ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ මන්ත්‍රීවරයකු වූ නාලන්ද එල්ලාවල වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් පිරිසකට තුවාල සිදු කිරීමේ චෝදනා ලබා සිටි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය.
1997 පෙබරවාරි 11 වන දින හෝ ඊට ආසන්න දිනයක කුරුවිට නගරයේදී නාලන්ද එල්ලාවල මන්ත්‍රීවරයාට සහ කොස්තාපල් ටීඑම් ජයසේනට වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් විත්තිකරුවන් හත් දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා පත්‍ර ගොනු කරනු ලැබ තිබුණි. සුසන්ත පුංචිනිලමේ එවකට එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරිකයකු වූ අතර, නාලන්ද එල්ලාවල ඝාතනය රට පුරා ප්‍රබල ආන්දෝලනයකට ලක් වූ සිදුවීමකි.
සියලු විත්තිකරුවන් නිදහස්
විදේශ රැකියා පිලිබඳ අමාත්‍ය ඩිලාන් පෙරේරා, නාලන්ද එල්ලාවල මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරී පොලිස් කොස්තාපල් උපාලි සිරිසෝම ඇතුළු තිදෙනකුට තුවාල සිදු කිරීමත් විත්තිකරුවන්ට එරෙහි චෝදනා අතර විය.
මූලික නඩු විභාගයේදී ඇතැම් විත්තිකරුවන් නිදහස් වීම සහ නඩු විභාගය අතරතුරදී මියයාම හේතුවෙන් මේ වන විට විභාගය පැවැත්වුනේ අමාත්‍ය පුංචිනිලමේ ඇතුළු විත්තිකරුවන් සිවු දෙනකුට එරෙහිව පමණි.
එයින් තිදෙනකු ඔවුන්ට එරෙහි චෝදනාවලින් පසුගිය නොවැම්බර් 12 වැනි දින නිදොස් කොට නිදහස් කෙරිණ.
පැමිණිල්ල මගින් ප්‍රමාණවත් සාක්කි ඉදිරිපත් කර නොමැති බැවින් විත්තියේ සාක්කි නොකැඳවාම අමාත්‍ය පුංචිනිලමේ ද චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට රත්නපුර මහාධිකරණ විනිසුරු අචල සිංගප්පුලි අද නියෝග කළේය.
මේ අනුව නාලන්ද එල්ලාවල ඝාතන නඩුවේ සියලුම විත්තිකරුවන් මේ වන විට නිදහස ලබා ඇත.
BBC Sinhala News