ආණ්ඩුවේ, දෙමළ ඩයස්පෝරාවේ සහ මානව හිමිකම් රාජ්‍ය නොවන සංවිධානවල වාර්ෂික ජිනීවා විනෝද චාරිකාව පසුගියදා අවසන් ය. යුද අපරාධ අනුමත කරන මානව හිමිකම් විරෝධීන් වන සරත් වීරසේකර හා කීර්ති වර්ණකුලසූරිය ද මෙවර එයට සහභාගි වූ හ.
ඇමරිකා එක්සත් ජනපදය විසින් දිරිමත් කාන්තාවන්ට වාර්ෂිකව පිරිනමනු ලබන සම්මානයක් රාජපක්ෂ පාලනය විසින් අතුරුදහන් කරන ලද මාධ්‍යකරුවකු වන ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට හිමි වීම මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය හා සමාන්තරව සිදු වූ සුවිශේෂ සිදුවීම විය. ප්‍රගීත් එක්නැලිගොඩ වෙනුවෙන් යුක්තිය ඉල්ලා ඇය ගෙන ගිය අරගලය නො වන්නට ඔහු මාධ්‍යවේදියකුදැයි අහන මාධ්‍යකරුවන් සිටින රටක ඔහුගේ අතුරුදහන් වීම නම් ලැයිස්තුවක තවත් එක් නමක් පමණක් වන්නට ඉඩ තිබිණි.
දැන් කලක සිට ඇදී යන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියාවලිය හරහා ඇත්තෙන් ම කිසිවක් සිදු වී ද යන්න සිතා බැලීමට කාලය එළඹ තිබේ.
මේ වන විට ලංකාවේ ආණ්ඩුව වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ මිනී නො මරයි. මාධ්‍යකරුවන්ට පහර නො දෙයි. එහෙත්, ආන්තික දේශපාලන බලවේග මළ මිනී ඉල්ලමින් පෙළපාලි යන අතර, අද නැති නම් හෙට ආණ්ඩුව මිනී මරනු ඇතැයි අපේක්ෂා අභිරුචියෙන් යුතුව පළ කරති.
බලවත් අපරාධකරුවන්ට එරෙහිව නීතියේ මුක්තිය අවසන් කිරීමේ ඇතැම් ක්‍රියාමාර්ග ගැනෙමින් තිබේ. ඒවා විශ්වසනීය ලෙස ඉදිරියට යන්නේ නැත. රටේ ඉහළම තැන්වලින් පරීක්ෂණවලට බලපෑම් සිදු වන බවට චෝදනා නැගේ. එසේම, විමර්ශන අංශ අධිෂ්ඨානයකින් හා වෘත්තික ස්වභාවයකින් කටයුතු කරන බවක් ද දක්නට නො ලැබේ. රාජපක්ෂ පාලනයේ බලපෑම තවමත් ඒවායේ තිබේ.
විමර්ශනවලට වින්දිතයන්ගේ සහයෝගය නො ලැබීමේ ගැටලුවේ ගැඹුර නිරූපණය කළ සිදුවීමක් වන්නේ පහර කෑමට ලක් වූ මාධ්‍යකරුවකු වන කීත් නොයාර් ඔහුට පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් හඳුනා ගැනීම සඳහා ඉදිරිපත් නො වීමයි. මෙම සැකකරුවන්ට එරෙහිව ප්‍රබල විද්‍යාත්මක සාක්ෂි පවතිද්දී මෙම මාධ්‍යකරුවා මෙසේ සැඟවී යාම ද ඇත්ත වශයෙන් නින්දා සහගත ක්‍රියාවකි. අපරාධවලට එරෙහි මුක්තිය පැලපදියම් වීමට එක් හේතුවක් වන්නේ වින්දිතයන්ගේ මෙවැනි පරාධීන ක්‍රියා ය. මෙම වින්දිතයා සාමාන්‍ය මිනිසකු නො ව, ජ්‍යේෂ්ඨ මාධ්‍යකරුවෙකි.
රාජපක්ෂ පාලන සමයේ කොළඹ ඝාතක කල්ලි ගැන වැදගත් තොරතුරු දන්නා තිදෙනෙකු වන ගෝඨාභය රාජපක්ෂ, සරත් ෆොන්සේකා හා කපිල හෙන්දාවිතාරණ තමන්ගේ අපරාධ වගකීම ගැන විවාද කර ගන්නා විසුළු සහගත තත්වයක් ද මේ අතර පැන නැගී තිබේ.
යුද්ධයේ අවසන් අදියරේදී රජය හා කොටි සංවිධානය විසින් කරන ලද යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනවල කිසිදු ප්‍රගතියක් සිදු වී නැත.
ජාතීන්ගේ ප්‍රශ්නයට බලය බෙදා ගැනීම ඔස්සේ විසඳුම් සෙවීමේ ද, රාජ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ ද ක්‍රියාවලිවල සැලකිය යුතු ප්‍රගතියක් නැත.
ලංකාවේ යම් වෙනස්කමක් සිදු වී නම් ඒ වනාහි ලංකාවේ ජනතාව විසින් මහින්ද රාජපක්ෂ පාලනය පැරදවීමත් සමග ඇති වූ තත්වයක් විනා අන් යමක් නො වේ. ඒවාට ජිනීවා මානව හිමිකම් කවුන්සිල් සැසිවලින් සිදු වී තිබෙන බලපෑම අවම ය.
මානව හිමිකම් කවුන්සිලය හා ශ්‍රී ලංකාව සම්බන්ධ ක්‍රියාවලිය වනාහි මේ වන විට විශාල පිරිසකගේ පැවැත්ම සඳහා දිග්ගසමින් පවත්වාගෙන යන මෙගා ටෙලි නාට්‍යයකි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, ආණ්ඩුව, දෙමළ ඩයස්පෝරාව, මානව හිමිකම් සංවිධාන ආදිය එක්ව ලංකාවේ මානව හිමිකම් වවාගෙන කෑම මිස මේ නාඩගමින් ලංකාවට වන කිසිදු සෙතක් නැත. මේ සියල්ලන් ම ලංකාවේ සමාජය තුළ මෙම ජිනීවා නාඩගම විසින් නිර්මානය කරනු ලබන කාලකණ්ණිකමට වග කිව යුතු ය.
තොපි ඔක්කොම බම්බු ගහගනිල්ලා ය කියා, අතීතය අමතක කර, ලංකාවේ ජාතීන් අතර ප්‍රශ්නයට විසඳුමක් නිර්මානය කර ගනිමින් අනාගතය ගොඩනගා ගැනීම වෙත අපගේ දේශපාලනය යොමු විය යුතු ය.
අජිත් පැරකුම් ජයසිංහ
W3Lanka