කේ. සංජීව
යහපාලන ආණ්ඩුවට දැන් ආසන්න වශයෙන් අවුරුදු දෙකකි. ජනවාරි 8 වෙනස තුළින් රට ගොඩනගන්නට නීතිය සාධාරණය සපිරි රටක් නිර්මාණයට පැමිණි ජනපතිවරයාට දැන් වයස අවුරුදු දෙකහමාරකි. යහපාලනය තුළින් ජනතාව අපේක්ෂා කළ ජනතා ඉල්ලීම ඉටුකිරීම පැත්තෙන් ආණ්ඩුව මේ වනවිට සිටින්නේ පනහට පනහ තත්ත්වයකය. රාජපක්ෂවරුන්ට විරුද්ධව නැගෙන ඝාතන සහ පැහැරගැනීම් පිළිබද චෝදනා පිළිබඳ පරීක්ෂණ තවමත් යන්නේ ඉබි ගමනින්ය. ආණ්ඩුව වෙනස්වූවාට රජය වෙනස් වී නැති තත්ත්වය තුළ මේ තත්ත්වය එක්තරා දුරකට සාමාන්‍ය තත්ත්වයක් බවත් කෙනෙකුට විග්‍රහ කළ හැකිය. එහෙත් අවසාන විග්‍රහයේදී ජනතාවට එවැනි ගැලවීමේ ප්‍රකාශවලින් වැඩක් නැත.
මේ තත්ත්වය තුළ දැනට තිබෙන අධිකරණයේම කොටසක් රාජපක්ෂවරුන්ට විරුද්ධ නඩු දිනපතා ඇසීම සඳහා වෙන් කිරීමට තීරණයක් ගත් බව ආණ්ඩුවේ ඇමති මණ්ඩලය කියයි. එය හොඳ තත්ත්වයකි. අනෙක් පැත්තෙන් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු කියන්නේ රහස් පොලිසිය වැනි පරීක්ෂණ ආයතන සෑම කටයුත්තක් සඳහාම නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පැතීම අනවශ්‍ය බවය. එයද සත්‍යයකි. ගමේ හොරෙන් පොල් කැඩූ පොල් හොරා පිළිබඳව කටයුතු කිරීමට අදාළ පොලිසිය නීතිපති උපදෙස් ගන්නේ නැත. දැන් පෙනෙන්නට තිබෙන්නේ නීතිපති උපදෙස් සඳහා යම් ගැටලුවක් පොලිසිය ඉදිරිපත් කළ පසු එය පසුගිය පාලන ප්‍රධානීන්ට විරුද්ධව නම් ඒ පිළිබඳව උපදෙස් දෙන්නට සෑහෙන්න කාලයක් අදාළ ආයතනය ගන්නා බවය. ඒ ආණ්ඩුව වෙනස් වුණත් රජය තවමත් මහින්ද රාජපක්ෂගේ නිසාය. මේ තත්ත්වය හොඳටම පෙනෙන එක සිදුවීමක්ය රවිරාජ් ඝාතනය පිළිබඳව පරීක්ෂණ අවසන් වන්නටත් ප්‍රථම ඒ සිද්ධිය අරබයා නඩු පැවරීම. මේ නඩුවේ තීන්දුව අපි කවුරුත් පසුගිය කාලයේ දැනගතිමු. එයට අනුව නම් කිසිවෙකු හෝ රවිරාජ් ඝාතනය කර නැත. දැන් දැනගන්නට තිබෙන්නේ මේ සිද්ධියේ තවත් ප්‍රධාන සැකකරුවෙකු මේ වනවිට රට අතහැර ගොස් ඇති බවය. මෙම සිද්ධියට අදාළව නීතිපති දෙපාර්තමේන්තුවේ හැසිරීම පිළිබඳව අපි කිහිපවරක් ලීවෙමු. එහෙත් එය රාජපක්ෂවරුන් බලාපොරොත්තුවූ ගමනාන්තයට ළඟා වුණේ යහපාලනය පිළිබඳව විශ්වාසය තැබූ ජනතාව තුළ සැකසංකා මෝදු කරමින්ය. මේ තත්ත්වය තුළ රහස් පොලිස් නිලධාරීන් කියන්නේ නීතිපති නිලධාරින් සතු දැනුම තමන්ට තිබුණේ නම් මේ වන විට මේ සිද්ධිවලට අදාළ චුදිතයන් හිරගෙවල්වලට දක්කා අවසන් බවය. මේ සියලු තත්ත්ව තුළ පසුගිය කාලයේදී එක්නැළිගොඩ සිද්ධිය, තාජුදීන් ඝාතනය පිළිබඳ සිද්ධිය ආදි සිද්ධීන් පිළිබද පරීක්ෂණ යටගිය බව පෙනුණි. එහෙත් අද දවසේ එහි තත්ත්වය සතුටුදායකය. නැවත මේ සිද්ධි අරබයා පරීක්ෂණ සක්‍රිය තලයක ගමන්කරමින් තිබෙයි. ඒ සමගම රාජපක්ෂවරුන් සහ ඔවුන්ගේ ගෝලයන් කලබලවී ඇති බවද පෙනෙයි. ඔවුන් දැන් දේශපාලන පළිගැනීම් කියන සටන්පාඨය නැවත කරළියට ගෙන ඇත.
රහස් පොලිසිය ඉදිරිපිට මාළුපාන් යුද්ධය
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රිය බිරිඳ ශිරන්ති රාජපක්ෂ පසුගිය අගෝස්තු 15වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබිණි. ඒ රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක පරීක්ෂණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටය. එහිදී ඇගෙන් පැය දෙක හමාරකට අධික කාලයක් ප්‍රශ්න කෙරිණි. එහිදී ප්‍රශ්න කර තිබුණේ රතුකුරුස සංවිධානයෙන් සමාජ සුභසාධන අමාත්‍යාංශයට ලබාදුන් ඩිපෙන්ඩර් රථයක් සිරිලිය සවිය සංවිධානයට ගෙන පසුව තමන්ගේ දෙවැනි පුතා වන යෝෂිත රාජපක්ෂට පාවිච්චිය සඳහා ලබාදීමය. ඒ මෙම ඩිපෙන්ඩර් රථය පෙර සඳහන් ඝාතනය සඳහා යම් ලෙසකින් හෝ පාවිච්චි කළාද යන සැකය නිසාය. ඒ සැකයට තුඩු දෙන බොහෝ කරුණු මෙම ඩිපෙන්ඩරය සමග ගැටගැසී ඇති නිසාය. මෙලෙස ශිරන්ති රාජපක්ෂ මහත්මිය රහස් පොලිසියට කැඳවීමත් සමග රාජපක්ෂවරුන් මෙන්ම ඔවුන්ගේ අනුගාමිකයන්ද සිතුවේ දැන් නම් ඇය අත්අඩංගුවට ගනීවි කියාය. ආණ්ඩුවට ඕනෑ නම් සිරිලිය සවිය ගිණුම පිළිබඳ සිද්ධියේදී ශිරන්ති රාජපක්‍ෂ අනිවාර්යෙන්ම අත්අඩංගුවට ගන්නට තිබුණු බවද මෙහිදී මතක් කළ යුතුය. (මේ අත්අඩංගුවට ගැනීම වර්තමාන ජනපතිවරයා විසින් වැළකු බව අමාත්‍ය එස්බී දිසානායක එවකදී මාධ්‍යයට කිවේය). එනිසාම එන්න කියූ පළමුවර ඇය රහස් පොලිසිය මඟ හැරියාය. දෙවන වර ගියේ මහා සෙනඟක් සමගය. එලෙස රහස් පොලිසිය ඇතුළට ගිය ඇය එළියට ආවේ විහාර මහා දේවිය නැතිනම් සිංහල ජාතියේ අම්මා ලෙසය. කොළඹ මහින්ද කහඳගම වැනි දේශපාලකයන්ගේ මාළු පාන් ගෙඩියට සහ රුපියල් 500ක දීමනාවකට පැමිණි ජනතාවක් රහස් පොලිසිය ඉදිරිපිට ඇය පිළිගන්නට සැදීපැහැදී සිටියෝය. ඔවුන් එකෙකු සමෘධිය කපන්න එපා යනුවෙන් හඬ නගන විට තවත් එකෙකු අපේ අම්මා අත්අඩංගුවට ගන්න එපා යැයි හඬ නැගු බව එම ස්ථානයේ සිටි රහස් පොලිස් නිලධාරියෙක් මේ ලියුම්කරුට පැවසුවේය. ඔහු වැඩිදුරටත් කීවේ තමන්ගේ නිලධාරීන්ටද අදාළ උද්ඝෝෂණය සංවිධානය කළ පිරිස මාළු පාන් සහ සල්ලි දී ඇති බවය.
මෙම සිදුවීම් තුළින් මේ පැමිණෙන රාජපාක්ෂික ජනතාව පිළිබඳව අපට යමක් සිතාගන්නට අසීරු නැත. අම්මා බේරාගැනීමේ මේ අවස්ථාවට පසුගිය කාලයේ සාටකය පිටුපසින් වැටී මුදල් යහමින් ඉපැයූ කලාකරුවන් කියාගන්නා නළාකරුවන්ද කාරියන්ද පැමිණ සිටිනු දැකගත හැකිවිය. ඒ එදා රහස් පොලිසිය පිටත තත්ත්වයයි. එදා ඇතුළත තත්ත්වය මීට වඩා නාටකීය වී ඇත.
දැනගන්නට තිබෙන ලෙස ප්‍රශ්න කරනවිට ඒ අසලින් ඇගේ නීතිවේදියා සිටුවන්නට පුළුවන්දැයි හිටපු ජනාධිපතිවරයා විමසා ඇත. අන්තිමට තමන් කළ ප්‍රකාශය කියවා බලා අත්සන් කරන්නැයි රහස් පොලිස් නිලධාරීන් කියූ විට ඇය කියා ඇත්තේ තමන්ට සිංහල බැරි බවය. ජාතියේ අම්මාට සිංහල කියවන්නට බැරි බව ඇය වෙනුවෙන් මාළු පාන් ගෙඩියෙන් කොළඹට පැමිණි ජනතාව නොදැන සිටින්නට ඇත. එදාම අතුරුදන් රොකට්ටුවක් පිළිබඳ සිද්ධියකට පරීක්ෂණ පවත්වන එෆ්සීඅයිඩීය රාජපක්ෂ පවුලේ බාලයාද අදාළ පොලිස් මුලස්ථානයට කැඳවා තිබුණි. එම සිද්ධියටද එකල මේ රොකට්ටුව යවන විට ලැබුණු ප්‍රසිද්ධියම ලැබුණු බවක් පෙනෙන්නට තිබුණි. එහිදී රෝහිත කියුවේ එළියේ කියන දේවල්වලට වැඩිය ඇතුළ හොඳ බවය. ඔහු වැඩිදුරටත් කියුවේ, රොකට් සයන්ස් එක ගැන ලංකාවේ ඉන්න එකම ප්‍රාමාණිකයා තමා බවය. ඒ නිසා අදාළ නිලධාරීන්ට තමාගෙන් හරිහැටි ප්‍රශ්න කරන්නට බැරිවුණ බවය. යැව්වා කිවූ රොකට්ටුවක් ගිහිං නැතිනම්, එයට භාවිත කළ මුදල්වලට වෙච්චි දෙයක් නැතිනම්, ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන්නට අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාව අවශ්‍ය වන්නේ නැති බව අප මේ පවුලට සහ ඔවුන් පසුපස තවමත් වැටී දඟලන සහචරයන්ට මතක්කර දිය යුතුය. ඉන් අනතුරුව අම්මාගෙන් ප්‍රශ්න කළ කාරණය පිළිබඳවම ප්‍රශ්න කරන්නට හිටපු නාවික හමුදා පුතා යෝෂිත රාජපක්ෂද පසුගිය 16 වැනිදා රහස් පොලිසිය වෙත කැඳවා තිබූ අතර එම අවස්ථාවට සහචරයන් සහභාගි කළේ නැත. ඒ අත්අඩංගුවට ගැනීමේ අවදානම ශිරන්ති යෙහෙන් පැමිණීමේ තත්ත්වය මත මගහැරී ඇතැයි ඔවුන් සිතු නිසා වන්නට ඇත.
තාජුදීන් පරීක්ෂණ
ඉහත තත්ත්වයන් එලෙස පවතින විට රහස් පොලිසිය පැත්තෙන් එන ආරංචි කියන්නේ මේ සිද්ධියට අදාළ පරීක්ෂණ නිසි පීල්ලේ නියමිත විදියට ඉදිරියට යන බවය. එමෙන්ම අදාළ දිනයේදී සහ ඊට පසු දින ජනාධිපති කාර්යාලයේ ඇමතුම් ආදි දුරකථන ඇමතුම් දත්ත පිළිබඳව සියුම් විශ්ලේෂණයක් තවමත් සිදුවන බවය. එමෙන්ම එදින තාජුදීන් පසුපස පැන්නු පුද්ගලයන් සමහර දෙනෙකු හඳුනාගෙන ඇති බවය. මේ සිද්ධියට සැක සමහර හමුදා නිලධාරීන් පිළිබඳව සහ මේ සිද්ධියට ඔවුන්ගේ බැඳියාව තහවුරු කරගෙන ඇති බවය. මේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේදී සිදුවෙන අත්අඩංගුවට ගැනීම් ලංකාවේ දේශපාලනයට මෙන්ම සමාජ සංහිඳියාවටද අතිශයින් වැදගත් නිසා මේ අත්අඩංගුවට ගැනීම සියයට සියයක් නිවැරදි තත්ත්ව යටතේ සිදුවිය යුතු බව රහස් පොලිස් නිලධාරීන්ගේ මතයයි. එහෙත් මේ නිවැරදි අවස්ථාවම එනකම් කල් මැරීම මේ ඝාතනයන් පිළිබඳව නීතිය ක්‍රියාත්මක වියයුතු යැයි තදින් විශ්වාස කරන ජනතාවගේ කනස්සල්ලටද, චූදිතයන්ට ඩීල් මතින් ගැලවී යෑමටද අවස්ථාව සලසා ඇත. ඒ පිළිබඳව පරීක්ෂණ භාර නිලධාරීන් කල්පනා කළ යුතුය. අනෙක් පැත්තෙන් මේ පරීක්ෂණ සඳහා නීතිමය උපදෙස් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉක්මනින් නොලැබී යෑමද මේ පරීක්ෂණ ප්‍රතිඵල ප්‍රමාදයට හේතුවී ඇත.
එක්නැළිගොඩ සිද්ධිය
එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම පිළිබඳ පරීක්ෂණද මේ වනවිට 75%ක් පමණ අවසන්වී ඇතැයි දැනගන්නට ලැබෙන අතර ඉතිරි දුර තීරණය යුද හමුදාවේ සහයෝගය මතම බව දැනගන්නට ඇත. අපරාධකරුවන් සොයාගෙන වින්දිතයන්ට සාධාරණය ඉටුකිරීම හමුදාවේ යුතුකමක් ය. එහෙත් පසුගිය කාලයේදී සිදු නොවුණේමද එයමය. රහස් පොලිසිය මේ පරීක්ෂණයට අදාළව යුද හමුදාව වෙතින් සොයාගත යුතු තොරතුරු වාර්තා ඉල්ලන්නේ 2015 සැප්තැම්බර් මාසයේ සිටය. ඒ යුදහමුදාවේ බුද්ධි අධ්‍යක්ෂගෙන් සහ යුද්ධ හමුදාපතිවරයාගෙන් අධිකරණයේ ඍජු නියෝග මතින්ය. එහෙත් හමුදාව කරන්නේ නැහැ යයි කියා අත පිසදා ගැනීම හෝ අතරින්පතර තොරතුරු ලබාදී පරීක්ෂණ කණ්ඩායම අතරමං කිරීමය. මෙය එක මට්ටමකින් අධිකරණය හෑල්ලුවට ලක්කිරීමක් වන අතර අපරාධකරුවන්ට දඬුවම් ලබාදී නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ හමුදාවේ වගකීම ගඟේ යැවීමකි. ගිරිතලේ 3 වැනි සන්නද්ධ බුද්ධි බලකා කඳවුරේ 2009 අගෝස්තු 01 සිට 2009 අගෝස්තු 31 දක්වා සහ 2010 ජනවාරි 01 සිට 2010 ජනවාරි 31 දක්වා කාලය තුළ රාජකාරි කළ නිලධාරීන් සහ සෙසු නිලයන්ගේ නම, ලිපිනය, ජාතික හැදුනුම්පත් අංකය ආදි වාර්තා, ඉහත කාලයටම අදාළව කඳවුරු දොරටුවේ භාවිත කරන ලද වාහන ඇතුළත් වීමේ සහ පිටවීම සම්බන්ධ සටහන් යොදන ඩීඕබී ලේඛන, මේ කාලයටම අදාළව කඳවුරු දොරටුවේ භාවිත කරනු ලැබූ නිලධාරීන් සහ සෙසු නිලයන් ඇතුල්වීමේ සහ පිටවීම පිළිබඳ ඩීඕබී ලේඛන, කඳවුරේ නිලධාරින් සහ සෙසු නිලයන් භාවිත කළ වාහනවලට ඉන්ධන ලබාගැනීම සඳහා ලබාදෙන ටී80 පෝරම සම්බන්ධ වාර්තා, ඉහත කාලය තුළ කඳවුරේ බුද්ධි කාර්යාලයේ පවත්වාගෙන ගිය ඩීඕබී ලේඛන, ඉහත කාලය තුළ නිවාඩු ලබා පිටවීම සහ පැමිණීම සටහන් කරන ලේඛන, මෙම කාලය තුළ කඳවුර තුළ නිලධාරීන්ට සහ සෙසු නිලයන්ට ආහාර වියදම් ලබාදීම පිළිබඳව වූ ලේඛන, ඉහත කදවුරේ ඉහත නිලධාරින් දෙනික පුහුණුවීම් සහ පාඨමාලා සඳහා පිටවීම සහ පැමිණීම පිළිබඳ සටහන් තැබූ ලේඛනයන්, ඉහත කාලය තුළ කඳවුරේ නිලධාරීන් සහ සෙසු නිලධාරීන් භාවිත කළ දුරකථන සම්බන්ධ විස්තර ඇතුළත් වාර්තාවක්, ඉහත කඳවුරේ අණදෙන නිලධාරියා විසින් කඳවුරේ සිට කිලෝමීටර් 20කට වඩා දුර වාහනයෙන් ගමන් කිරීම සඳහා අනුමැතිය ලබාගන්නා වාර්තාවන් ආදිය පිළිබඳව තොරතුරු පරීක්ෂණ කණ්ඩායම ඉල්ලා ඇත. තවමත් ලැබී තිබෙන්නේ අසම්පූර්ණ වාර්තාවන්ය. සමහර වාර්තාවන් මෙම කඳවුර තුළ නඩත්තු කර නැතැයි ආදි බොරුද හිටපු හමුදාපතිවරයා සහ හිටපු බුද්ධි අධ්‍යක්ෂ විසින් අධිකරණයට පවසා ඇත. එහෙත් හමුදාවේ සහ මෙම කඳවුරේම පරිපාලනය භාර නිලධාරීන් අදාළ ලේඛණයන් නඩත්තු කළ බව කියති. මෙයින් පෙනෙන්නේ මේ මිනීමරුවන් ආරක්ෂා කරගන්නට හිටපු හමුදාපතිවරයා මෙන්ම බුද්ධි අධ්‍යක්ෂවරයාද කටයුතු කර ඇති බවයි.
එහෙත් වර්තමාන යුද හමුදාපතිවරයා මේ තොරතුරු සියල්ල ලබාදීමට එකඟවී ඇති බව දැනගන්නට ඇත. එය සතුටට කරුණකි. එහෙත් මේ තීරණය ක්‍රියාත්මක වීමද දිනෙන් දින කල් යන ලකුණු දැන් පහළවී ඇත. ඒ රාජපක්ෂ බලපෑම තවමත් යුද්ධ හමුදාව තුළ ප්‍රබල නිසාදැයි අපි නොදනිමු. හමුදාවේ වැරදිකරුවන් සිටියා නම් ඔවුන්ට නොපමාව දඬුවම් ලබාදී හමුදාව සුද්ද කළයුතු බව වර්තමාන හමුදාපතිවරයාගේ අදහස බව පෙනෙයි. මේ නීති විරෝධී වැඩවලට අණදුන් පුද්ගලයන් කොටුකර ගත යුතු බව ඔහුගේ අදහසයි. මේවා හොඳ තත්ත්වයන්ය. දැන් තිබෙන්නේ මේවා ක්‍රියාත්මක කර පෙන්වීමය.
නාවික හමුදා ඝාතන
මරා, බඩ කපා, කම්බි කණු බැඳ, මුහුද මැදට දැමූ හැටි විස්තර කරමින් රාවය නාවික ‘රණවිරුවන්’ කළ අපරාධවල තොරතුරු හෙළිකළේය. දැන් දැන් මේ සෙල්ලමේ තව තවත් තොරතුරු පරීක්ෂණ කණ්ඩායම සොයාගෙන ඇත. එහි ප්‍රතිඵල ලෙස මේ පරීක්ෂණය මෙහෙයවන රහස් පොලිසියේ ප්‍රධාන නිලධාරියාට මරණීය තර්ජන නාවික හමුදාව තුළින්ම එල්ලවී ඇතැයි දැනගන්නට ලැබෙයි. මේ අපරාධ කළවුන්ට දඬුවම් ලබාදී හමුදාවේ කීර්තිය රැකගන්නවා වෙනුවට නාවික හමුදාව අපරාධකරුවන්ගේ මගම යෑම පිළිබඳව යහපාලන ලොක්කන් සැලකිල්ලට ගතයුතුය. මාධ්‍යට චණ්ඩි පාට් දමා සවුත්තු වූ නාවික හමුදා ලොක්කාට සේවා දිගු ලබාදීමේදී ජනපතිවරයා මෙන්ම අගමැතිවරයාද මේ තත්ත්වයන් සැලකිල්ලට ගතයුතුය.
මේ වෙනකොට පරීක්ෂණ කණ්ඩායම් අධිකරණයට වාර්තා කරන්නේ ත්‍රිකුණාමලයේ මේ ගන්සයිඞ් පැහැරගැනීම් සහ ඝාතන පිළිබඳව සියලු තොරතුරු එවක නාවික හමුදාවේ ඉහළම නිලධාරියා වන වසන්ත කරන්නාගොඩ දැන සිට ඇති බවයි. ඒ කතාව ඇත්ත නම් අපට කියන්නට වෙන්නේ මේ ඝාතන සහ කප්පම් ක්‍රියාවලිය එවක නාවික හමුදාපතිවරයාගෙන් අධීක්ෂණයෙන් සිදුවූ බවය. මේ ගත්ත මුදල් ඔහුගේ ගිණුම්වලටත් ගියාද කියා අපට අහන්නට අයිතියක් එනිසා ඇත. මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන සම්පත් මුණසිංහ පිළිබඳව වසන්ත කරන්නාගොඩ පොලිසියේ අනුර සේනානායකට පැමිණිලි කරන්නේ 2009 මැයි 28 ය. ඒ වනවිට මේ තොරතුරු සියල්ල ඔහුට වාර්තාවී ඇති බව පොලිසිය දැන් සොයාගෙන ඇත. මේ ඝාතන සහ කප්පම් කල්ලිය තුළ සිටි තමන්ගේ පුද්ගලික ආරක්ෂකයා පිළිබඳව පමණක් ඔහු පැමිණිලි කරන්නේ ඔහුට මේ නිලධාරියා සමග පුද්ගලික කෝන්තරයක් තිබුණ නිසාද? මේ පිළිබඳව විමර්ශනය කරන රහස් පොලිස් නිලධාරින් කියන්නේ මේ පැමිණිල්ලද සැක සහිත බවය. ඒ මන්ද, මේ සියල්ලන්ම කාලයක් හොඳින් එක මල්ලේ ලුණු කෑ උදවිය නිසාය. සම්පත් මුණසිංහට වසන්ත කරන්නාගොඩගේ සමීපතමයකු සමග හිතවත්කමක් තිබුණු බවට කරන්නාගොඩ සැකකළ නිසා ඔහු සම්පත් මුණසිංහ පිටින් මේ සියලු පවු යැවීමට කටයුතු කළාදැයි සැකයක් ඇති බවද දැනගන්නට ඇත. කෙලෙසක හෝ මේ ඝාතන සහ පැහැරගැනීම් පිළිබඳව තොරතුරු පත්තුවන්නේ ඔහු පොලිසියට කරන පැමිණිල්ල ඔස්සේ පොලිසිය කරන පරීක්ෂණවල ප්‍රතිඵල මතය. දැන් පෙනෙන්නට තිබෙන්නේ ඔහුගේ පැමිණිල්ල ඔහුටම පාරාවළල්ලක් වී ඇති බවය.
සමහර රහස් පොලිස් නිලධාරීන් කියන්නේ මේ ඝාතනවලට අදාළව දැනට හෙළිවී තිබෙන තොරතුරු අනුව වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගතයුතු බවය. එය එසේ නම් මේ හිටපු ඉහළ නිලධාරියා තවමත් සුවසේ නිදැල්ලේ සිටින්නේ නීතිපති දෙපාර්තමේන්තුව අදාළ උපදෙස් නියමිත ලෙස නොදෙන නිසාද ප්‍රශ්න කළයුතුය. එයට ප්‍රතිපක්ෂව එක මල්ලේ ලුණු කෑ නාවික හමුදාවේ ඉහළ නිලධාරින් ට්‍රැවිස් සින්නයියා මහතා මීළඟ නාවික හමුදාපතිවරයා වීම ඇහිරීම සඳහා වර්තමාන නාවික හමුදාපතිවරයාට සේවා දිගුවක් ලබාගැනීමට වෙහෙසෙමින් සිටින බව වාර්තාවෙයි. මේ කතා කෙසේ වුවත් රහස් පොලිසිය මේ සියලු තත්ත්වයන් සහ පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට වර්තා කළේය. ඒ ගන්සයිඞ් පින්තූරද සමගින්ය. එනිසා මේ පරීක්ෂණවලදී වැරදිකරුවන් ලෙස පෙනීයන තෝරු මෝරුන් සියල්ලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම කෙරෙහි නීතිපති දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවිය යුතුය.
උපුටාගැනීම: රවයෙන්