“… 2004 මැතිවරණයේදී මගේ ඥාතියෙක් කියනවා මේ සැරේ මගේ මනාප තුන දුන්නේ විජිත හේරත්, අන්ජාන් උම්මා සහ පාලං හොරා යැයි ප්‍රකට පුද්ගලයෙකුට කියලා. ප්‍රතිපත්තිගරුක දේශපාලඥයන් ලෙස විජිතට සහ උම්මාට දෙන ගමන් ඇයි පාලං හොරාටත් දෙන්නේ. අපගේ දේශපාලන දේහයේ තිබෙන රෝගයක රෝග නිධානය ලෙස ඒ දෙස නොබලා ජනතාවගේ ගැළවුම්කාරයා ලෙස ඔවුන් දෙස බැලීමයි. මේක හරි භයානක තත්වයක්. …..”
මේ ‘දූෂණයෙන් තොර ගමක්’ මැයෙන් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පසුගියදා කල දේශනයකින් කළ උපුටා ගැනීමක්. නිර්මාල් දැන් රටපුරා යන්නේ දූෂණය, වංචාව නැති හා දූෂණයට වංචාවට සම්බන්ධ නැති ලංකාවේ තිබෙන එකම පක්ෂය තමයි ජවිපෙ කියලා. ඒවගේම අද රටේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නයත් මේ වංචාව සහ දූෂණය. මේ දෙක නැති කරගත්තොත් අපට ගොඩ යන්න පුලුවන් කියලා. ඒ එක්කම නිර්මාල් මෙහෙමත් කියනවා.
“….අප හැමට තියන අත්දැකීම් අනුව මේ වංචා දූෂණ සමාජයේ මුල්බැසගෙන තිබෙනවා. මීට වසර කිහිපයකට පෙර ඉන්දියාවේ අන්නා හසාරේ කියන පුද්ගලයා දූෂණයට එරෙහිව විශාල ව්‍යාපාරයක් ඉදිරියට ගෙන ආවා. දිල්ලියේද එවැනිම ව්‍යාපාරයක් දියත් වූවා. ඉන්දියාවේ තත්වය තරමක් දරුණුයි. ලංකාවේ තත්වය අපට වෙනස් කර ගැනීමට හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම එය දකුණු ආසියාතික සමාජයේ දේශපාලන ක්‍රමය වර්ධනය වූ ආකාරටත් එක්කම එහි ඇති යම් යහපත් සහ යම් අයහපත් ලක්ෂණ නිසා ඇති වූ දෙයක්…”
දැන් නිර්මාල් කියන විදියට වංචා, දූෂණ මේ ආසියාතික සමාජයේ දේශපාලන උප්පත්තියේම ප්‍රශ්ණයක්. හැබැයි මම ඉගෙන තියෙන්නේ ධනපති ක්‍රමය උපත ලබන්නේත්, නඩත්තු වන්නේත් වැඩවසම් ක්‍රමයට වඩා ප්‍රජාතාන්ත්‍රික ලෙස කරන හොරකමෙන්, වංචාවෙන් හා දූෂණයෙන් තමයි කියලා. ආසියාවට එනකොට ඉංදියාවේ ටාටා හා බිර්ලා වගේ කාර්මික ධනපති පංතියක් හිටියත් ලංකාවේ තත්වය ඊට මුලුමනින්ම වෙනස්. ලංකාවේ හිටියේ ජාවාරම්කාර ධනපති පංතියක්. ඒ නිසා වංචාව දූෂණය කියන එක මාළුවට වතුර වගේ. අපි කැමති වුනත් අකැමති වුනත් ඒක තමයි ඇත්ත. යථාර්තය නෙමෙයි යථ.
අනෙක ලංකාවේ රාජ්‍ය බලය ගැනීම වෙනුවෙන් කැරලි දෙකක් ගහලා සදාදරණීය නායකයා ඇතුළු දහස් ගණනක් අහිමි කරගත් පක්ෂයක් තමයි ජවිපෙ කියන්නේ. ඒවගේම එක් ධනපති ආණ්ඩුවක ඇමතිකම් දරමින් රටේ පාලනයට හවුල් වෙච්ච පක්ෂයක්. ඊළඟට පීඩිත ජාතියක විමුක්ති අරගලය මරා දමන්න ජාතිවාදී, ආගම්වාදී ෆැසිස්ට් පන්නයේ ධනපති ආණ්ඩුවක් ගොඩනඟන්න හා එය පවත්වා ගෙන යන්න කඩේ ගිය පක්ෂයක්. දැන් ලංකාවේ අන්නා හසාරේ බවට පත්වෙලා. මේක සිංහල මැද පාන්තිකයාගේ දේශපාලන ආස්ථානයට ජවිපෙ ගමන් කිරීමක් කියලයි මම හිතන්නේ. අන්නා හසාරේගේ වැඩේට පක්ෂයක් ඕනද ? හැබැයි අන්නා හසාරේගේ මේ ගැන විවාදය කෙලවර වුනේ ඔහුගෙන් කැඩුණු අරවින්ද් කෙජිරිවාල් “ආම් ආද්මි” කියන පක්ෂය හදාගෙන. දැන් මිනිහා දිල්ලි මහා ඇමති.
ඒ වගේම නිර්මාල් කරන මේ චෝදනාව නිවැරදිදැයි බලමු. “…පසුගිය කාලේ බැසිල් රාජපක්ෂ තමයි මේ දූෂිත යාන්ත්‍රණය නඩත්තු කළේ. ගෝඨාභය රාජපක්ෂ තමයි රට, ජාතිය ඉස්සරහට දාගෙන මේ ක්‍රමය ආරක්ෂා කරගෙන ගියේ. විමල් වීරවංස, පාඨලී, ගම්මන්පිල වගේ අය තමයි මේ දූෂිත ක්‍රමයට මධ්‍යම පන්තියට ගැට ගැසූ සරණේරු ලෙස ක්‍රියා කළේ. සියළුම මධ්‍යම පාන්තිකයින්ට මේ දේ තේරුම් කිරීමට අපහසු වුවත් අපගේ වගකීම තමයි මේ සමාජ ව්‍යසනයේ ස්වාභාවය පිළිබඳව ජනතාව දැනුවත් කරන එක…”
පසුගිය දූෂිත පාලනය නඩත්තු කලේ බැසිල් කියලා කියන නිර්මාල් ඒකට මැද පාන්තිකයො සෙට් කරපු සරණේරුවලටත් අම්බානට නෙළනව. එතකොට නිර්මාල් .. බැසිල්ලා නඩත්තු කළ දූෂිත යාන්ත්රනයට , විමල් – පාඨලී – ගම්මන්පිලලා සරණේරු වෙච්ච ගේ හැදුවෙ කවුද ? දොර ජනෙල් හැදුවෙ කවුද ? ජවිපෙ. ඒ නිසා හදපු ගේ නඩත්තු කළ එකාටයි, ඒකේ සරණේරුවලටයි විතරක් බැන වැදීමෙන් ඔබ කරන්නේ දැනුවත් වංචාවක්. මිනිස් මනස දූෂණය කිරීමක්. ඔබතුමා දීප්ති එක්ක “පශ්චාත් නූතනවාදයේ” ඉන්නා කාලයේ කිව්වේ “අන්දනවා” කියලා. ඔබතුමා කියනා විදියට ජවිපෙත් දැන් ඇඳගෙන ඉන්නේ. ඒත් මහත්තයෝ ඉතිහාසයට අන්දන්න බෑ කියලා ඉතිහාසයට උපාධි තියෙන ඔබතුමා දන්නවා ඇති. මොකද ඒක ලිඛිතයි.
එපමනක්ද 2004 සුනාමි ආධාර මුදල් මිලියන 83 ක් එවකට අගමැති මහින්ද රාජපක්ෂ හොරකම් කළා කියලා නඩු වැටුනා. ඒත් අගවිනිසුරු සරත් සිල්වා මහින්දව බේරුවා. පැමිණිල්ලට දඩ ගැහුවා. පසු කාලෙක සරත් සිල්වා ජවිපෙ සම්මන්ත්රණයකයකදීම සිය තීන්දුව වැරදි බව පිළිගනිමින් මුලු ජාතියෙන්ම සමාව ඇයද සිටියා. මුලු රටම එදා මහින්දට හොරා කියද්දී 2005 ජනාධිපතිවරණයෙන් මහින්දව දිනෙව්වේ ජවිපෙ නොවේද? එවැනි දූෂකයෙක් බලයට ගෙන ඒම පිළිබඳව ඔබ ජවිපෙ නිදොස්කොට නිදහස් කරනවද, නිර්මාල් ?
මහින්ද රෙජීමය තුළින් දූෂිතයන් බිහිවුනේ කොහොමදැයි ඔබට නිනව්වක් නැතත්, යුද්දය තුළින් ගොඩ නැගෙන්නේ දූෂිත රෙජීමයක් බව නව සම සමාජ නායක වික්‍රමබාහු කරුණාරත්නලා එදා කිව්වේ ඉතිහාසයේ නිදර්ශනත් එක්ක. ගෝඨාභයගේ දූෂිත මිග් යානා ගණුදෙනුව සිදුවුනේත්, ඔබ අද දකිනා, පෙර රියදුරෙක් වූ රෝහිත අබේගුණවර්ධන මහා ධනස්කන්ධයක හිමිකාරයෙක් වුනෙත් මේ “දේශප්‍රේමී යුද්ධය” ඇතුළේ. විමල් වීරවංශ, බැසිල්, නාමල්, මහින්දානන්ද, ගම්මන්පිළගේ ඉඳලා දේශපාලකයො, කලාකරුවො, ආණ්ඩුවේ මාධ්‍යවල යුදවාදී මාධ්‍යකරුවෝ, තව තව මහින්ද රෙජීමයේ කේවට්ටයෝ පෝසතුන් වුනේ යුද්දයට පින් සිද්ද වෙන්න. 2008 ඉදලා 2014 තෙක් මහ බැංකුවේ රුපියල් බිලියන හාරදාහක මහා හොරකමක් වුනේ වර්ග සංහාරක යුද්දයේ ඝෝෂාව අස්සේ.
ඉතින් ඒ මංකොල්ලකාරයො, දූෂිතයො, වංචාකාරයො හැදුනු වැඩුනු යුද්දයේ ප්‍රධාන කොටස්කාරයෙක් තමයි ජනතා විමුක්ති පෙරමුණ. ඒක අමතක කරලා බැසිල්ලාට විතරක් නෙළන එක සදාචාර සම්පන්න නැහැ නේද ආචාර්යතුමා? ඔබට ඕනනම් කබරයා කන්න. ඒත් ඌ තලගොයා කියලා මහජනයා රවටන එක ඔබ කරනා රැකියාවටත් හොඳ නැහැයි කියලයි මට හිතෙන්නේ. දරුවෙක් බඩට දීල කාන්තාවක් අනාථ කරලා පිරිමියෙක් පැනලා ගියාම සමාජය අපහාස කරන්නේ අර කාන්තාවට. ඒ දරුවා නඩත්තු කරන්න හිඟමන් ඉල්ලුවොත් කියන්නේ “වේසාකමේ ගිහිල්ලා දරුවො හදා ගෙන එනවා මෙතන සල්ලි ඉල්ලන්න” කියලා. හැබැයි ඒ දරුවා බඩට දීල පැනලා ගිය පිරිමියා “වැඩකාරයා”. අන්න ඒ වගේ ජවිපෙ ගැන ඔබේ දැක්මත් අඳබාලයි.
අද “වංචා දූෂණ ඇල්ලීමේ සුපර්ස්ටාර් තරගයක්” තියෙන්නේ. ජනාධිපති -අගමැති – ජවිපෙ – මහින්ද හා ඔවුන්ගේ ගෝලයෝ හැකි උපරිම අලංකාර යොදමින් වේදිකා මත බෑඟිරි ගහමින් ඉතාමත් තියුණු තරගයක් දෙනවා. එස්.එම්.එස්. කතිරයෙන් සුපර්ස්ටාර්ස් තෝරන මහා තරඟය තියෙන්නේ පෙබරවාරි 10 වැනිදා. ප්‍රධාන මාධ්‍ය අනුග්‍රහය “සිරස” “දෙරණ” “හිරු ” “දිවයින” “ලංකාදීප” ඇතුලු ආයතන.
නමුත් මේ රට අගාධයෙන් අගාධයට පත් කරපු ප්‍රධානම කාරණාව තමයි රටේ ව්‍යවස්ථාවෙන්ම ජාතීන්ට.ආගම්වලට,සංස්කෘතීන්ට වෙනස්කොට සැලකීම.රාජ්‍ය බලය පාවිච්චි කරමින් සිදුකරන මිනිස් ඝාතන හා අපරාධ සඳහා පාලකයන් දඩුවම් නොලබා සිටීමේ අයිතිය. අද ජනාධිපතිවරයාත් කතා කරන්නේ වංචා, දූෂණ කරපු එවුන් පමණක් අවීචි මහා නරකාදියට යවලා ජනාධිපතිකමෙන් යන්න. එතකොට උතුරේ නිරායුද මිනිසුන් ලක්ෂ ගණනක් මරා දාපු මිනීමරුවන්, හලාවත, වැලිවේරිය, වැලිකඩ ඝාතකයන්, ජනමාධ්‍යකරුවන් මරාදාපු, මාධ්‍ය ආයතන අළු දූවිලි කරපු, තාජුඩීන් මරාදාපු, එක්නැලිගොඩ අතුරුදහන් කරපු රාජ්‍ය අපරාධකරුවන් තව්තිසා දිව්‍යලෝකයට යවලා ජනාධිපතිකමෙන් යන්න වෙන්න ඇති අවුරුදු හයක් තියෙනවාද කියලා බැලුවෙ. හැබැයි ජනාධිපති පුටුව දුන්නේ තව ලොකු න්‍යාය පත්‍රයක් එක්ක. ඒව දැන් අමතකයි වගේ. නිර්මාල් ,ජ.වි.පෙ.ට වඩා ඔබට ජනාධිපති සිරිසේන සමීපයි. විධායක බලයත් තියෙනවා. ඒනිසා අඩුම තරමේ පහත සඳහන් කොමිෂන් වාර්තා ගැන නිර්මාල්, ජ.වි.පෙ, ජනාධිපති සිරිසේන, අගමැති වික්‍රමසිංහ හා පා.ම.මහින්ද කියන්නේ කුමක් ද කියා දැන ගන්න කැමැතියි.
ජ.වි.පෙ. මහින්ද රෙජීමයෙ කොටස්කාරයො වෙච්ච කාලයේ පත්කළ කොමිෂන්;
(1) 2006.03.24; නාවික හමුදාව වෙනුවෙන් 2001-2005 අතර කාලයේදි යුද අවි මිලට ගැනීම වෙනුවෙන් කරුණු සොයා බැලීමට පත්කළ කොමිසම.
(2) 2006.08.23; පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය ගැන මහානාම තිලකරත්න කොමිසම.
(3) 2006 .09.15 ;පුද්ගල අතුරුදහන්වීම් පිළිබඳ මහානාම තිලකරත්න කොමිසම.
(4) 2006 ජනවාරියේ ත්‍රිකුණාමල පංච ශිෂ්‍ය ඝාතනය, මුතුර් ඇ C F සහන සේවකයන් 17ක් ඝාතනය සහ ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය ඇතුළු ඝාතන පුද්ගල සහ අතුරුදහන් කිරිම් සෙවීමට පත්කළ කොමිසම.
ජවිපෙ ඉවත් වුනාට පස්සේ මහින්ද රෙජීමයෙන් පත්කළ කොමිෂන්;
(1) මාතලේ සමූහ මිනිවළ පිළිබඳ ජනාධිපති කොමිසම.
(2) 2012 වැලිකඩ සමුහ ඝාතන වාර්තාව – (2015 ජුලි 14 C ඓ ඪ් යට භාරදී ඇත.)
(3) රතුපස්වල නිරායුද ජනතාවට වෙඩි තබා මරා දැමීම පිළිබඳ කොමිසම.
මේ කොමිෂන් වාර්තා එකක්වත් අද වනතුරු ප්‍රසිද්ධියට පත් කරලා නැහැ. ඒත් බැඳුම්කර කොමිසම ගැන අද ජ.වි.පෙ.ට තිබෙන උද් යෝගය ආණ්ඩුවේ සිටිද්දීත් ඉවත්වුනාට පස්සේත් නැත්තේ ඇයි? මාතලේ සමූහ මිනීවළ හැර අනෙක් සියලු අපරාධ සිදුවුනේ ජවිපෙද අනුපමේය දායකත්වයකින් ගොඩ නැගූ මිලේච්ඡ ෆැසිස්ට් පන්නයේ මහින්ද රාජ්‍යයෙන් නිසාද? ඒවා ගැන ඕනෑවට වඩා කෑකොස්සන් ගැහීමට ගියොත් පෙරළා මහින්දලාගෙන් පිළිතුරු ලැබෙන නිසාද ? එහෙම බැලුවාම ජවිපෙ ත් සියඹලා ගෙනල්ලා නැහැ කියන්න බැහැ නේද නිර්මාල් සර්.
ඒ අතර ඔබ ඉදිරිපත් කරන තවත් එක් ප්‍රධාන තර්කයක් තමයි මේ. “..ඇමරිකන් අධිරාජ්‍යවාදය, යුධ අධිකරණ, එල්.ටී.ටී.ඊ. කුමන්ත්රණවත් නිසා නෙවෙයි අපේ සමාජය විනාශ වෙන්න නියමිත. අපි අතරම තියන මේ දරුණු සමාජ පිළිකාව තමයි මේ සමාජය විනාශ කිරීමට නියමිත..”
ඔබ කියන විදියට වංචාව දූෂණය සමාජය විනාශ කරන පිළිකාවනම් ප්රාග් කොමියුනිස්ට් යුගයෙන් පස්සේ මිනිස් සමාජය ජුරාසික්ලා වගේ මිහිතලයෙන් අතුගෑවිලා යන්න ඕන. මොකද එතැනින් පස්සේ ඇතිවුනු ගෝත්‍රික, වැඩ වසම්, ධනපති කියන මේ හැම අවධියකදීම සිදුවුනේ හොරකම, දූෂණය, වංචාව නිසා. ඒත් එහෙම වෙලා නෑ. එහෙනම් ඉතිහාසයේ ඉඳලා සමාජය වනසන පිළිකාව මොකක්ද? මනුෂ්‍යයා ජාති, ආගම්,කුල වශයෙන් බෙදී වෙන්වීම. මෙන්න මේ පිළිකාව මග හැරලා, ඒකට වංගු දමලා යන්න තමයි ජ.වි.පෙ.ත්, ඔබත්, ජ.වි.පෙ. නිවුන් සොයුරු පෙ.ස.ප.යත් අද යෝජනා කරන්නේ. වක්කඩේ බඳින්නේ නැතුව වේළි හැදුවාට කුඹුරේ වතුර රැඳෙන්නේ නෑ ආචාර්ය තුමා.
හැබැයි මීට බොහෝ කලකට පෙර ජවිපෙ ගැන ඔබටද මේ වගේ විවේචනයක් තිබුනා.
වාම ජනතාවාදී ප්‍රවේශය
මෙම ප්‍රවේශය තුළ අවධාරනය කෙරෙන්නේ ජාතින් අතර පවත්නා මෙවන් ගැටලූවලට විසඳුම් දීමට ධනපති පංතියට නොහැකි බවයි. ඊට හේතුව මේ ගැටලූවල ඇත්ත හේතු වන්නේ සමාජයේ පවත්නා අසමානතාවය නිසාය. එම හේතුව ඉවත් කරන්නේ නොමැතිව මතු පිටින් ‘විසඳුම්’ ලබා දීම කිසිසේත් ප්රශ්නය විසඳීමක් නොවේ. මේ නිසා ප්රශ්නය විසඳාලිය හැක්කේ සමාජවාදය පිහිටුවා සමාජය තුළ සමානාත්මතාවය ඇති කිරීම මගින් පමණකි. මෙම ‘විසඳුම’ මේ මොහොත තුළ ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කරනු ලබන්නේ ජනතා විමුක්ති පෙරමුණ මගිනි. ඊට අමතරව ශ්‍රී ලංකා දෙමළ ඊළාම් සමාජවාදී සමූහාන්ඩුවක් තුළ මේ ප්රශ්නය විසඳාලීමට යෝජනා කරන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (කම්කරු මාවත) වැනි කොටස් ද මේ ගනයට ලා සැලකිය හැක. මෙම ප්‍රවේශයට එරෙහිව නැගිය හැකි ප්‍රති තර්ක තුනක් තිබේ.
පළමුව මෙම ප්‍රවේශය යෝජනා කරන පිරිස් (විශේෂයෙන් ජවිපෙ) තම ‘සමාජවාදී විසඳුම’ සංයුක්ත දේශපාලන ක්‍රියාමාර්ගයන් බවට පත්කරලීමට සමත් වන්නේ නැත. එම නිසා එය ගැටලූවට මුහුණ නොදී පලා යාමට මඟක් පමණක් බවට පත්වේ.
දෙවනුව දේශීය හා ජාත්‍යන්තර වශයෙන් මේ පවතින දේශපාලන සංදර්භය තුළ සමාජවාදී ව්‍යාපෘතිය දේශපාලන න්‍යාය පත්‍රයට ඇතුල් කළ හැක්කක් නොවේ. විශේෂයෙන්ම ලංකාව වැනි ලෝක ධනේශ්වර ක්රමයේ මධ්‍යස්ථානවලට පරාධීන එහි පරිවාරයේ තිබෙන ප්‍රදේශයක මේ හැකියාව කිසිසේත්ම ඇත්තේ නැත.
තෙවනුව යම් හෙයකින් සමාජවාදී ව්‍යාපෘතිය ජයග්‍රහණය කොට ඒ මගින් සාමූහික දේපළ ක්‍රමයක් ස්ථාපිත කළ ද ජනවාර්ගික අනන්‍යතාවයන් අතර පවත්නා ගැටලූවලට විසඳුම් ලැබෙතැයි සිතීම අසීරුය. සෝවියට් සංගමය වැනි අත්දැකීම් මීට නිදසුන් වේ. යම් කිසි සාමූහික දේපළ ක්‍රමයක් ඇති කිරීමෙන් වාර්ගික වෙනස්කම් මකා දැමීමට නොහැකි බව සෝවියට් අත්දැකීම් මගින් තහවුරු විය.”
උපුටා ගත්තේ 1996 ජනවාරි 28 දින “යුක්තිය” පුවත්පතේ “ජනවර්ගයක් තිබේද” මැයෙන් පළ වූ ලිපියකිනි.
ඒනිසා මේ සමාජය විනාශ කළ හා කරමින් තිබෙන විසකුරු ජාතිවාදී, ආගම්වාදී සියලු අඳුරු බලවේගයන් පළමුව පරාජය කරන්න ඕන. සියලු ජන කොට්ඨාශයන් ගේ, සියලු ජාතීන් ගේ ජාති, ආගම්,සංස්කෘතීන්ට එක හා සමාන ගෞරවයක් ඇති, සැළකීමක් ඇති නව ව්‍යවස්ථාවක් සම්මත කරගන්න ඕන.මහ ආණ්ඩුව මිට මොළවාගෙන ඉන්නා බලතල හැකි උපරිමයක් ප්‍රාදේශීය සභා, පළාත් සභාවන්ට දෙන්න ඕන.පාලකයන්ට තිබෙන දණ්ඩ මුක්තිය අහෝසි කරන්න ඕන.සමාජය කා දමමින් විනාශ කරමින් තිබෙන සැබෑ සමාජ පිළිකාව මේ මගින් සදහටම ඉවත්කර දමන්න ඕන. දෙවනුව ඔබ පිළිකාව යැයි හඳුනාගෙන තිබෙන අනෙක් තුවාලවලට ප්‍රතිකර්ම කරන්න ඕන.
නිර්මාල් රංජිත් දේවසිරි ආචාර්යතුමනි ! මේ පිළිකාව ඉවත් කිරීම වෙනුවෙන් මෙතෙක් ඔබගත් උත්සාහයන් ගෙන් ඇතැම් විට ඔබ වෙහෙස වී ඇති සෙයකි. ඒ නිසා පිළිකාව තිබියදී තුවාලවලට හෝ ප්‍රතිකර්ම කිරීම ඔබ තෝරාගත්තා විය හැක.වමේ ව්‍යාපාරයේ හිටි ඔබට වඩා බොහෝ දැවන්තයින්ද ඉතිහාසයේ එසේ කර ඇත.එහි අවසාන පුද්ගලයා ඔබද නොවනු ඇත. එයද නරක නැත. ඒත් තුවාලය පිළිකාවක් යැයි කියා රෝගී සමාජය නොරවටවන්න. ඔබත් සමාජ පිළිකාවක් නොවන්න.