ඊයේ (18) ‘සිංහල රාවය’ සංවිධානයේ භික්ෂූන්වහන්සේලා හා ගිහි පිරසක් විසින් තංගල්ලේ ගමමස් අලෙවි හළක දේපළ විනාශ කර, දොර ජනෙල් කඩා දමා එම ස්ථානයට ගිනි තබා ඇතැයි වාර්තා වේ. මෙසේ සිදු කර ඇත්තේ ‘සිංහල රාවය’ පසුගිය සෙනසුරාදා (15) කතරගම කිරි වෙහෙරෙන් ආරම්භ කරන ලද ගව ඝාතනය හා ආගමිකරණයට එරෙහි පාගමන තංගල්ල ප්‍රදේශයට ලගා වූ අවස්ථාවේ දීය.
එම සංවිධානයේ සභාපති අක්මීමන දයාරත්න හිමි සංවිධානයේ කැදවුම්කරු මාගල්කන්දේ සුදන්ත හිමි මහලේකම් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි ඇතුළු හිමිවරුන් විසිපස් නමක් කිරිවෙහෙර අභියස සත්‍යග‍්‍රහයක් පැවැත්වීමෙන් පසුව ගිහි පැවිදි රැසකගේ සහභාගීත්වයෙන් එම පාගමන ආරම්භවිය. තංගල්ල නගරයෙන් පසු එම පාගමන මාතර බලා පිටත් වීමට නියමිතය.