උපුටාගැනීම්විශේෂාංග

“ජනතාවට ඒත්තු ගන්වන්න ආණ්ඩුව ඇත්තෙන්ම ‘යහපාලනය වෙනුවෙන්’ කියන එක.” – එම්. ඒ. සුමන්දිරන්(TNA)

හොරා කියන වචනයෙන් දෙපැත්තට ගහගන්න හැටි දැන් නිතර දකින්න පුළුවන්. ඒ ගැන මං තව මොහොතකින් කතා කරන්නං. ඒත් ඊට කලින්, රාජ්‍ය මූල්‍ය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේ සභාපතිවරයා විදිහට වෙනත් දෙයක් ගැන මුලින් කතා කිරීමට මට අවසර. අයවැය විවාදය අතරේ අපේ කමිටුවෙන් වාර්තා දෙකක් දීමට නියමිතව තිබුණා. අපි එක වාර්තාවක් පාර්ලිමේන්තුවට දැන් ඉදිරිපත් කොට තිියෙනවා.

ඒ වාර්තාව තුළ අපි ඉතා බරපතල කාරණයක් මතු කර කරනවා. ඒ තමයි, අයවැය වාර්තාව ඉදිරිපත් කරන දවසේ අපේ මේසේ උඩට ආවේ නිවැරදි සංඛ්‍යා ලේඛන නොවීම. ඒවා නිවැරදි සංඛ්‍යා ලේඛන නොවන විත්තිය නිලධාරීන් පවා දැනගෙන හිටියා. කාරක සභා අවස්ථාවේදී ඒ බව ඔවුන් පිළිගත්තා විතරක් නෙවෙයි, වෙනත් සංඛ්‍යා ලේඛන වගයකුත් අපිට දීලා කිව්වා, මුදල් ඇමතිවරයා අයවැය වාර්තාව හැදුවේ ඒ සංඛ්‍යා ලේඛන මත පදනම් වෙලා කියලා. ඒ වගේම, අපේ වාර්තාවෙන් අපි කිව්වා, නොවැම්බර් 12 වැනි දා අපිට ලැබුණු සංඛ්‍යා ලේඛන, ඒ කියන්නේ, නිවැරදියි කියන සංඛ්‍යා ලේඛන, අඩු වශයෙන් කාරක සභා අවස්ථාවේදීවත්, සියළු ගරු මන්ත‍්‍රීවරුන්ට ලැබෙන්ට සලස්වන්න කියලා. ඒත්, අවාසනාවකට තවම ඒක සිද්ධ වෙලා නැහැ. අපි තවමත් බලාගෙන ඉන්නේ, වැරදි සංඛ්‍යා ලේඛන කියලා නිලධාරීන්ම පිළිගත්ත සංඛ්‍යා ලේඛන දිහා.

මේ සභාවට ඉදිරිපත් කිරීමට නියමිත අපේ දෙවැනි වාර්තාවේ අඩංගු විය යුත්තේ, මේ අයවැය ඇතුළේ ආණ්ඩුව ඉදිරිපත් කරන ඇස්තමේන්තු මගින් ඇත්තෙන්ම ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය නිරූපණය කරන්නේද කියන එකයි. ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිවලට අනුකූලව මුදල් වෙන් කෙරී ඇත්ද කියන එකයි. ඒ සඳහා, ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය මොකක්ද කියලා දැන ගන්න අපි උත්සාහ කළා. ඒත් ඒක හොයා ගැනීම ලේසි නැහැ. මොකද කියනවා නං, ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත්, අයවැයට කලින් ගරු අගමැතිවරයා ඒ සම්බන්ධයෙන් මේ සභාව ඉදිරියේ කළ ප‍්‍රකාශය එක පැත්තකින් තියෙද්දී, මුදල් ඇමතිවරයා මේ සභාවට ඉදිරිපත් කරපු අයවැය යෝජනාවලිය තවත් පැත්තකින් තියෙද්දී, මේ දෙක දිහා බැලූවහම ඇත්තෙන්ම ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය වෙන්නේ මොකක්ද කියන එක දැන ගන්න එක ලෙහෙසි නැහැ. ඊට අදාල තොරතුරු අපි ඉල්ලා හිටියා. නිලධාරීන්ගෙන් වගේම, අගමැතිවරයා ඇතුළු ඇමතිවරුන්ගෙනුත් අපි ඉල්ලා හිටියා ආණ්ඩුවේ නිවැරදි ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක් අපිට ලබා දෙන්න කියලා. එතකොට අපිට පුළුවන්, ඒකත් එක්ක, දැන් ඉදිරිපත් කරලා තියෙන ඇස්තමේන්තු කොච්චර දුරට පෑහෙනවද කියලා හොයලා බලන්න. ඒ අනුව, වෙන් කරලා තියෙන මුදල් කොච්චර දුරට අර කියන ප‍්‍රතිපත්තියට අනුකූලද කියලා මේ සභාවට කියන්න අපිට පුළුවන් වෙනවා. ඒත් අවාසනාවකට, මුළු අයවැය විවාදය මුළුල්ලේම ඒ දේ දැනගන්න අපිට පුළුවන් වෙලා නැහැ. ඒත්, ඊළඟ අවුරුද්දේ මුලදීවත් ඒ කාර්ය ඉෂ්ට කර ගැනීමට අපි හැකි හැම උත්සාහයක්ම ගන්නවා.

දූෂණය ගැන කතා කරනවා නං, 2010 මං පාර්ලිමේන්තුවට ආ දවසේ ඉඳලාම ආණ්ඩුවට විරුද්ධවත්, ඇතැම් අවස්ථාවක ඇමතිවරුන්ට විරුද්ධවත් දූෂණ චෝදනා එල්ල වෙලා තියෙනවා. සමහර අයට සමහර නම් පටබැඳලා තියෙනවා. ඒ නම්වලින් හඳුනගන්න පුළුවන් කියන්නේ මොකක්ද කියලා. අදත් ඒ විදිහටම එක එක වචන එක එක ඇමතිවරුන් හඳුන්වන්න පාවිච්චි කරනවා. ගිය පාර්ලිමේන්තුවේදිත් අපි ඒක දැක්කා. ඒවායින් සමහරකට අදාළ සිද්ධි දැන් එළියට එමින් තියෙනවා. මේ වචන ඇමතිවරුන් සම්බන්ධයෙන් පාවිච්චි කෙරෙන්නේ, ඒ ඇමතිවරුන්ගේ තරම රට දන්න තත්වයක් තුළයි. ඇමතිවරුන් සම්බන්ධ ¥ෂණ කන්දරාව රටට රහසක් නෙවෙයි. අර වගේ ගර්හාත්මක වචන පාවිච්චි වෙන්නේ ඒක නිසයි. දැනට අවුරුදු දෙකක් බලයේ ඉන්න ආණ්ඩුවක් විදිහට ඒ කාරණය සැලකිල්ලට ගැනීම ඔවුන්ගේ අනාගතයටත් වැඩදායක වෙන්න පුළුවන්. වර්තමාන ආණ්ඩුවට එරෙහිව චෝදනා එල්ල වෙනකොට, ‘තමුසෙලා බලයේ ඉන්න කොට කළේ මොකක්ද?’ කියලා අහන එකේ තේරුමක් නැහැ. ඒක උත්තරයක් නෙවෙයි. මේ පැත්තේ ඉන්න ගරු මන්ත‍්‍රීවරු අනිත් පැත්තේ ඉන්න කොට කළෙත් ඕකමයි. දැන් ඒකම නැවත පුනරුච්චාරණය කරනවා. අපූරු කාරණය වෙන්නේ, ගිය ආණ්ඩුවේ හිටපු සමහර ඇමතිවරු මේ ආණ්ඩුවේත් ඇමතිවරුන් වීමයි. චෝදනා සහ ප‍්‍රතිචෝදනා දෙපැත්තට එල්ල කරගන්න කොට, මේ කියන ඇමතිවරයා මීයට පිම්ඹා වගේ නිශ්ශබ්දව ඉන්නවා. මොකද, ඒගොල්ලොත් එක එක පැතිවලින් ඒ කියන සිද්ධිවලට සම්බන්ධ බවට චෝදනා නැගෙන නිසා.

ආණ්ඩුව වෙනස් වෙච්ච ගමන්ම අපිට අළුත් කතා අහන්න ලැබුණා. ඒ ගැන වචනයක් දෙකක් මං දැං කිව්වොත්, පොඩි ඉඟියක් දෙකක් ලැබෙන්න පුළුවන්. ගිය ආණ්ඩුවෙත් හිටපු, මේ ආණ්ඩුවෙත් දැන් ඉන්න එක්තරා ඇමතිවරයෙක් සම්බන්ධයෙන් කරුංකා ව්‍යාපාරයක් ගැන කතාවක් අපි අහලා තියෙනවා. කරුංකා වගේ තවත් වචන ගොඩාක් තියෙනවා, තවත් බොහෝ දෙනා සම්බන්ධයෙන්. මං ඒ මුළු ලැයිස්තුවම මෙතන කියවන්න යන්නේ නැහැ.

ඒත්, දැන් තියෙන්නේ අපිත් සහයෝගය දීලා පත්කර ගත්ත ආණ්ඩුවක්. ඒක නිසා මේ ආණ්ඩුවෙන් යම් යහපතක් බලාපොරොත්තු වෙන්න අයිතියක් අපිටත් තියෙනවා. කවුරුත් දන්නවා- ‘ඒකාබද්ධ විපක්ෂය’ වුණත් මේ දේ පිළිගන්නවා- මේ ආණ්ඩුවට නායකත්වය දෙන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඒ වගේ දේවල්වලට සම්බන්ධ නැති විත්තිය. ඒ දෙන්නාට විරුද්ධව ඒ විදිහේ කිසි චෝදනාවක් නැගෙනවා මං අහලා නැහැ.

ගරු මන්ත‍්‍රීවරයෙක්:

එතකොට ‘කෝප්’ සිද්ධිය?

එම්. ඒ. සුමන්දිරන් මහතා:

ඒත් ඒක එච්චර හොඳ නැහැ. නායකයෝ දෙන්නාට වගකීමක් තියෙනවා, තමන්ගේ ඇමතිවරුන්- නිලධාරීන්ව පැත්තකින් තියන්න- තමන්ගේ ඇමතිවරුන්ට මේ චෝදනා එල්ල නොවන බවට වගබලා ගන්න. අවාසනාවකට එහෙම දෙයක් පේන්න නැහැ. මේ තත්වය එක දිගටම පැවතුණොත්, මේ ආණ්ඩුව වැඩි කල් පවතින එකක් නැහැ. තමුන්නාන්සේලා තේරුම් ගන්න ඕනේ, අද මේ කෑගහන එදා හිටපු ආණ්ඩුව ගෙදර ගියේ දූෂණය නිසයි කියන එක. මූලික වශයෙන් ගත්තහම දූෂණය නිසයි කියලා. තමුන්නාන්සේලාගෙන් බොහොමයක් දෙනා ඒකෙන් පාඩමක් ඉගෙන ගෙන නොතිබීම අවාසනාවක්. ඒගොල්ලෝ තවමත් පරණ පාරෙමයි යන්නේ. මං එක උදාහරණයක් දෙන්නං. මීට දවස් කිහිපයකට ඉස්සෙල්ලා මේ සභාවෙදී මං චෝදනා කළා නිවාස 65,000 ක් ගැන. එදා මේ විෂයට අදාළ ඇමතිවරයාගෙන් මං ඉල්ලා හිටියා, පුළුවන් නං නැහැ කියන්න කියලා ඒ නිවාස හදන ‘ආර්සෙලෝර් මිතාල්’ කියන ඉන්දියානු සමාගමේ දේශීය නියෝජිතයා රවි වෙත්තසිංහ කියලා කෙනෙක් නෙවෙයිද කියලා. ඔහු ඒක නැහැ කිව්වේ නැහැ. ඒක නිසා, ‘ආර්සෙලෝර් මිතාල්’ සමාගමේ දේශීය ඒජන්තයා මේ කියන රවි වෙත්තසිංහ කියලා මං කියනවා. මේ කියන්නේ මේ රටේ ඉන්න කුප‍්‍රකට චරිතයක්. මේ පුද්ගලයාගේ නම සඳහන් වෙනවා,

‘‘තැචර්ගේ වාසනාව: මාක් තැචර්ගේ ජීවිතය සහ කාලය’’ කියන පොතේ. ඒ 2002 දී. මට සතුටුයි අද මේ සභාවේ ගරු රුවන් විජේවර්ධන මැතිතුමා සිටීම ගැන. ඔබතුමාත් ඉන්න වෙලාවක මේ පුද්ගලයා රාත‍්‍රී සමාජ ශාලාවක එළියේ ගෝරියක් දා ගත්තා. ඒක වුණේ කොහොමද, මේ පුද්ගලයා මොන වගේ කෙනෙක්ද කියන එක වාර්තා වෙලා තියෙනවා. ඒ මේ විදිහටයි:

‘‘දේශපාලන ව්‍යාපාරවලට කෝටි ගණනින් සම්මාදම් කරන රවි වෙත්තසිංහ, බස් සමාගම් තුනක්- ඉබිස්, ට‍්‍රාන්ස්බස්, මේෆ්ලවර්- ඒකාබද්ධ කෙරුණු, බි‍්‍රතාන්‍ය බස් ව්‍යාපාරයක දේශීය ඒජන්තයා ය. 1993 දී රවි වෙත්තසිංහ මහතා, රජයට අයත් වේරහැර බස් කර්මාන්ත ශාලාව රුපියල් මිලියන 25 කට මිළට ගත්තේය. එහෙත් පසුව ප‍්‍රශ්නවලට මුහුණදීම නිසා ඔහු රට හැර ගිය පසු ඉහත කී බස් කර්මාන්ත ශාලාවේ සේවකයන් රුපියල් මිලියන 465 ක වැටුප් ගෙවීමට ආණ්ඩුවට සිදු විය. ඔහු රටින් බැහැරව සිටි අවස්ථාවේ..’’

මේ කාරණය දෙපැත්තටම වදින්න පුළුවන්..

‘‘… මැතිවරණයක් සඳහා ‘ජනතා සන්ධානයට’ රුපියල් මිලියන 7 ක් ලබා දුන් අතර එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයටද වියදම් කෙළේය.’’

ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා:

කීයක්ද?

එම්. ඒ. සුමන්දිරන් මහතා:

ගණන කීයද කියලා සඳහන් නැහැ. දැන් මේ මිනිහා තමයි ඉහත කියපු, පූර්ව-නිෂ්පාදිත වානේ ගෙවල් උතුරට හදලා දෙන සමාගමේ දේශීය නියෝජිතයා. මේ මිනිහා තමයි දෙපැත්තටම සල්ලි දෙන්නේ. ඊයේ තමයි, ජාත්‍යන්තර දූෂණ-විරෝධී දිනය. ගරු ජනාධිපතිතුමා කතාවක් කරමින් වගකීමකින් යුක්තව කිව්වා, තමන්ගේ ආණ්ඩුවෙන් දෙන ටෙන්ඩර්වලින් සියයට 50 ක් දූෂිතයි කියලා. තමුන්නාන්සේලාගේ ජනාධිපතිතුමාම මේක ප‍්‍රසිද්ධියේ කිව්වා. මාත් ඒ රැුස්වීමේ හිටියා. මං එතුමාට කිව්වා, ‘‘සියයට 50 ක් නෙවෙයි, සියයට 90 කටත් වඩා දූෂිතයි’’ කියලා. ඔහු ඒක නැහැ කිව්වේ නැහැ. එතකොට, ඇයි මෙහෙම වෙන්නේ? රට ඉස්සරහට ගෙනියන්න, මේ රටට අළුත් ආරම්භයක් ලබා දෙන්න, තමුන්නාන්සේලා ජාතික ආණ්ඩුවක් යටතේ එක් වෙලා ඉන්නවා නං, මුලින්ම තමුන්නාන්සේලා දූෂණයෙන් නිදහස් වෙන්න ඕනේ. එසේ නොකර මේ රටට ඉදිරියට යන්න පුළුවන් කමක් නැහැ.

ගරු මුදල් ඇමතිතුමා ඉතා උනන්දුවේන් අහගෙන ඉන්නවා. ඒ ගැන මං හුඟාක් සතුටුයි. මං හිතනවා මේ සම්බන්ධයෙන් අවශ්‍ය සියලූ පියවර තමුන්නාන්සේ ගනියි කියලා. තමුන්නාන්සේගේ සගයන්ට සහ තමුන්නාන්සේට එතකොට ‘හොරු’ කියලා වෙනත් අය කෑගහන එකක් නැහැ.

ගරු එම්. ඒ. සුමන්දිරන්:

තව එක දෙයක් තියෙනවා. ආණ්ඩුක‍්‍රව ව්‍යවස්ථා සභාව විදිහට අද උදේ අපි රැස්වුණු අවස්ථාවේ, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රස් නායක රවුෆ් හකීම් මහතා, රට පුරා පැතිරෙමින් තිබෙන ‘අතිථි භීතිකාවක්’ හෙවත් සුළු ජාතිකයන් සහ සුළු ජන කණ්ඩායම් ගැන නිර්මාණය කරගෙන තියෙන භීතිකාවක් ගැන සඳහන් කළා. මේක ඉතා බරපතල කාරණයක්. අපි මේ වසරේ අවසාන වරට රැස්වෙන අද දවසේ, රටේ ඇති වෙමින් තිබෙන ප‍්‍රවණතා වගයක් ගැන මං විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. අපි ඔක්කොම දන්නවා සිදුවෙමින් තියෙන්නේ මොකක්ද කියලා. මේ ප‍්‍රවණතාව නතර කරන්න, එක්කෝ අපිට හැකියාවක් නැහැ, එහෙම නැත්නම් අපිට උවමනාවක් නැහැ. උතුරු පළාත් සභාවෙන් සම්මත කර ගත්තා යැයි කියන යෝජනාවක් ගැන ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා කිව්වා. ගරු අධිකරණ ඇමතිතුමාත් ඒ ගැන මේ සභාවේදී පසුගිය දවසක සඳහන් කළා. ඒ දෙන්නාගේම ප‍්‍රකාශ නිවැරදි කරන්න මට ඕනේ. උතුරු පළාතේ බෞද්ධ විහාර ගොඩනගන්න බැහැ කියලා උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කරගෙන නැහැ. යමෙක් එහෙම කියනවා නං, ඒක බොරුවක්, ඒ වගේම දුෂ්ට චේතනාවෙන් කියන දෙයක්. උතුරු පළාත් සභාව සම්මත කරගෙන තියෙන එකම යෝජනාවෙන් කියැවෙන්නේ, කිසිම ආගමික ආයතනයක්, බෞද්ධ වෙන්න පුළුවන්, හින්දු වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්, ක‍්‍රිස්තියානි වෙන්න පුළුවන්, අනවසරයෙන් ඉදි කළ යුතු නැති බවයි. ඔය කියන සම්මත කර ගත් යෝජනාවෙන් කියන්නේ එච්චරයි. ඒක නිසා, ගිනි අවුළුවන කතා මේ සභාවේ කරන්න කලින් කෙනෙක් පරිස්සම් විය යුතුයි කියලා මං හිතනවා.

දිනේෂ් ගුණවර්ධන මහතා:

තමුන්නාන්සේ කියන විදිහට අපිට බෝ ගසකට වඳින්නත් බැහැ.

විජේදාස රාජපක්ෂ මහතා:

සර්, මේ කියන කාරණය මේ රටේ හැම පත්තරයකම වගේ ප‍්‍රධාන සිරස්තලවල තිබුණා. හැම ටෙලිවිෂන් නාලිකාවකම ප‍්‍රකාශයට පත්කෙරුණා. ඒත්, උතුරු පළාතේ මහ ඇමතිවරයාගෙන්වත්, උතුරු පළාත් සභාවේ වෙන කිසි මන්ත‍්‍රීවරයෙකුගෙන්වත් එය ප‍්‍රතික්ෂේප කරලා ප‍්‍රකාශයක් අපිට අහන්න ලැබුණේ නැහැ. එහෙම තියෙද්දී, එම කතාව බොරුවක් නං, ඒකට මං හරි, වෙනත් අය හරි වගකියන්න ඕනේද?

එම්. ඒ. සුමන්දිරන් මහතා:

මහ ඇමතිවරයා කළ ප‍්‍රකාශය අද පුවත්පත්වල තියෙනවා. ඔහු කියනවා, වර්තමාන අධිකරණ ඇමතිතුමා ඔහුගේ හොඳ මිත‍්‍රයෙක් සහ ඔහුව හොඳින් දන්න හඳුනන කෙනෙක් කියලා. ඊළඟට මහ ඇමතිවරයා මෙහෙම කියනවා: ‘‘ගරු අධිකරණ ඇමතිතුමාට පුළුවන් කමක් තිබුණා, මට කෝල් එකක් දීලා මේක මගෙන් අහන්න.’’ මේ රටේ මාධ්‍ය විසින් සිදු කරන්නේ මොකක්ද කියන එක ඔබතුමන්ලා දන්නවා. මේ වගේ ගිනි අවුළුවන්න මාධ්‍ය කරන කාර්ය භාරයත් ඔබ දන්නවා. ඒක නිසා කෙනෙක් ඒ ගැන හුඟාක් පරිස්සම් වෙන්න ඕනේ.

සරත් අමුණුගම මහතා:

මෙය ප‍්‍රතික්ෂේප කරමින් උතුරු පළාත් සභා මහ ඇමතිවරයා ප‍්‍රකාශයක් නිකුත් කළා නම් ඒක මාධ්‍යයේ ප‍්‍රචාරය කරන්න තිබුණා.

එම්. ඒ. සුමන්දිරන් මහතා:

මං කියන්නේ මේකයි.. (බාධා කිරීම්) නැහැ, නැහැ.. මාධ්‍ය හැම වෙලාවෙම ඒක කරනවා. මාධ්‍යයේ පළවෙන වාර්තා ප‍්‍රතික්ෂේප කරලා නිවේදන නිකුත් කරන්න ගියොත්, අපිට දිනපතාම ඒක කරන්න වේවි. ඒක නිසා මං ඉල්ලා සිටින්නේ, යම් ප‍්‍රකාශයක් කිරීමට පෙර..

කෙහෙලිය රඹුක්වැල්ල මහතා:

කොහොම හරි, අනවසර ඉදිකිරීම් ඇත්තේ නැහැනේ..

ඇම්. ඒ. සුමන්දිරන් මහතා:

කොහොම හරි, ඒ කාරණය මං දැං පැහැදිළි කළා. මං කියන වචනය භාර ගන්න. ඒක නිසා මීට පස්සේ ඒ වගේ ගිනි තියන කතා කියන්න එපා.

දිනේෂ් ගුණවර්ධන මහතා:

ඔබලා දෙන්නා අතරෙත් එකඟත්වයක් නැහැ.

එම්. ඒ. සුමන්දිරන් මහතා:

නැහැ, නැහැ.. අපි මුළුමණින්ම එකඟයි. අපි අයිති වෙන්නේ එකම පක්ෂයකට. මේ කාරණය සම්බන්ධයෙනුත් අපි එකඟයි. ඒ යෝජනාව වෙනුවෙන් මං පෙනී ඉන්නවා. මං හිතන්නේ නැහැ රටේ වෙන කිසි පළාතක වුණත් අනවසර ඉදි කිරීම් කරන්න ඉඩ දෙන්න ඕනේ කියලා. බෞද්ධ වේවා, ක‍්‍රිස්තියානි වේවා, හින්දු හෝ මුස්ලිම් වේවා එහෙම ඉඩ දිය යුතු නැහැ. හැම කෙනෙක්ම රටේ පවතින නීතියට හිස නමන්න ඕනේ. (බාධා කිරීම්) මං කතා කරන්නේ ඉදි කිරීම් ගැන.

දිනේෂ් ගුණවර්ධන මහතා:

තමන් කැමති කෙනෙකුට තමන්ට වඳින්න පුදන්න පුළුවන්.

එම්. ඒ. සුමන්දිරන් මහතා:

මං කියන්නේ නැහැ එහෙම බැහැ කියලා. (බාධා කිරීම්) මේ අද උදෙත් ඔබ එහෙම කරන්න උත්සාහ කළා.

දිනේෂ් ගුණවර්ධන මහතා:

කෙනෙකුට බුද්ධ ප‍්‍රතිමාවක් තියන්න පුළුවන්..

එම් ඒ සුමන්දිරන් මහතා:

මං මේ කතා කරන්නේ පන්සල් සහ පූජා ස්ථාන ඉදි කිරීම් සම්බන්ධව.

සර්, බුද්ධාගම සම්බන්ධයෙන් වුණත්, අපි කියන දේවල් වැරදි විදිහට රටට ඉදිරිපත් නොකිරීමට කෙනෙක් පරිස්සම් වෙන්න ඕනේ. අපි බුද්ධාගමට ගරු කරනවා. අපි හිතනවා, මේ රටේ බහුතරයක් වන බෞද්ධ ජනතාවට මේ රටේ නිසි ස්ථානය තියෙන්න ඕනේ කියලා. ඒකට අපි විරුද්ධ නැහැ. දැන් අපි අළුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කර ගන්න යන වෙලාවේ, බුද්ධාගමට ප‍්‍රමුඛ ස්ථානය ලබා දීම පිළිබඳ කාරණය නැවතත් ඉස්මත්තට ඇවිල්ලා තියෙනවා. මෙහිදී හුඟාක් පරිස්සම් වෙන්න ඕනේ. ඔබ කරන්නේ, උවමනාවෙන්ම රටේ ප‍්‍රශ්නයක් ඇති කරන්නයි. අවුලක් ඇති කරන්නයි. තමන් කියන කරන දේවල් ගැන කෙනෙක් පරිස්සම් වෙන්න ඕනේ. අපි උත්සාහ කරන්නේ ඒකට. ඒකයි අපි එක දිගටම කියන්නේ, බුද්ධාගමට යම් කිසි වැදගත් ස්ථානයක්, ප‍්‍රමුඛ ස්ථානයක් දෙනවට අපේ විරුද්ධත්වයක් නැහැ කියලා. මං නියෝජනය කරන පළාතේ බොහොමයක් දෙනා නෙවෙයි, සියල්ලන්ම පවා බෞද්ධයන් නොවන තත්වයක් තුළත්, මං ලෑස්තියි ඒ කතාව කෙලින්ම කියන්න. අපි ඒක දිගටම කරනවා. සර්, නීතිය ඉදිරියේ සියල්ලන් සමානයි කියන එකත්, ප‍්‍රතිපත්තියක්. මං හිතන්නේ අපි ඔක්කොම ඒකට එකඟයි. යමකට විශේෂ ස්ථානයක් පිරිනැමීම කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ, අදහස් විය යුතුත් නැහැ, අනිත් අය දෙවැනි තැනට පත්වෙන්න ඕනේ කියලා. මේ රටේ ජීවත් වෙන හැම පුරවැසියෙක්ම එක සමානයි. ඒක පැහැදිළිව තේරුම් ගන්න ඕනේ, පැහැදිළිව ලියා තියෙන්න ඕනේ. ඒක කරන්නයි අපි උත්සාහ කරන්නේ. ඒ එක්කම, බහුතර ජනතාව තුළ බියක් තියෙනවා නං ඒක පහ කරන්න අපි බලනවා. ඒ වගේම, සංඛ්‍යත්මකව සුළුතරයක් වෙන වෙනත් ජන කොටස්වලටත් සහතිකයක් තියෙන්න ඕනේ, ගණනින් පුංචි වුණත් ඒගොල්ලන්ටත් තැනක් තියෙනවා කියන එක ගැන. ඒගොල්ලෝ දෙවැනි පංතියේ පුරවැසියන් නොවෙනවා කියන එක ගැන. ඒකත් සහතික වෙන්න ඕනේ. (බාධා කිරීම්). කරුණාකරලා මට බාධා කරන්න එපා.

මූලාසනාරූඪ මන්ත‍්‍රීතුමා:

තව විනාඩි හතරයි තියෙන්නේ.

එම්. ඒ. සුමන්දිරන් මහතා:

හරි. ඒක නිසා, අළුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරගන්න අපි පටන් අරං තියෙන මේ දුෂ්කර ගමනේදී, අපි එකට වැඩ කරන්න ඕනේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම පක්ෂයක්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව තුළත් නියෝජනය වීම සහ පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටුව තුළ නියෝජනය වීම යහපත් දෙයක්. ඒක ඓතිහාසික ජයග‍්‍රහණයක්. මෙහෙයුම් කමිටුව 40 වතාවකට වඩා- මං හිතන්නේ 46 වතාවක් විතර- රැස් වෙලා මේ කරුණු සාකච්ඡා කරලා තියෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ, ඉතා සාධනීය ලක්ෂණයක්. ඒක නිසා, තව ඉදිරියට යද්දී මේ අවස්ථාව නැති කර නොගන්න පරිස්සම් වෙන්න ඕනේ.

අළුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගැන කතා කරද්දී නොයෙක් දෙනා ‘ජනමත විචාරණයක්’ ගැන බය වෙලා කියලා මට පේනවා. දැන් අපි මේක පැහැදිළිව කියලා තියෙනවා. මගේ නායකයා මේ සභාවෙදීත්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවෙදීත් කියලා තියෙන දේ මං නැවතත් මතක් කර දෙන්න ඕනේ. ඔහු මෙහෙම කිව්වා: ‘‘මේ රටේ සියළුම ජනතාව අනුමත කරන අළුත් ව්‍යවස්ථාවක් අපිට ඕනේ. ඒකට අනිවාර්යයෙන් ඇතුළත් වෙන්න ඕනේ මේ රටේ ජීවත් වෙන බහුතර ජනතාව. රටක ව්‍යවස්ථාවක් පවතින්න පුළුවන් කමක් නැහැ ඒක රටේ බහුතර ජනතාව බාරගන්නේ නැත්නම්.’’ ඒක නිසා අපි කරන්න හදන්නේ, මේ රටේ බහුතරයක් ජනතාවට අවශ්‍ය නැති දෙයක් නෙවෙයි. ඒත් ඒ එක්කලාම අපේ විස්වාසයක් තියෙනවා මේ රටේ ජීවත් වෙන බහුතර ජනතාවත් සාධාරණ ජනතාවක් කියලා. සමානාත්මතාව කියන මූලික මිනිස් සාරධර්මයට ගරු කරන ජනතාවක් කියලා. සමානාත්මතාව මත පදනම් වෙච්ච පුරවැසි භාවයට ගරු කරන ජනතාවක් කියලා. අන්න ඒ පණිවිඩය මේ රටේ බහුතර ජනතාව අතරට ගෙන යා යුතුයි. ඒත් බහුතර ජනතාව නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් එම පණිවිඩය බහුතර ජනතාව අතරට ගෙන ගොස් අපි කළ යුතුව තියෙන හරි දේ මේකයි කියලා ඒ ජනතාවට කියන්න බය වෙන එක ගැන මට තියෙන්නේ කණගාටුවක්. ඉච්ඡා භංගත්වයක්. මේකට බය වෙලා, එක දිගටම කියමින් හිටියොත්, ‘ජනමත විචාරණයකට ගියොත් අපි පරදිනවා’ කියලා, අපි ඒ ජනමත විචාරණය පරදින්නේ දූෂණය නිසාම මිසක් වෙන කිසි දෙයක් නිසා නෙවෙයි. අළුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අඩංගු කිසි දෙයක් නිසා නෙවෙයි. ඒක නිසා මුලින්ම තමන්ගේ කඳවුර හරිගස්ස ගන්න. දූෂණය පිළිබඳ තියෙන අදහස් ගැන සැලකිලිමත් වෙන්න. විනිවිද පෙනෙන විදිහට වැඩ කරන්න. ජනතාව ඉදිරියට යන්න. ජනතාවට ඒත්තු ගන්වන්න ඔබ ඇත්තෙන්ම ‘යහපාලනය වෙනුවෙන්’ කියන එක. කරුණාකරලා ජනතාවට කියන්න, මේ රටේ ජීවත් වෙන සංඛ්‍යාත්මක සුළු ජාතීනුත් හිතනවා නං මේක අපේ රට කියලා, අපි තවදුරටත් දෙවැනි පංතියේ පුරවැසියෝ නෙවෙයි කියලා, අපිටත් මේ රට ගැන සමාන කැක්කුමක් තියෙනවා කියලා- ඒ සියලූ ජනතාව සමග ඉදිරියට ගමන් කිරීම තමයි නිවැරදි දේ කියලා ජනතාවට කියලා දෙන්න. රටේ එක්සත් භාවය ඇති කර ගන්න ඒක අත්‍යාවශ්‍යයි.

ඉතිං, මේ කතාව අවසන් කරමින් මට කියන්න තියෙන්නේ මේකයි. අපේ ඉදිරි ගමනේදී, මූලික සමාජ ගිවිසුම වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අළුතෙන් හදාගෙන සමෘද්ධිමත් සහ නව යුගයක් 2017 දී අපි දකිමු.

ඔබට ස්තුතියි.
[දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පාර්ලිමේන්තුවේදී කළ කතාවේ (අවසාන කොටස) සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා‘ අනුග‍්‍රහයෙනි]

 

උපුටාගැනීම: Sinhala.srilankabrief.org

Leave a Reply

Your email address will not be published. Required fields are marked *