සම්මුතිවාදී ජාතික ආණ්ඩුවේ ප්‍රථම කැබිනට් සංශෝධනය සිදුවී අවසන්ය. කිසිදු ඇමැතිවරයෙකු ඉවත් කිරීමක් සිදුනොවූ අතර සිදුවූයේ ඇමැතිවරුන්ගේ විෂය පථය එකිනෙකා අතර මාරුවීම පමණකි.
මේ අතරින් වඩාම කථාබහට ලක්වූයේ මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර යන දෙදෙනාට අදාළ අමාත්‍ය පදවි වෙනස්වීම පිළිබඳවය. රවීගේ මුදල් ඇමැතිකම මංගල වෙත පිරිනැමුණු අතර එයට ජනමාධ්‍ය විෂයද එකතු විය. පෙරළා මංගලගේ විදේශ ඇමැතිකම රවී වෙත පිරිනැමුණි.
වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව කැබිනට් මණ්ඩලය යනු අගමැතිගේ කැබිනට් මණ්ඩලයයි. වර්තමාන ශ්‍රී ලංකාවේ පවතින වෙස්ට්මිනිස්ටර් සහ ඩිගෝලියානු දෙමුහුම් ආණ්ඩුක්‍රමය අනුව එය වනාහි ජනාධිපති සහ අගමැතිගේ කැබිනට් මණ්ඩලය ලෙස සැලකිය හැකිය. ඇමැතිවරුන් පත් කිරීම, මාරු කිරීම මෙන්ම ඉවත් කිරීමද ජනාධිපතිගේ සහ අගමැතිගේ මනාපය මත රඳා පවතියි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වූ වහාම දිවුරුම් දුන් කැබිනෙට්ටුවේ විදේශ අමාත්‍ය ධුරය මංගල සමරවීරට හිමිවූ අතර, මුදල් අමාත්‍ය ධුරය රවී කරුණානායකට හිමිවිය. මේ තනතුරු දෙක ආණ්ඩුවේ පැවැති අභියෝගාත්මකම තනතුරු දෙක යැයි කීම අතිශයෝක්තියක් නොවේ. පසුගිය දිනෙක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ තම ආණ්ඩුව භාර ගත්තේ මානව හිමිකම් ලෙඬේ සහ ණය ලෙඬේ වැළඳී තිබුණු රටක් බවය. එම ලෙඩ දෙක සුවකිරීමට අදාළ වගකීම් පැවරී තිබුණේ මංගලට සහ රවීටය. විදේශ ඇමැති වශයෙන් මංගල මානව හිමිකම් ලෙඬේ සුවකිරීම සඳහා මැදිහත්වී පියවර ගත් අතර, ණය ලෙඬේට පිළියම් සෙවීම සිදුකරන ලද්දේ මුදල් ඇමැති වශයෙන් රවී විසිනි. වසර දෙකහමාරකට පසුව මානව හිමිකම් ලෙඬේ සහ ණය ලෙඬේ සුවකිරීමේ මාර්ගයට තමන් පිවිස ඇති බව ආණ්ඩුව ප්‍රකාශ කරන බැවින් අදාළ වගකීම් දැරූ ඇමැතිවරුන්ටද ඒ කීර්තියෙන් සැලකිය යුතු කොටසක් හිමි වෙයි.
මංගලගේ සම්භවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ඔහු පාර්ලිමේන්තුවට යන්නේ 1989දී විපක්ෂ මන්ත්‍රීවරයෙකු වශයෙනි. 1994දී පිහිටවූ පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙකු වූ ඔහු 2007 වසරේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ඇමැති ධුරයෙන් ඉවත් කළ අතර, ඉන් අනතුරුව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ (ම) පාර්ශ්වය පිහිටුවා විපක්ෂයට එක්විය. 2010 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට බැඳී තරග කොට පාර්ලිමේන්තුවට පත්වූ ඔහු අද එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයෙකි.
රවී කරුණානායක යූඇන්පී කාරයෙකි. ලලිත් ඇතුලත්මුදලි මහතාගේ ආධාරකරුවෙකු වූ ඔහු 1991 දී ජනාධිපති ප්‍රේමදාසට එරෙහිව දියත් කළ දෝෂාභියෝගයත් සමගම පක්ෂයෙන් ඉවත් වූ ලලිත්-ගාමිණී- ප්‍රේමචන්ද්‍ර ඇතුළු මන්ත්‍රී කණ්ඩායම විසින් පිහිටවන ලද ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණට එකතු විය. ලලිත් ඇතුලත්මුදලි මහතා සහ ඉන් අනතුරුව ආර් ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනයට ලක්වීමෙන් අනතුරුව ගාමිණී දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයට නැවත සම්බන්ධවීමෙන් පසු, ශ්‍රීමනී ඇතුලත්මුදලි මහත්මියගේ නායකත්වයෙන් යුතු ලලිත් පිල සමග පොදුජන එක්සත් පෙරමුණට එක්වන රවී 1994 දී පාර්ලිමේන්තුවට පත්වෙයි. 1996දී ශ්‍රීමනී ඇතුලත්මුදලි මහත්මිය ඇමැති මණ්ඩලයෙන් ඉවත් කෙරෙන අතර, රවී විපක්ෂය පැත්තට ඇදී ගියේය. 1998 සිට ඔහු ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අතර, 2000 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරග කොට පාර්ලිමේන්තුවට පැමිණියේය. ඉන් අනතුරුව ඔහු ක්‍රමානුකූලව එක්සත් ජාතික පක්ෂයේ මුල් පෙළේ නායකයෙකු බවට පත්විය. එක්සත් ජාතික පක්ෂයේ පතාක යෝධයන් 2005 ජනාධිපතිවරණ පරාජයෙන් පසුව මහින්ද රාජපක්ෂගේ දෑත ශක්තිමත් කිරීමට පෙළ ගැසෙද්දී රවී පක්ෂය සමග සිට ගත්තේය.
2005 මැතිවරණ පරාජය, නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා ඇතුළු ප්‍රබල නායකයන් ගණනාවක් පක්ෂය හැර ගොස් ආණ්ඩුවට සම්බන්ධ වීම, යුද ජයග්‍රහණයන් සමග ඇතිවූ ජනාකර්ෂණවාදයේ නැගීම සහ පක්ෂය තුළ සිටි භේදකාරීන්ගේ කකුලෙන් ඇදීම් ආදියෙන් හෙම්බත්වී සිටි එක්සත් ජාතික පක්ෂය වාමාංශික පක්ෂ, සුළු ජාතික පක්ෂ සහ සිවිල් සමාජය සමග එක්වූ නව සන්ධානයක් ගොඩනගන්නට එවකට විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපායමාර්ගික මෙහෙයුමක් ආරම්භ කළ විට, එය සාර්ථක කරගැනීමට දායක වූ ප්‍රධාන සම්බන්ධතා පුරුක වූයේ මංගල සමරවීරය. වික්‍රමබාහු, සිරිතුංග, මනෝ ගනේෂන් වැනි නායකයන් පමණක් නොව සරවනමුත්තු, නිමල්කා, වැලිඅමුණ, බ්‍රිටෝ සහ මෙම ලියුම්කරුද ඇතුළත්වූ සිවිල් සමාජ බලවේගය “නිදහසේ වේදිකාව” ලෙස සංවිධානය වී 2009 දී වැඩ ආරම්භ කරන්නේ ඒ හා සමගාමීවය. මෙම වෑයමට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන්ගෙන් විශ්වසනීය ප්‍රතිචාරයක් නොලැබුණි. එහෙත් මේ සඳහා දායක වූ අතලොස්සක් වූ ප්‍රධාන පුද්ගලයන් අතර රවී කරුණානායක (සහ එවකට මහ ලේකම් තිස්ස අත්තනායක) කැපී පෙනෙයි.
2009 මැයි මාසයේදී යුද්ධය අවසන් වීමත් සමගම ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් දිනා ගත් ජනාකර්ෂණය නිසා එක්සත් ජාතික පක්ෂය මතු නොව සමස්ත විපක්ෂය සහ විසම්මුතිකයන්ද පසුබෑමකට ලක් වූ මොහොතේ සිට, නැවත ඉදිරියට යන්නට මංගල සහ රවී ප්‍රබල මෙහෙයක් කළෝය. 2010 ජනවාරියේ දී පොදු අපේක්ෂකයා ලෙස හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා ඉදිරිපත් කිරීමේ මෙහෙයුමෙහි සිට, 2015 ජනවාරියේදී පොදු අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීම දක්වා සිදු කරන ලද මෙහෙයුම් ගණනාවක මංගල සහ රවී පෙරමුණෙහි සිටියහ. ඒ අතර 2009දී ගොඩනැගූ නිදහසේ වේදිකාව, 2010දී ගොඩනගූ ඒකාධිපති වියරුවට එරෙහි ජනතා ව්‍යාපාරය, 2012 දී ගොඩනැගූ විපක්ෂයේ විරෝධය, 2013 දී ගොඩනැගූ සමගි බලවේගය ආදී මහජන ව්‍යාපාර වෙයි.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පරාජය කරනු පිණිස බලවත් මාධ්‍ය ව්‍යාපාරිකයෙකු විසින් මෙහෙයවන ලද කැරැලිවලදී රනිල් වික්‍රමසිංහ නායකත්වය ආරක්ෂා කළ මංගල සහ රවී, එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයද නියෝජනය කළේය. විපාක්ෂික සහ විසම්මුතික බලවේග එකතු කොට සුසම්බන්ධ කිරීමට මංගල සහ රවී ඇතුළු පිරිසක් විසින් ගත් උත්සාහය සාර්ථක නොවන්නට 2015 දී තුන්වන වරටත් මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වී රට ඒකාධිපතිවාදයක් කරා ගෙන යාමේ ගමන සම්පූර්ණ විය හැකිව තිබිණි.
කැබිනට් සංශෝධනයේදී මංගලගේ සහ රවීගේ අමාත්‍යංශ සංශෝධනය වූයේ මන්දැයි සෙවීම මෙම කෙටි ලිපියේ අරමුණ නොවේ. ඔවුන් සම්මුතිවාදී ආණ්ඩුවේ ඇමැති මණ්ඩල සාමාජිකයන් වශයෙන් තමන්ට අලුතෙන් පැවරුණු කාර්යයන් නිසි ලෙස ඉටු කරනු ඇතැයි යන්න අපගේ බලාපොරොත්තුවයි. එක් අතකින් ආණ්ඩුව තම ගමනේ අඩක් සම්පූර්ණ කර ඇති අවස්ථාවෙහි අලුත් වගකීම් පැවරෙනු ලැබීම තම පෙර වගකීම් නිසි ලෙස ඉටු කළ අයවලුන් ලෙස ඔවුනට තම දක්ෂතා නැවත වතාවක් පෙන්වීමට අවස්ථාවක් විය හැකිය. අවසාන විනිශ්චයේදී කැබිනට් මණ්ඩලය තෝරා ගැනීම සහ වෙනස් කිරීම වනාහි අපගේ කාර්යයක් නොව ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ වගකීමකි. ඒ එහි සමස්ත ප්‍රගතිය සම්බන්ධව වගකිවයුතු වන්නේ ඔවුන්ම වන බැවිනි. මේ ලිපියේ අරමුණ ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ ඇතිකිරීම උදෙසා වන ආණ්ඩුවක් ගොඩනැගීමේ දුෂ්කර සහ වෙහෙසකර ගමනට මංගලගෙන් සහ රවී ගෙන් ලැබුණු දායකත්වය එම ගමනෙහි රැඳී සිටි ගමන් සගයෙකු ලෙස සටහන් කර තැබීමයි.
සුදර්ශන ගුණවර්ධන
උපුටාගැනීම සමබිමෙන්