකයින් තෝරාපත් කර ගන්නා ඡන්ද විමසීමක දී ස්වාධීන පුද්ගලයෙකු ලෙස පෙනී සිටීම වැදගත් වේ. මන්ද, ඔහු සැප්තැම්බර් 21 දින ඡන්ද විමසීමෙන් තෝරාපත් කර ගනු ලැබෙන පළාත් සභාව කැඳවීමේ බලය හා වගකීමට උර දී සිටින බැවිනි.
ආණ්ඩුකාරවරයාට පුද්ගලික දේශපාලන මතයක් දැරිය හැකි නමුත් ඔහුට දේශපාලන ක්‍රියාකාරකම් හි නිරතවීම සාදාචාර සම්පන්න නොවේ.
මන්ද ආණ්ඩුකාරවරයෙකු ජනතා සේවකයෙකු මිස පක්ෂ සේවකයෙකු නොවන බැවිනි.
උතුරු ආණ්ඩුකාර චන්ද්‍රසිරි මහතා එජනිස මැතිවරණ වේදිකාවට පැමිණීම තුළින් ඔහුගේ දේශපාලන පක්ෂපාතීත්වය හෙළි කොට ඇත.
මේ අන්දමටම වයඹ ආණ්ඩුකාරවයා ද එජනිසයේ මැතිවරණ කටයුතු සඳහා එක්වූ අතර ඔහුට එල්ල වූ විරෝධය හමුවේ මේ වන විට මැතිවරණ වේදිකාවෙන් තාවකාලිකව හෝ ඉවත්වී සිටී.
උතුරු ආණ්ඩුකාරවරයාට දේශපාලන මතයක් දැරීමට ඇති අයිතිය ගරු කරන නමුත් ඔහු එළිපිට මැතිවරණ වේදිකාවට පැමිණෙන්නේ නම් ආණ්ඩුකාරධුරයේ ගෞරවය ආරක්ෂා කොට එම තනතුරට සමුදිය යුතු යැයි කැෆේ සංවිධානය දැඩිව අවධාරණය කරයි.
එසේ නොවේ නම් මැතිවරණය අවසන්වීමෙන් පසුව සැප්තැම්බර් 21 දිනෙන් පසුව උතුරු පළාත් සභාවේ ආණ්ඩුකාර ධූරය දැරීමට ඔහුට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැත.
කීර්ති තෙන්නකෝන්
විධායක අධ්යක්ෂ/කැෆේ සංවිධානය