සම්මුතික ආණ්ඩුවේ පැවැත්ම අවදානම් බව වටින් පිටින් ඇහෙන පෙනෙන දේවල් අනුව පෙනෙන්නට තිබේ. එමෙන්ම සම්මුතිය බිඳදැමීමේ දැවැන්ත උත්සාහයක් ආණ්ඩුවට පිටතින් සහ ආණ්ඩුව ඇතුළමත් සිදු වෙමින් පවතී. ඊට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ද හසු වී ඇති බව අකැමැත්තෙන් නමුත් කියන්නට සිදුව තිබේ.
හිටපු ජනාධිපතිවරයාට අනුව ඔහු පරාජයට පත් වූයේ සුළු ජාතික පිරිස් ඔහුගෙන් දුරස් වීමත් විපක්ෂය ඔහුට හොරා හොරා කියමින් ගෙන ගිය ප‍්‍රචාරය නිසාත් ය. නමුත් ඔහු පෙනී සිටියේ මේ රටේ සාතිශය බහුතරය වන සිංහල බෞද්ධ නාමකරණය සහිත ජනතාව වෙනුවෙනි. නමුත් එම බහුතරය විසින් ද ඔහුව පරාජය කර ඇත. මේ නිසා ඔහු පවසන පරිදිම ජාති ආගමික ප‍්‍රශ්නවලට වඩා ඔහු හොරා වීම මෙම පරාජයට හේතු විය. එම බලපෑම සිදු කර තිබීම ගැන ඔහුගේ මතය ඔහුට සාධාරණය. රාජපක්ෂ යුගයේ දී සිදු වූ දූෂණ වංචා නාස්තිය සහ අපරාධ කිසිදා කිසිවකුගෙන් හෝ සැඟවිය හැකි දේ වූයේ නැත. මේ අනුව රාජපක්ෂට එරෙහිව ‘හොරා’ ලේබලය ඇලවෙන්නේ අසාධාරණ තත්ත්ව යටතේ නොවේ. ඊට සාධාරණ හේතු ඕනෑතරම් තිබිණි. වර්තමානයේ ඒ සම්බන්ධයෙන් වන චෝදනා විමර්ශන ප‍්‍රමාද වීම හෝ යටපත් කිරීමක් සිදු වන බවට නම්
සාධාරණ සැකයක් ඇත. ඒ කෙසේ නමුත් ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කරමින් මෛතී‍්‍රපාල සිරිසේන වටා ඒකරාශී වූ බලවේග රාජපක්ෂවරු පරාජය කළේ ඔවුන්ට එරෙහිව එල්ල කරන ලද දූෂණ අපරාධ ආදී චෝදනා නිසා පමණක් නොවේ.
මන්ද, මේ චෝදනා යටපත් කරන්නට තරම් රටට දැනෙන සංවර්ධන කටයුතු රැුසක් එම පාලන සමයේ දී සිදු කිරීමට සමත්ව තිබිණි.
ඊට අභියෝග කිරීමේ හැකියාවක් එවකට පොදු අපේක්ෂකයා වටා සිටි කිසිවකුට හැකි වූයේ නැත. රාජපක්ෂවරු පරාජය කිරීම කෙරෙහි වඩාත් අසීරු කාරණය වූයේ මේ සංවර්ධන ව්‍යාපෘති සහ ඒ සම්බන්ධයෙන් ගෙන ගිය විශාල ප‍්‍රචාරක මෙහෙයුම්ය. රාජපක්ෂවරුන්ට ‘හොරා’ ලේබලය ඇලවෙන්නේ ද මේ සංවර්ධන ව්‍යාපෘති හරහා සිදු කළ ගසා කෑම නිසා වුව ද ‘හොරා කෑව ද රට සංවර්ධනය කළානේ’ යන ජනමතයට අදත් වලංගුතාවක් ලැබී තිබෙන තරමට රාජපක්ෂවරු රටේ සංවර්ධනය සම්බන්ධයෙන් ඉදිරියෙන් සිටියහ. එහෙත් රට ගියේ අයාලේය. උතුරේ සිවිල් අරගලය තිරශ්චීන ලෙස මර්දනය කිරීම ජාතික ප‍්‍රශ්නය ජය ගැනීමක් ලෙස දැක්කා විනා සැබෑ ගැටලූව විසඳීමේ හැකියාවක් රාජපක්ෂවරුන්ට තිබුණේ නැත. දශක ගණනාවක් තිස්සේ ගොඩනැගුණු ජාතීන් අතර විරසකභාවය දුරලන්නට එනම් සංහිඳියාව ඇති කිරීම සඳහා නිසි වැඩපිළිවෙළක් තිබුණේ නැත. සිංහල බෞද්ධ ආකල්ප මත සිට ගොඩනැඟි වර්ගවාදී චින්තනයම උතුරේ දෙමළ ජාතිකයා කෙරෙහි තවදුරටත් පීඩනයම ගෙන දුන්නේය. දකුණේ මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව ගෙන ගිය ආගම්වාදී ප‍්‍රහාර ද මුස්ලිම් ජාතිකයන් සමඟ පැවැති සංහිඳියාව අඩපණ කිරීමට හේතු විය. රාජපක්ෂවරුන්ගේ පරාජය කෙරෙහි ‘ජාතීන් අතර සංහිඳියාව’ නමැති කාරණ තීරණාත්මක විය. එමෙන්ම රටේ නීතිය අධිකරණය රාජපක්ෂවරුන්ගේ කැමැත්තට යටත් කරමින් මාධ්‍ය නිදහස, මානව හිමිකම් නොතකා හරිමින් මේ රටේ ජනතාවට හිමි‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී’ අයිතිවාසිකම් සියල්ල යටපත් කළේය. රාජපක්ෂවරුන්ගේ පරාජයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත විය යුතු බවට ජන සමාජයෙන් වූ බලවත් ඉල්ලීම ද හේතු විය.
රාජපක්ෂ පාලනය පෙරළා දැමීමේ දේශපාලන මෙහෙයුමේ ප‍්‍රධාන පොරොන්දු පත‍්‍රයේ මූලික කාරණා ලෙස සංහිඳියාව, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සංවර්ධනය යන්න ලෙස අඩංගු වන්නේ මේ අනුවය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වත්මන් සම්මුතික ආණ්ඩුවට ඉහළම ලකුණු ලබා දීම සිදු කළ හැකිය. අද ජනාධිපතිවරයාව වුව ඍජුව විවේචනය කිරීමේ නිදහස ද සමාජය භූක්ති විඳී. එහෙත් තවමත් රාජපක්ෂ යුගයේ අවතාර හොල්මන් සැරිසැරීම අවසන්ව නැත. එය සුළු තත්ත්ව පවා වෙනස් වනු ඇති බවට බලාපොරොත්තු තැබිය හැකිය. එසේම සංහිඳියාව ඇති කිරීම සම්බන්ධයෙන් යම් ලකුණු ප‍්‍රමාණයක් ආණ්ඩුවට හිමිව තිබේ. එහෙත් එය කිසිසේත්ම ප‍්‍රමාණාත්මක නැත. මන්ද, මේ සංහිඳියාව උතුරේ දෙමළ ජනතාව සමඟ ඇති කර ගත් සංහිඳියාවක් නොවන බැවිනි. උතුරේ දෙමළ නායකත්වය විපක්ෂ නායක ආර්. සම්බන්දන් යටතේ තිබීම පදනම් කර ගත්තක් බව පැහැදිලිය. සම්බන්දන් යනු මේ රටේ සිටින වයෝවෘද්ධම දේශපාලනඥයා විය හැකිය. මේ නිසා ඔහුගේ සක‍්‍රිය මැදිහත් වීමට ඇත්තේ සීමාසහිත කාල පරාසයක් බව පිළිගත යුතුව ඇත. සම්බන්දන්ගෙන් පසුව ආණ්ඩුව උතුර සමඟ වන සංවාදය ගෙන යන්නේ කවුරුන් සමඟද යන ගැටලූව ආණ්ඩුව හමුවේ වෙයි. ආණ්ඩුව උතුරේ ජනතාව සමඟ සංවාදයක නැත. ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා දීම සම්බන්ධයෙන් හෝ ආණ්ඩුව දක්වන දුර්වලතාව ඉතා කෙටි කලක දී නරක ප‍්‍රතිඵල අත්පත් කර දෙනු ඇත. අද ‘ආවා’ කල්ලි ලෙස ගොඩනැගෙන කණ්ඩායම් රස්තියාදුකාර රංචු ගැසීම් ලෙස පහසුවෙන් බැහැර කළ හැකි වෙතත් උතුරේ සන්නද්ධ දේශපාලන අරගලය ආරම්භ කළේ ද මෙවැනිම රස්තියාදුකාර තරුණයන් කිහිප දෙනකුගේ මෙහෙයවීමෙන් බව අමතක නොකළ යුතුය. එනම් එවැනි තත්ත්වයක් යළි ඇති වීම වැළැක්වීමට නම් එය මර්දනය කිරීම නොව ඔවුන්ට නැති දේ ලබා දීම සිදු විය යුතුය. සංහිඳියාව, ප‍්‍රජාතන්ත‍්‍රවාදය පමණක් නොව සංවර්ධනය ද ඔවුන්ට අවශ්‍යය. වත්මන් ආණ්ඩුව කෙරෙහි වඩාත්ම විවේචනය ඉදිරිපත් විය හැක්කේ‘සංවර්ධනය’ යන කාරණය මතය. ඒ උතුරටත් දකුණටත් එක ලෙසම බලපානු ලැබීය.
‘හොරා කෑවත් රාජපක්ෂලා රට සංවර්ධනය කරානේ. ඒ නිසා ලබන පාර දෙන්නම් බැටේ’ කියමින් අද මෛත‍්‍රීපාල සිරිසේනව, රනිල් වික‍්‍රමසිංහව විශ්වාස කරගත් පිරිස් යළි වෙනසක් සොයා යෑම විය හැකිය. රාජපක්ෂවරු සංවර්ධනයේ නාමයෙන් සිදු කළ ව්‍යාපෘති ගණනාවක්ම පසුගිය කාලයේ ඇන හිටියා සේම යළි ආරම්භ කළ ඇතැම් සංවර්ධන කටයුතු නියමාකාරයෙන් සිදු නොවෙමින් පවතින බව ද ඇස් පනා පිට පෙනෙන්නට තිබෙන ඇත්තය.
වත්මන් ආණ්ඩුව කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීමට අසමත්ව ඇති බවට වැඩිමනත්ව චෝදනා එල්ල වන්නේ රාජපක්ෂ යුගයේ ප‍්‍රදර්ශනාත්මකව හෝ සිදු කළ සංවර්ධන ක‍්‍රියාවලි නිසාය. රාජපක්ෂවරු වැඩි අවධානය යොමු කළේ මහා මාර්ග ප‍්‍රතිසංස්කරණය කිරීමටය. මහාමාර්ග එතරම් සුපිරි ආකාරයකින් ගොඩනැගුව ද එම සංවර්ධන කටයුතු ඵලදායක වන්නට තරම් මේ මාර්ගවලට යාබදව සංවර්ධනයක් පැවැතියේ නැත. සංවර්ධනයේ නාමයෙන් කළ හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපොළ පවා නිරර්ථක කටයුත්තක් විය. ඉන් රටේ ජනතාවට ඇත්තේ ප‍්‍රතිලාභ නොව විශාල ණය බරක් පමණි. එම සංවර්ධන කටයුතු ගැන කෙතරම් විවේචන ඉදිරිපත් කළ ද ‘සංවර්ධනය’ යනුවෙන් කුමක් හෝ යමක් එදා තිබූ බව රටේ ජනතාව නොපිළිගෙන සිටින්නේ නැත.
එය වෙනස් කළ හැක්කේ කඩිනම් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කර එහි ප‍්‍රතිලාභ සමස්ත ජනතාවට භුක්ති විඳින්නට සැලැස්වීමෙන් පමණි.
තවදුරටත් ආණ්ඩුවට පසුගිය ආණ්ඩුව විවේචනය කරමින් පැවැත්ම සකසා ගැනීමේ හැකියාවක් නැත. දැන් ඒ සඳහා තිබූ කාලය අවසන්ය. වසර දෙකක් මේ සඳහා වැය කර ඇත. දෙවන අයවැය වාර්තාව ද හෙට අනිද්දා ඉදිරිපත් කිරීමට නියමිතය. එය සංවර්ධනය ඉලක්ක කරගත් අයවැයක් විය යුතුය. එහි දී සංවර්ධන ඉදිරි වැඩ පිළිවෙළ ආර්ථික උපාය මාර්ග පැහැදිලි විය යුතුය.
එමෙන්ම මෙරට සංවර්ධනයට ඉහළ දායකත්වයක් සිදු විය හැක්කේ විදේශ ආයෝජන මඟින්ය. එහෙත් තවමත් විදේශ ආයෝජකයන් මෙරටට එන පාටක් නැත. මෙරට ව්‍යාපාරිකයන් සිටින්නේ ද අවුලේය. මූල්‍ය වෙළෙඳපොළ අර්බුදයකය. රටේ මුදල් හුවමාරුවක් සිදු වන්නේ නැත. මෙරටට සංවර්ධනය මුදල් පොම්ප කළ චීනය දැන් මෙරට පාලනය විවේචනය කරන තැනටම පත්ව සිටියි. මුදල් ඇමැතිව විවේචනය කරමින් සිටි ආණ්ඩුව චීනයට බැණ බැණ සිටි නමුත් ආණ්ඩුව යුරෝපය හෝ ඉන්දියාව කෙරෙහි කෙතරම් බලාපොරොත්තු තබාගෙන සිටිය ද චීනය මත විශ්වාසය තබාගැනීමට නුදුරේම සිදු වනු ඇත. අද චීනය යනු ලෝක ආර්ථිකයේ මහා බලවතාද යන්න ගැන විවාදයක් නැති තරමට බලවත්ව සිටින රාජ්‍යයකි. චීන ආර්ථිකයේ බලපෑමෙන් අද ඇමෙරිකාවට හෝ මිදෙන්නට නොහැකිව තිබේ. චීනයට ශ‍්‍රී ලංකාව, ආර්ථිකමය සහ යුද මූලෝපායිකව අතිශය වැදගත් සන්ධිස්ථානයක් පමණක් විය හැකිය. එම තත්ත්වය මත චීනය මෙරට කෙරෙහි උනන්දු වීම ද අනිවාර්ය ය. එහෙත් එය පිළිගෙන චීනය සමඟ අත්වැල් බැඳ ගන්නවා හැර අන් විකල්පයක් ශී‍්‍ර ලංකාව හමුවේ යැයි ද කල්පනා කළ නොහැකිය. වත්මන් පාලකයන්ට රටේ සංවර්ධනය වෙනුවෙන් චීනය මෙරට කෙරෙහි දක්වන උනන්දුව කෙරෙහි වඩා නම්‍යශීලී ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමට සිදු වනු ඇත.
ඒ කෙසේ නමුත් සංවර්ධනය යන්න කෙරේ වැඩි අවධානයක් දැන්වත් යොමු නොවුණහොත් රට අභ්‍යන්තරයෙන් පැනනැගෙන විරෝධවලට මුහුණ දීම සඳහා ආණ්ඩුවට සූදානම් වීම හැර වෙන කරන්නට දෙයක් නොමැති වනු ඇත. එහෙත් මර්දනය වෙනුවට සංවර්ධනය කාටත් යහපත් ප‍්‍රතිඵල ගෙන එනු ඇත.
සුජය
උපුටාගත්තේ සත්හඬෙන්