ඉන්දියාවේ බැංගලෝර්හි වාසය කරන නාදිකා නඞ්ජා විසින් රචනා කරන ලදුව Arrow for change සඟරාවේ Gender, Romance and the Internet ලිපියේ සිංහල පරිවර්තනයේ තෙවන කොටස සමබිම 2017 මාර්තු කලාපයේ පළ වූ අතර මෙවර ඔබ වෙත ගෙන එන්නේ එහි සිව්වන කොටසයි. නාදිකා නඞ්ජා ඉන්දියාව තුළ වෙනස් ලිංගික අනන්‍යතාවයන් සහිත ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් (LGBTIQ Rights) වෙනුවෙන් ලේඛන කාර්යයේ යෙදෙන අතර ‘ගැහැනුන්’ සහ ‘පිරිමින්’ වශයෙන් වන ද්විත්ව ලිංගිකාකාරයෙන් බැහැර (Non-binary person) අයෙකු වශයෙන් නාදිකා තමාව හඳුන්වා ඇත.
මතිමතාන්තර ගණනාවක්, සහ මිනිස්සුන්ගේ දුර්මත ගණනාවක් භාවිතයට ගනිමින්, අත්හදා බලමින් සහ අතහැර දමමින් ගිය ගමනකින් පසුවයි මට මා හැඳින්විය හැකි නිවැරදිම ලේබලය හමුවුණේ.
මගේ ලිංගික අනන්‍යතාවය ගැන වගේම ‘තවමත්’ පිරිමියෙකුවීම යන කාරණා දෙක ගැනම දිගින් දිගටම පසුතැවෙමින් කල් ගත කරන්න මට සිදුව තිබුණා. ඒ නිසාවෙන්ම මම මගේ සැබෑ අනන්‍යතාවය වගේම ලිංගිකත්වය ගැන මගේ හිතේ තිබුණු සැක සාංකාවන් පවා මම ඒ වන විට අන්තර්ජාලයේ චැට් කරමින් සිටි පුද්ගලයා වෙත හෙළිකරන එක දිගින් දිගටම ප්‍රමාද කළා. තමන්ගේ ආශාවන් සහ තෝරාගැනීම් ගැන ප්‍රශ්න කිරීමක් නොකර තවත් ගැහැනියක් මා ළඟා කර ගන්නට බලාපොරොත්තු වන මගේ චරිතය භාරගන්න ඉදිරිපත් වේවි ද?
සමලිංගික ගැහැනු සම්බන්ධතාවන් ගොඩනගා ගැනීම සඳහා පමණක් වෙන්වූ විශේෂ අවකාශයන් තිබෙනවාය යන්න ඉතාම මෑතක් වනතුරු මගේ අවධානයට ලක්නොවුණු කාරණයක්. ඒත් වර්තමාන ලෝකය තුළ එවැනි අවකාශයන් ඉඩප්‍රස්ථාවන් ප්‍රමාණයෙන් අති විශාලයි. ඔබගේ අවශ්‍යතාවයන් සහ නැඹුරුතාවයන්ට ගැලපෙන අයට පමණක් ඔබගේ අන්තර්ජාල පැවැත්ම දකින්නට සැලැස්වීමේ හැකියාවන්ගෙන් පවා මේ ඇතැම් නවීන අවකාශයන් සමන්විතයි. ලිංගික නැඹුරුතාවය අතින් විපරිවර්තනය වෙමින් සිටින ගැහැනියකට මෙවැනි අවකාශයන් තුළ ඉඩක් ලැබේවි ද? ලිංගිකත්වය අතින් කාන්තාවන් ප්‍රිය කරන ලිංග-පරිවර්තිත කාන්තාවක වශයෙන් මගේ නැඹුරුතාවය අතිශයින්ම අව්‍යාජ එකක්. ඒත් මගේ භෞතික ශරීරය, මගේ කට හඬ, ඉදිරියට නෙරාවිත් තිබෙන මගේ උදරය? ඒ දේවල් මගේ මේ නැඹුරුතාවයට කොයිතරම් නම් ගැලපේවි ද?
අන්තර්ජාලය ඔස්සේ විකාශනය වුණු Her Story නමින් වන මාලා නාටකයේ එන ‘වීයී’ නමැති චරිතය ගැන මෙතනදි සඳහන් කළ යුතුයි. මේ චරිතයට පණ පොවන්නේ ඉහත කී නාට්‍යයේ නිර්මාණකරුවන් කිහිප දෙනාගෙන් අයෙකු වන ජෙන් රිචර්ඞ්ස් නම් රංගන ශිල්පිණියයි. නාට්‍යයේ එක්තරා තැනකදි ඇය ඇලී නම් කාන්තාවක් සමග ප්‍රේමයෙන් බැඳෙනවා. නාට්‍ය තුළ ඇලීගේ චරිතය ගොඩනැගෙන්නේ සමලිංගික කාන්තාවක වශයෙන්. නමුත් ඇය අවිනිශ්චිත ලිංගික ස්වරූපයක් සහිත (Queer) චරිතයක්. ඇයගේ චරිතයෙන් ප්‍රකට වන්නේ පිරිමි පුද්ගලයෙකුගේ දේහ සහ හැසිරීම් ලක්ෂණ. මේ නාට්‍යයේ ඉතාමත්ම සුන්දරව නිර්මාණයව තිබෙන එක්තරා දර්ශනයක් අතරතුරු වීයී ඇයි තමන් එවැනි ගැහැනියක සමග ප්‍රේමයෙන් බැඳුනේ කියන කාරණය පැහැදිලි කරනවා. ඇයට අනුව, තවත් ගැහැනියක සමග සම්බන්ධතාවයක නිරතවීමට වඩා තවත් පිරිමියෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක නිරතවීමයි ඇයට වඩාත්ම පහසු.
වීයී මෙතැනදි සිදු කරන පැහැදිලි කිරීමට අනුව ඇය ලිංගිකව පරිවර්තනය වූ තැනැත්තියක්. ඒ අනුව ඇයට දැන් තමන් තුළ වඩාත් දැනෙන්නේ ගැහැනුභාවය මිස පරිවර්තනයට ප්‍රථමව ඇය අත්විඳි පිරිමි ස්වභාවය නෙවෙයි. ඇය තවත් පිරිමියෙකු සමග දිවි ගෙවද්දී හෝ ලිංගිකව එක් වෙද්දී ඇයගේ මේ නව ස්ත්‍රීත්වය සහ ස්ත්‍රී හැඟීම කිසිසේත් ප්‍රශ්නයකට ලක්වෙන්නේ නැහැ. බාහිරින් වගේම ඇතුළාන්තයෙනුත් දැන් වීයී ගැහැනියකට සමානයි. නමුත් වීයී තවමත් යම් දුරකට ඇයගේ හැඟීම් සමග සටන් කරනවා. කෝෆි අවන්හලක ඇතිවන ඉතාම සාමාන්‍ය සංසිද්ධියක් ප්‍රකට කරවන නාට්‍යයේ එක්තරා අවස්ථාවක පවා වීයී තමන්ගේ ලිංගික අනන්‍යතාවය පිළිබඳ ඇලී සමග නොදැනුවත්වම තර්ක කරනවා. පිරිමියෙකුව සිට ලිංගිකව පරිවර්තනය වී කාන්තාවක් බවට පත්වූ පුද්ගලයෙකුට තවත් පිරිමියෙකු සමග ලිංගික සම්බන්ධතාවයක නිරතවීම තමාගේ නව තත්ත්වය පිළිබඳව සැක සාංකාවන් ජයගැනීමට උපකාරයක් වන්නේ ඒ ආකාරයෙන්.
ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් නගරය කේන්ද්‍ර කරගෙන ගොඩනැගෙන මෙම නාට්‍යයේ වීයී, ඇලී සහ පේජී වැනි චරිත සැබෑ ලෝකයේ හමුවන ලිංගිකව පරිවර්තනය වූ පුද්ගලයන්ගේ චරිතයන්ට වඩා හාත්පසින්ම වෙනස්. විශේෂයෙන් ලිංගිකව පරිවර්තනයව කාන්තාවක් බවට පත්වූවන්ටත්, එයිනුත් ඉන්දියාවේ සහ ආසියාවේ සෙසු ප්‍රදේශවල ජීවත් වන එවැනි පුද්ගලයන්ටත් වඩා නාට්‍යයේ චරිත අතිශය වෙනස්. මා ජීවත් වන සංස්කෘතිය සහ නාට්‍යයේ චරිත අත්විඳින සංස්කෘතිය අතර ඇති පරතරය මධ්‍යයේ වුණත් ඉහත කී නාට්‍ය දර්ශනය ගැහැනුන්ට ආකර්ෂණය වන, ලිංගිකව පරිවර්තනය වූ ගැහැනියක වශයෙන් මගේ හිත කම්පනයට ලක් කරන්නට සමත් වුණා. වීයීට සහ වෙනත් එවැනි ලිංගිකව පරිවර්තනය වූ ගැහැනුන් ගණනාවකට වගේම මටත් ජීවන සහකරුවෙකු තෝරා ගැනීමේ අරමුණ වෙනුවෙන් මගේ ලිංගික අනන්‍යතාවය ගැන නැවත නැවත සිතන්නට සිදුවෙනවා.
පරිවර්තනය කළේ ප්‍රගීත් ලියනාරච්චි
උපුටාගැනීම සමබිමෙන්