අපරාධඋපුටාගැනීම්විශේෂාංග

අතුරුදන් කරවීම සාමාන්‍යකරණය වූ රටක මයුරිගේ කතාව

(මීට සිව්වසරකට පෙර ලියූ දේ අදටත් ……….?  තවමත් මයුරී ඔහු එනතුරු බලා හිඳී………..)

මම මේ කතාකරන අද දවසට සුදුවෑන් එකකින් මගේ මහත්තයා, මදුෂ්ක හරිස් ද සිල්වා අරගෙන ගිහිල්ලා හරියටම මාස 10යි දවස් 8ක් වෙනවා. එයයි එයාගේ යාළුවෝ දෙන්නයි (ජනිත සහ ලක්ෂ්මන්) අනුරාධපුර විජයපුර බෝ ගහ ළ`ගදී පැහැර ගත්තේ 2013 සැප්තැම්බර් දෙවෙනිදා. ජනිත – ලක්ෂ්මන් දෙන්නා පහුවදා නිදහස් කරලා තිබුණා. මගේ මහත්තයා තවම නැහැ. හැමෝම කියන්නේ කුඩු හොයන්න මගේ මහත්තයා අරගෙන ගියා කියලා. ඒ ළ`ගම දවසක අපේ කුලියට හිටිය ගෙදරත් පොලිසිය ඇවිල්ලා චෙක් කරලා තිබුණා. ඊට කලින් පොලිසියේ දෙන්නෙක් ඇවිල්ලා මදුෂ්කගේ තාත්තා හොයලා තිබුණා. එදා වෑන් එකට දාගන්න කොට ඒ අවට අය දැකලාත් තියෙනවා. එදා පොලිසිය කියලා පොලිස් අයිඩින්ටි එක පවා පෙන්නලා තියෙනවා. මට හොඳටම විශ්වාසයි මේ පැහැර ගැනීම කළේ පොලිසිය කියලා. එදා ඉඳලා තවමත් පොලිසිය මේ ගැන පරීක්ෂණයක් හරියට කරලා නැහැ. අපි දැන් උද්ඝෝෂණ කීයක් කළාද? මානව හිමිකම් කොමිසමට දැනුම් දුන්නා. ඒත් තවම කිසිම තැනකින් තොරතුරක් සාධාරණ පරීක්ෂණයක් නැහැ. පොලිසිය මදුෂ්කගේ අතුරුදන් වීම ගැන උසාවියේ යන නඩුව ගැනවත් අපිට විස්තර කියුවේ නැහැ. මානව හිමිකම් කොමිසමෙන් ඇහැව්වාට පස්සේ තමයි ලබන 9 වැනි මාසයේ නඩුව ආයෙත් ඇහෙනවා කියලා කිව්වේ. මගේ මහත්තයාට හතිය තිබුණා. පොලිසිය එයාට හොඳටම ගහන්න ඇති. එයාට මොනවා හරි වෙන්න ඇති. මේ හැමදෙයක්ම පොලිසිය අපෙන් හංගනවා. ඒකෙන් වුණේ දරුවෝ දෙන්නෙක් එක්ක මම මේ ලෝකේ තනි වුණ එක. එයා අතුරුදන් කරනකොට මට දරුවෝ දෙන්නෙක් ලැබෙන්න හිටියා. දැන් එයාලාට මාස 7යි. දුවෙකුයි පුතෙකුයි ඉන්නේ. එයාලා ඉපදෙනකොට එයලාගේ තාත්තා හොරු අරගෙන ගිහිල්ලා. අනුරාධපුර පොලීසියේ ඩග්ලස් කියන මහත්තයා මට කියනවා දැන් ඉතින් බොඩි එක හරි සොයා ගන්න මහන්සි වෙන්න කියලා. එයා කියනවා මේවා ඉහළින්ම ආව නියෝගලූ.’ 

මේ මයුරි ඉනෝකාගේ කතාවේ මුල කොටසය. නීතිය රජයන සාධාරණ ලංකාවේ හැටි මයුරිගේ කතාව තුළින් නැවත නැවතත් සනාථ වී ඇත. මයුරි මදුෂ්ක අතුරුදන් වූ දින සිට අනුරාධපුර පොලිසියට බරපතළ චෝදනාවලියක් එල්ල කරමින් සිටින්නීය. එහෙත් තවමත් පොලිසිය නිහ`ඩතාවක ගිලී ගොසිනි. ඒ මන්ද කියා දන්නේ පොලිසියත් දෙවියෝත් පමණි. මේ සියලූ තත්ත්වයන් මත දරු දෙදෙනකු සමග මයුරි ඉනෝකා සමාජ අනාරක්ෂිතතාවක ගිලී සිටින්නීය. එහෙත් ඇය නොනැවතී තම ස්වාමියා සොයා ගැනීම සඳහා වෙහෙසෙන්නීය. උද්ඝෝෂණ, උපවාස, සත්‍යග‍්‍රහ කරන්නීය. මේ සියලූ දේ කළත් අනුරාධපුර පොලිසිය තවමත් නින්දේය.

බරපතළ ආර්ථික අපහසුතා රැුසක් මැද දරු දෙදෙනාගේ ජීවිත ජීවත් කරවමින් මදුෂ්ක සොයා යන මයුරි ඉනෝකාට අතුරුදන්වූවන් පිළිබඳව කොළඹ වැඩකරන සමාජ කි‍්‍රයාකාරිකයන් මුණ ගැසෙනුයේ මෙවැනි මොහොතකය. ඇය නැවතත් නව ජවයකින් මදුෂ්කට යුක්තිය ඉටුකර ගැනීම අරබයා සටන් කරන්නීය.

‘මට දැන් සී.එස්.ආර් එක උදව් කරනවා. බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහත්තයලාගේ අතුරුදන්වූවන් ගැන වැඩකරන සංවිධානය උදව් කරනවා. පියතුමන්ලා මට ආයෙත් පොලිසි ගිහින් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පැමිණිල්ලක් දාන්න කියුවා. මම ඒ පැමිණිල්ල දාන්න අනුරාධපුරේ වැඩකරන ලෝයර් කෙනෙක් එක්ක තමයි යන්න හිටියේ. මම ඒ මහත්තයාගේ කාර්යාලයට ගියාම එයා පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්නට කෝල් කළා. ඊට පස්සේ ලෝයර් මහත්තයා කියනවා මගේ මහත්තයා පුත්තලමට ගෙනියනවා පොලිසිය දන්නවා කියලා. ඊට පස්සේ මට කියනවා, ඔයාගේ මහත්තයා විතරක් නොවෙයි පනස්දාහක් විතර අතුරුදන් වෙලා ඉන්නවා, ඔයා කොහොමද පොලිසියට අභියෝග කරන්නේ කියලා. පස්සේ මම 6 වැනි මාසේ 11 වැනිදා මහේෂ් සේනාරත්න මහත්තයාට විරුද්ධව ඇන්ටි‍්‍ර එකක් දැම්මා. ලෝයර් මහත්තයා කියපු දේවලූත් කියුවා. ඒත් ඒ ඇන්ටි‍්‍ර එක විභාග කරන්න පොලිසිය කි‍්‍රයා කළේ නැහැ. මදුෂ්ක අරගෙන යනකොට අරගෙන ගිහින් නිදහස් කරපු අනික් දෙන්නාගෙන්වත් පොලිසිය තවම හරියට කටඋත්තරයක් අරගෙන නැහැ. ඇයි අපිට මෙහෙම කරන්නේ?’ ඇය නැවත නැවතත් සමාජයෙන් අසන්නීය. ‘මගේ මහත්තයා කුඩු විකුණුවේ නැහැ. ඒක මම හොඳටම දන්නවා. ඒත් කුඩුකාරයන්ට වුණත් දෙන දඬුවම මරණයද?’

මදුෂ්කගේ අතුරුදන් කරවීමට විරෝධය පාමින් උද්ඝෝෂණයක් පසුගිය දෙවැනි දින අනුරාධපුර නගරයේ පොලිසිය ඉදිරියට පැවති අතර එයට කතෝලික – කි‍්‍රස්තියානි පියතුමන්ලා, සහෝදරියන් මෙන්ම බි‍්‍රටෝ ප‍්‍රනාන්දු, ශී‍්‍ර ලංකා ගුරු සංගමයේ සභාපති ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු, රජයේ සෞඛ්‍ය සේවා සංගමයේ උතුරුමැද පළාත් සභාපති ටෙරන්ස් ගාමිණී වැනි සිවිල් සංවිධාන නියෝජිතයන් සමග දෙසීයක් පමණ පිරිසක් සහභාගි වී ඇත. මේ පිළිබඳව කි‍්‍රස්තියානි සහයෝගිතා ව්‍යාපාරයේ සහෝදරියක වන දීපා ප‍්‍රනාන්දු මහත්මියගෙන් කරුණු විමසීමේදී ඇය ප‍්‍රකාශ කළේ මෙවැනි අදහසකි.

‘ඇත්තටම මයුරි ඉන්න තත්ත්වය සහ ලංකාවේ දැන් තිබෙන මානව හිමිකම් තත්ත්වයන් වගේ දේවල් සලකලා අපි මයුරිට උදව් කරන්න හිතුවා. අපි මදුෂ්කගේ අතුරුදන් වීම ගැන එක්සත් ජාතීන් දැනුවත් කළා. එයාලා අපිට නැවත දැනුම් දීලා තියෙනවා මේ අතුරුදන් කරවීම ගැන වැඩකරනවාය කියලා.’

‘මයුරිට ආර්ථිකමය විදියට උදව් කරනවාත් එක්කම ඇයට ඇයගේ සැමියා පිළිබඳව තොරතුරක් දැන ගන්න උදව් කිරීම මම හිතන්නේ ඇයට සැනසීමක් වෙයි.’

මයුරි ඉනෝකා ලාංකේය සමාජයේ සැමියා අතුරුදන් වී තනිවුණ පළමු ස්ති‍්‍රයවත් අවසාන ස්ති‍්‍රයවත් නොවන බව අපි සැමදෙනාම දනිමු. එහෙත් නීතිය, යුක්තිය වැනි පුරවැසි අයිතීන් පිළිබඳව අප සමාජයක් ලෙස දරන ආකල්පය ඉතාමත් දුර්වලය. එනිසාම මෙවැනි සමාජයක පුරවැසියන්ට කවදා හෝ සැනසීමක් ලැබෙනු ඇතැ’යි සීතීම මුලාවකි. තමන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් පිළිබඳව ජනතාව නැවත නැවතත් සිතාබැලිය යුතු මෙන්ම, එම තත්ත්වයන් නැවත දිනාගත යුතු මෙන්ම ආරක්ෂා කරගත යුතු කාලයකට දැන් අප එළඹ ඇත. මයුරි ඉනෝකාගේ හඬින්ම අපි ලිපිය අවසන් කරමු.

‘මම උපතින් බෞද්ධ ආගමිකයෙක්. ඒත් මගේ සැනසීමට මෙච්චර පන්සල් තියෙනවා, එකකින්වත් උදව් කළේ නැහැ. අන්තිමට මගේ උදව්වට හිටියේ මගේ ආගමේ අය නොවෙයි. මම දරුවෝ දෙන්නත් එක්ක මැරෙනවාද ජීවත් වෙනවාද කියල හිතන වෙලාවක මගේ උදව්වට හිටියේ මාගේ ආගමේ අය නොවෙයි. මගේ උදව්වට මගේ ආගම බාධාවක් කර ගන්නේ නැතිව ආපු ශුද්ධ වූ පවුලේ කන්‍යා සොහොයුරියන්ට වගේම කි‍්‍රස්තියානි සංගම්වලටත් මට ස්තූතියි කියනවා. එයාලා නිසා දැන් මම තනිවෙලා නැහැ කියලා මට හිතෙනවා. දැන් මට හිතෙනවා මට මගේ මහත්තයා සොයාගන්න අමාරු වෙන එකක් නැහැ කියලා.’ 

කේ. සංජීව

උපුටාගැනීම රාවයෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *