අපරාධපුවතකට වැඩි යමක්

දිවයිනේ ජානකට ගෝඨාගෙන් රතු එළියක්!

උපුටා ගැනීම

‘මේ අතර මාතලේ සමුහ මිනීවළේ ඛේදවාචකය අපටත් නව දැනුමක්‌ ලබාදෙමින් හිඳී. මේ සාහසික අපරාධය කළ වකවානුවේ රටේ ආණ්‌ඩුව කළ ම්ලේච්ඡයින් අද යාපනයට ගොස්‌ අතුරුදන් වු තරුණයන්ගේ මානව හිමිකම් රක්‌ෂා කිරීමට කෑමොර දෙමින් සිටී. එදා මේ ම්ලේච්ඡ මිනී මැරුම්වලට එරෙහිව ජීනීවා ගිය උන් මේ වන විට විලිලඡ්ජා රහිතව කඩ කළ මානව හිමිකම් පිළිබඳ ජිනීවා වලින්ම චෝදනා ලබමින් ගර්හාවට ලක්‌වෙමින් සිටී. අප කොටු වී සිටින්නේ එකම චක්‍රයක්‌ තුළය. එහිදී රටක්‌ ලෙස අප ලබනා අත්දැකීම් එක හා සමානය. අපට කළ හැක්‌කේ අනාගතයේ ඕනෑම දවසක ආණ්‌ඩුවකින් කපාදෙන සමුහ මිනීවළක්‌ තුළ කොටස්‌ වශයෙන් තැන්පත්වීම සඳහා හිත හදාගැනීම පමණය’

උපුටා ගැනීම අවසන්

ඉහත පරිච්ඡේදය උපුටා ගැනුනේ ‘දිවයින ඉරිදා සංග්‍රහයේ’ මාණ්ඩලික ලේඛක ජානක ලියනාරච්චි මහතා විසින් පසුගිය මාර්තු මස 31 වන දින ‘දෙතිස්‌ වද දී මරා දැමුණු මිනිස්‌සු විසිපස්‌ වසරකට පසු රටට කියන කතාව’ යන මැයෙන් දිවයින ඉරිදා සංග්‍රහයට ලියන ලද විශේෂාංග ලිපියකිනි.

මෙම ලිපිය පිළිබඳව ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශකවරුන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කොට ඇත. අනතුරුව අදාල පුවත්පතේ ලිපිය කියවීමෙන් පසු පුරුදු පරිදි මාරාවේශ වී ඇති ආරක්ෂක ලේකම්වරයා උපාලි පුවත්පත් සමාගමේ සභාපති නිමල් වෙල්ගම මහතාට කතාකොට දැඩි ලෙස දොස් පවරමින් අදාළ ලේඛකයාට වහාම පැමිණ තමා හමුවන ලෙස නියෝග කොට ඇත.

ආරක්ෂක ලේකම්වරයාගේ ඇණවුම පරිදි ආරක්ෂක අමාත්‍යංශයට ගොස් ඇති පුවත්පත් කලාවේදී ජානක ලියනාරච්චි මහතාට ආරක්ෂක ලේකම්වරයා මුණ ගැසීමට නොහැකි වී ඇති අතර ඒ වෙනුවට මුණ ගැසී ඇත්තේ යුධ හමුදාවේ ඉහළ නිලධාරියෙකි. එම නිලධාරියා ලියනාරච්චි මහතාට ඉතා කෙටියෙන් පවසා ඇත්තේ ‘මින් ඉදිරියට ආරක්ෂක ලේකම්වරයාට හෝ මාතලේ සමූහ මිණීවල ගැන කිසිවක් ලියා තිබුණහොත් ඔහුගේ ජීවිතය ගැන වග නොකියන බවයි’

එහෙත් ආරක්ෂක ලේකම්වරයාගේ විධානය නොසලකා ඉරිදා දිවයින සංග්‍රහය නැවත වරක් පෙරේදා (14) මාතලේ සමූහ මිණීවල ගැන තවත් විශේෂාංග ලිපියක් පලකර ඇති අතර ඒ පිළිබඳව දිවයින පුවත්පතේ ආරක්ෂක වාර්තාකරු කීර්ති වර්ණකුලසූරිය ආරක්ෂක ලේකම්වරයාට පැමිණිලි කොට ඇත. මේ පිළිබඳ ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රතිචාරය කුමක්දැයි මේ වන තෙක් වාර්තා නොවේ.

උපුටා ගැනීම: LNW

Leave a Reply

Your email address will not be published. Required fields are marked *