කේ. සංජීව
මම ගිරිතලේ වැඩ කළේ 2009 අගෝස්තු මාසයේ ඉඳලා. ඒ කර්නල් ෂම්මි කුමාරරත්න යටතේ. ඒ කාලේ එල්ටීටීඊ සංවිධානයේ රැඳවියෝ 9 දෙනෙක් විතර විශේෂිත ස්ථානයක ගිරිතලේ කඳවුරේ රඳවලා හිටියා. ඒ අතරේ සුමතිපාල සුරේෂ් කුමාර් නැත්නම් තවේන්ද්‍රන් නැත්නම් මුරලි කියලා කෙනෙක් සිටියා. දවසක් මගේ රාජකාරි දුරකථනයට කෝල් එක ගත්ත සර් (ෂම්මි කුමාරරත්න) කෝ මුරලි ඉන්නවාද මුරලිට දෙන්න කියලා කිව්වා. ඊට පස්සේ මම මුරලිට ෆෝන් එක දුන්නා. මුරලි කතා කරලා ඉවර වුණාට පස්සේ මම ආයෙත් ෆෝන් එක ගත්තා. ඒ වෙලාවේ සර් කිව්වේ මම මුරලිට වැඩක් කිව්වා, ඒක ලේකම්තුමාගේ වැඩක්. ඒක අද අනිවාර්යයෙන්ම කෙරෙන්න ඕනෑ. ඒක ගැන මුරලිත් එක්ක කතා කරලා කරන්න කියලා. ඊළඟට මුරලි මට කිව්වා අද නාදන් (කෝප්‍රල්) කොළඹ යනවා. නාදන්ට ප්‍රගීත් එක්නැලි ගොඩ මුණගස්සන්න කියලා, කර්නල් කිව්වා කියලා. ඒක ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙසක් කියලාත් කිව්වා කියලා මිනිහා මට කිව්වා.’ මේ ප්‍රගීත්ගේ දෙවන පැහැර ගැනීම පිළිබඳව සාජන් මේජර් (විශ්‍රාමික) රන්බණ්ඩා රහස් පොලිසියට දෙන කටඋත්තරයෙන් බිඳකි. මෙතැන සංවාදය යන්නේ සාජන් මේජර් රන්බණ්ඩා සහ මුරලි අතරය. ඔවුන්ගේ කතාවේ නිමිත්ත ප්‍රගීත්ය. ප්‍රගීත්ගේ දෙවන පැහැර ගැනීමට පසුබිම සැකසෙන්නේ මෙලෙසය. අපි එහි මූලික තොරතුරු පසුගිය සතියකදී කියවූවෙමු.
දෙවන පැහැරගැනීම
කර්නල් ෂම්මි කුමාරරත්නගේ ඉහත සඳහන් දුරකතන ඇමතුමට පසුව, මුරලි ඒ නියෝගයන් නිසි ලෙස පිළිපදිමින්, ප්‍රගීත් සහ ප්‍රගීත් සොයා කොළඹ පැමිණෙන කෝප්‍රල් නාදන් අතර සම්බන්ධය සාදා ඇත. මේ පැහැර ගැනීම දුර කාලයක සිට සැලසුම් සහගතව කළේදැයි සැක සිතෙන්නේ පළමු පැහැර ගැනීමට ප්‍රථම කෝප්‍රල් නාදන් හා ප්‍රගීත් අතර සම්බන්ධයක් හැදීම තුළය. ඒ ප්‍රගීත්ගේ හබරණ ඉඩමේදී මුණගැසුණු දිනයේදීය. ප්‍රගීත් දෙවන වර පැහැර ගැනීමට ප්‍රථම ඔහුට කතාකළ මුරලි ඔහුට කීවේ කුමක්ද?..
“නාදන් අද කොළඹ එනවා. මම එයා අතේ ලිපි කිහිපයක් එවනවා. ඒවා භාරගන්න.” මුරලි ප්‍රගීත්ට මෙලෙස කියන්නට ඇත. එම ලිපි භාරගැනීමට ප්‍රගීත් එකඟවී ඇත. ඒ ලිපිවල සැඟවී මාරයා ගිරිතලේ සිට පැමිණෙනු ඇතැයි ප්‍රගීත් නොසිතන්නට ඇති. එම එකඟවීමෙන් පසුව ප්‍රගීත් සොයා කර්නල් ෂම්මි කුමාරරත්න, කෝප්‍රල් ප්‍රියන්ත කුමාර රාජපක්ෂ නැතිනම් නාදන් සහ තවත් හමුදා කණ්ඩායමක් 2010 ජනවාරි 24 වැනි දින ගිරිතලේ සිට බත්තරමුල්ල ප්‍රදේශයට පැමිණ ඇත.
ඉන්පසු මේ කතාව ගැටගැසෙන්නේ කොතැනටද?
දැන් අපට 2010 ජනවාරි 24 වැනි දිනයේ ලංකා ඊනිව්ස් රාජගිරිය කාර්යාලයේ සිදුවීම දෙසට ගිය හැකිය. එදින හවස 6ත් 7ත් අතරදී රාජගිරිය ඊනිව්ස් කාර්යාලය ඇතුළත වූ සිදුවීමක් පිළිබඳව රහස් පොලීසියට ප්‍රගීත්ගේ මිතුරු නන්දන කියන්නේ මෙවැනි කතාවක්ය.
“මම හවස 6ට විතර රාජගිරියේ ඊනිව්ස් කාර්යාලයට ගියා. හවස 7ට විතර ප්‍රගීත් කාර්යාලයට ආවා. ඒ ඇවිත් දුරකථන ඇමතුමකට කතාකරලා කාට හරි බැලුම්මහරින් රාජගිරියට එන්න පාර කියනවා ඇහුණා. ඊට පස්සේ යාළුවෙක් එනවා කියලා යන්න ගියා.”
මෙලෙස ප්‍රගීත් කතාකර තිබෙන්නේ කාහටද? ඒ නාදන්ට වියයුතුය. ඔවුන් රාජගිරියට එන තුරු නොඉවසිල්ලෙන් බලාසිටින ප්‍රගීත් ඔවුන්ට ලක්ෂ්මන් වසන්ත කුමාරගේ දුරකථනයෙන්ද ඇමතුමක් ලබාගෙන ඇත. ලක්ෂ්මන් කියන්නේ ඒ ඇමතුම ගත් දුරකතන අංකය 077-0375704 බවය. මෙයින් පෙනෙන්නේ ප්‍රගීත් හමුදා බුද්ධි අංශ මකුළු දැලට හසුවී තිබූ අයුරුය. මෙලෙස තමන් දුරකතන ඇමතුම් දෙමින් හමුවෙන්න මගබලා සිටියේ මාරයා බව ප්‍රගීත්ට පසුව දැනෙන්නට ඇති. මෙවැනි සිදුවීම් කරුමය, එනකොට අරගෙන ආපු ආයුෂ ඉවරයි වැනි කතාවලින් වසාදැමිය හැකිද? බැරිය. මේ සූක්ෂ්ම මර උගුලකට ප්‍රගීත් හසුකරගත් අයුරුය. මෙලෙස ගිරිතලේ සිට ප්‍රගීත් හමුවට පැමිණි කර්නල් ෂම්මි කුමාරරත්න, කෝප්‍රල් නාදන් ඇතුළු කල්ලිය මේ හමුවේ අවසානය පිළිබඳව දැනගෙන සිටින්නට ඇත. එහෙත් දැන්නම් ඔවුන් හැසිරෙන්නේ මේ කිසිදෙයක් නොදන්නා රණවිරු ළදරුවන් ලෙසය. එහෙත් ඔවුන් දැන් නොදන්නා ඔවුන්ගේ අතීත ක්‍රියාකාරකම් සිල්ලම වගේ රහස් පොලීසිය තමන්ගේ උකුසු ඇසට හසුකරගෙන ඒවා අධිකරණයටද වාර්තා කර ඇත.
ප්‍රගීත් බත්තරමුල්ලෙන් ගිරිතලේට
“නාදන් රාත්‍රියේ මට කතාකරලා කිව්වා ප්‍රගීත්ව හමුවුණා කියලා. පස්සේ 2010 ජනවාරි 25 වෙනිදා උදේ 10ට විතර එල්ටීටීඊ සාමාජික රාම් රඳවලා හිටිය සිරමැදිරියේ ළඟ තියෙන ගල ළඟට එන්න කියලා කෝප්‍රල් රංජි මට කතාකළා. මම එතැනට ගියා. ඒ යනකොට ඇස්දෙක බැඳපු මනුස්සයෙක් ගල උඩ වාඩිකරවලා හිටියා. රංජි මට කණට කරලා කිව්වා මේ තමයි ප්‍රගීත් එක්නැළිගොඩ කියලා. පස්සේ මම මිනිහාට කතාකළා. මිනිහා කිව්වා මම ප්‍රගීත් තමයි කියලා. ඊට පස්සේ රංජි මට කාටුන් චිත්‍ර තියෙන එකට ස්ටේප්ලර් කරපු කොළ දහයක් දුන්නා. ඒ කාටුන්වල ඇඳලා තිබුණේ මහින්ද රාජපක්ෂයි පවුලේ අයයි. මම එදා අවස්ථා දෙකකදී මේ කාටූන් චිත්‍ර ගැන ප්‍රගීත්ගෙන් ප්‍රශ්න කළා. ඊට පස්සේ දවල් කෝප්‍රල් නාදනුයි, කෝප්‍රල් රංජියි ඇවිත් කර්නල් ෂම්මි ගාවට අරගෙන යනවා කියල ප්‍රගීත්ව අරගෙන ගියා”
මේ සාජන් මේජර් රන්බණ්ඩාගේ ප්‍රකාශයේ තවත් කොටසක්ය. ඒ මොහොතින් පසුව ඔහු ප්‍රගීත් දැක නැත. දැන් මේ රන්බණ්ඩාගේ ප්‍රකාශය තහවුරු කරගත යුතුය. ඒ සඳහා හොඳම පුද්ගලයා මේ ප්‍රශ්න කිරීම සිදුවූ ආසන්නයේ සිටි පුද්ගලයන්ගෙන් ඒ පිළිබඳව විමසීමය. ඒ අනුව පොලීසිය එල්ටීටීඊයේ හිටපු අම්පාර නායක රාම් නැතිනම් එදිරිමානසිංහම් අරිච්චි වන්දිරන් නැතිනම් වින්සන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.
“මම හමුදා අත්අඩංගුවට පත්වෙලා ගිරිතලේ හිටියා. මට බය හිතුණා මගේ ජීවිතේට හානියක් වෙයි කියලා. මම කඳවුරෙන් පැනලා ගිහින් ගිරිතලේ කැලේ හැංගිලා හිටියා. පස්සේ හමුදාව කැලේ වටකරලා මාව ආයෙත් අත්අඩංගුවට ගත්තා. ඊට පස්සේ මාව විශේෂ හිරමැදිරියක මාස 6ක් සිරකරලා තිබ්බා. ඒ ඉන්නකොට 2010 ජනවාරි ජනාධිපතිවරණෙට ළඟ දවසකදී සිංහල මිනිහෙක් ගෙනැල්ලා රඳවාගෙන හිටියා. මට ඇහුණා ඒ මනුස්සයාගෙන් සරත් ෆොන්සේකාට උදවු කරන එක ගැන ප්‍රශ්න කරනවා.”
මේ රාම්ගේ කතාවෙන් කොටසක්ය. මේ සිංහල මනුස්සයා ප්‍රගීත් හැර වෙන කවුරුන්ද?.. මේ කියන කතාවලට අනුව ප්‍රගීත් පැහැර ගත්තේ ඔහු සරත් ෆොන්සේකාට උදවු කළ නිසාද? නැතිනම් රාජපක්ෂවරුන් පිළිබඳව ඔහු කාටූන් ඇන්ද නිසාද?
ප්‍රගීත් පැහැරගත් රණවිරුවන් ගිරිතලේ ප්‍රදේශයෙන් කොළඹ බත්තරමුල්ල ප්‍රදේශයට පැමිණ නැවත ගිරිතලේ ප්‍රදේශයට අදාළ දිනයේදී ගොස් ඇති බව මේ වනවිට තහවුරු කරගෙන තිබෙන සත්‍යයකි. ඒ දුරකථන දත්ත වාර්තාවන්ට අනුවය. ඒ පිළිබඳව අපට ඉදිරි සතියකදී සවිස්තරව කතා කළ හැක. ඒ මන්ද රණවිරුවන් නොව මොවුන් රණවිරු ලේබලයට මුවාවී අපරාධ කළ අපරාධකරුවන් බවට ඔප්පුකර පෙන්වීම සඳහාය. එකල මොවුන් රණවිරු ලේබලයට මුවාවී අපරාධ රැසක් කරැ’ති අතර දැන් දැන් එම වැරදි රණවිරු ලේබලයෙන්ම වැසීමට කටයුතු කරමින් තිබේ.
ප්‍රගීත් පැහැරගෙන අතුරුදන් කිරීමේ මේ අපරාධයට අදාළව දැනට අත්අඩංගුවට ගෙන මේ ලිපිය ලියවෙන මේ මොහොත වනවිට ඇප ලබා සිටින රණවිරුවන් කවුරුන්ද?
මෙහි ප්‍රධාන සැකකරු අපි කවුරුත් දන්නා පරිදි එකල ගිරිතලේ බුද්ධි කඳවුරේ අණදෙන නිලධාරියාය. ඒ ෂම්මි කුමාරරත්නය. දෙවැනි සැකකරු ප්‍රගීත් මුල් වරට පැහැරගත් කණ්ඩායම මෙහෙයවූ ටී.ටී. ප්‍රබෝධ සිරිවර්ධනය. තුන්වැන්නා ප්‍රගීත්ගේ මිතුරා වන මුරලි විසින් ඔහුගේ නෑදෑයෙකු ලෙස හඳුන්වා දුන් නාදන්ය. නැතිනම් ආර්.එම්.පී.කේ. රාජපක්ෂය. හතරවැන්නා ඩබ්ලිව්. ඩබ්ලිව්.පී.ඩී. උප සේනය. නැතිනම් සුරේෂ්ය. පස්වැන්නා එස්.එම්.ආර්. රූපසේන නැතිනම් රංජිය. අනෙක් සැකකරුවන් පිළිවෙළින් වයි.එම්.සී.කේ. අබේරත්න, එස්.එම්.කේ. ගුණරත්න, අයියාසාමි බාලසුබ්‍රමනියම්, ඩී.ජී.ටී.පී. ගමගේය. මොවුන් ප්‍රගීත් පැහැරගෙන අතුරුදන් කිරීමට කෙලින්ම වගකිවයුතු බව රහස් පොලිසිය අධිකරණයට වාර්තා කර ඇත. මොවුන් එකිනෙකා ප්‍රගීත් අතුරුදන් කිරීමේ සිද්ධියට ගැට ගැසෙන්නේ කෙලෙසකද යන්න අපිට ඉදිරි සතියකදී කතාකළ හැක. මේ අනුව අපට මෙසේ ඇසිය හැකිය. ගිරිතලේට රැගෙන ගිය ප්‍රගීත් ඊළඟට රැගෙන ගියේ කොහේටද? ඇත්තටම මේ බුද්ධි අංශ කණ්ඩායම ප්‍රගීත්ට අවසානයේදී කළේ කුමක්ද අපට ඉදිරියේදී සොයා යාහැකිය. අනෙක් පැත්තෙන් ප්‍රගීත්ට යුක්තිය ඉටුකිරීම සඳහා රහස් පොලීසිය දෙසින් කෙරෙන පරීක්ෂණ තව ඉදිරියට යායුතුව තිබෙන්නේ 10%ක් වැනි ප්‍රමාණයකින්ය. එහෙත් ඒ දුර ගමන් කිරීම බොහෝම දුෂ්කර බව පෙනෙන්නට තිබේ. ඒ බලධාරී ලොක්කන්ගේ කකුල් මාට්ටු නිසාය. එනිසා යුක්තිය අගයන සමාජයක් බලාපොරොත්තුවන සියල්ල මේ මොහොතේ පෙරට පැමිණ ප්‍රගීත් වෙනුවෙන් සිටගත යුතුය. ඒ ප්‍රගීත්ට අද අවශ්‍ය කරන දෙය හෙට අපට අවශ්‍ය වන්නට ඉඩ තිබෙන බැවින්ය.■
උපුටාගැනීම: රවයෙන්