උපුටාගැනීම්විශේෂාංග

ගෝඨා ව්‍යාපෘතිය සහ ජාතික ආරක්‍ෂාව

නිලන්ත ඉලංගමුව

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රටේ රණවිරුවන් සම්බන්ධයෙන් මතු වී ඇති විවාදය ගැන තම ස්ථාවරය යළිත් පැහැදිලි කරණු ලැබීය. “යුද සමයේ පැවැති තත්ත්වයන් වලදී මානව හිමිකම් කඩවීම් සහ වෙනත් කරුණු සම්බන්ධයෙන් අපේ ආරක්‍ෂක හමුදාවට රජයට එල්ලවී ඇති යෝජනා සහ චෝදනාවලදී මම පැහැදිලිව කියන්නට ඕන රජයේ ප්‍රතිපත්තිය විදියට මගේ ප්‍රතිපත්තිය විදියට මේ රටේ කිසිම රණවිරුවෙක්‌ විත්තිකාරයෙක්‌ කරන්න මම ලැස්‌තිත් නැහැ විත්තිකාරයෙක්‌ කරන්නෙත් නැහැ කියා. අපි ඒවාට කළබල විය යුතු නැහැ,” ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවේ මෙසේය. “සමහර අය මගෙන් මිත්‍රශීලි ලෙසවිවේචනශීලි ලෙස, දේශපාලන ප්‍රතිවාදීන් ලෙස අහනවා, දැනට අපි ලබා තිබෙන ජාත්‍යන්තර සහයෝගය, ජාත්‍යන්තර විශ්වාසය සහ මීට පෙර කිසිම කලක නොදුටු නොතිබූ ලෝකයේ සෑම රාජ්‍යයකම නායකයෙක්‌ සහ ජාත්‍යන්තර සංවිධානවලින් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු අපිට තිබෙන සහයෝගයෙන් අපි ගන්නාවූ ප්‍රයෝජනය කුමක්‌ ද කියා අහනවා. මම පැහැදිලිව කියන්නට ඕන ලෝකයේ ඉහළම ප්‍රබලම රාජ්‍ය නායකයන් මට පෞද්ගලිකව සහතික වී තිබෙනවා කුමනාකාරයේ ප්‍රශ්න මතුවූවත් මේ රටේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතාවගේ අයිතීන් වගේම රණවිරුවන් පිළිබදව ඇති වන ප්‍රශ්නයක්‌ පිළිබදව ගැටලු සහගත තත්ත්වයක්‌ ඇති වෙන්න ඉඩදෙන්නේ නැහැ. ඒ සියල්ලේදීම රජය සමඟ ඒ අය සිටිනවා.”

මහින්ද සහ මෛත්‍රීගේ “රණවිරු ඇදහීම”

මීට යම් ආකාරයට ප්‍රතිචාරයක් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සතිඅන්ත පුවත්පත් ඉලක්ක කරගනිමින් නිවේදනයක් නිකුත් කරනු ලැබීය. “2015 හා දැන් නැවතත් 2017 ලංකාවේ සම අනුග්‍රාහකත්වයද සහිතව ජිනීවාහිදී සම්මත කරගත් යෝජනාවල භයානකම අංගය වන්නේ 2015 සැප්තැම්බර් මාසයේදී එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ කාර්යාලය විසින් මානව හිමිකම් කවුන්සිලයට ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද වාර්තාව කිසිදු ව්‍යතිරේකයක්‌ නොමැතිව පිළිගෙන තිබීමයි. මෙකී වාර්තාවේ සිවිල් වැසියන් ඝාතනය කිරීමවධබන්ධන පැමිණවීම, ලිංගික අපරාධ, පැහැරගැනීම්, සිවිල් වැසියන්ට ආහාර හා බෙහෙත් නොලැබීමට සැලසීම ඇතුළු යුද අපරාධ චෝදනා අපේ ත්‍රිවිධ හමුදාවට එල්ල කොට තිබුණි. තමන් තුළ නෛසර්ගිකව ඇති ජාති ද්‍රෝහී ආකල්පය හේතුවෙන් මිස එවන් වාර්තාවක්‌ පිළිගැනීමට යහපාලකයන්ට වෙනත් කිසිදු හේතුවක්‌ නොවීය,”  මහින්ද රාජයපක්ෂ මහතා සඳහන් කළේය.

එසේම තම ධූර කාලය තුළදී සිදු කළ කටයුත්තක් ලෙස හඳුන්වමින් හිටපු ජනාධිපතිවරයා තම නිවේදනය ඔස්සේ ඉදිරිපත් කළ කාරණයක් විය. එනම්, “අපගේ සන්නද්ධ හමුදාවලට එරෙහිව විවිධ පාර්ශව විසින් එල්ල කරන චෝදනා වලට ප්‍රතිචාර දැක්‌වීම සඳහා ලංකාවට එරෙහිව එල්ල වෙන චෝදනා සහ ඉදිරිපත් කරන සාක්‌ෂි ගැනයුද නීතිය පිළිබඳ ජාත්‍යන්තර විශාරදයන් වන ඩෙස්‌මන්ඩ් ද සිල්වා, රොඩ්නි ඩික්‌සන්, මහාචාර්ය ඩේවිඩ් කේ්‍රන්, ශ්‍රීමත් ජෙෆ්රි නයිස්‌, මහාචාර්ය මයිකල් නිවුටන් සහ මේජර් ජෙනරාල් ජෝන් හෝම්ස්‌ යන අය ගෙන් අපි ලිඛිත අදහස්‌ දැක්‌වීමක්‌ ඉල්ලා සිටි අතර, මේ විද්වතුන් හයදෙනාම අප වෙත දන්වා සිටියේ ලංකාවේ ත්‍රස්‌තවාදය මැඬලීමේදී පවතින ජාත්‍යන්තර යුද නීතිය කිසිසේත්ම උල්ලංඝනය වී නැති බවයි. යුද නීතිය පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන් හයදෙනාගේම ලිපි එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට අපි සූදානම් වෙමින් සිටි අතරතුර 2015 ජනාධිපතිවරණයෙන් අප පරාජය විය. අලුතින් පත් වූ ආණ්‌ඩුව ලංකාවේ කිසිදු යුද අපරාධයක්‌ සිදු නොවූ බවට මේ ජාත්‍යන්තර විද්වතුන් හයදෙනා ලබා දුන් ලිඛිත විශ්ලේෂණ සියල්ල යටපත් කරන ලදී.”

දෙදෙනාම එකම රවුමක කැරකෙමින් එකම අදහස වෙනස් තාලයකට සඳහන් කරති. මෙය අරුමයක් නොවේ. රට තුළ දේශපාලනය දෝලනය වන ආකාරය අනුව, අයෙකු නැති වූ බලය  යළි ලබා ගැනීමට උත්සහ කරන අතර තවකෙකු තමන් සතු බලය රැකගැනීම සඳහා කරනු ගෙනහැර දක්වති. මේ නිසා මොවුහු බොරු කියන්නේද? ඇත්ත කියන්නේද? යන කරණය මෙහිදී වැදගත් නැත. මෙහිදී වැදගත් වන්නේ මෙම අදහස් දැක්වීම් තුළ ගැබ්වී ඇති තම ප්‍රතිපත්ති විසින් මෙරටට සිදුකළ සහ සිදුකරමින් සිටින  හානිය හෝ සේවය ගැන විමසා බැලීමය.

ජල පොඳක් බීමට නොමැතිව රටේ මිලියන ගණනක්  ජනතාව පීඩා විඳින විට පාර්ලිමේන්තුව තුළ තම බලය රැකගැනීම සඳහා රටේ ජාතික සම්පත් කිසිඳු හිරිකිතයක් නොමැතිව විකා දමන සතුන්ට මදක් වෙනස් නමුත් “සත්ව ගති” ඇති පිරිසක් නඩත්තු කිරීම සඳහා පරිපූරක ඇස්තමේන්තු දමමින් ඔවුන්ගේ ආශාවන් සන්තර්පනය කරන විට දැක ගත හැකි ඇත්ත කුමක්ද? එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ යුනිසෙෆ් සංවිධානයේ වාර්තාවලට අනුව වසර හතළියකට පසු රට තුළ ඇති වූ දරුණුතම නියඟය මෙයයි.  බොහෝමයක් පාරිසරික ව්‍යාපෘති මෙන්ම ඇතැම් පෞද්ගලික සමාගම්  විසින් සිදුකරණ ව්‍යාපෘති නියමිත  ප්‍රමිතීන්ට අනුව කළමනාකාරණය නොකිරීමේ වන්දිය මෙයයි. මෙම කාරණය තව තවත් සංකීරණ වීම හැරෙන්නට එය විසඳීම සඳහා තත්කාලීන වැඩපිළිවෙලක් ඇති කිරීමට කිසිඳු පුද්ගලයෙකු කටයුතු නොකරන ආකාරයකි. මෙය ජාතික ආරක්ෂාවට සම්බන්ධ කාරණයකි. රටේ හැදෙන පළතුරු රට තුළ සාදාරණව බෙදාහැරීමට ක්‍රමවත් කිරීමට වැඩපිළිවෙලක් නොමැත්තේ නම්, රටේ හැදෙන ධාන්‍යය වර්ග රට තුළ බෙදා හැරීමට සහ ඒ තුළින් ජනතාවගේ දෛනික අවශ්‍යතා සැපිරීමට අසමත් වන්නේ නම්, රටේ ධීවරයින්ගේ මත්ස්‍ය අස්වැන්න සාදාරණ ලෙස රට පුරා බෙදා හැරීම සඳහා ක්‍රමවත් යාන්ත්‍රණයක් නොමැත්තේ නම් සහ මිනාසාගේ මූලික අවශ්‍යතාවයන් සියල්ල ඉතාම සුළු පිරිසකගේ අපහරණයට ලක් වී ඒ සියල්ල මර්ධනය කොට තමන්ට අවශ්‍යය ආකාරයෙන් මෙහෙවීම සඳහා ඒකාධිකාරියක් නිර්මාණයක් කොට ඇත්තේ නම්, සංවර්ධනයක් හෝ යහපත් දිවියක් ගැන සිහින දැකිය හැකිද?

රටක ජාතික ආරක්ෂාව යනු රාජ්‍යය පාලනය කරන්නා විසින් සිදු කරන අතවර සහ වංචාවන් වලට එරෙහිව නැගී සිටින පුද්ගලයින් මරා දැමීම “වීරත්වය” ලෙස අර්ථගන්වමින් රටේ සියලුම ගැටලු ඊට ලඝු කිරීම නොවේ. ජාතික ආරක්‍ෂාව  යනු රටක වෙසෙන ඕනෑම අයෙකුට තම මූලික අයිතීන් භුක්ති විඳිමින් සාමකාමීව ජීවත් වීමට හැකි වටපිටාව සකස් කිරීම වේ. එය තහවුරු කිරීම සඳහා අවශ්‍යය වන්නේ දිගුකාලීන රාජ්‍යය ප්‍රතිපත්ති සහ ඒවා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට සමත් සහ අවංක වුවමනාවක් ඇති ආණ්ඩුය. රටේ සිදු වී ඇත්තේ මෙම මූලික කාරණය නොදැන ආණ්ඩු කිරීම නොව, මෙම කාරණා ඉතාම මනා ලෙස අවබෝධ කරගෙන  තම පෞද්ගලික අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා එම මූලික කාරණා අපහරණය කිරීමය. රාජ්‍යය සම්පත් කොල්ල කෑම තම මූලික අරමුණ කරගනිමින්  රාජ්‍යයක් පාලනය කරන්නා සහ රාජ්‍යය සම්පත් අවභාවිතා කොට ඒවායෙන් තම පෞද්ගලික ධනය ශක්තිමත් කරගැනීමට තම පවුලේ සාමාජිකයින්ට ඉඩදී තමන් ශීලවන්ත්යෙකු ලෙස දිවි ගෙවන්නා අතර කිසිඳු වෙනසක් නැත. මෙම නාටක දෙක තුළින්ම සිදුවන්නේ එකම විපාකයකි. එනම්, රටේ ජනතාව තව දුරටත් අසහනයෙන් මෙන්ම පීඩාවෙන් පෙළෙන රෝගී ජනතාවක් බවට පත්වීම පමණි.

රණවිරුවා නමැති ලේබලයට යටත් වෙමින් එය ඇදහීමක් ( කල්ට්) බඳු තත්වයට පත් කොට රටේ ජනතාවට හිමි මූලික අයිතීන් කඩාකප්පල්  කරමින් රටේ මූලික ගැටලු විසඳීම සඳහා පැවරී ඇති වගකීමෙන් මිදීම මෙහිදී දැක ගත හැකි කාරණයකි. රණවිරුවා පමණක් නොව එදා වේල ගැටගසා ගැනීම සඳහා කුලී වැඩ කරන පුද්ගලයා පවා රටට එක හා සමානව වැදගත් කමක් ඇති කොටසකි. එසේම අපරාධකරුවා යනු  ඔහුගේ වෘත්තීය කුමක් වුවත් අපරාධකරුවෙකි. ඊට විවිධ අර්ථ නිරූපණ ඉදිරිපත් කරමින් මෙම මූලික කරණයට පිටුපා කටයුතු කළ හැකිද? ඉන් රටට හෝ රටේ ජනතාවට සුගතියක් සිදුවන්නේද? මෙම මූලික කාරණයට සාදාරණය ඉටු කිරීමට නොහැක්කේ නම්, එය රටට සහ ජනතාවට පමණක් නොව යුද්ධයේදී සැබෑ ලෙස අවංකව කැප වූ බොහෝ දෙනෙකුට සිදුකරණ අසාදරණයකි.

මානව හිමකම් ගැන කතා කළ පාලිප්පොඩි ජයතීස්වරන්

මේ අතර රට තුළ මෙන්ම රටින් පිටත දැඩි අවධානයට යොමු වූ මාතෘකාව වූයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ තිස්හතර වැනි සැසිවාරය සහ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එහිදී ඇති වූ විවාදය වේ. බලාපොරොත්තු වූ පරිදිම ශ්‍රී ලංකාවට තවත් වසර දෙකක දිගුවක් ලැබුණු අතර එහිදී ශ්‍රී ලංකාව හමුවේ ඇති මූලික වගකීම වන්නේ,  විපතට පත් ජනතාව වෙනුවෙන් සාදාරනය ඉටු කිරීමට රටේ අධිකරණ පද්ධතිය ශක්තිමත් සහ ස්වාධීන බව ඔප්පු කිරීමය. විදෙස් විනිසුරුවන් සහ විදේශ මූලාශ්‍ර ඔස්සේ “තාක්ෂණික සහය” ලබා දීම යන මූලික කාරණා වලට නිසි පිළිතුරක් ලබා දිය හැකි වන්නේ එවිටය.

අදාළ මානව හිමුකම් සභාවේදී කරනු දැක් වූ එක්තරා පුද්ගලයෙකුගේ කරුණු දැක්වීම බොහෝ දෙනෙකුගේ අවධානයට පාත්‍ර නොවීය. එසේම ඔහු තමන්ගේ නිවේදනයට ප්‍රචාරයක් ලබාදෙන  රටේ ඇතැම් මාධ්‍යන්ගෙන් ඉල්ලා සිටියද ඔවුහු එය ක්‍රමානුකූලව ප්‍රතික්ෂේප කරනු ලැබීය. ඔහුගේ ප්‍රකාශයෙන් උපුටා දක්වනු ලැබූ ඉතා සුළු කොටසක් ප්‍රසිද්ධ කිරීම වැදගත් යැයි සිතේ.

“මානව අයිතිවාසිකම් පිළිබඳව සාකච්ඡා කෙරෙන මෙම සභාව ඉදිරියේ පෙනී සිටින මම ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතෙන් පැමිණි ශ්‍රී ලාංකිකයෙකු වන පාලිප්පොඩි ජයතීස්වරන් වෙමි. එසේම එල්.ටී.ටී.ඊ. සංවිධානය යටතේ තම මූලික අයිතිවාසිකම් ප්‍රතික්‍ෂේප කිරීමෙන් ජීවත් වීමේ අයිතිය පැහැරගනු ලැබූ අයෙකුගේ පුත්‍රයෙකු වන මම මෙහිදී පෙනී සිටින්නේ ඔවුන්ගේ අමානුෂික කටයුතු නිසා සදාකාලික අබාධිත තත්වයට පත් වූ පුද්ගලයෙකු ලෙසය. 

එල්.ටී.ටී. ඊ. සංවිධානය දෙමළ ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටියා යැයි පිළිගැනීම සර්ව සම්පූරණයෙන්ම අසත්‍යය කාරණයක් ලෙස එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ ත්‍රස්ත කටයුතු වලට ගොදුරු වූ දහස් ගණනක් වූ පිරිස අතුරින් එක් අයෙක් වන මා, මෙහිදී ඔබේ අවදානයට යොමු කිරීමට කැමැත්තෙමි. තමන්ගේ දෘෂ්ඨිවාදය අනුමත නොකළ දෙමළ ජනතාව ඉතා විශාල පිරිසක් ඔවුහු විසින් මරා දැමුහ. එනම්, ඔවුන් අපගේ මූලික අයිතිවාසිකම් තරයේ ප්‍රතික්‍ෂේප කළෝය. 

යුද්ධය අවසානයේ දෙපාර්ෂවයන් විසින්ම අපරාධ සිදු කළහ. එම විෂමාචාරයන් විමර්ශණය කළ යුතුය. සැබෑ අපරාධකරුවන් හඳුනා ගැනීම මෙන්ම ඔවුන්ට එරෙහිව නීති ප්‍රකාරව කටයුතු කළ යුතුවේ. 

නමුත්, එක්සත් ජාතීන් විසින් ඉදිරිපත් කළ යෝජනා එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සිදුකරණු ලැබූ අපරාධ වලට එරෙහිව කටයුතු කිරීමට අසමත් වී තිබේ. එය අපේ ප්‍රජාව හමුවට තවත් අඳුරු කාලයක් උදා කිරීමට හේතු වනු ඇතැයි මට බිය සිතේ. 

ත්‍රස්තවාදීන් යනු ත්‍රස්තවාදීන්ය; එනම් අහිංසක සිවිල් වැසියන් මරාදැමූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සහ ලෝකයේ අනෙකුත් ත්‍රස්තවාදීන් අතර කිසිඳු වෙනසක් නැත. උක්ත කාරණය යටතේ මට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයෙන් ඉල්ලීමට ඇත්තේ, එල්.ටී.ටී. ඊ. සංවිධානය විසින් සිදුකළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වලට එරෙහිව නිසි ප්‍රතිචාර දක්වා කටයුතු කරන ලෙසයි.”

ග්‍රාම නිලධාරියෙකු වූ ඔහුගේ පියා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් වධහිංසා කොට මරා දමනු ලැබීය. දින කිහිපයක් තිස්සේ  බරපතළ ලෙස වධහිංසාවට ලක්කළ හෙතම මරා දමනු ලැබුවේ එවකට නැගෙනහිර පළාතේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකයෙකු වූ රමේෂ් යටතේය. අදාල සිදුවීම පාලිප්පොඩි ජයතීස්වරන්ගේ ජීවිතයේ ඉරණම තීන්දු  කළ කාරණය විය. ඉන් පසු සිදු වූ බොහෝ දෑ ඉතිහාසයේ පිටු අතර සැඟ  වී තිබේ. ඔහු මේ වන විට සදාකාලීක පක්ෂඝාත වී ඇති පුද්ගලයෙකුය. මෙහිදී හෙතම මතු කරන කාරණය ඉතා වැදගත් වේ. එනම්,  එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් දෙමල ජනතාවට එරෙහිව සිදු කරනු ලැබූ  අපාරාධ සම්බන්ධයෙන් කතා කිරීමට බොහෝ දෙනෙකු මැලිවන්නේ මන්ද යන්නය.

ගෝඨා ව්‍යාපෘතිය

මේ අතර සතිය  මුලදී වාර්තා වූ එක් ප්‍රධාන සිදුවීමක් වූයේ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා කොළඹ සිටින විදේශ ජනමාධ්‍යයවේදීන්  හමුවේ දැක් වූ දීර්ඝ කරුණු දැක්වීමයි. ඉතාම සැලකිල්ලෙන් කරුණු දක්වනු ලැබූ හෙතම සමස්ත යුධ ජයග්‍රහණය තුළ තමන්ගේ ආධිපත්‍ය තහරුවූ වූයේ කෙසේද යන කාරණය මනා ලෙස අර්ථගන්වනු ලැබීය. සැබවින්ම, වත්මන් ආණ්ඩුව අපොහොසත් වී ඇති කාරණා  බොහෝමයක් ගැන තමන්ගේ සැබෑ අවබෝධය මෙන්ම කැපවීම සහතික කිරීමට හෙතම සමත් වූ බවක් දක්නට ලැබේ.  දින කිහිපයකට පෙර ප්‍රධාන සතුරන් දෙදනා ( ෆීල්ෆ් මාර්ෂල් ෆොන්සේකා සහ හිටපු ලේකම් ගෝඨාබය රාජපක්ෂ )  එකතු වී රටේ මූලික ගැටලුවක් ගැන කතා කිරීමට ගොස් එය හත්පොලේ ගාගෙන විනාශ වීමෙන් මඟහැරී තමගේ ස්ථාවරය ක්‍රමානුකූලව වෙනස් කිරීමට ඔහු සමත් විය.

එහිදී පැහැදිලිවන මූලික කරණය වන්නේ, ගෝඨාබය රාජපක්ෂ මහතා දිගුකාලීන වැඩපිළිවෙක් වෙනුවෙන් තම මූලික පියවර ගෙන ඇතිබව පමණක් නොව ආණ්ඩුවේ පවතින දුර්වල තැන් මනාලෙස ඉලක්ක කිරීමට උත්සහ කරන ආකාරයයි. නමුත් එය  “ගෝඨා ව්‍යාපෘතිය” වැනි නාමයන් ඔස්සේ සාර්ථක වේ යැයි කිව නොහැකිය.  “ගෝඨා ව්‍යාපෘතිය” සමාන වන්නේ  “ගෝඨාගේ යුද්ධයටය”. රටේ දේශපාලනික ඉතිහාසය විසින් උගන්වන මූලික පාඩමට අනුව මෙවැනි දෑ එතරම් සාර්ථක හැඳින්වීම් නොවේ.

වැදගත් වන්නේ රටේ මූලික   ගැටලු වලට තමන්ගේ ප්‍රතිපත්ති සකස් කිරීම සහ යුධ ජයග්‍රණයෙන් ඔබ්බට ගොස් සිතීමය. එසේම ලෝක ඉතිහාසය තුළ රාජ්‍යයන්ගේ නැගීමට සහ වැටීම ගැන පුළුල් ලෙස අධ්‍යනය කිරීමය. මෙම කාරණයේදී මතුකළ යුතු එක් ප්‍රධාන සිදුවීමක් වන්නේ පසුගියදා ලෝකයෙන් සමුගත් ඇමෙරිකානු ජාතික ප්‍රකට ආර්ථික විශේෂඥයෙකු වූ ඩේවිඩ් රොකපෙලර්ගේ ජීවිතයයි.

1941 දී ඇමෙරිකානු සියවස සම්බන්ධයෙන් රචානාවක් ලියනු ලැබූ හෙන්රි ලුෂ් විසින් අවධානය කළ මූලික කාරණා බොහෝමයක් වඩාත් සාර්ථක ලෙස අත්හදා බැලීමට පමණක් නොව තමන්ගේම වූ උපයාමාර්ග ඔස්සේ ඇමෙරිකානු උපායන් සාර්ථක කර ගැනීම සඳහා රොකපෙලර් කටයුතු කළේය. ලයිෆ් සඟරාවේ ප්‍රකාශකයා වූ හෙන්රි ලූෂ් “ඇමෙරිකානු සියවස” නමින් ලියනු ලැබූ රචනාව  මෙරට දේශපාලනට අනුගාමිකව තේරුම් ගැනීම සඳහා ඉතාම වැදගත් ප්‍රවේශයක් වේ.

එසේම රොකපෙලර්  විසින් කරනු ලැබූ මැදිහත් වීම් සම්බන්ධයෙන් යහපත් මෙන්ම අයහපත් විවේචන රාශියක් තිබුණද, ඒ සියල්ල තුළින්ම ඔහු තම රටේ බලය ව්‍යාප්ත කිරීම සඳහා කළ කැපකිරීම අතිමහත් වේ. එය කෙතරම් විශේෂ වන්නේද කිවහොත්, ඇමෙරිකානු රාජ්‍යය සහ ආරක්‍ෂක ප්‍රතිපත්ති සකස්කිරීමේ ප්‍රධානියෙකු වූ හෙන්රි කිසින්ජර්ගේ ප්‍රධාන උපදේශකයෙකු වූයේ ඩේවිඩ් රොකපෙලර්ය.

මෙම මූලික කරුණු වලින් අවබෝධ වන්නේ, ලෝකය තුළ ව්‍යාප්ත වෙමින් පවතින් කෙටිකාලීන දේශපාලන රැළි වලට වහ වැටී ඒවායේ අනුකාරයකින් වෙමින් මෙරට දේශපාලන කටයුතු කිරීම නොව, රටට ගැලපෙන සහ රටේ බලය මෙන්ම ගරුත්වය තහවුරු කර ගැනීමට මෙන්ම ව්‍යාප්ත කිරීමට සමත් වැඩපිළිවෙලක් රටට අත්‍යවශ්‍යය බවයි.

උපුටාගත්තේ ශ්‍රී ලංකා ගාර්ඩියන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *